ගිහාන්... කෙල්ලො දෙන්නට මේ තරම් සැර ඇයි?
එකපාරටම ඔහොම ඇහුවාම මම ටිකක් බය වුණා. ඒක රඟපෑමක්. මේ දවස්වල මම රඟපාන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ “ආලවන්ති” ටෙලිනාට්‍යයේ මගේ චරිතය ටිකක් සැරයි තමයි. මේක අපිට හිතාගන්න බැරි පවුලක් වටා කෙරෙන කතාවක්. සමහර දෙමාපියන් දරුවන් තමන් විතරක් කැමති දේවල් කළ යුතුයි කියලා හිතනවානෙ. එහෙම වුණාම දරුවන්ව අසීමිතව හිර කරනවා. ඉතින් ආලවන්තී ටෙලි නාට්‍යයේ මම රඟපාන්නෙ එවැනි තාත්තා කෙනෙකුගේ චරිතයක්. තේමිය කියන චරිතය ඉහළ පැලැන්තියේ චරිතයක්. සැබෑ ජීවිතේ මගේ දරුවන් එක්ක මට තියෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් හැසිරීමක්. මගේ දරුවන් එක්ක මම හරිම සමීප තාත්තා කෙනෙක්. ඉතින් තේමිය කියන්නෙ මගේ සැබෑ ජීවිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්.
ගිහාන් දරුවන් සමඟ වැඩසටහනක් නිවේදනය කරනවා. ඇතැම් තැන් හරි සංවේදීයි නේද?
මම වසර තිස් පහකට ආසන්න කාලයක් මේ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා. මම පුංචි කාලෙදි Bill Cosby ගේ kids show වැඩසටහන නරඹලා තියෙනවා. Bill cosby නළුවෙක්, නිවේදකයෙක්. ඔහු කළේ සාමාන්‍ය නිවේදකයකුට කළ හැකි වැඩසටහනක් නෙමෙයි. ඒ දේ දැක්කාම ඒ වගේ වැඩසටහනක් මටත් කවදා හරි කරන්න ආසාවක් ඇති වුණා. කොහොම හරි මට පසුකාලීනව එවැනි වැඩසටහනක් කරන්න අවස්ථාව ලැබුණා. මේ වසර තිස් පහ පුරාවට මම සතුටින්ම නිවේදනයෙන් දායක වුණු වැඩසටහන මෙයයි. මේ වෙද්දි වැඩසටහන් සියයකට වැඩි ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. දරුවන් පන්සියයකට ආසන්න ගණනක් මට මුණගැහිලා තියෙනවා. ඊට අමතරව තවත් පස් හය ගුණයක දරුවන් අපිට වැඩසටහනේ මූලික අදියරේදී මුණගැහිලා තියෙනවා. මේ දරුවන් එක්කෙනකුට එක්කෙනෙක් වෙනස්. ඒ වෙනස් දරුවන් තමයි කවදා හරි දවසක මේ සමාජය හදන්නෙ. තවමත් මට එක වගේ අදහස්, සිතුම් පැතුම් තියෙන දරුවන් දෙන්නෙක් මුණගැහිලා නැහැ.
එවැනි දරුවන් අතර අතිශය සංවේදී සිදුවීම් සිදුවුණා නේද?
පැහැදිලිවම. ජාත්‍යන්තර වැඩසටහන්වලදි ඔවුන් වැඩි වශයෙන් පාවිච්චි කරන්නෙ fun සහ knowlege කියන සංකල්පයයි. අපි වගේ ආසියාතික රටවල්වල ප්‍රේක්ෂකාගාරය වැඩි වශයෙන් රැඳෙන්නෙ සංවේදී තැන්වලයි. මේ වැඩසටහනේදිත් එවැනි සංවේදී සිදුවීම් කිහිපයක්ම සිදුවුණා. එක්තරා දරුවෙක්ගෙ තාත්තා නැතුව අම්මා තනියම දරුවා හදනවා. ඒ දරුවා පුංචි කාලේදී සෙල්ලම් බැකෝ එකකින් පොළොවෙ තැනින් තැන පස් හාරනවලු. අහලා බලද්දි තාත්තව පොළොව යටට දානවා මම දැක්කා. මේ තාත්තව හාරලා ගන්න හොයනවා කියලයි කියලා තියෙන්නෙ. ඒ අම්මා ඒ දරුවාට තාත්තා ගැන හැමදේම ඊට පස්සේ කියලා දීලා. ඒ දෙයින් මම හරිම සංවේදී වුණා. තවත් දරුවකුගෙ තාත්තත් මිය ගිහින්. ඒ දරුවා හැමදාම තාත්තා එක්ක කතා කරනවලු. කොහොමද කියලා මම ඇහුවාම තාත්තා ඉන්නෙ තරුවක. මම හැමදාම රෑට ඒ තරුව දිහා බලාගෙන තාත්තාට කතා කරනවා කියලා කිව්වා. ඒවා මම හරි සංවේදීයි. ඒ කියන දේවල් දරුවන්ට කියලා දීලා කියවා ගත්ත ඒවා නෙමෙයි.
මේ දරුවන් සම්බන්ධයෙන් විවිධ අදහස් මිනිසුන් තුළ ඇතිවෙනවා නේද?
ඔව්... අනිවාර්‌යෙන්ම. මේ වන විට සමාජ මාධ්‍ය ආවට පස්සෙ හැමෝම අතේ කැමරාවක් තියෙනවා. එයාලා හිතන්නෙ හැමෝම සිනමාකරුවෝ සහ ඡායාරූපකරුවෝ කියලයි. ඉස්සර අසල්වැසියන්වයි, මාළු ගේන කෙනාවයි, පත්තර ගේන කෙනාවයි දැකපු, පොඩි පිරිසක් ආශ්‍රය කරපු ගෑනු කෙනෙක්ට, දැන් යාළුවො පන්දහසක් ඉන්නවා. ඒ යාළුවන් පන්දහසත් එක්ක එයාගේ චර්යාවන් වෙනස් වෙනවා. හැඟීම් වෙනස් වෙනවා. සමහරුන්ගෙ හිර කරගෙන හිටපු දේවල් එළියට එනවා. විවිධ සම්බන්ධකම් ඇති වෙනවා. මිනිස්සු දරුවන් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරනවා. දෙමාපියන්ට දරුවන් ඉස්සරහ හැසිරෙන්නෙ, කතා කරන්නෙ කොහොමද කියලා හිතන්න වගකීමක් තියෙනවා. අපේ අම්මලා තාත්තලත් රණ්ඩු වෙන්න ඇති. ඒ වුණාට අපිට ඒක දැනිලා නැහැ. සමහරවිට අපි නිදාගත්තට පස්සෙ, අපි පාසල් ගියාට පස්සෙ ඒ අය රණ්ඩු වෙන්න ඇති. හැබැයි අපිට පෙනුණෙ ඒ අය සාමකාමීව ජීවත් වන බවයි. දැන් දෙමව්පියන් තුළින් ඒ දේ නැතිවෙලා තියෙනවා. තමන්ගේ දරුවා අරගෙන ටික් ටොක් කරන අම්මලා ඉන්න රටක් මේක.
ඔබ මේ දවස්වල වේදිකා නාට්‍යයත් එක්ක කාර්යබහුලයි නේද?
ඔව්... මේ දවස්වල වේදිකා නාට්‍ය දරුණුවට කරගෙන යනවා. නාට්‍ය බලන්න ප්‍රේක්ෂකයන් නැහැ කියලා කොච්චර මැසිවිලි නැගුවත් ඒක බොරුවක්. අපි දන්න තැනකින් තමයි ඔය නාට්‍ය හැමදේටම බස් යන්නෙ. හැම සති අන්තයේදීම බස් හය හතක් රට වටේ යනවා කියන්නෙත් නාට්‍ය හයක් විතර එක දවසට පෙන්නනවා කියලයි. අද වෙද්දි මිනිස්සු නැවතත් යම් තරමකට නාට්‍ය බලන්න පෙළඹිලා ඉන්නවා.
“ලොක්කා ලෙඩ වෙලා” දැන් කොහොමද?
මගේ අලුත්ම වේදිකා නාට්‍ය තමයි ලොක්කා ලෙඩ වෙලා කියන්නෙ. හැම මනුස්සයෙක්ටම දේශපාලනයක් තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරනවා. මගේ මතය දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වෙනවා වෙනුවට දේශපාලනය කරන්න වෙනම පිරිසක් මේ රටේ හැදිලා තියෙනවා. විශ්වයෙන් හෝ උපතින් හෝ ජානවලින් හෝ කුමක් හෝ දක්ෂතාවයක් අපිට ලැබිලා තියෙන්නෙ අපිටත් මේ ලෝකය වෙනුවෙන් කරන්න දෙයක් තියෙන නිසයි. මට කරන්න පුළුවන් ටිකෙන්, මගේ දේශපාලන මතයෙන්, මිනිස්සුන්ව දැනුවත් කිරීමේ අරමුණින් මම මේ නාට්‍ය කළා. මේ වසරේ අප්‍රේල් මාසයේ ලොක්කා ලෙඩ වෙලා වේදිකගත කිරීම ආරම්භ කළා. ලබන වසරේ අප්‍රේල් වෙද්දී දර්ශන සියයක් විතර කරලා තියේවි. ඒක ලොකු ජයග්‍රහණයක්. නාට්‍ය ඉවර වෙලා මිනිස්සු කතා කරනවා. සංවාදයේ යෙදෙනවා. නාට්‍ය කියන දේ මිනිසුන්ගෙන් ඈත් වෙන්න ඕනෑ දෙයක් නෙමෙයි. කෝලම්, දහඅට සන්නිය, බලි තොවිල්, ජන නාට්‍ය, මේ හැමදේම ගත්තත් රෑ එළිවෙන තුරු නාට්‍ය බලපු සංස්කෘතියක් අපිට තියෙනවා. ඒ සංස්කෘතිවල අපි දැකපු ලක්ෂණය වෙන්නෙ ඒ හැම නිර්මාණයකටම ප්‍රේක්ෂකාගාරයත් සම්බන්ධ කර ගැනීමයි. ගරා යකා ප්‍රේක්ෂකාගාරයට විහිළු කරනවා. තොවිලයක් කරන්නෙ යක්කු ගෙන්නලා බය කරලා නෙමෙයි. ඒ සංකල්පයට මම මේ නාට්‍යයත් පාවිච්චි කළා. නාට්‍යයට ප්‍රේක්ෂකාගාරය බද්ධ කරන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා.
“සාදය මාරයි සල්ලි හමාරයි” බලන්න ලැබෙයි නේද?
ඔව්... මීට වසර දහයකට විතර කලින් පටන් ගත්ත සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍යයත් සමඟ නැවතත් ලබන වසරේ සිට රට වටේ යන්න බලාපොරොත්තු වෙනවා.
ගිහාන්ගේ වැඩි කැමැත්ත ටෙලි නාට්‍යටද? වේදිකාවටද?
ටෙලි නාට්‍ය කියන්නෙ මගේ රස්සාව. ඒක බිස්නස් එකක්. ටෙලි නාට්‍යවල රඟපාන්න යන්නෙම මිල කතා කරගෙනයි, දින කතා කරගෙනයි. අද වෙද්දි මිනිස්සු ටෙලි නාට්‍ය බලන්නෙ නැහැ. රූපවාහිනියෙන් මිනිස්සු ඈත්වෙලා. අද මිනිස්සු රසවින්දනය කියන දේ හරි පොඩි කාලයකට සීමා කරගෙනයි ඉන්නෙ. ඒ අය දුරකථනයෙන් හැමදේම බලන්න පුරුදු වෙලා. නමුත් වේදිකාව ඊට වඩා වෙනස්. සල්ලි වියදම් කරගෙන ප්‍රේක්ෂකයෝ එන්නෙ අපිවත් සජීවීව බලන්නයි. ඒ නිසා මගේ වැඩි කැමැත්ත වේදිකාවටයි. ඒක ආර්ථිකමය වශයෙන් ලොකු ලාභයක් තියෙන වෘත්තියක් නෙමෙයි. හැබැයි ඒකෙන් විශාල තෘප්තියක් ලැබෙනවා.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ