ප්‍රේමණීය ප්‍රේමයකින් ජීවිතය දරාගත් බන්ධන අතර සිනමාවත් එක් බන්ධනයක් වී නම්! ඒ ඔස්සේ විඳිනු ලබන ආත්මීය වින්දනය සහ ගැඹුර ජීවිතයේ මාතෘකාවන් අතර සෞන්දර්යාත්මකම ප්‍රස්තුතයක් වී නම්...
එනයින් බොහෝ දේ බොහෝ විට සුන්දරය. දැනෙන්නටම නොදැනෙන තැන් විරලය. හිස්තැන්ද පිරිපුන්ය. එවන් පූර්විකාවක් ආචාර්ය සුමින්ද ලොව් හා කතාබහේ අවසන මට සිත් වූයේ ඔහු හුදෙක් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පමණකැයි නොසිතෙන හෙයින්මය. සිනමාමය ආලයක් තවරාගත් ඇල්මකින් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස සිනමාවට අවතීර්ණව චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස දිගු ගමනක සමාරම්භය සනිටුහන් කරන්නට බලාපොරොත්තු පූර්ණව බලා හිඳින සුමින්ද යනු සාර්ථක ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකි. ඉතින් මේ සියල්ල අතරෙහි සුමින්ද නිෂ්පාදන කර්තව්‍යයට දායක වූ හොරා අංකල් ළමා චිත්‍රපටය දින සියය සම්පූර්ණ කළ මොහොතේ දැනෙන සතුට සහ සිනමාමය ප්‍රේමය මගේ කතාබහේ මාතෘකාවයි.
දින සියය සාර්ථක ලෙස පසුකළ චිත්‍රපටයක නිෂ්පාදකවරයකු වීමේ සතුට හෝ දැනෙන වෙන යම් හැඟීමක් වෙත්නම් කොහොමද සුමින්ද ඔබට එය දැනෙන්නෙ?
චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස මම දායකත්වය ලබාදුන් පළමු සිනමා නිර්මාණය තමයි හොරා අංකල්. වේදිකා ටෙලිනාට්‍ය හා සිනමා නළු සමන් අලංකාරත් සමඟ මම හොරා අංකල් චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය ලබා දෙද්දී මෙම චිත්‍රපටය රටේ මිනිස්සුන්ට මතක හිටින නිර්මාණයක් හැටියට එය සමාජගත කළ යුතුයි කියන එක මගේ අපේක්ෂාව වුණා. හොරා අංකල් චිත්‍රපටය තුළින් එය ඉටුවීම මට මේ මොහොතේ, එම චිත්‍රපටය දින සියය පසුකරන මේ මොහොතේ දැනෙන්නේ පුදුමාකාර සතුටක් විදිහට. ඇත්තටම ලංකාවේ චිත්‍රපටයක් දින සියයක් තිරගත වීම කියන්නෙම ජයග්‍රහණයක්. චිත්‍රපටයක් ඒ විදිහට තිරගත වෙනවනම් ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙනවනම් තමයි එම කර්මාන්තය හා බැඳුණු පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබන්නෙ හෝ යැපෙන්නෙ.
ඔබ ව්‍යාපාරිකයෙක්. ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක්. නමුත් ඒ ව්‍යාපාර සහ සිනමාව හා සම්බන්ධ ආයෝජකයෙක් වීම තුළ ව්‍යාපාරික භූමිකාව මම විශ්වාස කරන්නෙ ඔබ ලද වෙනස් සහ සුවිශේෂී අත්දැකීමක් විදිහට. කොහොමද සුමින්ද එය ඔබට දැනෙන්නෙ?
මම වෘත්තිමය වශයෙන් නීති නිලධාරියෙක්. ඒ වගේම ඔබ කියූ පරිදි තවත් ව්‍යාපාර කිහිපයක් මම මෙහෙයවනවා. ඇත්තටම චිත්‍රපට නිෂ්පාදකයෙක් වීමේ භූමිකාව ඒ සියල්ලටම වඩා වෙනස්. පුද්ගලයෙක් විදිහට ගත්තොත් මම රාමුවෙන් ඔබ්බට (out of box) හිතන්නෙ. පුංචි කාලයේ ඉඳන්ම චිත්‍රපට නරඹන්න, විඳින්න, ඒ හා සැරිසරන්න මට තිබුණු කැමැත්ත හා ආසාව කවදාවත් මගෙන් අත්හැරුණෙ නෑ. ඉන්දියානු චිත්‍රපට සීයක් බැලුවොත් ඒ සීයෙන් අනූවක්ම රටේ සුබසිද්ධිය, රටේ යහපත, මිනිසුන්ගේ සමාජයේ සංවර්ධනය සහ අභිවෘද්ධිය, රට හොඳ මාර්ගයක යන්න ඕනෑ කියන පණිවිඩ ප්‍රස්තුතය තුළ දරාගත් සිනමා නිර්මාණයි. මම හිතන්නෙ ඇයි අපිට අපේ සිනමාව ඔස්සේ මේ දේ කරන්න බැරි. මම නිෂ්පාදකවරයෙක් විදිහට හිතන දේ තමයි නිර්මාණයක් වෙනුවෙන් ආයෝජනයක් කළ යුත්තේ හුදෙක් ලාබ ලැබීමේ අරමුණින් නෙවෙයි කියලා. එහෙත් අඩුම තරමේ අපි කරන නිර්මාණයෙන් ප්‍රයෝජනයක් සමාජයට හෝ යා යුතුයි. ඇත්තටම ව්‍යාපාරිකයෙක් විදිහට හිතුවොත් ලාභයක් ලැබීම සතුටක්. නමුත් පාඩුවකුත් ලබලා සමාජයටත් ප්‍රතිලාභයක් නැතුව තිබුණොත් ආකල්පමය වශයෙන් යහපත් හා ගුණාත්මක බලපෑමක් නිර්මාණය ජනගත වීම ඔස්සේ සමාජයට කළ නොහැකිනම් එවැනි නිර්මාණයක් කිරීමේ ඇති ඵලය කුමක්ද? පෞද්ගලිකව මම ඉන්නෙ ඒ ස්ථාවරයේ.
ඔබ නිෂ්පාදන දායකත්වය ලබා දුන්න පළමු චිත්‍රපටයෙන්ම ඔබ කියූ පරිදි ඔබ විඳි ධනාත්මක සතුට ඔබ තවදුරටත් චිත්‍රපට නිෂ්පාදක භූමිකාවේ දිගුකාලීනව රඳවන්න උත්තේජයක් වී ඇති බව දැනෙනවාද? හැඟෙනවාද?
ඔව්... චිත්‍රපට නිෂ්පාදකවරයෙක් කියන භූමිකාවට සමුදෙන්න හෝ එයින් ඈත්වෙන්න මේ මොහොතේ මට කිසිදු තීරණයක් නෑ. හොඳ අර්ථපූර්ණ සිනමා පිටපත් එක්ක මම ඉදිරියටත් චිත්‍රපට නිෂ්පාදක භූමිකාවේ කටයුතු කරන බව මට විශ්වාසයි. මා මේ ක්ෂේත්‍රයට යොමුකළ සමන් අලංකාර වැනි අව්‍යාජ මිත්‍රයන් ඇසුරේ මගේ දායකත්වය විවිධ ප්‍රවේශ ඔස්සේ මේ ක්ෂේත්‍රයට මම ලබාදෙන බව මට විශ්වාසයි.
එතරම්ම ප්‍රබල පෙළඹවීමක් ඔබ තුළ ජනිත කරන්න ඔබේ පළමු සිනමා නිෂ්පාදනයට හැකියාවක් ලැබුණා යැයි ඔබ විශ්වාස කරන සියුම් තැන් මොනවද?
හොරා අංකල් චිත්‍රපටයේ ප්‍රස්තුතය කේන්ද්‍රීයව එය සිනමාමය ප්‍රවේශය තුළ ගොඩනගා තිබූ ආකාරය හරි සංවේදීයි සහ හරි වින්දනීයයි. හොරා අංකල් බලලා අඬපු දරුවන්, හැඟීම්බරව කතා කරපු, අඬපු මව්පියන්, ගුරුවරුන්, විශේෂයෙන් පෙර පාසල් ගුරුවරුන් මට හමුවුණා. එය හරිම සංවේදී අත්දැකීමක්. මම මගේ මල්ලි එක්ක අම්බලන්ගොඩ සිනමා ශාලාවකට ගිය වෙලාවේ එක දියණියක් හොරා අංකල් චිත්‍රපටය නරඹලා එයාගේ අවංකම හැඟීම කියද්දි ඒක අහපු මම අතිශය සංවේදී වුණා. ඒ දුව කීවා එයාගේ තාත්තා ඉන්නෙ රට. එයාට දැනුණෙ එයාගේ අම්මා එයා වෙනුවෙන් කරන සියල්ල විතරයි. ඒත් මේ චිත්‍රපටය නරඹපුවම තාත්තා කෙනෙක්ගෙ වටිනාකම, තාත්තා කෙනෙක්ගේ ආදරය දැනුණා කියලා. මමත් දුවලා දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්. මගේ දුවලා දෙන්නටත් මගේ ව්‍යාපාර නිසා මා හා ගැවසෙන්න ලැබෙන අවස්ථා ගිලිහී යනවා. ඒත් මගේ සහ එයාලගේ ආදරය කොන්දේසි විරහිත ආදරයක්. ඒ දුව එහෙම කියද්දි මගේ දුවලා දෙන්නා මගේ මතකයට ආවා. තාත්තා කෙනෙක් විදිහට ඒ මොහොතේ මම අතිශය සංවේදී සහ හැඟීම්බර වුණානම් මම හිතුවා තව තාත්තලා කී දෙනෙකුට මේ චිත්‍රපටය බලලා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණ අර දුවගේ වීඩියෝව බලලා එහෙම හැඟීම් දැනෙන්න ඇද්ද කියලා.
චිත්‍රපට සමඟ යා වූ ඔබේ ආදරයේ ඇරඹුම අපේ ඊළඟ මාතෘකාවයි...
මම පුංචි කාලේ ඉඳන්ම හරිම ආසයි චිත්‍රපටවලට. මගේ සීයා පප්පා එක්ක, අප්පච්චි එක්ක මම හුඟාක් චිත්‍රපට බැලුවා. මගේ ලංකාවේ ගෙදරත් පිටරට ගෙදරත් ඇත්තටම හරිම ප්‍රමිතිගත විදිහට චිත්‍රපට බලන්නම තැනක් හදාගෙන තියෙන්නෙ. මොකද චිත්‍රපට නැරඹීම මගේ විනෝදාංශයක්. මම සිනමාවට ඇත්තටම ආදරෙයි. විවිධ රටවල විවිධ සිනමා සංස්කෘතින් හදවතින්ම ස්පර්ශ කරපු සහ කරමින් හිඳින ඒ තුළ ගැඹුරු වින්දනයක් ලබපු සහ ලබන කෙනෙක් මම. මගේ අප්පච්චි, මාමාත් එක්ක මීට අවුරුදු 30 කට ඉස්සර Dilwale Dulhania Le Jayenge බලලා තියෙනවා. අදටත් ඒ බලපු සිනමා ශාලාවෙම අවුරුදු 30 ක් තිස්සේ ඒ චිත්‍රපටය පෙන්නනවා. මිනිස්සු බලන්න එනවා. ඒ චිත්‍රපටය එහි පෙන්වන බව දැනගෙන දුර පළාත්වල සිටත් මිනිස්සු එනවා. එය ඇසීමත් වින්දනයක්. ඒ තරම් මම ආදරෙයි සිනමාවට.
විශ්වීය සිනමාව හා යාවෙන තැනකට ලාංකික සිනමා කෘති රැගෙන යාම ඇයි අපිට මේ තරම් ගැටලුවක් වී තියෙන්නෙ?
ලාංකික සිනමාවට මම මේ මොහොතේත් සරල ආධුනික මනුස්සයෙක්. ඒත් මගේ අවංක හැඟීම තමයි අපි යම් ක්ෂේත්‍රයක ඉන්නවා. ඒ ක්ෂේත්‍රය ගැන නිසි විධිමත් හැදෑරීමක් සහ විශ්වීය ප්‍රවණතා හා යාවත්කාලීන වීමක් අවශ්‍යයි. එහෙත් එය සිදුවීම අඩුයි. අපේ සිනමා ක්ෂේත්‍රය තුළ දක්ෂයන් ඉන්නවා. ඒත් ඒ ඇතැම් අය තමන් දක්ෂයි කියන පූර්ණ නිගමනය උඩ තමන්ගේ රාමුවෙන් පිට චින්තනයකට හෝ හැදෑරීමකට යන්නෙ නෑ. මම එය දකින්නෙ අපරාධයක් විදිහට. මම නරඹපු ලෝකයේ හුඟාක් හොඳ චිත්‍රපටවල මම දැකපු ලක්ෂණයක් තමයි ඒ චිත්‍රපටයේ ඉන්න චරිත සමුදාය අතරේ අපේ ආධ්‍යාත්මය හා ගැඹුරටම බැඳුණු චරිතයක් එනවනම් ඒ චිත්‍රපටයට අපි ඇළුම් කරනවා. නිෂ්පාදකවරයාට, අධ්‍යක්ෂවරයාට, කැමරා ශිල්පීන්ට සහ චිත්‍රපටය හා සබැඳි අදාළ හැම දෙනාටම පුළුවන් නම් චිත්‍රපටය නරඹලා අවසන් වෙන ප්‍රේක්ෂකයා ඇඟ හිරිවැටෙන මට්ටමකින් සිනමා ශාලාවෙන් එළියට දාන්න, අපි හරි වාසනාවන්තයි.
ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනොනැගෙන්න ප්‍රස්තුතමය අතින් සහ නිර්මාණාත්මක ප්‍රයෝගයන්ගෙන් බහුතරයක් චිත්‍රපට දුප්පත් වීම ප්‍රබල හේතුවක් ලෙස ඔබ දකිනවද?
ලංකාවේ සීයට අනූවක්වත් හින්දී, දමිළ, මලයාලම් චිත්‍රපට බලපු මිනිස්සු ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙම බලලා රසඥතාවක් ඇති කෙනෙක්ට ලංකාවේ සිනමා ශාලාවකට ඇවිත් චිත්‍රපටයක් බලන්න හිතෙන්න ඒ චිත්‍රපටයේ ගුණාත්මකභාවය ඒ ආසන්නයේ හෝ තියෙන්න ඕනෑ. අපේ රටේ දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන්, දක්ෂ අධ්‍යක්ෂවරුන් වගේම හොඳ නිර්මාණවලට බරපැන දරන්න කැමති නිෂ්පාදකවරු ඉන්නවා. ඒත් මේ සියලු දෙනාගේ සංකලනයේ හෝ නැත්නම් කවර හෝ පාර්ශ්වයක් නිසා අපි හිතන තරම් සුන්දරව අපේ චිත්‍රපට එළියට එන්නෙ නෑ කියලා මට හිතෙනවා.
නිර්මාණශීලී චින්තනයෙන් සන්නද්ධ, පෙනෙන දෙයින් එහාට යමක් දකින, හොයන, කියවන සහ සොයා යන, කැපවීම සහ ආදරය දෙවුර දරාගත් මිනිසුන් සමූහයක් සේම ප්‍රතිපත්තියක් හා ක්‍රමවේදයක් සිනමාවට අවශ්‍ය බව මට හැඟෙනවා. මට දැනෙනවා. ඔබට?
ඇත්තටම ඔව්... ක්‍රමවේදයක් අවශ්‍යමයි. ප්‍රතිපත්තියක් අවශ්‍යමයි. ඔබ කී සියල්ල අවශ්‍යයි. චිත්‍රපටයක් නිර්මාණය කරලා වසර දහයකට ආසන්න සංඛ්‍යාවක් සිනමා ශාලා වෙත මුදාහරින්න නොලැබීම් අපි දකිනවා. එතෙන්දි ප්‍රබලම ගැටලුවකට නිෂ්පාදකවරයා මුහුණ දෙනවා. තවත් නිෂ්පාදන කර්තව්‍යයකට නිෂ්පාදකයෙක් යොමු නොවීමට මුදාහැරීම සම්බන්ධ විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම ප්‍රබල හේතුවක්. සිනමා නිෂ්පාදකවරුන් රැකගැනීම මේ ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා අත්‍යවශ්‍යම දෙයක්. ක්ෂේත්‍රයේ සියල්ලන්ටම අවස්ථා සමබර විය යුතුයි. සාධාරණ විය යුතුයි. ඒ වගේම නිෂ්පාදකවරයෙක් එතෙන්දි විඳින මානසික ආතතිය, පීඩනය ගැන කවුද කතා කරන්නෙ. මේ සියල්ලට ප්‍රායෝගික සහ බුද්ධිමත් විසඳුම් අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තියක්, රාජ්‍ය මැදිහත්වීමක් සහ සවිබල ගැන්වුණු චිත්‍රපට සංස්ථාවක ප්‍රායෝගික මැදිහත්වීම ලාංකික සිනමාවට අවශ්‍යයයි.
• සංජීවිකා සමරතුංග