2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

පියාගේ සින්දුත් අතහැර ‘‘උඩුගම්බලා’’ යන - Sarath Fernando

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 6

සරත්... ”උඩුගම්බලා”‍ දැන් සියල්ල සූදානම්ද?
ඔව්... අපි ඒ වෙනුවෙන් සූදානමින් ඉන්නෙ. මේ දිනවල ඒ වෙනුවෙන් පුහුණුවීම්වල නිරත වෙනවා. උඩුගම්බලා කියන්නෙ ‘Next level’ නම් අපේ සංගීත කණ්ඩායමෙන් පවත්වන්න සූදානමින් ඉන්න ප්‍රසංගයයි. එම ප්‍රසංගය දෙසැම්බර් 21 සෙනසුරාදා පැවැත්වෙනවා.

‘Next level’ සංගීත කණ්ඩායමෙන් පවත්වන මෙම ප්‍රසංගය “උඩුගම්බලා”‍ ලෙසින් නම් කළේ ඇයි? එහි විශේෂත්වයක් තියෙනවද?
ඔව්... අපි උඩුගම්බලා කියලා ප්‍රසංගය නම් කළේ විශේෂත්වයක් ඇතිවමයි. අපි මේ උත්සාහ කරන්නෙ අපේ සංගීත කණ්ඩායමෙන් අපේම සින්දු ඉදිරිපත් කරන්නයි. අද වෙද්දි සමහර බොහෝ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ඇතුළුව බහුතරයක් සංගීත කණ්ඩායම් වැඩි වශයෙන් ප්‍රසංගයකදි ගායනා කරන්නෙ අනුන්ගේ ගීතයි. නමුත් ‘Next level’ සංගීත කණ්ඩායම ඒක වෙනස් කරන්න ලොකු උත්සාහයක් ගන්නවා. හැබැයි ඒක හරි අමාරු වැඩක් කියලත් අපි දන්නවා.

සරත් ප්‍රනාන්දු කියන්නෙ ප්‍රවීණ කලාකරුවෙක් වූ එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පුතෙක්. තාත්තාගේ ජනප්‍රිය ගීත තුළින් ඔබට  සංගීත ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට හැකියාවක් තියෙනවා?
ඔව්... ඒක ඇත්ත. ඒක මගෙන් බොහෝ දෙනා අහනවා. මට ඕනෑ තරම් තාත්තාගේ ගීත ගායනා කරන්න පුළුවන්. නමුත් තාත්තාගේ ගීතවලින් මමවත් ‘Next level’ සංගීත කණ්ඩායමටවත් ජනප්‍රිය වෙන්න බලාපොරොත්තුවක් නැහැ. අපේම ගීත තමයි මේ ප්‍රසංගයේදි අපි වැඩි වශයෙන් ගායනා කරන්නෙ. තාත්තාගේ ගීත දෙක තුනක් ඉල්ලීම් මත ගායනා කරාවි. ඒ හැර අපි බොබ් මාලේ (Bob Marley), රෙගේ (Reggae), රොක් (Rock) සිංදුවලට කැමතියි. ඒ නිසා එම ප්‍රසංගයේදී ජාත්‍යන්තරව පිළිගත් සංගීත කණ්ඩායම් කිහිපයක ගීතත් අපි ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට පෙර Exodus නමින් තමයි අපේ සංගීත කණ්ඩායම නම් කළේ. එම සංගීත කණ්ඩායම ආරම්භ කළේ 1984 අවුරුද්දෙ. ඒ කාලයේ Exodus සංගීත කණ්ඩායම රෙගේ තාලේ ගීතවලට ගොඩක් ජනප්‍රිය වුණා. කොග්ගල, හික්කඩුව, මීගමුව වැනි සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල Exodus සංගීත කණ්ඩායම ජනප්‍රිය වුණා. මෙම ප්‍රසංගයේදි Next level සංගීත කණ්ඩායමේම ගීත දහයක් පමණ ගායනා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Next level සංගීත කණ්ඩායම ගොඩනැගෙන්නෙ කොහොමද?
Next level සංගීත කණ්ඩායමේ අලු‍ත් සාමාජිකයන් දෙදෙනෙක් හැර අනිත් අය එක්ක මම වසර දහයක් පහළොවක් තිස්සෙ රෙගේ සංගීතයට විවිධ ප්‍රසංගවලට එකතුවෙලා වාදනය කළා. හැබැයි අපි කට්ටියට නමක් තිබුණේ නැහැ. ඒ කාලේ මගේ සංගීත කණ්ඩායම Exodus   වුණාට අපි ඒ නමින් ඒ ප්‍රසංගය කළේ නැහැ. අපි එකතු වෙලා කළ ඒ ප්‍රසංග වැඩසටහන්, උත්සව සාර්ථක වුණා. අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකත් එක්ක ඒ සාමාජිකයන් සම්බන්ධයෙන් මට අවබෝධයක් ඇතිවුණා. අපිට එකතු වෙලා හොඳ වැඩක් කරන්න පුළුවන් කියන අදහස මගේ හිතේ ඇතිවුණා. ඒ අනුව අපි Next level සංගීත කණ්ඩායම පටන් ගත්තා.

Next level සංගීත කණ්ඩායමේ හොඳ මිත්‍රත්ව කතාවකුත් තියෙනවා නේද?
ඔව්නෙ... Next level සංගීත කණ්ඩායම පිහිටුවන්න මට ලොකු හයියක් වුණේ මාත් එක්ක 1980 කාලවලදී play boy සංගීත කණ්ඩායමේ හිටපු ලූෂන් ලෝච් (Lucian Rode) නම් මිත්‍රයයි. 1983 වගේ කාලවලදී play boy සංගීත කණ්ඩායම නතර කළා. ඊට පස්සේ අපි සංගීත කණ්ඩායම පටන් ගත්තා. ලූෂන් ඒකෙ නායකත්වය දැරුවා. අපි වසර දෙකක් පමණ වැඩ කරගෙන යද්දි ඔහුට ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සිදුවුණා. එතැන් සිට Exodus සංගීත කණ්ඩායමට වසර විස්සක් පමණ මම නායකත්වය දැරුවා. බටහිර සංගීත ලෝලීන් සහ විදේශකයන් අතර Exodus සංගීත කණ්ඩායම ලොකු ජනප්‍රියත්වයක් ලැබුවා. ඔය අතරේ නිවාඩුවට ලංකාවට එන ලූෂන් මේ වැඩේ අතහරින්නෙ නැතුව කරගෙන යන හැටි දැක්කා. පසුව ලූෂන් ලංකාවට ආවාම “උඹ වැඩේ හොඳට පටන් ගනිං. අපි එකතු වෙලා හොඳ වැඩක් කරමු”‍ කියලා නැවතත් ඔහුත් සංගීත කණ්ඩායමට එකතු වුණා. ඔහු අපේ සංගීත කණ්ඩායමේ ගායනා කරනවා. අද වෙද්දි සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ජනප්‍රිය රංගන ශිල්පිනී සිලිඳු රන්වලත් අපිට ගායනයෙන් සහයෝගය දක්වනවා.

සංගීත ප්‍රසංගය පවත්වන්නෙ “නාමෙල් මාලනී”‍ පුංචි තියටරේ?
ඔව්... ඒ ගැනත් බොහෝ දෙනා අපෙන් විමසුවා. පුංචි තියටරේ වැඩි වශයෙන් ප්‍රසිද්ධ වුණේ වේදිකා නාට්‍ය පෙන්වීමටයි. නමුත් අපිට කළ හැකි ප්‍රමාණයෙන්, දැරිය හැකි ප්‍රමාණයෙන් සුදුසු තැනක් අපි මේ සඳහා තෝරා ගත්තා.

ප්‍රසංගය පුහුණුවීම් කටයුතු කරන්නෙ කොහෙද?
කණ්ඩායමේ ලූෂන් හා මම හැරෙන්න අනිත් හැමෝම පදිංචි වෙලා ඉන්නෙ නුවරයි. ඒ නිසා මමයි මගේ යාළුවයි මාසයකට දවස් පහක් හයක් නුවර ගිහින් නතර වෙලා සංගීත කණ්ඩායමේ පුහුණුවීම් කරනවා. මීට පෙර මෙම ප්‍රසංගය මාර්තු මාසයේ පවත්වන්න අපි සූදානමින් හිටියා. නමුත් මම අසනීප වුණා. ඒ නිසා ප්‍රසංගය කල් දමන්න සිදුවුණා. මේ වනවිට මම හොඳ සුවයෙන්. දැන් අපි නුවරදී පුහුණුවීම්වල නිරත වෙනවා.

ඉදිරියේදී එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත සංගීත කණ්ඩායම වෙනුවෙන් ඔබ ගායනා කරන එකක් නැද්ද?
මම හැම මොහොතකම සංගීත කණ්ඩායමත් එක්කම සංගීත ක්ෂේත්‍රයේ යම් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් උත්සවවලදී, ඇතැම් ප්‍රසංගවලදී ඉල්ලීම්වලට අනුව තාත්තාගේ ගීතයක් දෙකක් ගායනා කරන්න සිදුවේව්. මේ වෙද්දි අපේ සහෝදර සහෝදරියන්ගේ දරුවෝ ඉන්නවා. ඒ පරම්පරාවත් තාත්තාගේ ගීත ගායනා කරනවා. ඒ අය අලු‍ත් විදියට ඒ ගීත ගායනා කරනවා. මේ ප්‍රසංගයේදීත් බොහෝ දෙනා අහලා නැති තාත්තාගේ ගීත කිහිපයක්ම අපි nonstop එකක් විදියට තෝරාගෙන ගායනා කරනවා. මම තාත්තාගේ ගීත ගායනා නොකර ඉන්න එකක් නැහැ. හැබැයි අපේ නව පරපුරේ දරුවන් ඒක ඉදිරියට අරගෙන යාවි.

උඩුගම්බලා රස විඳින්න පුළුවන් වෙන්නෙ කවදාද?
Next level සංගීත කණ්ඩායමෙන් පවත්වන උඩුගම්බලා සංගීත ප්‍රසංගය දෙසැම්බර් මස 21 වැනිදා රාත්‍රී 7.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටරේදී පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒ ප්‍රසංගය රස විඳින්න අපිත් සමඟ එකතු වෙන්නැයි අපි ඔබට ආරාධනා කරනවා.

• දිශානි ජයමාලි