ඩිලුෂි... ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?
මම හිතන්නෙ අපි හැමෝවම බැඳලා තියෙන එක නොපෙනෙන සංවේදාත්මක දම්වැලක් තමයි ආදරය කියලා කියන්නෙ. ඒක සෙනෙහස, රැකවරණය, තව කෙනකුට දක්වන කරුණාවන්තකම, අනුකම්පාව වගේම සංවේදී දෙයක්. අපි එක එක මිනිස්සු එක්ක සම්බන්ධකම් පවත්වද්දී එකම කාරණය වෙන වෙන විදිහට අපි නිර්වචනය කරනවා. අම්මා තාත්තා අපිට දෙන රැකවරණය, සෙනෙහස, දෙමව්පිය ආදරයයි. සහෝදර සහෝදරියන් එක්ක පවතින්නෙ සහෝදර ප්‍රේමයක්. මිතුරන් එක්ක පවතින ආදරය මිත්‍රත්වයයි. යෞවන වියේදී ඇතිවන ආදරය ප්‍රේමණීයයි. බිරිඳ හා සැමියා අතර පවතින්නෙත් තවත් වෙනස් ආදරයක්. ඒ වගේ එකම දේ අපි නිර්වචනය කරන විදිය වෙනස් වෙනවා.
ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?
දැන් මට අවුරුදු විසි හයක් වෙනවා. මේ කාලය පුරාවට මට බොහෝ දේවල් ලැබුණේ ආදරය නිසාමයි. මගේ ජීවිතේ මට හොඳ වැදගත් මිනිස්සු මුණගැහුණා. ආදරය නිසා මට ගෞරවාන්විත මිනිස්සු මුණගැහුණා. මම හිතන්නෙ මගේ ජීවිතේ ලැබුණු ලොකුම ජයග්‍රහණයත් වටිනාකමත් ඒකමයි.
ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?
ජීවිතයේ අනිවාර්‌යෙන්ම රිදුම්, අහිමිවීම් තියෙන්නම ඕනෑ. කිසිම කෙනෙකුට එහෙම අහිමිවීම් නොවිලා නැහැ. මටත් එහෙම අහිමිවීම් වෙලා තියෙනවා. නමුත් කවදා හරි දවසක ඒ දේවල් සිද්ධවුණු එක හොඳයි කියලා හිතෙන දවසකුත් එනවා. මම හිතන්නෙ එහෙමයි. මට බොහොම සුන්දර මතක ගොඩක් තියෙනවා. ආදරේදී මට ලැබුණු සුන්දර මතකයන් හා ගෞරවාන්විත මතකයන් නිසා අහිමිවීම් ගැන මම දැන් හිතන්නෙ, දුක් වෙන්නෙ නැහැ.
ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?
ආදරය නිසා රිදුණු තැන් දරාගන්න හොඳම විදිය කාලයම තමයි. අපිට රිදුණානම් ඒක පස්සෙ පන්නන්නෙ නැතුව, ඒකට පීඩනයක් නොදී ඒක දිහා බලාගෙන කාලයට ඉඩ දීම තමයි හොඳම විදිය වෙන්නෙ. අපි දුකින් හිටියත් කාලයත් එක්ක ඒ දුක අඩුවෙලා යාවි. සතුටක් දැනුණත් කාලය එක්ක ඒ සතුට අඩුවෙලා යාවි. ඒ කොහොම විදිහට බැලුවත් කාලය බොහෝ දේවල් වෙනස් කරනවා. හරි විදියට ආදරය කළොත් අනිත් කෙනාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑ. තමන් ජීවිතේ ඉස්සරහට අරගෙන යන්නත් ඕනෑ. ඒක දෙදෙනාටම ජයග්‍රහණයක් වේවි.
‘සෙක්ස්’ හා ‘ලව්’ අතර වෙනස ඔයා දකින්නෙ කොහොමද?
සෙක්ස් වෙනයි ලව් වෙනයි. අපිට කඩයකට ගිහින් සෙක්ස් කියන කාරණය ගන්න පුළුවන්. හැබැයි ලව් කියන දේ සල්ලි දීලා ගන්න බැහැ. ඒක පිරිසිදු හදවතින් එන හැඟීමක්. පාසල් යන කාලයේදී අපි සෙක්ස් යන කාරණය ගැන හිතන්නෙ නැහැ. ඒ ප්‍රථම ප්‍රේමය හරි ප්‍රේමණීයයි. පිරිසුදුයි. සමහර වෙලාවට අපිට දැකලාවත් නැතිව කෙනෙක් ගැන ආදරය ඇතිවෙන්න පුළුවන්. සෙක්ස් මිලදී ගන්න පුළුවන්. ඒකට ආදරය අවශ්‍යම වෙන්නෙ නැහැ.
නිළියක් විදිහට ලැබෙන ප්‍රේක්ෂක ආදරය හුඟාක් සංවේදීව දැනුණු තැන් තියෙනවද?
නිළියක් විදිහට මේ කාලය මට ගොඩක් සංවේදීව දැනෙන කාලයක් වෙනවා. ඉස්සරහටත් වඩා නිළියක් විදිහට දැන් මාව සමාජය ටිකක් හඳුන්වනවා. මාව දැක්කාම මාත් එක්ක කතා කරනවා. මම රඟපාන චරිත ගැන කතා කරනවා. ඒක මට මාර විදිහට දැනෙනවා. ඒක මට සතුටක්. කෙනෙක්ගෙන් මම ගැන හොඳක් අහන්න ලැබීමට මම පින් කරලා තියෙනවා කියලා හිතද්දි ඒක මට සතුටක්. මම සංවේදී කෙනෙක්. පොඩි දේටත් ඇඬෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා සමහර අය කතා කරද්දි, මම ගැන කමෙන්ට් දාද්දි මගේ ඇස්වලින් කඳුළු එන අවස්ථා තියෙනවා.
ආයෙත් බලන්න ආසා හිතුණු ආදරණීය චිත්‍රපටයක් තියෙනවද?
මම බොහොම මෑතකදි නැවතත් ඒ චිත්‍රපටය බැලුවා. ඒක තමයි ශායම් සිංහ රෝයි. (Shyam Singha Roy). ඒක මාර ලස්සන චිත්‍රපටයක්. සාමාන්‍යයෙන් ඕනෑම චිත්‍රපටයක දුක හිතෙන ඕනෑම කොටසකදි මම අඬනවා. හැබැයි ඒ චිත්‍රපටය මට මාර විදියට ළඟයි කියලා හිතෙනවා.
විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දී වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?
මට විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දී මම පාසල් යනවා. ඒක හරි වෙනස් හැඟීමක්. එතකොට මම එකොළහ වසරේ.
අදටත් තිබුණානම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?
අනේ නැහැ... එහෙම කිසිම කහටක් මගේ හිතේ නැහැ. මේ ලැබිලා තියෙන ආදරය බොහොම වටිනවා. ඒක මට මහමෙරක් වගේ. ඒ ආදරය මට හැමදාටම තිබුණානම් ඒක මට හොඳටම ඇති.
ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
ඒ වගේ වෙලාවට මම අඬන එක තමයි කරන්නෙ. මට වෙන ලොකු ප්‍රතිචාර දැක්වීමක් නැහැ. සියල්ලන්ටම පෙර ඇඬීම සිදුවෙනවා. අඬලා ඉවර වෙද්දී තමයි අනික් හැම ප්‍රතිචාර දැක්වීමක්ම කරන්නෙ. මගේ උපන් දිනයට මගේ යාළුවොත් එක්ක එයා මාව පුදුම කළා. එදා එයාලා මට නොකියා අපේ ගෙදර ආවා. එදත් ඒ අයව දැකලා මට ඇඬුණා. අඬලා ඉවරවෙලා තමයි ඒ අයට ස්තූති කළේ. ඒ මගේ හැටි. බොහෝ වෙලාවට සංවේදී තැන්වලදී මට මුලින්ම ඇඬෙනවා.
මඟ තොටකදී හෝ යම් තැනකදී ඔයා දැක්ක ආදරණීයම සිදුවීම මොකක්ද?
මම ඒ වගේ ආදරණීය සිදුවීම් ඕනෑ තරම් දැකලා තියෙනවා. අනිත් අය සතුටින් ඉන්නවා දකින්න මම ගොඩක් පින් කරලා තියෙනවා. සමහර සීයලා ආච්චිලා බෙහෙත් ගන්න ආපු තැන්වලදී, කෑම කන්න අවන්හල්වලට ආපු වෙලාවල්වලදී මම ඒ ආදරණීය මිනිසුන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා. සමහර ලස්සන සීයලා ආච්චිලා හරි පිළිවෙළට ඇඳලා දෙන්නා එක ළඟ වාඩිවෙලා, බෙහෙත් ගන්න ඇවිත් ඉන්න දිහා, අනිත් කෙනාට නැඟිටින්න උදව් කරන දිහා මම හරිම ආදරෙන් බලාගෙන ඉඳලා තියෙනවා.
ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
මට ලැබුණු වටිනාම තෑග්ග වෙන්නෙ මට මුණගැහුණු ආදරණීය ගෞරවාන්විත මිනිස්සුයි. මාව තලලා පොඩි කරලා දාපු අමිහිරි මතක මගේ ජීවිතේ නැහැ. මට හොඳ මතකයන් හිමිවෙලා තියෙනවා. මට ආශ්‍රය කරන්න ලැබුණු හැම කෙනෙක්ම වගේ බොහොම හොඳ හදවත් තිබුණු අයයි. ඒක ගැන මට සතුටුයි. ඒ වගේම හොඳ හිතක් තියෙන, හොඳට ඇහුම්කන් දෙන, මාව බලාගන්න, දේව හදවතක් තියෙන සැමියෙක් මට ලැබිලා තියෙනවා. ඒක මට ලැබුණු තවත් වටිනා තෑග්ගක්.
ආදරය ඕනෑ කියලා වැඩියෙන්ම දැනුණු තැනක් තියෙනවද?
නැහැ... මම හැමවෙලේම පවුලත් එක්ක ඉන්න කෙනෙක්. සෙනඟ ගොඩක් එක්ක ඉන්න කෙනෙක්. ඒ නිසා තනිකම, පාළුව මට ලොකුවට දැනිලාවත්, ඒකට පුරුදු වෙලා හිටපු කෙනෙක්වත් නෙවෙයි. මාත් එක්ක හැමවෙලේම කතා කරන්න කෙනෙක් හිටියා. යාළුවෝ ඉන්නවා. ඒ නිසා මට මගේ යාළුවන්ගෙන් ඒ ආදරය උපරිමයෙන්ම ලැබුණා. යාළුවන් ඉස්සරහ මට කෑගහලා අඬන්න ඉඩ හම්බවෙලා තියෙනවා. මගේ විදියට මගේ දුක කියාගන්න මට ඉඩ ලැබිලා තියෙනවා.
ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?
ඒකට හොඳම විදිය කාලයයි. තව කෙනෙක්ට මේ මට ලැබුණු හොඳම විදිහ කියලා හිතෙන්න පුළුවන්. ඉවසීම කියන දේ හරි වැදගත් වෙනවා. සැබෑ ආදරය තියෙන තැන වෛරයක් නැහැ. කාලය හැමදේම විසඳාවි. අපිට ඒ ආදරය නැතිවුණත් ඒ කෙනා ගෙවන ජීවිතය දිහා බලලා, ඒ කෙනා සතුටුවෙන දිහා බලලා අපිට සතුටු වෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි.
ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවාද?
ඔව්... ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවා. කොහෙදි හෝ තිබුණු බැඳීම් අපිට විවිධ චරිත ඔස්සේ නැවත මුණගස්වනවා. සමහර අයව දැක්කාම කලින් කොහෙදි හරි හම්බවෙලා තියෙනවා වගේ හුරුපුරුදු ගතියක් දැනෙනවා. ඒ මොකක් හෝ සංසාරගත බැඳීමක් නිසයි.
• දිශානි ජයමාලි