සාදය මාරයි
සතුට එහෙමමයි...
ගිරා මාමේ... මේ සත්තයි... මේ තත්ත්පරයේත්
ආදරෙයි...
රෙහාන්ලාගේ හිත හිරිවට්ටපු දෙසවන් නලවපු
ලල්ල ලලේ බෙර මාධුර්යය මේ මොහොතේත්
ඇහෙන තරම්...
රොඩ්නි, ප්‍රියන්ත, ධර්මප්‍රිය වේදිකාවේ කෙළිය
නාඩගම තවමත් පෙනෙන තරම්...
රස නොවින්ඳත් තද නිල් පාටට රත්තරන් පාට
තරු පළඳපු Taste of Heaven විජීගේ කේක්
ගෙඩියේ දිව්‍යලෝක රස මේ මොහොතේත්
දැනෙන තරම්...
ගිරා මාමේ... ඔයා පුදුම කෙරුව ඔයාගේ උපන් දින
සාදය මාරයි
සාදය හමාරයි
ඒත් සතුට එහෙමමයි...
අමන්ද්‍යා... රැජිනට ඇන්ද සුනංගුවේ දැනුණ
මිහිර දෙගොඩතලා ගියේ ගී ලියන්නටම උපන් බණ්ඩාර ඇහැලියගොඩගේ
කවිකමේ අපූරුව ඒ අල්ල පනල්ලෙම
විඳින්න හම්බ වුණාම...
හිටිහැටියෙම වගේ ගීයක් පද බැන්දා
කෙල්ලත් එක්ක ඇවිදින් ‘රැජිනට’ ඇන්දා
මිලියන ගණන් එකවර නැරඹුව හින්දා
මේ මළ යකා අපටත් කෙළියද මන්දා
එහෙම කිව්වා එදා ඈ...
ඒත් දන්නවා මේ මළ යකා කීවෙත් උතුරන්න තියෙන
ආදරේටම විත්තිය... මොකෝ ඒ මළ යකාම
තමයි මෙච්චර කාලෙකට බණ්ඩාර ඇහැලියගොඩ
අපේ ගී පද රචකයා ලියපු ගීයකට වැඩිම
මුදලක් දීලා තියෙන්නෙත්...
සින්දුවක් ලියාගෙන හතළිස් දාහක්
ලෝභ නැතුව දීලා ගියාලු... කවුද ගිරා මාමා : ඇත්තමයි
මෙහෙමයි...
එදා අපි කට්ටියම එකතු වුණේ අපේ ගිරා මාමාගේ උපන් දිනය සමරන්න...
ගිරා මාමා ගිරා මාමා ගිරා මාමා කියලා අපි ආදරේට කියන්නේ... ආදරේටමත් නෙවෙයි ආදරේ වැඩිකමට කියන්නේ... ගිරිරාජ් කෞශල්‍යයට. බලද්දි විතර නම් මදෑ මතක් වෙද්දිත් හිනා යන සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු අරන් ආව එයා ගිරිරාජ් අනේ... එන්න තියෙන කාසි වාසි අයිතිකාරයාත් එයා අනේ... යකෙක් වගේ එකෙක් තමයි... හැබැයි අලියන්ට පණ බය... අලියෙක් දැක්කොත් දුවන්ට බයයි කීවට මහාචාර්ය සුනිල් ආරියරත්න චිත්‍රපටයකට ගත්ත අලි නළුවෙකුට දහ දහ කියලා කියද්දී, අලියා අවුස්සන්න තමයි දහ දහ කියලා තියෙන්නේ. අලියා ඒ දහ දහ පිච්චියකට මායම් නොකර උගේ පාඩුවේ ඌ නැලවි නැලවි ඉද්දි ගිරා මහාචාර්යවරයා ළඟට ගිහින් දාහ මදි ඇති සර් දෙදාහක් දීලා බලන්න කියලා. නහුතෙට නැගලා හිටපු අපේ සුනිල් සර්ගෙත් මල බස්සපු අපේ හිනා සාගරේ...
එයා ගිරා අනේ...
ඉතින් ගිරා වටා කතා ගොඩයි...
ගිරා කියන්නෙම පුවත් මවන්නෙක් නෙවෙයි කතා මවන්නෙක්...
කතා හද හදා රස මවන්නෙක්...
මේක මහ විසාල කරදරයක් වුණානේ! අපේ ගිරා ගැන අපි කොච්චර කීවත් ඔයාලා එහෙම නොකියන බව අපි දන්නවා... ගිරාගේ යාං හෑලි අදටත් දත් අස්සෙන් දිව අස්සෙන් එළියට පනින්නේ අපේ විතරද?
නෑනේ... නෑනේ...
චිත්‍රපටයක් චිත්‍රපටයක් ගාණේ ගිරා ගේනවා මොකක් හරි ලයිනර් එකක්...
ඒ ලයිනර් අස්සේ මේ ලයිනර් එකත් ලියලම ඉන්න එපැයි... ඇස්වහක් කටවහක් නම් වදින්න එපා... හැට පැන්නට ගිරා තවම කොල්ලෙක් වගේ ලස්සනයි... කෙල්ලට නංගි කියන හින්දා මාමා... මාමා කීවට අයියා කියන්න හිතෙන ගාණට ගිරා හැමදාම තරුණයි... බණ්ඩාර ඇහැලියගොඩ අපේ ගී පද රචකයා කියපු විදිහට ගිරා දැක්ක හුඟාක් අයට එදා හිතුණා ආය දෙකක් නෑ හුඟාක් අයට හිතුණා බොල වයසට යන්නෙ අපි විතරද... මේ යකා හැමදාම එක වගේනේ කියලා. අනේ දෙයියෝ ඇස්වහක් කටවහක් වදින්න එපා... නැත්නම් බණ්ඩාර ඇහැලියගොඩට ලියන්න හිතෙයිද ගිරාට හැටයි - ලු කියලා...
ඇයි ලු...
යි... දාන්න තිබුණෙ නැතෑ ලු වෙනුවට...
ඒත් ඉතින් ලු තමා...
ගිරා මාමාගේ මූණෙ ඇඳෙන හිනාව හැමදාම තරුණයි...
ගිරිරාජ් කෞශල්‍ය හිතවතාණෙනි...
සුලවතාණෙනි...
රසවතාණෙනි...
ඔබ හිඳින තැන කොතැනද එතැන හැමදාමත් මැවුණෙත් මවාලූයෙත් සිනා රස කැන් වදන් කවි පොත් විතරමයි... ජයප්‍රකාශ් සිවගුරුනාදන්, රෝහණ වීරසිංහ, බිමල් ජයකොඩි, ජයනි සේනානායක, සහන් රන්වල, තව තව අය රඟ රඟා කියපු විදිහට ඔයා ගැන තියෙන්නෙම කටක් ඇරලා කියන්න බැරි තරම් රස තැවරූ රස කතා... හැබැයි ඒ රස කතා, පැණි කතා නොවෙච්චි... ගිරා මාමා කියන්නෙ
ආදරණීයම ස්වාමිපුරුෂයෙක්...
ආදරණීයම තාත්තා කෙනෙක්...
ආදරේට අපි කෙල්ල කියන අමන්ද්‍යා උත්පලී කියන රත්තරන් හිතක් තියෙන කලා වස්තුව අපිට දීපු තාත්තා එයා...
ඉතින්...
පැණි කතා නැත...
රස කතා ඇත...
දවසක් දා ෂූටින් නිසා උදේ පහට ඇහැරෙන්නට තියෙන්නේ බිමල් ජයකොඩිට. බිමල් එක්ක එදා කාමරය බෙදාගත් සගයා ගිරා.
මල්ලි දැන් 12.00 යි... පහට ෂූටින් ඈ...
හරි අයියා... එලාම් එක තියලා තියෙන්නේ
ආයෙත් 12.30 ට...
මල්ලි දැන් 12.30 යි... පහට ෂූටින් ඈ...
හරි අයියා... එලාම් එක තියලා තියෙන්නේ
මල්ලි...
ඒ එලාම් එක වදින තුරු මේ ගිරා එලාම් එකෙන් බිමල්ට ගැලවිල්ලක් නැත...
ගිරා එලාම් පැය බාගෙන් බාගෙට නද දෙයි.
බිමල්ට අයියා කෑල්ල මතක් වුණේ නැත. පැන්න මලට ..... කිය වුණේය.
මේ... ලියන්නට බැරි ලියුවොත් අසභ්‍ය වෙන වචනයක් තරහටම නොව හිතවත් වැඩිකමට මල මලටම පනින විට බිමල්ට කියවුණේය. නැත්නම් පැය බාගෙන් බාගෙට නද දුන් ගිරා එලාම් ඉනික්බිති නිසොල්මන් නොවන වග බිමල් රස කර කර කියුවේ 60 උපන් දාව එදා සමරද්දීය. එසේ රස කතා ගිරා වස්තුවේ අපමණය. තවත් ගිරා සංදේශයක් ලියන්නට තරම් ගිරා කතා සාගරේ කතා මාලා වැල් ගණන්ය.
වේදිකාවද, ටෙලියද, සිනමාවද අතික්‍රමණය කළ අපූරු රංගවේදියා...
තිර රචකයා...
අධ්‍යක්ෂවරයා...
සිනමාවට විතරක් නෙවෙයි අපේ ජීවිතවලට, අපේ මිතුරු සමාගම්වලට, අපි - අපි ‘සෙට්’ වෙන වෙලාවල තලු මරන්න අමුතු වචන චිත්‍රපට අස්සේ තවරලා අපේ පපු පතුලටම වත් කළේ ගිරා...
බණ්ඩාර ඇහැලියගොඩ අපේ ගී පද රචකයා කීවා වගේම අනේ ඉතින් ආයුබෝවේවා අවුරුදු හැටට එකසිය හැටක් ආයුබෝවේවා...
හිනාව උදුරගන්න මිනිස්සු අස්සෙ හිනා වට්ටෝරු පිටින් තෑගි කරපු සුන්දර මනුස්සයෙක් වෙච්ච... හිත් තලන මිනිස්සු අස්සෙ ඔව් බං බොලං මචං නංගියේ මල්ලියේ කියාගෙන හිත් නලවන මනුස්සයෙක් වෙච්ච...
හඬන හිත් පිරිමදින හිනාවක්
කතාබහක්...
මිනිසුන් නිවන හිනාවක්
කතාබහක්...
ගිරා... ඒ සියල්ලෙහි අයිතිකාරයාය...
කලාකරුවෙක් නොව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවේදියෙක් වූ ගිරා.
අවුරුදු දොළහේ පුංචි පැටවුන්ටත්
මචං කී... මචං...
ආදරණීය ගිරා මාමේ...
කොන්දේසි විරහිතව ආදරෙයි...
ආදරෙයි... ආදරෙයි...
එච්චරයි!
ගිරාට හැටයි - ලු
කරළියෙ පුංචි තිරයේ දස්කම් පෙන්නා
සිනමාවෙදි ලොවෙත් නැතිවෙන්නම දුන්නා
කොල්ලෙක් වගේ මෙච්චර දවසක් උන්නා
නොදැනිම ගිරිරාජ් මලයට හැට පැන්නා
හැට පැන්නත් කිසිම විට බිම ගමන් නැතී
රංගනයෙහිදි රැස් විහිදා උඩින් යතී
හදවත පුරා ළෙන්ගතුකම ලැගුම් ගතී
ඔහු දුටු සැණෙන් නෙත සහ සිත පහන් වෙතී
මේ තරුණයා හට කොහොමද හැට පැන්නේ
වටහාගත නොහැකි තැනකය මම ඉන්නේ
එනමුත් හිතේ ලොකු සතුටකි උපදින්නේ
අපි විතරක් තනිව ඇයි වයසට යන්නේ?
නපුරක් වැරැද්දක් නෑ කිසි කෙනෙකු හට
කවුරුත් වගේ අරගෙන ඇත වසඟ යට
පැය විසිහතරේම පෙන්වන සිනහ කට
ඔහු වැන්නෙකු තවම හමුවී නොමැත මට
චිත්තර පටිය නිම කළ පසු ‘සිකුරු හතේ’
දෙස් සහ විදෙස් අය වටවුණි හතර අතේ
එහි සුන්දර විහිළු මිස කුණුහරුප නැතේ
සටහන් වුණා රන් අකුරෙන් කොමඩි පොතේ
තක්කඩියෙක්ය දෙස් පලුවා කියන එකා
කටයුතු කළේ කවදත් තම මඩිය තකා
තිරගත කළ පසුව කොමඩිය ‘සුහද කොකා’
සිනමා ලොවම කලඑළි විය අඳුර මකා
කණ්ඩායම් දෙකක් කතුරට මිතුරු වුණ
අවසන එක්ව සොම්නස මැද සිනහ විණ
සිනමා සම්මාන ‘දෙරණින්’ පුදන දින
ලැබුණා මනෝටත් හරසර ලබන පින
එළකිරි වගේ සිනමා පිටපතක් ලියා
රූගත කරන්නට සැරසෙන බවක් කියා
පුවතක් දුටිමි බැලු විට වැඩිමනක් සොයා
එය නැරඹිය යුතුය දිගු කාලයක් නොයා
චිත්තර පටි කළත්, රඟ පෑවත් යසට
ගී පද බඳින්නට ශක්තිය නෑ ඔහුට
එනිසයි අපට කිව්වේ ඇවිදින් ළඟට
අපි ඒ වැඩේ කර දුන්නා පිළිවෙළට
හිටි හැටියෙම වගේ ගීයක් පද බැන්දා
කෙල්ලත් එක්ක ඇවිදින් ‘රැජිනට ඇන්දා’
මිලියන ගණන් එකවර නැරඹුව හින්දා
මේ මළ යකා අපටත් කෙළියද මන්දා
සුපුරුදු රැඟුමේද අධ්‍යක්ෂණ යේද
යෙදුණම මදිද මොනවට ගී ලිවුවාද
මෙතරම් කලක් පද බැන්දේ අපි නේද
ඇයි මල්ලියෙ කළේ ඒ වගෙ අපරාද
හමුවූවත් නොවූවත් පෙර මෙන් නිතර
අප පින් කළ බවක් පවසයි ඔබෙ ඇසුර
එය පවතීවි නිමවන තුරු මතු සසර
සැප බල ආයු ලැබ සැරදේවා සොයුර
• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ