2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ආදරෙයි නම් මට-මම වෙන්න ඉඩදෙන්න - Dananji Tharuka

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

ධනංජි... ආදරය කියන දේ ඔයාට දැනෙන විදිහ කියන්න. ආදරේට නිර්වචනයක් දෙන්න?

මට හිතෙන විදිහට ආදරය කියන්නෙ ඉවසීම, පරිත්‍යාගය, කැප කිරීම, දරා ගැනීම, කියන මේ සියල්ලම එකතු වුණු තැනයි. ඒ ආදරය මුලින්ම ඇතිවෙන්නෙ අම්මගෙන්. එතැන් සිට අපි විවිධ විදිහට, විවිධ ප්‍රාණ හා අප්‍රාණ දේවල්වලට ආදරය කරනවා. හැබැයි මම මුලින්ම කියපු දේවල් ආදරය තුළ තියෙනවා.

ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?

ආදරය නිසා මගේ ජීවිතයට බොහෝ වටිනාකම් ලැබිලා තියෙනවා. මම ඉපදුණු දවසේ ඉඳන් අම්මාගෙන් තාත්තාගෙන් ලැබුණු ආදරය නිසා අද මේ විදියට ජීවත් වෙනවා. තාමත් ඒ ආදරය වෙනස් නොවී තියෙනවා. සමහර අයට ඉපදුණු දවසේ ඉඳන් දෙමව්පිය ආදරය නොලැබුණු අවස්ථාත් තියෙනවා. නමුත් මගේ අම්මාගෙන් තාත්තාගෙන් ඒ ආදරය ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ අතරේ මට වඩා වැඩිමල් සහෝදරියක් ඉන්නවා. එයාගේ ආදරය, රැකවරණය අදටත් ලබන්න මම පින් කරලා තියෙනවා. පුංචි කාලේ ඉඳන් ලැබුණු ඒ ආදරය අදටත් ලැබෙනවා. ඔය අතරේ තමන්ගේ දක්ෂතා පෙන්නලා තමන් ආසා කරන දේවල් කරන්න මට ලැබුණා. ටිකෙන් ටික ඉස්සරහට යද්දී හැම තැනකදීම ලබන ආදරය හරි වටිනවා. මේ හැම ජයග්‍රහණයක්ම ලැබුණේ ඒ ආදර කතා නිසයි.

ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?

මම මුලදිත් කිව්වනේ ආදරය කියන්නෙ ඉවසීම, කැප කිරීම, පරිත්‍යාගය, දරා ගැනීම කියලා. ඉතින් ආදරය නිසාම සමහර වෙලාවන්වලදී පරිත්‍යාගයක් කරන්න සිදුවෙලා තියෙනවා. ආදරය නිසා අත්හැරීම් කරන්න සිදුවෙලා තියෙනවා. ඒක කරන්න සිදුවුණේ තමන්ට ලැබෙන ආදරය නිසාම නෙවෙයි. අනිත් කෙනා ගැනත් හිතලයි. ඒ හැම කෙනා ගැනම හිතලා සමහර විට ආදරය කියන දේ අත්හරින්න සිදුවෙලා තියෙනවා. එයින් හිත් රිදීම් ඇතිවෙන්නත් පුළුවන්.

ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?

මට හිතෙන විදිහට ආදරේදී රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ ඉවසීමයි. ඒ වගේම නිහඬ බවත්, ගැටෙන්න නොයාමත් එය දරාගන්න හොඳම විදිහයි. යම් තැන්වලදී පාළුව, තනිකම දැනුණා. ඒ හැමදේම එක්ක මම කොහොම හරි ආදරය නිසා ඒ හැමදේම දරා ගත්තා.

ධනංජි... නිළියක් විදියට ලැබෙන ප්‍රේක්ෂක ආදරය හුඟාක් සංවේදීව දැනුණු තැන් තියෙනවද?

ඔව්... එහෙම හිතට දැනුණු තැන් තිබුණා. සමහර තැන්වලදී අපි කරපු චරිතත් එක්ක ප්‍රේක්ෂකයන් ඒ චරිතවලට පුදුම විදිහට විශ්වාස කළා. ඒ චරිත තුළින් අපිව දැකපු තැන් තිබුණා. ඒ තැන්වලදී මම ළඟට ඇවිත් කතා කරද්දී, ඒ චරිත අගය කරද්දී සංවේදී වෙලා තියෙනවා. සමහර වෙලාවට අපි කරපු නපුරු චරිත වුණත්, ඒකෙන් ප්‍රේක්ෂකයන්ට තරහක් ආවත් ඔවුන් අපි එක්ක හරිම සුහදව ඒ චරිත ගැන කතා කරනවා. ඒ හැම තැනකදීම ඔවුන් අපිට දක්වන ආදරය නිසා සංවේදී වෙන තැන් බොහොමයක් ජීවිතේ තියෙනවා.

ආයෙත් බලන්න ආසා හිතුණු ආදරණීය චිත්‍රපටයක් තියෙනවද?

ඔව්... එහෙම චිත්‍රපටයක් තියෙනවා. ඒ “චාලි”‍ චිත්‍රපටයයි. ඒක හරිම ආදරණීය, සංවේදී චිත්‍රපටයක්. ඒ කතාව ඇතුළෙ තියෙන්නෙත් ආදරයමයි. ආදරය මනුස්සයකුගෙන්ම වෙන්න ඕනෑ නැහැ, ඒ ආදරය සතෙකුගෙන් වුණත් ලැබෙන්න පුළුවන්. චාලි චිත්‍රපටය හත් අට වතාවක්ම බලලා තියෙනවා. සමහර තැන් මම නැවත නැවතත් බලපු අවස්ථා තියෙනවා. චාලි හිම බලන්න යන්න ආසා කළා. අන්තිමට එයාව එහෙම තැනකට ගෙනිච්චාම චාලි හිම ගොඩේ සෙල්ලම් කරපු හැටි, චාලිගෙ ඒ සතුට නැවත නැවතත් මම බැලු‍වා. ඒ චිත්‍රපටය මුලින්ම බලපු වෙලාවේ මගේ ඇස්වලට කඳුළු ආවා. ඒක හරිම සංවේදී කතාවක්.

විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දී වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?

මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලෙදියි. ඒ වෙද්දී මම සාමාන්‍ය පෙළ කරනවා. ඒ ආදරය හරි ෂෝක්. ඊට කලින් ඉඳන්ම එයා මම ගැන හොයලා තිබුණා. මම දිහා බලාගෙන ඉඳලා තියෙනවා. හැබැයි කාලයක් නොකියා හිටියා. අද තියෙන ප්‍රේම සම්බන්ධතාවලට වඩා අපේ කාලේ තිබුණු ප්‍රේම සම්බන්ධතාවල රසය වැඩියි. ඒ කාලේ දුරකථන ඇමතුම් දෙන්න අපිට දුරකථන තිබුණේ නැහැ. අපි මරාගත්තෙ නැහැ. ඒ කාලේ ආදරය කළේ ලියුම්වලින්. එහෙම නැත්නම් පාරේ තියෙන දුරකථන කාසි පෙට්ටිවලට රුපියල් දෙකේ, රුපියල් පහේ කාසි දාලයි අපි කතා කළේ. ඒකත් ගෙදරට හොරෙන්. ඒ වෙනකම් අපි ආදරය කළේ ලියුම්වලින්. ඒක සෑහෙන කාලයක් තිබුණු සුන්දර ආදර කතාවක්. අපිට හැමවෙලේම කතා කරන්න ලැබුණේ නැහැ. පාරේ එහා පැත්තෙන් එයා යද්දී මම පාරේ මෙහා පැත්තෙන් ගියා. අපි ඇස්වලින් කතා කළා. හම්බවෙන්න බයයි. ඒ වගේ සුන්දර ප්‍රථම ප්‍රේමයක් මටත් තිබිලා තියෙනවා.

අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?

නෑ... එහෙම අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන ආදර කතාවක් නැහැ. ඒ මඟහැරුණු තැන්වලට මම ආයෙත් යන්න කැමති නැහැ. ආපස්සට යනවාට වඩා මම ඉස්සරහට යන්න කැමතියි. මඟහැරුණු ආදර කතාවල සුන්දර මතකයන් තියෙනවා. හැබැයි ඒ ආදරය ආයෙමත් ලැබෙන්න ඕනෑ කියලා මගේ හිතේ කැමැත්තක් නැහැ.

ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?

මම ඒකට ප්‍රතිචාර දක්වන්නෙ ආදරයෙන්ම තමයි. ආදරයෙන් කෙනෙක් මට කතා කළොත් ආදරයෙන්ම ඒකට ප්‍රතිචාර දක්වනවා.

මඟ තොටකදී හෝ යම් තැනකදී ඔයා දැක්ක ආදරණීයම සිදුවීම මොකක්ද?

අපේ නෑදෑ වෙන සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි හිටියා. ඒ දෙන්නට දෙන්නා මාර ආදරෙන් හිටියේ. ඒ ආදර කතාව හරි ලස්සනයි. අපි පුංචි කාලෙදිවත් මේ දෙන්නා තනියම යනවා අපි දැකලා තිබුණේ නැහැ. දෙන්නම යන්නෙ එකටයි. හැම ගෙදරකටම දෙන්න ගියේ එකටමයි. දෙන්නට දෙන්නා කවදාවත් බැණගෙන නැහැ. ආච්චි වුණත් අපි එක්ක තනියම යනවට සීයා කැමති වුණේ නැහැ. වයසට ගියාට පස්සෙත් ඒ ආදරය වෙනස් වුණේ නැහැ. පහුගිය දවසක සීයා නැතිවුණා. ඒක හරි දුකයි. සීයාට කල්පනාව නැතිවෙලයි නැති වුණේ. අසනීප කාලයේ සීයාට පොඩි කැස්සක් ආවත් ආච්චි අමාරුවෙන් “මම පොඩ්ඩක් බලලා එන්නම්”‍ කියලා සීයා ළඟට ගියා. ඒ ආදර කතාව කවදාවත් වෙනස් වුණේ නැහැ.

ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?

ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග අනෙකාව තේරුම් ගැනීමට උත්සාහ කිරීම සහ අනිත් කෙනාට තමන් තමන් විදියට ජීවත් වෙන්න ඉඩ සැලසීමයි.

ඔයා ජීවිතයේ ඒකපාර්ශ්වික ආදරයක් විඳලා තියෙනවද?

නෑ... මම එහෙම ඒකපාර්ශ්වික ආදරයක් විඳලා නැහැ.

ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?

එහෙම දැනුණු තැන් තියෙනවා. හිතට පාළුව දැනුණු තැන් තියෙනවා. පෞද්ගලික ජීවිතේ දැනෙන ඒ පාළුව විඳ දරාගෙන මම ඉඳලා තියෙනවා.

ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?

මම හැම මොහොතකම අනිත් කෙනාගේ හොඳ ගැන හිතනවා. කවදාවත් එයාගේ වැරදි ගැන හිතන්නෙ නැහැ. කවුරු හරි කෙනෙක් ගැන වෛරයක් අපිට ඇතිවෙන්නෙ අපි අපිට ඕනෑ විදිහට අපිට ඕනෑ දේ කරන්න උත්සාහ කිරීමේදියි. ඒක මම අනෙකාට කරන අසාධාරණයක්. ඒ නිසා එයාට එයා විදියට ඉන්න දෙන්න ඕනෑ. ඒකෙන් එයා සතුටු වෙයි. ඒ නිසා කිසිම වෙලාවක කිසි කෙනෙක් ගැන වෛරයෙන් මම බලන්නෙ නැහැ.

ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද?

ඔව්... එවැනි සංසාරගත බැඳීම් තියෙනවා.

• දිශානි ජයමාලි