2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

කැරොකේ ලෝකයටම පිස්සුවක්!

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

“පාටි එකක් දාන්න බෑ මචෝ දැන් කැරොකේ බොක්ස් එකක් නැතුව.”‍ ඒක තමයි මේ වෙනකොට ලංකාවේ ආතල් ගන්න culture එකේ තත්ත්වය. බර පන්තියේ නොවන සියලු‍ මධුවිත සාදවලදී, පවුලේ අය එකතුවෙලා දාන පාටිවලදී, යාළුවෝ හත් අට දෙනෙක් සෙට්වෙන අවස්ථාවලදී ලංකාවේ දැන් කැරොකේ කියන්නෙ පිස්සුවක්.

සිරාවටමයි කියන්නෙ හෙට අනිද්දට අපේ අය මයික් එකට ගහමරා ගන්නත් ඉඩ තියෙනවා. ඒ තරමට දැන් අපේ අය කැරොකෙ පිස්සො වෙලා තියෙන්නෙ. ඒත් මචෝ මේ Y Trend එකේ අලගිය මුලගිය තැන් අපේ සුදාලා ගොඩ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසාම අපි අද Y Trend එකෙන් කැරොකේ ආතල් එක ගැන ආතල් කතාවක් ගලපන්න හිතුවා.

“කැරොකේ”‍ කියන වචනය එන්නෙ මචෝ ජපන් භාෂාවෙන්. කැරොකේ (Karaoke)  භාෂාවේ "kara" සහ "oke" (Orchestra) යන පද දෙක එකට එකතුවෙලා තමා හැදිලා තියෙන්නෙ. එතකොට මචෝ මේ වචනය අර්ථ ගැන්වෙන්නෙ “උපකාර නැති වාදනය”‍ වගේ අදහසක්. සුදාලට කියන්න මේකට එච්චර ලොකු ඉතිහාසයක් නම් නෑ. 70 දශකයේ ජපානයේ තමයි මේ අලු‍ත් සංගීත සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙ. කොහොම වුණත් මචෝ අවුරුදු පනහක් වගේ ගතවෙද්දි මේ සීන් කෝන් එකට දැන් මුළු ලෝකයම පිස්සු වැටිලා.

මේ සීන් එකේ ආරම්භය ගැනත් ආතල් කතාවක් තියෙනවා. ජපන් සංගීතඥයෙකු සහ අධ්‍යක්ෂවරයකු වුණු දයිස්කේ ඉනොඕ (Daisuke Inoue) තමා 1971 දී පළවැනි කැරොකේ යන්ත්‍රය නිර්මාණය කරන්නෙ.
ඉනොඕට තමාගේ සංගීත කණ්ඩායමක් තිබුණා. තමන්ගේ සංගීත කණ්ඩායමේ සංගීතයට සමගාමීව ගායනය කරන්න “විශේෂ සංගීත කටහඬක්”‍ නැත්නම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔහු හඳුන්වා දෙන්නෙ ගායකයන් වෙනුවෙන්.
මේ සොයා ගැනීම විනෝදයක් ඇති කරපු සීන් එකක් වුණා. සරල ගීත ගායනා කරන්නත් බොහොම පහසුවක් සැලසුණා. හැබැයි මේ සංගීතඥයන්ට මේකේ වටිනාකම ආරම්භයේදී තේරුණේ නෑ. ඒ නිසා ඔහු මේ අපූරු සොයා ගැනීම ලියාපදිංචි කළෙත් නෑ. හැබැයි මචෝ දශකයක් යන්නත් කලින් කැරොකේ ජපානයේ පිස්සුවක් බවට පත්වුණා.

1980 දශකයේදී ජපානය තුළ මේ සීන් කෝන් එක කොච්චර ප්‍රචලිත වුණාද කිව්වොත් කැරොකේ ඒ රටේ මිනිස්සු විනෝද වෙන ප්‍රධාන දෙයක් බවට පත්වුණා. හෝටල්වල, අවන්හල්වල මිනිස්සු විනෝද වෙන තැන්වල, කැරොකේ යන්ත්‍ර භාවිත කරලා මිනිස්සු සින්දු කියන්න පටන් ගත්තා. ජපානයේ තාක්ෂණික දියුණුවත් එක්ක ජපන් බඩු ලෝකය පුරා යන්න පටන් ගත්තෙ ඔන්න ඔය කාලේ. 1980 දශකයේදී කැරොකේ යන්ත්‍ර ජපානයේ පිටතට, කොරියාව, චීනය, සහ දකුණු ආසියානු රටවලට යන්න පටන් ගත්තා.

ඊට පස්සේ මුළු ලෝකයම අලු‍ත් විනෝදාංශය වැළඳ ගත්තා.

1990 දශකයේදී “කැරොකේ පබ්”, “කැරොකේ නේට්වර්ක්” සහ “හෝම් කැරොකේ” සිස්ටම්වලට ලෝකය පුරා විශාල ඉල්ලු‍මක් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් සුදාලා දන්නවා අනූව දශකයෙන් පස්සේ ලෝකයේ තාක්ෂණය කොච්චර වේගයෙන් දියුණු වුණාද කියලා. ඉතින් 1990 න් පස්සෙ කැරොකේ CDs, DVDs, සහ ඊටත් පස්සේ Internet Karaoke Mp3  ලෝකය පුරා පැතිරිලා ගියා. ඉතින් මචෝ ඔයාලා කවුරුත් දන්න විදියට 2000 න් පස්සෙ Online Karaoke යෙදුම් (Smule, StarMaker) සමාජ ජාල අතර වේගයෙන් පැතිරිලා යන්න පටන් ගත්තා.

මුලින් මුලින් මේක සමාජ ශාලා සහ විශේෂ විනෝද අවස්ථාවලට යොදාගත් විනෝදාංශයක් බවටත් පත්වෙලා තිබුණා. කැරොකේ ක්ලබ් ගැන සුදාලා දන්නවා. ලංකාවෙත් මේක බොහොම තදට නැගලා ගියා කාලයක්. සුදලට සමහර චරිතවල නමුත් දැන් මතක් වෙයි. ලංකාව වගේ රටවල ලොකු සමාජ පන්තියේ චරිත අතර තමා මේ සංස්කෘතිය තිබුණේ.

ඒත් කොවිඩ් වසංගතයෙන් පස්සෙ තත්ත්වය ගොඩක් වෙනස් වුණා. කැරොකේ Box  සහ Private Booths වර්ගය ආසියාතික සංස්කෘතිය තුළින් පුදුම විදිහට ජනප්‍රිය වෙන්න ගත්තා. මිනිස්සුන්ගේ හුදෙකලාව නැති කරන අපූරුම විනෝදාංශයක් බවට මේක පත්වුණේ හිතාගන්නත් බැරි වේගයෙන්.

ඇත්තටම මචෝ කැරොකේවලින් වුණේ සාමාන්‍ය මිනිස්සු හැමෝටම ගායකයෝ වෙන්න අවස්ථාවක් ලැබිච්ච එක. සින්දු කියන්න කොච්චර ආසා වුණත් පිළිවෙළකට ලස්සනකට සංගීතයට සින්දු කියන්න ගොඩක් දෙනෙක්ට අවස්ථාවක් තිබුණෙ නෑ. කැරොකේ ආගමනයත් එක්ක ඒ අවස්ථාව මිනිස්සුන්ට ලැබෙන්න පටන් ගත්තා. පොඩි කැරොකේ බොක්ස් එකක්, මයික් එකක් සෙට් කර ගත්තම තමන්ගේ ගායන හැකියාව ප්‍රදර්ශනය කරන්න දැන් ඕනෑම කෙනෙක්ට පුළුවන්.

ඇත්තටම මචෝ මේ වෙනකොට මේ සීන් කෝන් එක විශාල උප සංස්කෘතියක් නිර්මාණය කරලා තියෙනවා. තවදුරටත් ඉහළ සමාජ පන්තියට විතරක් අයිති ආතල් එකක් නෙවෙයි කැරොකේ කියන්නෙ. මේ ආතල් එක කොච්චර දරුණුවට ලෝකය වැළඳගෙනද කියලා කියන්න ඉතාම සරල සාක්ෂියක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මචෝ.

2024 වන විට කැරොකේ යන්ත්‍ර වෙළෙඳපොළ ගෝලීය වශයෙන් USD බිලියන 6-8 අතර වටිනාකමක් අරගෙන තියෙනවා කියලා අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා. ඇත්තටම මචෝ ආසියාව සහ ඇමෙරිකාව තමා කැරොකේ වෙළෙඳපොළේ ප්‍රධාන හවුල්කරුවන්. ලෝකයේ ප්‍රධාන පෙළේ ඉන්න සියලු‍ම සංගීත යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගම් ප්‍රධාන වශයෙන්ම මේ වෙනකොට කැරොකේ වෙළෙඳපොළ ජය ගන්න ලොකු තරගයක ඉන්නවා. ඒකත් වෙනම ආතල් එකක්.

ජපානය, දකුණු කොරියාව, චීනය ආසියාවේ කවදත් මේ සීන් එකේ ඉහළින්ම ඉන්න අය. දැන් ආසියාවේ ඉන්දියාව ඇතුළු අපි වගේ පොඩි පොඩි රටවලු‍ත් සීන් එකට සෙට්වෙලා ඉන්නෙ. මේක ආසියාවට විතරක් අයිති ආතල් එකක් කියලා ඇමෙරිකාව පැත්තකට වෙලා ඉන්නෙත් නෑ. එයාලත් මේ ආතල් එක උපරිමයෙන්ම ගන්නවා.

ලංකාවේ දැන් කැරොකේ සංගීතය සඳහා වන යන්ත්‍ර උපකරණ සඳහා විශාල වෙළෙඳපොළක් තියෙන බව ඉතාම පැහැදිලියි. මේක ඇත්තටම වෙනම ආතල් එකක්. අනාගතයේ මුළු ලෝකයම සංගීතය සම්බන්ධව එකට එකතුවෙන ආතල් එක මේ සීන් එක වෙන්න පුළුවන්. ඉතින් මචෝ දැන් අපි හැමෝම ගායකයෝ.

• චමිඳු නිසල්