මළවුන්ගේ මාසයේ දම්පාට හැන්දෑවක අඳුරු සීතල ආදරණීය නොවැම්බරයේ දවසක් දා රාත්‍රියක මට සැප්තැම්බර් හමු විය. ඉතින් නොවැම්බරයේ හිත කෙනිත්තුව එක රාත්‍රියක මගේ පපුවටම දැනෙන්නටම මට කතා කළ වචන හා මම සැප්තැම්බරයට තුරුල් වීමි. ඉතින් ...... සම් මස් ලේ නහර ඇට මිදුළු විනිවිද යන ස්නේහයකින් සැප්තැම්බර් හා බැඳෙන්නට තවමත් මට කල් වැඩිය. ළතෙත් හැඟුමින් හදගැස්මට හද ගැස්මක් යා වෙන ඉසව්වක නවතින්නට තවමත් ඉතින් මට කල් වැඩිය. ඒ සැප්තැම්බරයේ සිනමාමය අක්ෂරවේදය කියවන්නට තවමත් දවස නොපැමිණි නිසාමය. වෝටර්ස් ඒජ් හිදී හමු වූ ඒ දම්පාට හැන්දෑවේ ඉඟි පෑයේ නුදුරේම සැප්තැම්බර් පොහොට්ටුව මලක් සේ පෙති දිග හරින වග පමණි. ඉඳින් ජනේරුවට කවුළු පියන්පත් හැරලන දවසෙහි උදාවෙන් පසු තත්ත්පරයක පිරිමි පපුවක් පිරිසිඳ උපන් සැප්තැම්බර් නන්නාදුනන හැම පිරිමි පපුවකටම ආමන්ත්‍රණය කරනු ඇත. හැම ගැහැනු හදවතකම ආදරවේදයක ආලමාල පැළඳූ සියලු ඉසව් අවුස්සාලනු ඇත.
පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න.........
පිරිමි පපු ගැඹුරටම කැන කැන ආදරයේ අංශුමාත්රයක් ආත්මීය විමුක්තිය වෙනුවෙන් සොයා යන සහ අතීතය පුරා සොයා ගිය ගැහැනුන්ගේ හද ගැස්ම අස මෙතෙක් මේ විශ්වයේ උපන් හැම පිරිමියෙක්ම සොඳුරු දඩයක්කාරයෙකි. අමුතු උමතු හිතුවක්කාරයෙකි. ප්‍රේමණීය ප්‍රේම කතන්දර සහ ජීවන කතන්දර ගැහැනුන්ට ලෙයින් ලියන්නට පපුව අස්සෙන් ප්‍රේමණීය උල්පත් සදාලු ප්රේමවන්තයින්ය.
ආදරය දැනෙන තැන නොදැනෙන ජීවිතයත්.
ජීවිතය දැනෙන තැන නොදැනෙන ආදරයත්............. හෘද සාක්ෂියේ හෘද ස්වර රිද්ම පිරිසිඳ දැනෙන ඇසිල්ලක මම බුද්ධික ජයරත්නගෙන් මෙහෙම අහනවා
ඇයි බුද්ධික පිරිමින්ටත් අහුම්කන් දෙන්න කියන්නේ ?
මේ ලෝකයේම පිරිමින්ට ඇහුම්කන් දෙන්න තැනක් තියෙනවද? පිරිමින්ට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඉන්නවද? පිරිමියාගේ හදවත ගැඹුරින් කියවන්න පිරිමියා පිරිමියෙක් විදියට තේරුම් ගන්න කෙනෙක් ඉන්නවද? පිරිමියෙක් තාත්තා කෙනෙක් වෙද්දී මහ රූස්ස ගහක් වගේ මහා වනස්පතියක් වගේ පිරිමියෙක් ජීවිතය දරාගෙන අල්ලගෙන ඉන්න තැන්වලදී හරි ඉසියුම් විදිහට පිරිමියෙක්ගේ හදවත කියවන්න ලෝකෙට පුළුවන් වුණාද ?
මම බුද්ධිකගෙන් ප්‍රශ්නයක් අහද්දි බුද්ධික මගෙන් අහන්නෙ එහෙම ප්‍රශ්නයක්..........
නිහඬතාවයක්................
ආයෙත් උත්තර අමුණන්නෙත් බුද්ධික
මම අහන්නේ සංජීවිකා........... මම කියන්නේ සංජීවිකා.......
පිරිමි පපුවලටත් දුක දැනෙන තැන් ඕනෑ තරම් තියෙනවා...... ගැහැනියක්ව නිර්වචනය කරන තරම් ලෝකය පිරිමියෙක්ව නිර්වචනය කරලා තියෙනවද? ගැහැනියකගේ හැඟීම් ගැන කතා කරන තරම් පිරිමියෙක්ගේ හැඟීම් ගැන ලෝකය කතා කරලා තියෙනවද? දරුවන් වෙනුවෙන් හඬ නගන්න කතා කරන්න දරුවන්ට ඇහුම්කන් දෙන්න මේ ලෝකයේ දරුවන් වෙනුවෙන්ම ඕනෑ තරම් සංවිධාන ආයතන තියෙනවා......ගැහැනුන් වෙනුවෙන් කතා කරන්න ගැහැනුන්ට ඇහුම්කන් දෙන්න ගැහැනුන් වෙනුවෙන් හඬ නගන්න සටන් කරන්න ඕනෑ තරම් සංවිධාන ආයතන මේ ලෝකෙ තියෙනවා...... ගැහැනුන්ගේ දුක අහන් ඉන්න ගැහැනුන් ගේ දුක කියද්දී ඒ හිත් නිවන්න සනසන්න ඕනෑ තරම් අය මේ ලෝකේ ඉන්නවා.... තිරිසන් සතුන් වෙනුවෙන් පවා කතා කරන්න උන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න මේ ලෝකේ ඕනෑ තරම් ආයතන තියෙනවා.... ඒත් මම දන්නෑ මට කියන්න පිරිමින් වෙනුවෙන් එහෙම කතා කරන්න පිරිමින් වෙනුවෙන් හඬ නගන්න පිරිමියෙකු පිරිමියෙක් විදියට නිර්වචනය කරන්න එහෙම ආයතන සංවිධාන ලෝකෙ තියෙනවද ? පිරිමියෙක්ව පිරිමියෙක් විදිහට තේරුම් ගන්න, පිරිමියෙකු පිරිමියෙක් විදියට නිර්වචනය කරන්න මේ ලෝකෙට කවදහරි දවසක පුළුවන් වුණාද? තාත්තා කෙනෙක් වෙච්ච පිරිමියෙක්ව, ස්වාමියෙක් වෙච්ච පිරිමියෙක්ව, ආදරවන්තයෙක් වෙච්ච පිරිමියෙක්ව, පිරිමියෙක් වෙච්ච පිරිමියෙක්ව ලෝකය කියවලා නතර කරපු තැන කොතනද? කියාගන්න බැරි වුණු කියාගන්න ඕනෑ වුණු ප්‍රශ්න පිරිමින්ටත් තියෙනවා....... පිරිමි පපු අස්සෙ පිරිමි ජීවිත අස්සෙ තවමත් ලෝකය නොකිය වූ හිස්තැන් ඕනෑ තරම් තියෙනවා.
ඉතින් පිරිමින්ටත් ඇහුම්කන් දෙන්න නොකියා කොහොමද ඉතින්........
ඇයි සැප්තැම්බර් - සැප්තැම්බර් වුණේ?
සැප්තැම්බර් සිනමාවේදී ප්‍රස්තුතයට අයිති චරිතයක් තියෙනවා... ඒ චරිතයට අදාළ චිත්‍රපටයට පාදක වූ සියලු සිදුවීම් සිදු වෙන්නෙ සැප්තැම්බරයේ...... ඉතින් ඒ හින්දා සැප්තැම්බර් සැප්තැම්බර් වුණා. තව නම් ගොඩාක් යෝජනා වුණා....... ඒත් අන්තිමේදී මම තීරණය කළා සැප්තැම්බර් තමයි ඒ නම කියලා...... සැප්තැම්බර් සැප්තැම්බර්වීම කොයිතරම් ලස්සනද කියලා ප්‍රේක්ෂකයන් දවසක තීරණය කරාවි.....
සැප්තැම්බර් ඉපදුණේ බුද්ධිකගේ පපුව අස්සෙ ?
ඔව්...... සැප්තැම්බර් ඉපදුණේ මගේ පපුව අස්සෙ .......
සැප්තැම්බර් අධ්‍යක්ෂණය වුණේ බුද්ධිකගේ පපුව අස්සෙ ........
ඔව් සැප්තැම්බර් අධ්‍යක්ෂණය වුණේ මගේ පපුව අස්සේ........
එතකොට සැප්තැම්බර් ලියවුණේ ?
සැප්තැම්බර් ලියවුණේ සුනෙත් මාලිංග ලොකුහේවාගේ සහ ප්‍රියන්ත විදානපතිරණගේ අකුරු අස්සේ..... අපි හත් අට වතාවක් කතා කර කර ඒ තිර රචනය වෙනස් කරපු තැන් තිබුණා...... ස්තුතියි සුනෙත් මාලිංගට හා ප්‍රියන්තට මේ මොහොතෙත් ඒ ඉවසීමට... ඒ නම්‍යශීලීත්වයට....... අවසානයේ දර්ශන තලයේදිත් යම් යම් වෙනස්කම් කරපු තැන් තිබුණා.... ඒ සියල්ල අතරේ සැප්තැම්බර් හරි ලස්සන වුණා............ දැනෙන්න නිමැවුණා..........
පිරිමියෙක් කියන්නේ කවුද බුද්ධික?
පිරිමියෙක් කියන්නෙත් තවත් මනුස්සයෙක්....... පිරිමියෙක් කියන්නෙ පොරක් කියන එක නෙවෙයි මම මේ කියන්නේ...... හුස්මක් වැටෙන මනුස්ස කුලකයට අයත් තවත් මනුස්සයෙක්.....
පිරිමියෙක් කියන්නේ දඩයක්කාරයෙක්..... අතීතයේ ඉඳන් අද දක්වාම පිරිමියෙක් කියන්නේ දඩයක්කාරයෙක්.... හොඳ නරක උතුම් නීච හැම දෙයක්ම කරපු සහ කරන දඩයක්කාරයෙක්. මට හිතෙනවා පිරිමියෙක් පිස්සෙක් වුණා නම් පිස්සෙක් වුණේ, සමාජ පිළිලයක් වුණා නම් සමාජ පිළිලයක් වුණේ මේ සමාජයට පිරිමියෙක්ව තේරුම් ගන්න පිරිමියෙක්ව කියවගන්න පිරිමියෙක්ව නිර්වචනය කරගන්න සහ පිරිමියෙක්ට ඇහුම්කන් දෙන්න බැරි වෙච්ච තැන්වලදී...... පිරිමි හදවතක තෙත් සහ වියළි තැන් සමාජයට අඳුනාගන්න බැරි වෙච්ච තැන්වලදී.
ආදරය ප්‍රේමය සහ ලිංගිකත්වය කියන මනෝභාවයන් ළඟ පිරිමියෙක් කියන්නේ කොහොම දඩයක්කාරයෙක්ද?
හරි ස්වභාවික දඩයක්කාරයෙක්. රොමාන්තික ප්‍රේමණීය හිතුවක්කාර දඩබ්බර දඩයක්කාරයෙක්.... ඔව් ඒක එහෙමයි..... දඩයක්කාරයෙක් කියන්නේ හඹා යන්නෙක්..... ප්‍රේමය කියන කාරණාව ගත්තම ආදරය කියන කාරණාව ගත්තම පිරිමියෙකුට පුළුවන් ගැහැනියක් දැකීමෙන් උද්දීපනය වෙන්න.... ඒත් මට හිතෙන්නෙ ගැහැනියක්ව පුබුදන්න ගැහැනියකට ස්පර්ශයක් අවශ්‍යයි...... ජීව විද්‍යාත්මකව ගත්තම පිරිමියෙක්ගේ පිරිමි දඩයම් ගැහැනියකගේ ඉල්ලා හිඳීම්වලට වඩා හුඟක් වෙනස්.......
සැප්තැම්බර් තුළ බුද්ධික අධ්‍යක්ෂණය සහ රඟපෑම එකවර දෙවුර දරාගන්නවා...... ඒ රඟපෑම තුළ ඔබ ඔබවම අධ්‍යක්ෂණය කරනවා...... එය සුන්දර තරමට සරලද කියන්න මම දන්නෑ..... ඇත්තටම ඒක කොහොමද?
ආහ්....... එක මම වින්ද සුන්දරම අත්දැකීමක්.... හොඳ නළුවෙක් පිටුපස හොඳ අධ්යක්ෂවරයෙක් ඉන්නවා... හොඳ අධ්යක්ෂවරයෙක් තුළ හොඳ නළුවෙක් ඉන්නවා...... ඒක ලෝකයේ පිළිගත්ත න්‍යායක්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ හැම අධ්‍යක්ෂවරයෙක්ම නළුවෙක් සහ හැම නළුවෙක්ම අධ්යක්ෂවරයෙක් කියන එක. රංගනය සහ අධ්‍යක්ෂණය තුළ ආත්මීයව බැඳෙන්න බැඳෙන්න එහි ගැඹුරටම කිඳා බහින්න කිඳා බහින්න වපසරිය පුළුල් වෙන්න පුළුල් වෙන්න හමුවන දෙයක් තමයි ඒ......මම වාසනාවන්තයි කියලා මට හිතෙනවා... මට මා තුළ ඉන්න නළුවා වගේම මට මා තුළ ඉන්න අධ්යක්ෂවරයා හමුවුණා...... සැප්තැම්බර් තුළ මට අධ්යක්ෂ සහ නළුවා වෙන්න මාත් එක්ක වැඩ කරපු මට වතුර ටික දුන්න තේ කෝප්පය දුන්න කෙනාගේ ඉඳන් හැම කෙනෙක්ම දක්වපු සහයෝගයට බුද්ධික ජයරත්න මේ වෙලාවේ හදවතින්ම ස්තුතියි කියනවා. මාව තේරුම් ගත්ත අමුතුම ලස්සන හදවතක් තියෙන මගේ නිෂ්පාදක රවීට මම හදවතින්ම ස්තුතියි කියනවා.... රවි හරිම සුන්දර මනුස්සයෙක්. වෙනස් මනුස්සයෙක්. ඇත්තටම බුද්ධිකට හුඟක් තේ බොන්න ඕනේ... මට බඩගින්නක් දැනුනම තේකක් බීවා ම ඒක හරි...... ඉතින් මට ඕනෙ හැම වෙලාවකම ඒ තේ එක මට ලැබුණා.... මට අයිස් වතුර බොන්න ඕනේ...... කවදාවත් නිදහසට හේතු නොකියා කොහේ හරි ගෙදරක ශීතකරණයක හරි කූල් වෙන්න වතුර බෝතල් දෙකක් දාලා මට ඕන අයිස් වතුර ටික මගේ උන් මට ගෙනත් දුන්නා..... මම සැප්තැම්බර් තුළ අධ්යක්ෂ සහ නළුවෙක් වෙන්න ඒ දක්වපු හැම සහයෝගයක්ම පුදුම හයියක් වුණා....... ඉතින් දෙවෙනි වතාවටත් මම හදවතින්ම ස්තුතියි කියනවා මාත් එක්ක ඒ හැම තත්ත්පරයක්ම බෙදා ගත්ත හැම කෙනෙකුටම.. මම පටන් ගත්ත සැප්තැම්බර්, මගේ සැප්තැම්බර් අපි පටන් ගත්ත සැප්තැම්බර් සහ අපේ සැප්තැම්බර් වුණේ එහෙමයි.
බුද්ධිකටම හරියන සහය අධ්‍යක්ෂවරයකුත් හම්බවෙලා තිබුණා ....
ඔව් ඒ ගැලපීම නියම ගැලපීමක්.. සරත් සේනාරත්න කියන ප්‍රවීණ සහය අධ්යක්ෂවරයා දුන්න සහයෝගය වචනයෙන් කියන්න බැරි තරම්. රඟපෑමේදී මම හදාගන්න ඕන තැනක් අනික් නළු නිළිෙයා් මම අධ්යක්ෂ නිසා වෙන්න ඇති මට කියන්න ටිකක් පැකිලුණා... මට කියන්නෙ නෑ.... ඒත් මගේ සහය අධ්යක්ෂවරයාට ආත්ම ශක්තියක් තිබුණා ඒක මට කෙලින් කියන්න.. මගේ පුංචි වැරැද්දක් හරි හරි ගස්සවන්න... බුද්ධික මෙතනදි මෙහෙම කරමු කියන්න....... ඒ සහයෝගය ඒ බැඳීම ඒ හයිය මම වචනවලින් කියන්නේ නෑ.. සැප්තැම්බර් බලපු දවසක තීරණය කරන්න
අවුරුදු විස්සකට පස්සේ දෙවැනි වතාවට බුද්ධික අධ්යක්ෂවරයෙක් වෙනවා... දැනෙන්නෙ කොහොමද ඒ වින්දනය.....
එක පපුවටම දැනෙන වින්දනයක්... දේදුණු වැස්සෙන් අවුරුදු විස්සකට පස්සේ මම ලබපු අත්දැකීම් මාව එතෙන්ට ගෙනාවා කියලයි මට දැනෙන්නේ.
බුද්ධික..... ප්‍රවීණත්වය ඔබ කොහොමද නිර්වචනය කරන්නේ?
ප්‍රවීණත්වය මනින මිනුම් දණ්ඩ කියන්නේ ක්ෂේත්රයේ රැඳිලා හිටපු අවුරුදු ගාණවත් කරපු නිර්මාණ ගණන සංඛ්‍යාත්මකව කොච්චරද කියන එකවත් නෙවෙයි.... පළමු නිර්මාණය තුළ ප්‍රවීණත්වය ඔප්පු කරන්න නළුවෙකුට නිළියෙකුට අධ්‍යක්ෂවරයෙකුට මේ ආදී වශයෙන් ඕනෑම කෙනෙකුට කලාව තුළ පුළුවන් කියන තැනයි මම ඉන්නේ..... ප්‍රවීණත්වය යනු වයස හෝ කාලය අනුව තීරණය කරන දෙයක් හෝ තීරණය විය යුතු දෙයක් නෙවෙයි.... හැකියාව වර්ණය සහ අත්දැකීම් ග්‍රහණය කරගන්නා පරාසය මත තීරණය විය යුතු දෙයක් කියන එක තමයි මගේ නිර්වචනය සහ විශ්වාසය.
කොහොමද බුද්ධික රංගනය තුළදී ඕනෑම චරිතයක හද ගැස්මත් එක්ක මෙච්චර යා වෙන්නෙ..... මම අහන්නෙ බුද්ධික ඔයා කොහොමද බුද්ධික ජයරත්නව අත්හරින්නෙ ?
ඒක හරි සරල න්‍යායක්... පිරිමියෙකුට පුළුවන් ගැහැනියෙක්ට සෙක්ස් කරන්න.. ඒත් හැම පිරිමියෙකුටම බැහැ ගැහැනියකට දැනෙන්න 'සෙක්ස්' කරන්න... මේ ලෝකයේ හැම දේකම විද්‍යාවක් තියෙනවා. ඒ විද්‍යාව හඳුනා ගත් තැන න්‍යාය හමුවෙනවා. එතකොට මේ ලෝකේ කිසිම දෙයක් අරුමයක් හෝ මැජික් එකක් නෙමෙයි. මට ඒ න්‍යාය හමුවුණා. යම් චරිතයක් තුළදී මම අඬන්න ඕනෙනම් මම වේදනාවෙන් ඉන්න ඕනෑ නම් මම සතුට විඳින්න ඕනෑ නම් මට ආදරය ප්‍රේමය හෝ 'සෙක්ස්' විඳින්න ඕනෑ නම් මම අඬවන්න ඕනෑ ඒ සියල්ල විඳින්න ඕනෑ හෝ විඳවන්න ඕනෑ මට දැනෙන්න විතරයි. මට ඒ කිසි දෙයක් ප්‍රේක්ෂකයන්ට දනවන්න ඕනෑ කියන තැන ඉඳන් ඒ භාවයන් තුළ හෝ විඳීම් තුළ සැරිසරන්න ඕනෑ නැහැ.. මට පුළුවන් නම් ඒ සියල්ල මට දැනෙන්න දනවන්න ප්‍රේක්ෂකයන්ට ඒ දේ නිරායාසයෙන් දැනෙනවා... බලහත්කාරයෙන් තව කෙනෙක් අඬවන්න හෝ තව කෙනෙක්ට දනවන්න හෝ නිවේදනය කරන්න හෝ සම්ප්‍රේෂණය කරන්න මම වෙහෙසෙන්නේ නෑ...... මට දැනෙනවා නම් මම දන්නවා දැනිය යුතු සියල්ලන්ට එය දැනී හමාරයි කියලා..... ඒ තමයි රංගනය තුළ මම හඳුනාගත් න්‍යාය....... මම බුද්ධික ජයරත්නව අත්හරින තැනත් එතනමයි.... අාධ්යාත්මිකව සහ භෞතිකව මම තව කෙනෙක් වෙච්ච තැන තවදුරටත් මම නෑ...... ඔබ කියන විදිහට මම චරිතයක් තුළ දැනෙන්න ඔබ හා රැඳෙනවා නම් ඒ රැඳෙන්නේ මේ සියලු සිද්ධාන්ත තුළ.
රවී - බුද්ධික හමුවීමේ අතීත කතාව මොකක්ද?
රවී රොද්‍රිගෝ කියන නිෂ්පාදකවරයා හරි සුන්දර හරි වෙනස් මනුස්සයෙක්.. එයා කාලයක් මාව හඳුනා ගනිමින් හිටපු කෙනෙක්... ඒ උත්සාහය තුළ මට හමුවූ කෙනෙක්. එයාට ඕනෑ වුණා මාත් එක්ක ලස්සන වැඩක් කරන්න.. වෙනස් දෙයක් කරන්න. නිර්මාණශීලී දෙයක් කරන්න... සැප්තැම්බර් හා වැඩ කරපු හැම කෙනෙක්ටම රවී රුපියලක් හරි වැඩියෙන් දුන්නා මිසක් රුපියලක්වත් අඩුවෙන් දුන්නේ නෑ... හැම කෙනෙක්ගෙම දාඩිය මහන්සිය වියලෙන්න ඉස්සර හැම කෙනෙක්ටම දෙන්න ඕන මූල්‍ය වටිනාකම රවී දීලා ඉවර කළා .... ලාංකික සිනමා ක්ෂේත්රයට රවී වගේ නිෂ්පාදකවරු අවශ්‍යයි.... ඇත්තටම අවශ්‍යයි නෙමේ අත්‍යවශ්‍යයයි.. රවී කියන්නේ අපි ආරක්ෂා කරගත යුතු නිෂ්පාදකවරයෙක්.. රැක ගතයුතු සුන්දර මනුස්සයෙක්.......
බුද්ධික කියන පිරිමියා තේරුම් ගන්න බුද්ධික කියන පිරිමියාගේ ජීවිතය හා විවිධ විදිහට ගැටගැහිච්ච ගැගැහැනුන්ට පුළුවන් වුණා කියලා බුද්ධික හිතනවද? පිරිමින්ට පුළුවන් වුණා කියලා බුද්ධික හිතනවද?
මගේ පෙනුම දිහා බලලා මාව විනිශ්චය කරපු සමහර අය මාව දැක්කේ හරි රළු මිනිහෙක් විදිහට. මාව දැක්කේ සල්ලාලයෙක් විදිහට. මගේ අම්මා හැරෙන්න මගේ පෙනුම තුළ ජීවත්වෙන මනුස්සයා සහ පිරිමියා හොඳින්ම තේරුම් ගත්ත වෙන කෙනෙක් ඉන්නවද කියන එක මම තාමත් හිතමින් ඉන්නවා. මට තියෙන්නෙ හරි සංවේදී හිතක්. පුංචි දේකටත් කඳුළු උනන ඇස් දෙකක්.... මගේ පපුවට ළං වෙලා මාව තේරුම් ගත්ත ගෑනු සහ පිරිමි දන්නවා මම කොච්චර සංවේදී මනුස්සයෙක්ද කියලා.... මිත්‍රත්වය තුළ මම කොච්චර අවංකවම මිත්‍රයෙක්ද කියලා... එත් මට මගේ ගැන ලෝකයට කියන්න වුවමනා නැහැ...... මාව අඳුරගන්න මාව දකින අය මගේ ළඟ රැඳුනම මට ඇති... හැබැයි මට ආදරේ කරපු කිසිම ගැහැනියක් ද්වේශ සහගත විදිහට මට දරාගන්න බැරි විදියට කවදාවත් මාව රිද්දුවේ නෑ... ඒ විදිහට රිදවලා මාව අත්හැරියේ නෑ. අත්හැරපු තැන්වලදිත් ඒ අයට සමහරවිට මාව දැනෙන්න ඇති .... අත්හැරපු තැන්වලත් ආයෙ ආයෙත් මාව හොයන්න ඇති.... එහෙම වෙන්නත් ඇති නොවෙන්නත් ඇති. මට හිතෙනවා මගේ රස්තියාදුකාර සල්ලාල පෙනුම සොබාදහම මාව ආරක්ෂා කරන්න මට දුන්න දෙයක් කියලා. මගේ ඇතුළෙ ඇත්තටම හුස්ම ගන්න ආදරණීය සංවේදී මනුස්සයා ඒ පෙනුම තුළින් ආරක්ෂා කර රැක ගන්න තැන් තියෙනවා.... මම ඇත්තටම රස්තියාදුකාරයෙක්.. හැබැයි සොඳුරු රස්තියාදුකාරයෙක්... මාව හොඳ නළුවෙක් කරන්න ඒ රස්තියාදුව පුදුමාකාර හයියක් වුණා....... නාහෙට නාහන මම උපාධිය ගත්තේ විශ්ව විද්‍යාලයකින් නෙමෙයි ඒ රස්තියාදුවෙන් සහ සමාජ අත්දැකීම් වලින්. සල්ලාල රස්තියාදුකාර පෙනුම ඇතුළේ ඉන්න සංවේදී ආදරණීය රස්තියාදුකාරයා හඳුනාගත්ත දැනිච්ච මිනිස්සුන්ගේ ආදරය මට ඇති........ ඉන් එහා මම මාව නිර්වචනය කරන්නෙ මොකටද?
• සංජීවිකා සමරතුංග