“ජීවිතේ කියන්නෙම Nonstop මෙලඩියක්” යෞවන පරපුර අලුත්ම මෙලඩියකින් කුල්මත් කළ “සෝලෝ ටවුන්” කියන්නෙ මේ වන විට තිරගත වෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළ මට්ටමේ පවතින චිත්‍රපටයක්. ඉතින් අද හදසර සමඟ එකතු වෙන්නෙ “සෝලෝ ටවුන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයෙකු සහ තිර රචකයෙකු වන චතුරංගන ද සිල්වායි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල සෝලෝ ටවුන් චිත්‍රපටය තිරගත වෙන නිසා සිනමා ශාලා සම්බන්ධ වැඩ කටයුතු, ප්‍රවර්ධන වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා.
“සෝලෝ ටවුන්” අධ්‍යක්ෂණය වගේම මෙහි පිටපතත් ඔබගේ. මේ වගේ චිත්‍රපටයක් කරන්න හිතුවෙ ඇයි?
මම සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩ කරන කාලයේ ගොඩක් සංගීත කණ්ඩායම් සමඟ කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා. මට ලොකු ආසාවක් තිබුණා අපේම සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්න. ඒ නිසා තමයි “සෝලෝ ටවුන්” කියන සංගීත කණ්ඩායම බිහිවුණේ. “ස්ටේජ් ඇඩ්වෙන්චර්ස්” (Stage Adventures)” කියන කම්පැනි එක යටතේ අපි “සෝලෝ ටවුන්” කියන සංගීත කණ්ඩායම ආරම්භ කළා. අපිට අවශ්‍ය වෙනවා ඔවුන්ව සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දීම පිණිස වෙනස් විදිහේ අලුත් වැඩක් කරන්න. ඒ හඳුන්වාදීමත් සමඟ සංගීත ක්ෂේත්‍රයේ සිදුවෙන සිදුවීම් සම්බන්ධ කරලා තමයි අපි මේ සොලෝ ටවුන් චිත්‍රපටය නිෂ්පාදනය කළේ.
“සෝලෝ ටවුන්” චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ?
“සෝලෝ ටවුන්” චිත්‍රපටයට ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මෙම චිත්‍රපටයට විශේෂයෙන්ම නව පරපුරේ ගායක ගායිකාවන් විශාල පිරිසක් දායකත්වය ලබා දෙනවා. ඒත් එක්කම, මෙච්චර පිරිසක් එකතුවෙලා මොකක්ද මේ කරපු වැඩේ කියන දේ නරඹන්න තරුණ තරුණියන් ලොකු ආසාවකින් ඉන්නවා. ඒ වගේම මේක සංගීතමය චිත්‍රපටයක් නිසා රූප වගේම සංගීතය රසවිඳින්න කැමති ප්‍රේක්ෂක පිරිසකුත් අපිට ඉන්නවා. මම හිතන්නෙ මේ හේතු දෙක නිසා තමයි “සෝලෝ ටවුන්” මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආකර්ෂණය හිමි කරගෙන තියෙන්නෙ.
මේ චිත්‍රපටය වඩාත් ආකර්ෂණීය වෙලා තියෙන්නෙ මෙහි තියෙන ගීත නිසා කිව්වොත් නිවැරදියි. ඒ ගැන කතා කළොත්?
මේක ගොඩක්ම සංගීතයට බර චිත්‍රපටයක්. මෙහි සම්පූර්ණ ගීත අටක් පමණ තිබෙනවා. ගීත කොටස් වශයෙන් ගත්තොත් ගීත ඔක්කොම එකොළහක් පමණ තියෙනවා. ඒ වගේම මේ කතාව ගලාගෙන යාමට මේ ගීතවලින් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මේ ගීත එකිනෙකට ගොඩක් වෙනස් විදිහටයි නිර්මාණය කරලා තියෙන්නෙ. මුළු චිත්‍රපටය පුරාවටම රසවිඳින්න පුළුවන් විදිහේ ගීත රාශියක් තිබීම ප්‍රේක්ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් වේවි කියලා මම හිතනවා.
මෙම චිත්‍රපටයේ සංදර්භය “හීන හඹා යන තාරුණ්‍යයේ කතාවක්”. වර්තමාන තරුණ පරපුරට මේ මගින් කිසියම් උත්තේජනයක් ලැබෙනවා නේද?
ඔව්... කණ්ඩායමක් විදිහට සාමූහිකව වැඩ කරන්නෙ කොහොමද කියන දේ මේ කතාව ඔස්සේ කතා කරනවා. කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට අපිට තියෙන සහයෝගය, සමාජීය වශයෙන් ලැබෙන රැකවරණය, ආරක්ෂාව, එකිනෙකා වෙනුවෙන් කැපවීම, අයුක්තිය වෙනුවෙන් සටන් කිරීම වගේ ධනාත්මක දේවල් මේ කතා සංදර්භයට ඇතුළත් වෙනවා. “අපි හීනවලට යනකොට අපේ බැඳීම් අහිමි කරගෙන ආත්මාර්ථකාමීව හීනය කරා විතරක් යන එක සුදුසු නැහැ” කියන පණිවිඩය මූලික වශයෙන් මේ චිත්‍රපටය හරහා ලබාදීම සිදු කරනවා. මෙහි ආදර කතා දෙකක් ගැන සිදුවීම් ඇතුළත් වෙලා තිබෙනවා. මේ ආදර කතා දෙක යොදාගෙන සිදු කරන්නෙත් චිත්‍රපටයක් විදිහට තියෙන මූලික අරමුණ ඉටුකර ගැනීමයි. ඒ තමයි අපේ සබඳතාවලදී තියෙන්න ඕනෑ අපි තනි තනිව ආත්මාර්ථකාමීව යන ගමනක් නෙමෙයි, එකිනෙකා සහයෝගයෙන් යන ගමනක් කියන කාරණාව.
සෝලෝ ටවුන් චිත්‍රපටය සඳහා අලුත් මුහුණු කිහිපයකුත් එකතුවෙලා තියෙනවා. නවක නළු නිළියන්ගේ දායකත්වය ගැනත් කතා කළොත්?
ප්‍රධාන වශයෙන් අපට ඕනෑ කළේ ඒ ඒ චරිත සඳහා සුදුසුයි කියලා හිතෙන අය තෝරා ගැනීමයි. තිර පරීක්ෂණයේදී චරිතවලට සුදුසුයි කියලා හිතෙන අලුත් අයව අපි තෝරගත්තා. මිෂෙල් දිල්හාරා වගේ නිළියන් එක්ක වැඩ කරනකොට, මේක වෙනස් විදිහේ අලුත් වැඩක්, හොඳ පණිවිඩයක් දෙන වැඩක් කියන එක එයාලා අවබෝධ කර ගත්තා. සිනමාවට නවක පිරිසක් හිටියට ඒ හැමෝම මේ කාර්යය ගැන මනා අවබෝධයකින් යුතුව චිත්‍රපටය සාර්ථකව සිදු කරගෙන යන්න අපට උපරිම සහයෝගය ලබා දුන්නා.
චිත්‍රපටය රූගත කිරීමේදී සිදුවුණු රසවත් සිදුවීම් ඕනෑ තරම් තියෙන්න ඇති. ඒ ගැනත් මතක් කරමු?
“රෑම අපි ඇහැරන්” කියන ගීතයේ රූගත කිරීම් කරනකොට ගොඩක් රෑ වුණා. රෑ අට නවය වගේ වුණා. අපි රූගත කිරීම් කළේ දූපතක් වගේ ස්ථානයක. රූගත කිරීම් කරපු දූපතේ ඉඳලා එගොඩට යන්න ප්‍රවාහන පහසුකම් නැතිවීම හේතුවෙන් අපිට හැමෝටම රාත්‍රිය ගත කිරීමට සිදුවණේ ඒ හිටපු දූපතේමයි. ඇත්තටම ඒක හරිම ලස්සන මතකයක්. රූගත කිරීම් ඉවරවෙලා හරිම විනෝදයෙන් කාලය ගත කළා.
“සොලෝ ටවුන්” ශ්‍රී ලංකාවේ චිත්‍රපට කලාව වෙනස් මානයකට රැගෙන ගියා කිව්වොත් නිවැරදියි. ඒ වෙනස මොකක්ද?
සෝලෝ ටවුන් කියන්නෙ ලොකු කණ්ඩායමක වැඩක්. මෙහි අධ්‍යක්ෂණය දෙදෙනෙක් විසින් සිදු කළා. තිර රචනයට මාත් සමඟ තව දෙදෙනෙකුගේ සහාය හිමිවුණා. විවිධ අංශවලින් විශාල පිරිසක් සම්බන්ධ වීම නිසා අපි නිතරම දකින සිනමා නිර්මාණවලට වඩා වෙනස් විදිහේ නිර්මාණයක් බිහි කරන්න හැකියාව ලැබුණා. කණ්ඩායම් හැඟීමෙන් යුතු පිරිසකගේ සහයෝගය හා කැපවීම නිසා තමයි අපිට අවසන් ප්‍රතිඵලය සාර්ථකව සිදු කරගන්න පුළුවන් වුණේ. මම විශ්වාස කරනවා ඉදිරියේදී මේ ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් සාමූහිකව වැඩ කටයුතු කළොත් තවත් වෙනස් විදිහේ හරවත් සහ ආකර්ෂණීය නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබේවි කියලා.
“සෝලෝ ටවුන්” නිර්මාණයේදී ඔබට මුහුණ දීමට සිදුවුණු අභියෝග මොනවාද?
ගොඩක් කාර්යබහුල නළු නිළියන් සහ ගායික ගායිකාවන් සමඟයි අපි වැඩ කටයුතු කළේ. එහිදී ඔවුන්ගේ රූගත කිරීම සඳහා දින ලබා ගැනීම විශාල අභියෝගයක් වුණා. අපේ කණ්ඩායමෙන් 90% ක් වගේ පිරිසක් පළමුවරට තමයි සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණේ. අත්දැකීම් එකතු කරගෙන ඉදිරියට යන කණ්ඩායමක් වශයෙන් අපිට විශාල අභියෝගවලට මුහුණ දීමට සිදුවුණා. නමුත් අපි ඒ සෑම අභියෝගයක්ම ඉතා සාර්ථක අයුරින් ජය ගත්තා.
අවසාන වශයෙන් මෙම චිත්‍රපටය සාර්ථකව නිම කරන්න ඔබට සහාය දුන් පිරිස ගැනත් යම් මතක් කිරීමක් කළොත්?
“සොලෝ ටවුන්” නිෂ්පාදන කටයුතුවලට මූල්‍ය වශයෙන් සහ මූලික වශයෙන් දායක වුණු උදිත කුරේ මහත්මයා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි වීරසිංහ මහත්මිය යන දෙපළට කණ්ඩායමක් වශයෙන් අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම සහ මගේ බිරිඳ ප්‍රසාදි අබේගුණරත්න තමයි මෙහි තිර රචනයේ සිට මූලික වැඩ කටයුතු සිදු කළේ. ඒ වගේම අයේෂා ජයරත්න තිර රචනා කටයුතු සඳහා සම්බන්ධ වීම ගැන ස්තූතිය පුද කරනවා. ඒ වගේම අපේ නිෂ්පාදන කළමනාකරු ගංගීත් චන්ද්‍රාතිලක, සහාය අධ්‍යක්ෂ සහන් වික්‍රමාරච්චි මේ අවස්ථාවේ මතක් කරනවා. නිෂ්පාදන කටයුතුවලට ජුලියෝ ආයතනය (Gullio Studio) නියෝජනය කරමින් සම්බන්ධ වූ නරේන්ද්‍ර සහ ජූඩ් යන දෙදෙනාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මේ නිර්මාණය සම්පූර්ණයෙන් සැලසුම් කිරීම සහ කැමරා උපකරණ සම්බන්ධ මූලික වගකීම බාරගත් පුෂ්පික නිර්මාල් මහතා වගේම සම්බන්ධීකාරක උපුල් නිශාන්ත මහතාත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම නම් වශයෙන් සඳහන් නොකළත් මේ නිර්මාණය සාර්ථක කරගැනීමට ගායනයෙන්, රංගනයෙන් දායක වූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙනවා.
• මංගලා පවිත්‍රානි