සින්දු ජනප්‍රිය කරගන්න දැන් අලුත් ගායක ගායිකාවො නොකරන දෙයක් නැහැනෙ.
ඒ වගේ අලුත් සින්දුවක් හදන්න අදහස් කරගෙන හිටිය නව පරපුරේ තරුණයෙක් එයාගෙ යාළුවෙක් හම්බවෙන්න ගියාලු මේ ගැන පොඩි අදහසක් ලබාගන්න.
මට ඕනෙ හොඳට හිට් කරගන්න පුළුවන් සින්දුවක් කරන්න. දන්නවනෙ මට සල්ලිවලින් ප්‍රශ්නයක් නැහැ කියලා. ඕනෑම චැනල් එකකට අවශ්‍ය දේවල් කරන්න පුළුවන්. හොඳ වචන සෙට් එකක් තමයි ඕන වෙන්නෙ...
හරි හරි මම දන්න පද රචකයෙක් ඉන්නවා සින්දු ලියනවා ඇඬෙන්න. ඉහේ කෙස් ගාණට හිට් සින්දු ලියලා තියෙනවා...
හා එහෙනම් නැගපං කාරෙකට. අපි දැන්ම එයාව හම්බවෙන්න යමුද? දෙන්නම අර පද රචකයාගෙ ගෙදරට ගියාලු.
ආ මල්ලි කොහොමද? කියාගෙන ආපු පද රචකයා දැකලා අලුත් ගායක මල්ලිට තරු පෙනුණලු.
ඉහේ කෙස් ගාණට සින්දු ලිව්වයි කිව්වට පද රචකයගෙ ඔළුවෙ බෙහෙතකටවත් හොයාගන්න කෙස් ගහක් නැහැල්ලු.
පහුගිය දවසක කොළඹ අවට ටෙලිනාට්‍ය රෑපගත කිරීමක් තිබුණලු. ප්‍රධාන චරිතය රඟපාන්නෙ මෑතක විවාහ වුණු නිළියක්. එයාගෙ මහත්තයා තමයි කාරෙකේ ඇවිත් කෙල්ලව සෙට් එකේ බස්සන්නෙ. ඊට පස්සෙ ඔහු වැඩට යනවා. ඔහු ව්‍යාපාරිකයෙක්. ආයෙත් හවසට ඇවිත් කෙල්ලව එක්කරගෙන යනවා.
ඔන්න ඊයෙ පෙරේදා දවසක කෙල්ලව බස්සන්න ආවලු. නිෂ්පාදන කණ්ඩායම සීන් එක ගන්න සියල්ල ලෑස්ති කරලා. අධ්‍යක්ෂකවරයා ඇක්ෂන් කියන්න ඔන්න මෙන්න.
ඒත් නෝනව බස්සන්න ආපු මහත්තයා එයත් එක්ක බර කතාවක්.
කතා කරන දේවල් ගෙදරදි කතා කරලා එන්න තිබ්බනෙ, ඔරලෝසුව දිහා බල බලා සහාය අධ්‍යක්ෂකවරයා කුරු කුරු ගානවලු.
ඒත් කතාව ඉවර නැහැ. දැන්නම් අධ්‍යක්ෂකවරයගෙ රතු කට්ට පැනගෙන ආවලු.
අනේ සර්, අපිට අපේ වැඩ ටික කරගන්න දීලා ඕගොල්ලො කපල් සිම් එකක් අරගෙන ඕන මඟුලක් කතා කරගන්නවද? කියලා ඩිරෙක්ටර් මහත්තයා කිව්වලු.
නිතරම බස් එකේ ගමන් කරන ඒ අතරතුර විවිධාකාර අකරතැබ්බවලට මුහුණදෙන අපේ කලා ශිල්පියෙක් ඉන්නවනෙ. එයාට මූණදෙන්න වුණු කතා අපි මීට කලිනුත් කියලා තියෙනවනෙ.
ඔන්න මේ තමයි එයාට සිද්ධවුණු අලුත්ම සීන් එක.
දවසක් ෂූටිං ඉවරවෙලා කලින්ම කොළඹින් නැග්ගලු කළුතර බස් එකකට. මෙයා ඉන්නෙ වාද්දුව. බස් එකේ ගියත් යන්නෙ හරිම අවධානෙන්. ඔන්න ඔහොම එනකොට ගල්කිස්ස පහුවෙලා රත්මලානට බස් එක කට්ටුවෙනවත් එක්කම මෙයාගෙ පිටිපස්සෙ සීට් එකේ හිටිය වයසක ගෑනු කෙනෙක් ඇහුවලු, මහත්තයෝ දෙහිවල පහුවුණාද කියලා.
මෙයා එකපාරටම කලබල වුණාලු.
ඔව් අම්මෙ දැන් රත්මලානටත් කිට්ටුවෙලා - අම්මා දැන් බැහැලා පාර පැනලා ආපු පැත්තට යන බස් එකක් අරන් දෙහිවලට යන්න ඕනෙ... මෙයා කියලා තියෙනවා.
ඒත් එක්කම ඔහු බස් එකේ ඩ්‍රයිවර්ටත් කලබලෙන් කියලා මේ අම්මව බස්සන්න කියලා.
මහත්තයො අපිට හෝල්ට් එකෙන් පිට නවත්තන්න බැහැ. ඉස්සරහ හෝල්ට් එකේ තමයි නවත්තන්නෙ... රියැදුරු මහතා කිව්වලු.
තමුසෙලා මාර මිනිස්සු. සෙනඟ නග්ගගන්න ඕනෙම තැනක නවත්තනවා, ඒත් මේ අහිංසක අම්මව බස්සන්න බැහැ. මේ වයසක මනුස්සයා දෙහිවල බහින්න ඕනෙ කෙනෙක්, කියලා ඒ අම්මා දිහා බලනකොට එයා ජංගම දුරකතනයෙන් ගජරාමෙට කතාවක්ලු. බහින්න කිසිම ලෑස්තියක් නැහැ. බැලින්නම් වෙලා තියෙන්නෙ මේක...
මම බහින්නෙ දෙහිවල නෙවෙයි කටුබැද්දෙ. බස් එක දෙහිවල පහුවුණු ගමන් අපේ පුතාට කෝල් එකක් ගන්න කිව්වා. පුතා කටුබැද්දට ඇවිත් මාව වීල් එකකින් ගෙනියනවා...
අපේ කලා ශිල්පියාගේ මූණ රතු වුණාලු. වහාම බස් එකෙන් බැහැලා ඔහු වෙන බස් එකක නැඟලා ගෙදර ගියාලු.
මූණුපොතේ ලයික්ස්, කමෙන්ට්ස් සහ SMS තමයි අද පරපුරේ ජනප්‍රියත්වය මනින ප්‍රධානම සාධක වෙලා තියෙන්නෙ.
අද ඉතින් බොහෝ අය බොහොමයක් වැඩ කරන්නෙත් FB එක ඉලක්ක කරගෙන. හොඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ඇතිවුණු ගංවතුර උවදුර.
කාටහරි දුකක් කරදරයක් ඇතිවුණාම ජාති ආගම් භේදයෙන් තොරව එකා මෙන් එකතුවෙලා අසරණ අයට උදව් පදව් කිරීම මේ රටේ පුරුද්දක්. ඒක අගේ කළ යුතු දෙයක්. ඒත් අලුත්ම සංස්කෘතිය වෙලා තියෙන්නෙ ඒ සැම හොඳ ක්‍රියාවක්ම FB එකට පෝස්ට් කිරීමයි.
පහුගිය දවස්වල අවතැන්වූවන්ට උදව් කළ ඇතැම් පිරිස් ඒ ගැන මූණුපොතේ දාලා තිබුණේ ඒ වෙනුවෙන් වියදම් කරපු මුදල් ප්‍රමාණයත් සඳහන් කරලා. සමහර කලා ශිල්පීනුත් ඒ අතර හිටියා.
ඒත් කිසිම ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී අවතැන්වූවන්ට පිහිටවුණු කලා ශිල්පීන් රැසක් හිටියා. නමුත් සමහරු ඒ අය ගැන ඇතිකරගෙන ඉන්නෙ වැරදි අදහසක්.
හිතේ කිසිම තෙතමනයක් නැති මිනිස්සු. බලන්නකො අපි කොච්චර උදව් කළාද..., ඔය අලුත් පරපුරේ අය කිව්වෙ එහෙම.
ඒත් වෙනසකට තියෙන්නෙ අර මිනිස්සු අවතැන්වූවන්ට උදව් කළේ බොක්කෙන් මිසක ප්‍රචාරය බලාගෙන නෙවෙයි. අනික ඒ අය අවශ්‍ය දේවල් හොයලා බලලා අරන් දුන්නෙ ඒගොල්ලන්ගෙම සල්ලිවලින්.
අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් කාලෙක ඉඳලා දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. කෑම බීම ගැන පරෙස්සම් වුණාට, බේත් හේත් ගත්තට සීනි මට්ටම අඩුවෙන්නෙම නැහැ. ඒත් එයාගෙ කලා වැඩ කටයුතුවලට නම් මේ දේවල්වලින් කිසිම බාධාවක් නැහැ.
අන්තිම පාරට දොස්තර බලන්න ගිය වෙලාවෙ කියලා තියෙනවා ඉන්සියුලින් එන්නත්වලට යන්න වෙයි කියලා.
ඒකට බයවෙලා ඔහු දන්න කියන හැමෝගෙන්ම උපදෙස් ගන්නවලු සීනි ලෙවල් එක අඩු කරගන්න.
ඔන්න එක්කෙනෙක් කිව්වලු අහවල් තැන සිංහල බෙහෙත් බඩු සාප්පුවට ගියොත් එතන සීනි අඩුකරන වියළි කොළ වර්ගයක් තියෙනවයි කියලා.
වැඩේ හරියට හරි. එයාට බෙහෙත් වර්ගය හම්බවුණා. රෑට කොළ දෙක තුනක් වතුරෙ පෙඟෙන්න දාලා උදේට ඒ වතුර ටික බොන්න ඕනෙලු සතියට දෙවරක්. මෙයා බෙහෙත් ගන්න ගිහින් තියෙන්නෙ එයාගෙ නෝනත් එක්ක. බෙහෙත් ටික අරගෙන සල්ලිත් ගෙවලා මෙයා එළියට එන්නෙ නැහැලු. බෙහෙත් සාප්පුවේ වෙද මහත්තයගෙන් තව මොකක්දෝ අහන්න තියෙනවලු. කඩේ සෙනඟ වැඩි නිසා වෙද මහත්තයව අල්ලගන්නත් අමාරුයිලු. ඔන්න කොහොම හරි වෙද මහත්තයව අල්ලගෙන එයාගෙ කනට කරලා මොකක්දෝ ඇහුවලු.
වෙද මහත්තයෝ මේ බෙහෙත ගන්න ගමන් ඉඳලා හිටලා පොඩි එකක් ගත්තට අවුලක් වෙන්නෙ නැද්ද?
පොඩි එකක්නම් අවුලක් වෙන්නෙ නැහැ. ඒත් පොඩි එක පස්සෙ ලොකු වුණාම තමයි අවුලක් වෙන්නෙ, කියලා වෙද මහත්තයා කිව්වලු.
►Text – Mithra