ලංකාව පුරා සංචාරය කරන විදේශිකයන් අතරේ ඉඳලා හිටලා දැකගන්න ලැබෙන අපූරුම Travelers ලා තමා යතුරුපැදිවලින් යන අය. ඔන්න මේ පාර අපිට හම්බවෙනවා ලෝකය පුරා රටවල් හතළිහක යතුරුපැදි සංචාර කරන්න බලාපොරොත්තුවෙන් සැරිසරන අපූරු යුවලක්. මෙයාලා දෙන්නා Lavi & Ollie.
“අපි පළමු වතාවට මුහුදෙන් එතෙර රටක සංචාරය කරන්නෙ. ශ්‍රී ලංකාව හරිම ලස්සන රටක්. කඳුකර පාරවල්, කැලෑවල්, යතුරුපැදි සංචාරයකට ඉතාම සුදුසු රටක් කියලා කියනවා.”
මේ විදිහේ අදහසක් කියාගෙන තමයි මෙයාලා දෙන්නා ලංකාවට ගොඩ වුණේ. පෙනුණු විදිහට මේක ලෝකය පුරා යන කණ්ඩායමක් විසින් සිදු කරන චාරිකාවක්. මේ දෙන්නත් ඒකෙ කොටස්කාරයෝ වෙන්න ඕනෑ. හැබැයි මෙයාලා තනියම සංචාරය කරන විදිහට තමයි වැඩ කටයුතු පටන් ගත්තෙ.
ලංකාව ගැන ගොඩක් විස්තර කරපු මෙයාලගේ පළවෙනි දවස ආරම්භ වුණේ ගාල්ලෙන්. ගාල්ලෙදි වඳුරෙක් දැකලා මේගොල්ලො ගොඩක් පුදුම වුණා සහ සතුටු වුණා.
“ලංකාවේ ලක්සරි හෝටලයක් නෙවෙයි, මේක බජට් හෝටලයක් කියලා කිව්වෙ. හැබැයි ඒක ඇත්තටම පිස්සුවක්. අපි පිටිපස්සෙන් වැසි වනාන්තරයක් වගේ කොටසක් තමයි පේන්නෙ.”
පළමු නවාතැන අසිරි සිරි ගැන කතා කර කර මේගොල්ලො ලංකාවෙ ගමන් කරන දවස් දහ තුනක චාරිකාව ගැන විස්තර කිව්වා. ශ්‍රී ලංකාවේ දකුණේ ඉඳන් කඳුකරය හරහා ගිහිල්ලා නැවතත් දකුණටම එන අමුතු ගණයේ චාරිකාවක් තමයි මේගොල්ලො සැලසුම් කරලා තිබුණෙ.
ඔන්න මෙයාලා ගාල්ලෙන් කාලා බීලා පළමු වැඩේ ආරම්භ කළා. මීට පෙර ගමන් යන්න අපේ ලංකාවේ කෙනෙකුත් බයික් එකෙන්ම එකතු වුණා. හෝටලය සහ ඒ පිරිස තමයි අවශ්‍ය පහසුකම් සංවිධානය කරලා තිබුණේ. ගාල්ලෙන් පටන් අරගෙන උඩවලවට යන එක තමයි මෙයාලගේ අරමුණ වුණේ.
මේ දෙන්නා දෙන්නා අතරේ සන්නිවේදන සම්බන්ධතා සමඟ ඇත්තටම මේ වැඩේ ටිකක් Professional විදිහට තමයි මේගොල්ලෝ කරන්නෙ.
“මම යුරෝපයෙන් පිටත බයික් එකක් පදින පළවෙනි වතාව මේක”
වැඩේ පටන් අරගෙන ටිකක් දුර යද්දී කෑගහලා කියන්න පටන් ගත්තෙ මේ ගැහැනු ළමයා.
“මෙන්න අපි යන්නෙ දැන් මුහුද ළඟින්. අන්න උදේ පාන්දරම මුහුදු ගිය මාළු බෝට්ටු එනවා. ඒ කියන්නෙ අලුත් මාළු උදේම අරගන්න මේ අයට පුළුවන්.”
ගාල්ලෙන් පිටත් වෙලා වෙරළබඩ මාර්ගය දිගේ ඉදිරියට ඇදෙන ගමන් මහ මුහුදෙ අසිරි සිරි ගැන මේගොල්ලො හරිම සතුටින් කතා කළා.
පළවෙනි දවසේ ගාල්ලට ඇවිල්ලා කරපු ගාලු කොටුව සංචාරය සහ එතැන තිබුණු දේවල් ගැනත් ගමන අතරේ මෙයාලා කතා කළා. කොහොම හරි ඔහොම කතා කර කර යන ගමන් පොඩි වැස්සකුත් වහින්න පටන් ගත්තා.
“පොඩි වැස්සකින් අපිට කරදර වෙන්නෙ නෑ. දැන් අපිට තියෙනවා Water proof camera system එකක්. Wireless DJ mike system එකක්. ඒ නිසා වැස්ස අපිට කරදරයක් නෙවෙයි.”
මෙහෙම කිය කියා මේගොල්ලො යද්දි මේගොල්ලන්ගෙ කණ්ඩායමේ කෙනෙක්ට පොඩි අනතුරක් සිද්ධ වුණා. ඇත්තටම අනතුර මේගොල්ලන්ට හරියට වීඩියෝ කරගන්න බැරිවෙලා. සිද්ධවෙලා තිබුණේ සීටීබී බස් එකක පිටිපස්සෙන් ගිහිල්ලා මෙයාලගේ සෙට් එකේ ගැහැනු කෙනෙක් හැප්පිච්ච එක.
“ඇත්තටම බස් එකේ බ්රේක් ලයිට් පත්තු වුණේ නෑ. ඒ නිසා මාව ගිහිල්ලා ඒකෙ වැදුණා.”
අනතුරට මුහුණ දීපු කෙනා මේක ගැන විස්තර කරන්න පටන් ගත්තා. ඒත් ඇත්තටම එයා ඇහුවේ අපේ යාළුවන්ගෙන් වැඩේ වීඩියෝ කළාද කියලා. මේගොල්ලන්ට ඒක වීඩියෝ කරගන්න බැරිවීම පිළිබඳව එයා නම් සතුටින් නෙවෙයි හිටියේ. වැහිබර කාලගුණයක සිද්ධවෙන මේ සංචාරය ටිකක් අවදානම් එකක් කියලා තේරෙන්න පටන් ගත්තෙ මෙන්න මෙතැනදී.
“ගැටලුවක් නෑ. අපේ කට්ටිය ඇවිල්ලා මෙතැන ප්‍රශ්න ටික විසඳනවා.”
ඇත්තටම මෙයාලට පහසුකම් සපයන විශාල කණ්ඩායමක් ඉන්න බව අපිට තේරුණෙත් එතකොට. ඒ අය මැදිහත් වෙලා ගැටලුව විසඳුවා. ඒ විතරක් නෙවෙයි ඉදිරිපස ලාම්පුව බිඳිලා පොඩි පොඩි හානි ටිකක් වෙලා තිබුණු යතුරුපැදිය එතැනදිම හැදුවා. යතුරුපැදිය හදන්න ඕනෑ සියලුම දේවල් අරගෙන යන වෑන් එකකුත් මේගොල්ලො ළඟ තියෙන බව දැනගත්තෙ මෙන්න මෙතැනදි.
“ජෝගෙ බයික් එක හැදුවා. ජෝ ඕකේ. ඒක තමයි වැදගත්ම. Head light එකක් දැම්මා. දැන් අපි මෙතැනින් පිටත් වෙනවා.”
මෙයාලා මේ විදිහට ඉදිරියට යන්න පටන් ගත්තා. ඒ අතර එක එක තැන් තැන්වල ඉඳලා හිටලා නතර වුණා. විහිළු තහළු කළා. ඔන්න ඔය අතර එක්තරා තැනකදි එළවළු කඩයක නතර වෙලා ලංකාවෙ තියෙන එළවළු ගැනත් කතා කරන්න පටන් ගත්තා.
“මේ බලන්න ලංකාවේ පංකින්වල හැටි. මේ රතු පාට මල් වගේකුත් තියෙනවා විකුණන්න.”
ලංකාවේ දකින්න ලැබෙන හැමදෙයක්ම, මුණගැහෙන හැම කෙනෙක්ම මේ අයට එකතු කරන්නෙ නැවුම් අත්දැකීමක් බව අපිට පේන්න තිබුණා.
මෙයාලගේ කණ්ඩායම ඊට පස්සෙ එක්තරා තැනක කෑමටත් නතර වුණා. කොහොම වුණත් මෙයාලා වැඩිපුරම කළේ යතුරුපැදිවලින් ගමන් කරන එක තමා. ඒ අතර මේ ජෝඩුව මයික්වලින් ලංකාව ගැන කතා කරන්න පටන් ගත්තා. ලංකාවට ඉස්සර ‘සිලෝන්’ කියලා කිව්ව එකට හේතුව, දකින්න ලැබෙන දේවල්, සංස්කෘතිය, මිනිස්සු, මේ වගේ මාතෘකා මේගොල්ලො ඉඳලා හිටලා මේ සංචාරය අතරතුර කතා කළා.
ඇත්තටම මේ කණ්ඩායමේ සංචාරය අරගෙන ආවේ නැවුම් අත්දැකීමක්. මේ දෙන්නා ගොඩක් තරුණ යුවලක් හින්දා ඒගොල්ලො මේ අත්දැකීම හොඳටම විඳගන්න බව පේන්න තිබුණා. ලංකාවේ පහසුකම් සපයන අයත් වැඩේ හොඳට කළා. සංචාරය අතරතුර තවත් ගොඩක් දේවල් සිද්ධ වුණා. ඉඩක් ලැබුණොත් පස්සෙ දවසක ලංකාවේ වටේ යන මේ කණ්ඩායමේ කතාවේ ඉතුරු ටිකත් අපි කියන්නම්.
• චමිඳු නිසල්