2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

සසරෙ පෙර කළ කුසලෙ බලයෙන උතුම් මේ රඟ හුරු වුණී...

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

වෙස් තට්ටුවේ රිදී වන් පත් පවා බෙර හඬ අස නැටවෙතැයි සිතන වින්දනීයම ඉසව්වක ඉඳින් මම නැවතෙමි. නිල්වන් අහස් තලය පසුබිම්ව ඉහළට එසවුණු වෙස් තට්ටුව සරසාලන රිදීපත් සැසලෙන භාව ලීල දසුනක් අස සනිටුහන් වූ සෞන්දර්යාත්මක මුද්‍රාව මා මන මත් කරවයි. ඉඳින් මා අමන්දානන්දයට පත් කරවන බෙර හඬත්, ගී හඬත් අභිමානවත් වින්දනීය උඩරට නර්තනයත්, සම්මිශ්‍රණය වූ රස සාර සරාගයක මම දැහැන්ගත වෙමි. චමත්කාරය යනු සියලු‍ සෞන්දර්යයන්ගේ හරය එක්තැන් වූ තෝතැන්නක් වී නම් සම්, මස්, ලේ, නහර, ඇට මිදුළු විනිවිද යන ස්නේහයකින් මා හෘද ලීලා මත් කරලූ ඒ ගීතයේ චමත්කාරය හා මම බැඳෙමි.
බෙර හඬටත්, බෙර පදයටත්, වෙස් නර්තනයටත් බැඳි ප්‍රේමණීය ඕවිල්ලෙහි නැලවෙද්දි ඇසුණු බෙර පද වෙනම රසයකි.

තරිකිට කඩතක ජිකුතක තරිකිට
රත කුකු තකු ජිං
තත් ජිත්
කුකුද ගජි
තක්කඩ ජික්කඩ දොංකඩ නංකඩ 
ජෙන්ගත් කරලක් ජෙමික් කුදා 
තක්කඩ ජික්කඩ දොංකඩ නංකඩ
තා කඩ දොං
කඩ දොං
තක්කඩ දොං
තක්කඩ දොං
කඩ දොං...

රමණීය රමණයක අවසානයේ ලේ නහර පවා අවුස්සාලන ප්‍රමුදිත සරාගී චමත්කාරය අංශුමාත්‍රය දක්වා රස භාව අවුස්සාලන සෙයින් ළය ලෙයම ඇහැරවන තවත් දෙයක් මේ මිහි මත ඇත්නම් ඒ වනාහි සංගීතයත්, ගීතයත්, නර්තනයත් යැයි මම විශ්වාස කරමි. සංගීතය යන අනන්ත සුව චාරිකාව තුළ බෙර හඬ යනු මානවීය චිත්තවේගයන් සුමට සියුම් ඉසියුම් වෙසින් ඇහැරවාලන අරුමයක් වග ද මම විශ්වාස කරමි. ගීතයත්, සංගීතයත්, නර්තනයත් යා වූ වත්කම් දරන්නට සාංසාරික කුසල සහේතුක හේතුවක් වග ද මම විශ්වාස කරමි. දෙවුර දැරූ ස්වර්ණවත් වගකීමක් සෙයින් ඒ කලාවන්හි අක්මුල් සොයා යමින් දෙවියන් විසින් දුන් පඬුරක් වෙසින් ඒ රස සාර කලාව ප්‍රාණසම ස්නේහයකින් ඔවුන් සුරකින්නේද එහෙයින්මය.

ඉතින් මට අවසරයි පළමු ස්තූතිය සහ ආදරය වෙස් මංගල්‍යය ගීතය නිමවන්නට මඟ කී රන්වල බලකායේ දැවැන්තයාණන්ට සහන් රන්වලයන්ට පුදන්නට.

 තවද සොඳුරු වෙහෙසක් සෙයින් දැනෙන වෙස් මංගල්‍යය ගීතය වෙනුවෙන් අංශුමාත්‍රික අංශුමාත්‍රයකින් හෝ එහි දායකත්ව සමුදායේ සියල්ලන් වැය කළ කාලයට, දහදියට හා හිතුවිල්ලට අප්‍රමාණ භක්ත්‍යාදරයෙන් මම ස්තූති යැයි කියමි.

එහෙත් මගේ අසීමාන්තික ආදරයේ මල් කළඹ මා පිරිනමන්නේ විස්මිත ශාස්ත්‍රීය හැඩ තල අතරේ දෝර ගලා යන රිද්මයකට උඩරට නර්තනයේ ද්වාරයන් හැරලූ ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ආදරණීය ගුරුදේවයන් අසය. සිංහල පිරිමියා යනු මේ යැයි හඟවන පෞරුෂයකින්, උඩරට නැට්ටුවා මේ යැයි හඟවන වෙසෙකින්, උඩරට නර්තනයේ පාරිශුද්ධතම හරය අාධ්‍යාත්මික ආලවන්ත බැඳීමක් හා සම්මිශ්‍රණය කරමින් රවිබන්ධු විද්‍යාපති ගුරුදේවයාණන් ගීතය පුරා මවාලූ නර්තන රසය වදනින් මෙතෙකැයි මෙපමණකැයි නිර්වචනය කරන්නට තරම් මා වදනින් දුප්පත්යැයි මට සිතේ. එය එතරම්ම මනරම්ය. සම්මානිත මහාචාර්ය මුදියන්සයේ දිසානායක, නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ සහ චන්න විජේවර්ධන නර්තන සුසංයෝගයට ආචාර්ය රවිබන්ධු විද්‍යාපති නර්තන මුහුව මා විවරණය කරන්නේ අහසක් එකලු‍ කරලූ පුර සඳක ආගමනයක් ලෙසය. හැමදාමත් බෙර හඬට ඒ පා තබන වග ඒ අත් ලෙළ දෙන වග ඒ දෙවුර ඒ සිරුර රිද්ම වින්‍යාසයකට හැඬවෙන වගට වෙස් මංගල්‍යය ගීතය තුළ ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ගුරු ​ෙද්වයාණන්ෙග් නර්තන ලීලා මට නිහඬවම සාක්ෂි සපයන වග මට හැඟේ.

ආත්මීය ආලයකින් නර්තනය හා බැඳුණු ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ගුරුදේවයාණන් සුගායනීය විලාසයකින් ගී ගයන' යුරු ඉතින් මට තවත් පුදුමයකි.
තවද දස දහසක් දරුවන්ට නර්තනවේදයේ “අ” යන්නේ සිට ඉගැන්වූ සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුතුමාණන් මේ තරම් ගැඹුරු හඬකින් ගී ගැයීම කෙතරම් ආස්වාදනීය අත්දැකීමක් වීද?
මේ සියල්ල අස තවත් ලියන්නට දෙයක් ඇත. සහන් රන්වලගේ ආදරණීය දැනමුතුකම ඉවසමින් ගීය ලියූ චන්දන මනෝජ් විතාන ද ගෞරවයෙන් සිහිපත් කළේ සහන්මය.

ඉතින් සහන්... කී වතාවක් ඇහුවත්, කී වතාවක් බැලු‍වත් එපා වෙන්නැති ගීතයක් නිර්මාණය කරන්න හිතුණේ කොහොමද?

දවසක් රූපවාහිනී වැඩසටහනකදී මට මුදියන්සේ දිසානායක සර් හම්බවුණා. සර් ගායනා කරන විලාසය දැක්කම මට හිතුණා සිංදුවක් කරන්න තියෙනවානම් කොච්චර හොඳද කියලා. සර් වගේම ආචාර්ය රවිබන්ධු විද්‍යාපති සර් කියන්නෙත්  ශාස්ත්‍රීය නර්තන ශිල්පියෙක්. ඒත් ඒ නර්තනාචාර්යවරුන් තුළ සිටි ගායනවේදීන් කොයි තරම් භාවපූර්ණ රිද්මයකට ගයන්න පුළුවන් ගායකයන්ද කියන එක ඔප්පු කරන්න මේ ගීතය ලස්සනම සාක්ෂියක්. මම එදා මුදියන්සේ සර්ගෙන් අපි සින්දුවක් කරමුද කියලා ඇහුවම සර් එක්වරම දුන්න උත්තරේ තමයි හා කියන එක. එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න මගේ තාත්තාගේ ශිෂ්‍යයෙක් තමයි චන්දන කියන්නෙ. චන්දන අයියට වුවමනා වුණේ එතුමාගේ දියණියගේ පාහිම්පත් මංගල්‍යය වෙනුවෙන් ගීතයක් කරන්න.

කිහිප වතාවක් සංස්කරණය වීමෙන් පසු එළිදැක්වුණු පද රචනාව තමයි මේ. චන්දන හරිම සාවධානව ඇහුම්කන් දෙන ඉවසිලිවන්ත කෙනෙක්. අනෙක් නැටුම් සම්ප්‍රදායන් අයින් කරලා වෙස් මංගල්‍ය ගීතයක් අපි කරමුද කියලා මම ඇහුවම චන්දන අයියා ඒකට එකඟ වුණා. මුදියන්සේ සර් වෙස් ඇඳුම් ඇන්දෙ අවුරුදු පහළොවකට පස්සේ. චන්න විජේවර්ධන නර්තනවේදියා වෙස් ඇඳුමෙන් සැරසුණේ අවුරුදු විස්සකට පස්සේ. එදා මුදියන්සේ සර්ට වෙස් ඇඳුම අඳින්න ඉස්සර රැවුල කපන්න යන මොහොතේ තමයි මම කතා කළේ. මම කීවා සර් සින්දුව කියනකම් ඉන්න, මොකද රැවුල කපලා සින්දුව කිව්වොත් සර් එකපාරට අඳුරගන්න බැරි වෙයි. සිංදුව කීවට පස්සේ වෙස් නටන්න කලින් අපි රැවුල කපමු කියලා. සර් නිහතමානීව ඒකට එකඟ වුණා. රූගත කිරීම් කරන දවසේ හොඳටම වැස්ස. එහෙත් ඒ වැස්සත් ආශිර්වාදයක්. අවසානයේ සියල්ල සුන්දරම එකතුවක් වුණා. ඒ සහන්ය.

මට සමාවෙන්න... වෙස් මංගල්‍යය ගීතය නිර්මාණයේදී එය හා අත්වැල් බැඳගත් පිරිසෙහි නාමාවලිය මාගලක් මෙන් දිගය. එහෙයින් මට ලියන්නට බැරිය. නොලියුවත් කුමන දොසක්ද? මට හිතෙන්නේ එහෙමය. මක් නිසාද යත් සුන්දරම ප්‍රතිචාර මැද ගලා යන වෙස් මංගල්‍යය ගීතය Youtube ඔස්සේ ඕනෑම කෙනෙකුට අහන්නට හැකි නිසාය . ඉතින් අහන්න...

සිරි දැරු මළය රට - තුන් රාජ වර පැමිණ
භූපල් පඬුවසුන් - දොස් නැසූ යාගයෙන
යක් දෙස් වරම් ලද - එකුමරුන් නමා වැඳ
යක් දෙස් වරම් ගෙන - රැඟීමට යදිමු වර

අතුරා සුදු වැලි සිටුවා කප් පෙල
දෙව් පුද යහන සදන්නේ...
සනසා සැම සිතු ලබනට යසිසුරු
අටමගලය අතුරන්නේ...
පැමිණා සුරඟන මෙතිනා නෙත පා
ගගන තලේ වැඩ ඉන්නේ...
තෙදිනා වොරඳන යක් දෙස් පෙළහර
කරළියෙ දැන් රඟ දෙන්නේ...

මහ රෑ... සිප් සයුරූ පිදු ගුරුසේනා පද
වඳිමු සදා...
දුරලා... කිළිමල්... දෝසා පේවී රැකුණෙමු
ති දොර නමා...
අංගීරස, දම්, සඟ ගුණ බලයෙන්
රැගුම් පිරූයෙමු වී නොලසා...

බැස වැන්දෙන් සිට වැන්දෙන් ඉරුගල් බණ්ඩර සුරිඳුනි...
එසක්වල මෙසක්වල ඔබට ගැති දෙව් සෙනඟිනි අවසර...
පාහිම්පත, අවුල්හැරය ඈ දෙතිසක් බරණයන්ට අධිගෘහ වූ සැම දෙවියනි...
වඩවා විරි සිත කඩා විඩා වෙර
දිනු සිප් අතැඹුල සේ සොඳිනා...
මෙරඟ එකළු කර ගෙනහැර පෑමට
දෙනු ඔබගේ වර පා කරුණා...

(මංගලම් පදය)
සසරෙ පෙර කළ කුසලෙ බලයෙන උතුම් මේ රඟ හුරු වුණී..

දරා වෙස් වත දේව මෙහෙයට උදම් වී අප කැප වුණී...

පොරණ සිට හැම දෝස දුරලූ උතුම් යක් දෙස් වර ලැබී... විසම මිහිමත දනන් පෙලනා දෝස නසමුව ආසිරී...

වේදිකා සරසනු වස් කුමන ආරක කුමන ගී ගැයුවත්, සළු පිළි කුමකටදැයි සිතන අයුරින් සළු පිලි ඉවතලා  රැඟු‍වත් ඒ ගයන්නන් සහ රඟන්නන් වෙනුවෙන් ඕනෑ තරම් කාසි රුපියල් සහ ඩොලර් වියදම් කරන්නට උන් සිටියත්, අවුරුදු සිය දහස් ගණනක් පැරණි පාරිශුද්ධ අභිමානවත් සෞන්දර්යාත්මක උරුමයක සම්ප්‍රදායන් සහ සම්ප්‍රදායන් සුරැකි කොටගත් නවීකරණයන් වෙනුවෙන්, ආත්මීය සරතැස නිවාලන ජන ගී, ශාස්ත්‍රීය ගායන සහ නර්තන විලාසයන් වෙනුවෙන් තැනෙන වේදිකා සහ පිරිනමන කාසි රුපියල් ඩොලර් බොහෝ නොවෙන වග හැඟේ. එහෙත් හිරිවැටුණු ආධ්‍යාත්මයන් සහ හදවත් නිවාලන චමත්කාර වූත්, සෞන්දර්යාත්මක වූත් ඉවසිලිවන්ත ශාස්ත්‍රීය ඉසව්වක සැරිසැරීම මිහිරකි! ආස්වාදයකි! වින්දනයකි! වෙස් මංගල්‍ය ගීතය මා කියූ ඒ ස්වර්ණවත් සොඳුරුතා සියල්ලක් වෙනුවෙන් සොඳුරුතම සංනිදර්ශනයකි.

• සංජීවිකා සමරතුංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00