2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

ජන ගීයේ සාර සොයා ගිය රස සරාගය!

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

ආත්මීය ප්‍රේමණීය ප්‍රේමයකින් ජන සංගීතය හා වෙළුණු සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන සුගැඹුරු සුබන්ධනයකින් ජන සංගීතය හා බැඳුණු පුරාවෘත්තයක් ලෙස ලයනල් රන්වල නම් මිනිසා මම හඳුන්වමි. ජන කවිය, ජන සංගීතය, ජාතික සංගීතය ගැන මතවාදය ඉදිරියට ගෙන යාමේ රන්වන් වගකීම අපිරිමිත ස්නේහයෙන් දෙවුර දරාගත් රන්වලයන්ගේ අසූපස්වැනි ජන්ම දින සැමරුම 2034 සංගීත මෝස්තරය යන තේමාවෙන් සැමරුණු මොහොතේ ළය ලෙයටම දැනුණු හුස්මකින් ජන සංගීතයට ප්‍රේම කළ ඒ මිනිසා මා කෙසේ අමතක කරන්නද? අප කෙසේ අමතක කරන්නද? කලාගාරයක් බඳු වූ ආචාර්ය රවිබන්දු විද්‍යාපති ගුරුතුමාණන් රන්වල චරිතයේ සංගීතමය ඉසව් සහ ස්වරයන් ඉසියුම්ම රේඛාවන් ඔස්සේ සොයා යමින් කළ සාරපූර්ණ සාරාර්ථ ප්‍රකාශනය තරම් මේ මොහොතේ ලයනල් රන්වලට උත්තමාචාරයේ මල් මිටක් පුදන්නට සදිසි වචන වියමනක් මා අබිමුව නොවේ. ඉඳින් රවිබන්දු විද්‍යාපති ආදරණීය ගුරුතුමාණෙනි, ඔබට ස්තූතියි කියමින් ඔබ පා තැබූ වදන් මග පා තබමින් රන්වල නාමයට හදසර ප්‍රේමය පිරිනමන්නට අපට අවසරයි.

ශ්‍රී ලාංකික ජන සංගීතය, ලයනල් රන්වල නාමය සහ සුභාවිත ගීතය යනු එකිනෙක රන් යදමක් සේ බැඳුණු සොඳුරුතම ප්‍රපංචයකි. ඒ කිසිවකට කිසිවකින් වියුක්තව පැවතිය හැකිව තිබුණාදැයි සිතෙන තරමට ඒ බැඳීමෙහි මූලයන් සවිමත්ය. චමත්කාරය. චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්තැන් වූ තෝතැන්නක් නම් ජන කවියේ, ජය සංගීතයේ සියලු සෞන්දර්යාත්මක ඉසව්වන් භක්ත්‍යාදරයෙන් සොයා ගිය ඒ සොඳුරු ආඥාදායකයා, ඒ ගැඹුරු ගවේෂකයා, ඒ අප්‍රමාණ මිනිසායනුම ජන සංගීතයේ සෞන්දර්යාත්මක සකේතයකි.

නිසැකයෙන්ම කලාවේ ප්‍රාථමික කාර්යය වන්නේ මානව හැඟීම් ස්පර්ශ කිරීම වුවත් ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හැම කලාවේදියකුම ඒ සීමාවෙන් ඔබ්බට අසීමාන්තික ඉසව්වක හිඳ කලාව කේන්ද්‍රීයව මානව සමාජය විෂයෙහි සහ ලෝකයට ආදරය කිරීම විෂයෙහි ඉටුකළ කාර්යභාරයේ වපසරිය වදනින් විවරණය කළ නොහැකි තරම්ය. මිනිසාගේ හදවත අභ්‍යන්තරයෙහි සමාජ හිතවාදී චින්තන විප්ලවයක් ඇති කිරීමට කලාව සහේතුක වූ ඓතිහාසික සංනිදර්ශනයක් උදෙසා සොඳුරුතම නිදසුන වන්නේ රුසියානු විප්ලවයි. ලියෝ තෝල්ස්තෝයි රුසියානු විප්ලවයේ කැඩපත ලෙස හැඳින්වීමට තරම් සාහිත්‍යය ඔස්සේ ජන විඥානය සවිඥානික දිශානතින් ඔස්සේ එළි පෙහෙළි කිරීමට ප්‍රබල චමත්කාර ආයුධයක් බවට පරිවර්තනය කළේය. විප්ලවයේ බීජය මුලින්ම පැළ කළ යුතු වන්නේ මානව චින්තනය තුළ වග වී.අයි. ලෙනින් මෙන්ම ලයනල් රන්වල ද තේරුම් ගත් නිසාවෙන් සාහිත්‍යයෙන්, චිත්‍රයෙන්, නර්තනයෙන් ලෝකය වෙනස් කළ සහ වෙනස් කිරීමට යත්න දැරූ වෙනස් මිනිසුන් අතරට ලයනල් රන්වල එක්වූයේ ජන සංගීතය ඔස්සේය.

කඩතුරා විනිවිද සමාජීය විෂමතා සහ කිළිටි තෝතැනි ජන සංගීතය නැමැති දිය උල්පත් දහරාවන්ගෙන් සෝදාහල එම සමාජ ශෝධකයා තාරුණ්‍යයේ රිද්මය සහ හර ලක්ෂය මැනවින් කියැවූ වියපත් තරුණයෙක් වූයේය. තාරුණ්‍යයේ රිද්මය හා වේගය සංගීතමය සංවේදීතාවයකින් හඳුනාගත් ලයනල් රන්වල ගුරු යන වචනයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රභාවත් අරුත් එක් කළේය. පරපුරෙන් පරපුරට ජීවිතාලෝකය ලබාදීම තම ප්‍රාර්ථනය සහ පරමාර්ථය වගට පරිවර්තනය කර ගත්තේය.
ලයනල් රන්වලයන්ගේ සංගීත විඥානයේ දිශානතින් හින්දුස්ථානි රාගධාරි සංගීතය ජන සංගීතය සහ බටහිර සංගීතය යන දිශානතින් ඔස්සේ විහිද යයි. ඒ සියලු සංගීතවේදයන් ඇසුරෙහි පෝෂණය ලද ඒ මහා මිනිසා තම සංගීත සුවිසැරියේ මූලාශ්‍රය කරගත්තේ ජන සංගීතයයි.

“ජන සංගීතය යනු මිනිසාගේ අභ්‍යන්තරික මනෝභාවයන් සහ හැඟීම් ඉතා ස්වභාවිකව පුපුරා යාම තුළින් මතු වූ ප්‍රපංචයකි. ජන නැටුම මිනිසාගේ සතුට ප්‍රකාශ කරන ප්‍රකාශන මාධ්‍යයක් බවට පරිවර්තනය වෙද්දී ජන සංගීතය හා ගීතය, සතුට, දුක, තරහ, කාන්සිය, කම්පනය, බලාපොරොත්තුව, විරෝධාකල්ප ආදී අප්‍රමාණ මානව හැඟීම් සහ චින්තනයන් ප්‍රකාශ කරන ප්‍රබල, සියුම් සහ ගැඹුරු මාධ්‍යයක් බවට පරිවර්තනය වූයේය. මිනිසාගේ චිත්ත සන්තානයට කිඳා බැසිය හැකි සියුම් මාධ්‍යයක් බවට පරිවර්තනය වූයේය.

බ්‍රිතාන්‍ය ජාතික සිසිල් ජේ ෂාප්ගේ ප්‍රකාශනයකට අනුව The English Folk Song නම් ග්‍රන්ථයට අනුව යම් ජන සමාජයක ජන සංගීතය එකී ජන කොට්ඨාසයේ, ගෝත්‍රයේ හෝ ජාතියේ සමස්ත හැඟීම් හා මනස් ප්‍රකෘතිය පෙන්නුම් කරයි. එය කාලය සමඟ නිරන්තරයෙන් වෙනස්වීම්වලට ලක් වෙයි. ජාතියකට ආමන්ත්‍රණය කරනු වස් යෝග්‍යතම ආකාරයද ඒ ජාතියේ ජන සංගීතය තුළින් ඔවුන් ඇමතීමයි. මක් නිසාද යත් එය එකී ජන සමාජයේ මනස් ප්‍රකෘතිය සමඟ ආත්මීය වන හෙයිනි.

සැබැවින්ම ජන සංගීතය යනු ස්වභාවික සංගීතයයි. කිසිදු සම්මත නීති රීති පද්ධතියකින් හෝ නිර්ණායක මත පාලනය වී නැත. සීමාසහිත වී නැත. ලයනල් රන්වල ජන සංගීතයේ මූලයන් සහ කේන්ද්‍රයන් නිදහස් මානයක සිට සොයා ගියේය. එහෙයින්ම ඔහු තුළ නිසඟයෙන්ම සංගීතඥයෙක්, සමාජ ශෝධකයෙක්, නොඑසේනම් සමාජ විශ්ලේෂකයෙක් සහ සමාජ පර්‌යේෂකයෙක් නිරන්තරයෙන් හුස්ම ගත්තේය. ජන නාද මාලා ඔස්සේ ආදර මාලා මානව සමාජය උදෙසා තිළිණ කළේය. ගම් නියම්ගම් සිසාරා ජන ගීයෙත්, ජන සංගීතයෙත් රස සොයා ගිය රන්වල ගුරුතුමා ජන ගී තුන්දහසක් පමණ එකතු කළේය. අදටත් ඒ ජන ගී එකතුව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සුරක්ෂිතව සංරක්ෂණය වන්නේ නොනිම් දායාදයක් ලෙසය.
ගුරුවරයකු ලෙස තම සංගීත ඥානය යුග යුග සරා පාසල් දරු දැරියන්ට බෙදා දුන් ගුරුමුෂ්ටි විරහිත මේ ගුරුතුමා තාලම ජාතික පදනම ඔස්සේ ජන සංගීතයට පෙම් බැඳි තවත් පරපුරක් උපද්දවන්නට පොළොව සකස් කළේය.

අනාගතවාදියකු වූ ලයනල් රන්වල ජන සංගීතය යනු අතීතයට අයිති වූ දෙයක් නොව, වර්තමානය තුළ ක්‍රියාශීලීව හිඳිමින් අනාගතය උදෙසා පුබුදුවාලිය යුතු මලක් වග කී උත්තමයෙකි. ඒ උත්තමයාට ජන සංගීතය අවඥාවෙන් බැහැර කළ ඇතැම් දෘඩ සම්භාව්‍යවාදීන්ගෙන් මුඟුරු එසවුණද රන්වලයන් හැමවිටම ශක්තිවන්ත අරගලකරුවෙක් ලෙස ජන සංගීතය වෙනුවෙන් පෙනී සිටියේය. ඒ ගිය මඟ යමින් සහන් රන්වල අද රන්වල බලකාය ඔස්සේ ඒ ශක්තිවන්ත අරගලයේ නියමුවාණන් ලෙස වගකීම දරන්නේ ජන සංගීතය නව මානයන් ඔස්සේ විශ්වීය සම්ප්‍රදායක් බවට පරිවර්තනය කිරීමේ මං තනන වගකීමේ නියැලෙමිනි.

ලයනල් රන්වල යනු අතු පතර විහිදවූ අතු අගිසි අගිසි ගාණේ ජන කවි මල් පැළඳවූ මහා වනස්පතියකි. ළඟ නැතත් ළඟ වග හදවතට දැනෙන්නේත්, දනවන්නේත් මරණයට සිරුරක් මිස හදවතක් මරා දැමිය නොහැකි නියතය සාරසුබාවට පසක් කරමිනි.
ගුරුතුමාණෙනි, සසර මෙතෙකින් නිම නොවන වග දනිමි!

• සංජීවිකා සමරතුංග