2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

’’සෙක්ස්’’ නැතත් ආදරය නැතුවනම් ඉන්න බෑ - Nimanthi Porage

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 81

ආදරය කියන දේ ඔයාට දැනෙන විදිය කියන්න. ආදරයට නිර්වචනයක් දෙන්න?
ඇත්තම කිව්වොත් ආදරයට මට නිර්වචනයක් දෙන්න හරි අමාරුයි. ඒක එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙනවා. දැන් මගේ අම්මාගේ වයස අවුරුදු අසූවයි. එයා අදටත් මගේ දරුවන්ට ලබා දෙන ආදරය ගැන මට වචනවලින් කියන්න කරන්න බැහැ. අම්මා මට ලබා දෙන ආදරයත් ඒ වගේමයි. තවමත් එයාට මම පොඩි දරුවෙක් වගේ. මගේ දරුවෝ නිසා මට බණින වෙලාවල් ඕනෑ තරම් තියෙනවා. මම දරුවන්ට කරන ආදරයත් තවත් ආදරයක්. එයාලගෙන් මොන හිත් රිදීම් වුණත්, මොන අකීකරුකම් කළත් ඒ වෙලාවට මම ඒ අයට බැන්නත්, හිතේ වචනවලින් කියාගන්න තේරෙන්නෙ නැති ආදරයක් තියෙනවා. මගේ තාත්තා නැති වුණා. ඒක මට ලොකු කම්පනයක් වුණා. ඒ නිසා දැන් මට මගේ අම්මා ගැන බයයි. අම්මා නැතිවුණොත් මම ජීවත් වෙන්නෙ කොහොමද කියන බය මට තියෙනවා. හැබැයි මගේ දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෑ. සැමියා හා බිරිඳ අතරේ ඇතිවන ආදරේදී පොඩි පොඩි ගැටුම් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ ආදරේදී විශ්වාසය හා ගෞරවය අවශ්‍ය වෙනවා. අම්මා සහ දරුවන්ගෙ ආදරයටත්, ආච්චි සහ මිනිපිරි මුනුපුරන්ගෙ ආදරයටත් එහා ගිය  ආදරයක් ඒක. විශ්වාසය හා ගෞරවය නැතිවුණු තැනදී ඒ ආදරය බිඳෙනවා. ඒ නිසා සැමියා හා බිරිඳගේ ආදරේදී හරි පරිස්සමෙන් ආදරය කළ යුතු වෙනවා.

ආදරය නිසා ජීවිතයට ලැබුණු ජයග්‍රහණ හා වටිනාම දේවල් මොනවාද?
ආදරය නිසා මට බොහෝ ජයග්‍රහණ මගේ දරුවෝ ලබා දීලා තියෙනවා. ඒ දෙන්නගේ ජයග්‍රහණ මට දරාගන්න බැරි සතුටක්. මම බොහෝ කැපකිරීම් දරුවන් වෙනුවෙන් කරනවා. මගේ පුතා උසස් විදිහට සාමාන්‍ය පෙළ සමත් වුණා. දුව දැන් හය වසරේ. දුව කරාටේ සහ නර්තනවලින් ජයග්‍රහණ ලැබුවා. එයා තරගවලට ඉදිරිපත් වෙද්දී මගේ පපුව ගැහි ගැහී බලාගෙන ඉඳලා තියෙනවා. දුව ඒවායින් ජයග්‍රහණය කරද්දි මම ඒ සතුටට ඉන්න තැනත් අමතක වෙලා දරාගන්න බැරුව ඇඬුවා. දහස් ගණනක් සෙනඟ අතරේ ඇස්වලට කඳුළු ආපු දවස් තිබුණා. මට සම්මාන ලැබුණා. ඒ දවස්වලත් මම සතුටු වුණා. නමුත් ඒ සතුටටත් වඩා මගේ දරුවන්ගේ ජයග්‍රහණය එක්ක මට සතුටක් ලැබිලා තියෙනවා.

ආදරය නිසා ජීවිතයට ලැබුණු රිදුම්, අහිමිවීම් මොනවාද?
මගේ තාත්තාගේ අහිමිවීම අදටත් මට දරාගන්න බැහැ. දෙමාපියන් ඉන්න දරුවන්ට මම කියන්නෙ වචනයකින්වත් දෙමව්පියන්ට බණින්න එපා. දෙමාපියන් නැතිවීම අපිට දරාගන්න බැහැ. තාත්තා අසනීපවලින් පරිස්සම් වෙන්නෙ නැති වෙලාවල්වල, බෙහෙත් බිව්වෙ නැති වුණාම, දියවැඩියාව තියෙද්දි පැණි රස ගනිද්දි මම තාත්තාට බැණලා තියෙනවා. හැබැයි “ඇයි මම තාත්තගෙ හිත රිදෙව්වෙ”‍ කියලා අද මට හිතෙන වෙලාවල් තියෙනවා. තාත්තා මට මාර ආදරෙයි. සැමියා දරුවන් දෙන්නා එක්ක රෑ පාටියකට ගිහින් පාන්දර එකට දෙකට අපි ආවත් තාත්තා අපි එනතුරු ඇහැරිලා හිටියා. තාත්තාට තියෙන ආදරය නිසාම “ඇයි තාත්තේ නිදාගන්නෙ නැත්තෙ”‍ කියලා කිව්වත් “ඇයි මම එහෙම කිව්වේ”‍ කියලා අද හිතිලා තියෙනවා. ඒත් තාත්තාගේ ඒ ආදරය පුදුම ආදරයක්. ඒ ආදරය අහිමිවීම ලොකු දුකක්.

ආදරය නිසා රිදෙන තැන් දරාගන්න හොඳම විදිහ මොකක්ද?
මම හිතන්නෙ ඒ දේ දරාගන්න හොඳම විදිහ අපේ ආගම දහමට අනුව ජීවත් වීමයි. අහිමිවීමකදී අපිට හිත හදාගන්න අමාරු වේවි. කොච්චර මම මෙහෙම කිව්වත් මටත් ඒක අමාරු වෙනවා. ආදරය නිසා මගේ හිතත් රිදුණු තැන් තිබුණා. අඬලා අඬලා එක තැනකදි “මෙහෙම වෙන්න පුළුවන්”‍ කියලා හිත හදා ගත්තා. අපි හැමවෙලේම අනිත් කෙනා ගැනත් හිතන්න ඕනෑ. එයාගේ පැත්තෙනුත් හිතද්දී “එයාට එහෙම කරන්න යම් සාධාරණ හේතුත් තියෙන්න ඇති”‍ කියලා හිතලා හිත අමාරුවෙන් හරි හදාගන්න අපි පුරුදු වෙන්න ඕනෑ. වැරදි පැත්ත දකින්න දකින්න අපිට පේන්නෙම වැරැද්දම තමයි.

‘සෙක්ස්’ හා ‘ලව්’ අතර වෙනස ඔයා දකින්නෙ කොහොමද?
‘ලව්’ කරන්නෙ නැතුව ‘සෙක්ස්’ කරන්න පුළුවන්. ‘සෙක්ස්’ කරන්නෙ නැතුව ‘ලව්’ කරන්න පුළුවන්. ‘සෙක්ස්’ ඕනෑ කෙනෙක්ට කරන්න පුළුවන්. එතැන ආදරය අවශ්‍යම නැහැ. ආදරය කරන තැනකදී අපිට ‘සෙක්ස්’ නැතුව වුණත් ආදරය කරන්න පුළුවන්. ආදරය එක්ක කරන සෙක්ස්වලදී ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීම් දෙකක්. ඒ නිසා ආදරය හැමවෙලේම ඉදිරියෙන්ම තියෙනවා.

නිළියක් විදිහට ලැබෙන ප්‍රේක්ෂක ආදරේදී හුඟාක් සංවේදීව දැනුණු තැන් තියෙනවද?
මම “මිල්ලෑව වලව්ව”‍ ටෙලිනාට්‍ය රඟපාද්දි හරි ආදරණීය සිදුවීමක් සිදුවුණා. ඒකෙදි මම චරිත දෙකක් කළා. අම්මාගේ චරිතය වගේම ගොළු, වයසට යන ගෑනු ළමයෙකුගේ චරිතයකුත් කළා. ඒ ළමයාගේ මල්ලි හිර කරලා කියලා දන්නවා වුණාට ඒක කාටවත් කියන්න විදිහක් නැති හරි සංවේදී චරිතයක්. ඉතින් දවසක් සුපර් මාර්කට් එකේදී මට මගේ අම්මාගේ වයසේ ඇන්ටි කෙනෙක් මුණගැහුණා. ඇය මගේ අතින් අල්ලාගෙන “අනේ ඔයා අපිව අඬවනවා දුව. මට ඔයා වෙනුවට කතා කරලා මල්ලිව බේරලා දෙන්න පුළුවන් නම් කියලත් හිතෙනවා”‍ කියමින් ඇඬුවා. ඒක මට හරි සංවේදී වුණා. ඒ වෙලාවේ මටත් ඇඬුණා. මම හැමදාම රූපවාහිනියෙන් පේන චරිතයක් නෙමෙයි. හැබැයි මෙහෙම ආදරය ලබන්න මම වාසනාවන්තයි කියලා මටම හිතුණා.

ආයෙත් බලන්න ආසා හිතුණු ආදරණීය සිනමා පටයක් තියෙනවද?
ළඟදී මම නම් ඉංග්‍රීසි චිත්‍රපටය නැරඹුවා. ඒක කොරෝනා වගේ බෝවෙන රෝගයක් ඇහැට ඇහැ දකිද්දි බෝවෙන මාරාන්තික රෝගයක් ගැන කියැවෙන කතාවක්. ඒකෙ අම්මා කෙනෙක් ගාව කුරුල්ලෝ ඉන්න පෙට්ටියක් තියෙනවා. ඒ අම්මා ඇස් දෙක බැඳගෙන දරුවො දෙන්නවත් අරගෙන ලෙඩේ හැදුණු නැති පැත්තකට යන කතාවක් එක්ක දිගහැරෙන කතාවක්. ඒ අම්මා කුරුළු පෙට්ටියකුත් අරගෙනයි යන්නෙ. ලෙඩේ හැදුණු අය ඉඳිද්දි ඒ කුරුල්ලො කෑගහනවා. ඒ සංඥාවෙන් තමයි අම්මා හඳුනාගෙන රෝගීන් නැති පැත්තකට දරුවන් දෙදෙනා අරගෙන යන්නෙ. ඒක හරි සංවේදී චිත්‍රපටයක්.

ආයෙ ආයෙත් අහන, නිතරම අහන්න කැමති ආදරණීය ගීතය මොකක්ද?
මම හරි ආසා කරන ගීතයක් තමයි නන්දා මාලිනි මහත්මිය ගායනා කරන ‘සුළං ක​ෙපාල්ලේ තැනූ කැදැල්ලේ... කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ...’ ගීතය.

නිමන්තිට විරුද්ධ පාර්ශ්වයකට මුලින්ම ආදරයක් ඇතිවෙද්දි වයස කීයද? ඒ ආදරය මොන වගේ හැඟීමක්ද?
මම ඉගෙන ගත්තෙ කොළඹ ලු‍ම්බිණි විදුහලේ. මට අවුරුදු දාහතේදී විතර තමයි එහෙම ආදරයක් මුලින්ම ඇතිවුණේ. ඒක අනාගතය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන කරපු ආදරයක් නෙමෙයි. ඒ කාලේ අපිට ජංගම දුරකතන තිබුණේ නැහැ. මගේ යාළුවෙක්ගේ පොතක් ඇතුළේ දාලා යාළුවගේ අතේ මට ආදර ලියුමක් ලැබුණා. ඒක මට මාර අත්දැකීමක්.

අදටත් තිබුණා නම් හොඳයි කියලා හිතෙන අහිමිවුණු ආදරයක් තියෙනවද?
නැහැ එහෙම ආදරයක් නැහැ. ඒ තිබුණු ආදර කතා නොතේරුම්කමටත් එක්ක ඇතිවුණු ආදර කතා. මැරෙනකම්ම මගෙයි ප්‍රභාත්ගෙයි ආදර කතාව තියෙන්න ඕනෑ කියලයි මට හිතෙන්නෙ.

ජීවිතයට වැඩියෙන්ම ආදරය දැනෙන තැන්වලදී ඔයා ඒකට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද?
අපි හැමෝම අපිට ආදරය ලැබෙනවා නම් කැමතියි. මගේ තාත්තා නැතිවුණාම ප්‍රභාත් ඒක කරට අරගෙන කරද්දී මට ඒක දරාගන්න බැරි වුණා. ප්‍රභාත් තාත්තාට හරි ආදරෙයි. තාත්තාත් එහෙමම තමයි. “ඔයාට පින් සිද්ධ වෙනවා මගේ තාත්තා වෙනුවෙන් මෙහෙම කළාට”‍ කියලා මම ප්‍රභාත්ව බදාගෙන එදා ඇඬුවා. මගේ තාත්තා වෙනුවෙන් මෙහෙම කරන්නෙ ප්‍රභාත් මට කොච්චර ආදරේ නිසාද කියලා මට දැනෙනවා. ආදරය කරනවා කියලා දැනෙද්දි මට ඇත්තටම ඇඬෙනවා.

මඟ තොටකදී හෝ යම් තැනකදී ඔයා දැකපු ආදරණීයම සිදුවීම මොකක්ද?
මම හැමදාම වගේ නුගේගොඩදි වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දකිනවා. ඒ දෙන්නා අනුන්ට අතපාලා ජීවත් වෙන අහිංසක මිනිස්සු. ඒ දෙන්නා අතින් අල්ලාගෙන හෙමින් හෙමින් ඇවිදගෙන යනවා. එක්කෙනෙක්ට අමාරු වුණාම දෙන්නම නැවතිලා ටිකක් මහන්සි නිවා ගන්නවා. මට පුළුවන් විදිහට මම කීය කිය හරි දෙනවා. නැති බැරිවුණත්, මහ පාරට වැටුණත් ඒ දෙන්නගේ ආදරය නැතිවෙලා නැහැ.

ආදරේදී ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
ප්‍රභාත් මට බොහෝ තෑගි දීලා තියෙනවා. හැබැයි ඒ හැමදේටම වඩා එයා මට දෙන ආදරය, ගෞරවය, විශ්වාසය මට හරි වටිනවා.

ආදරය නිසා හිත රිදවන අයට වෛර නොකර ඉන්න කෙනෙකුට පුරුදු කරගන්න හොඳම විදිහ මොකක්ද?
අපිට ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ අපි පතාගෙන එන දේ අනුවයි. මම ඉපදෙද්දි මගේ පොත ලියාගෙන එන්නෙ. ඒක වෙනස් කරන්න තියෙන දේවලු‍ත් මගේ පොතේ ලියැවිලා තියෙනවා. ඒ නිසා අපිට යමක් නැති වෙන්නෙ ඊට වඩා හොඳ යමක් ලැබෙන්න කියලයි මම හැම මොහොතකම විශ්වාස කරන්නෙ. ඒ නිසා ආදරය නැතිවුණා කියලා වෛර කරන්න, මැරෙන්න යන්න එපා.

ආදරේදී සංසාරගත බැඳීම් විශ්වාස කරනවද?
ඔව් අනිවාර්‌යෙන්ම. මමයි ප්‍රභාතුයි හරිම අහම්බයෙන් හමුවුණේ. කීයටවත් ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න මම හිතුවෙ නැහැ. වෙන නිළියක් රඟපාන්න හිටපු ටෙලිනාට්‍යයකට දවස් දෙකකට පෙර මට කතා කළා. ඒ ජෝ අබේවික්‍රම මහතාගේ “සබඳ පබිලිස්”‍ ටෙලිනාට්‍යයට. ඒ ටෙලිනාට්‍යයේදී ප්‍රභාත්ගෙයි මගෙයි හමුවීම පුදුමාකාර අහම්බයෙන් සිදුවුණු දෙයක්. ඒ නිසා ආදරේදී සංසාරගත බැඳීම් මම විශ්වාස කරනවා.

• දිශානි ජයමාලි

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00