අනාගතයේ සුන්දර මනාලියක් ලෙසින් සැරසී තමන්ගේ නෑදෑ හිතවතුන් පිරිවර සමඟ මංගලෝත්සවය සැමරීම සෑම යුවතියකගේම සිහිනයකි. එහෙත් යුවතියක් වන්නටත් පෙර තමන්ගේ ජීවිතයේ සිහින කන්දරාවම අත්හරින්නට සිදුවූ පුංචි සුරංගනාවියක්, සියල්ල පසෙක තිබියදී තම මංගල සිහිනය සැබෑ කරගත් අපූරු පුවතක් පසුගියදා ස්කොට්ලන්තයෙන් වාර්තා විය.
වයස අවුරුදු පහක් වූ මේ පුංචි සුරංගනාවිය මාරාන්තික පිළිකා රෝගයකින් කලක පටන් පීඩා විඳින්නීය. උසස්ම ප්‍රතිකාර ලබාදුන්නත් ඇයව ජීවත් කළ හැකි කාලය ඉතාම කෙටි බව වෛද්‍යවරැන්ගේ අදහස විය. එනිසාම එයිලිඩ් පැටර්සන් නම් වූ තම සුරතල් දියණියගේ ආශාවන්ට ඉඩදෙන්නට ඇගේ මවුපියන්ට වුවමනා විය. නමුත් ඇගේ ආශාවන් අතර උඩින්ම තිබුණේ වෙනස් දෙයකි. කෙනෙකුට හිතෙන ආකාරයට කුඩා දැරියකට තරම් නොවන බරපතළ ආශාවකි. එනම් මනාලියක් වීමට ය.
චාරිත්‍ර වාරිත්‍රවලින් මෙන්ම අලංකාර ඇඳුම් පැළඳුම්වලින් යුතු මංගලෝත්සව රැසක් එයිලිඩ් දැක තිබුණාය. වැඩිවිය පැමිණි පසු තමා ද මේ ආකාරයට සුන්දර මනාලියක විය යුතු යැයි ඇය සිහින මැව්වාය. එහෙත් ඇගේ දෛවය ඊට හරස් විය. දෛවය කුමක් කීව ද තමාගේ ආශාව ගැන ඇය දෙමාපියන්ට කීවාය. දෙමාපියෝ ද ඇගේ ආසාව නිසා අසරණ වූහ. අවසානයේ ඇගේ ඉල්ලීම ඉටුකරන්නට ඉදිරිපත් වූයේ ඇගේ හොඳම මිතුරා හැරිසන් ය.
හැරිසන් හා එයිලිඩ් අතර මිතුදමද වසර කිහිපයක් පැරුණිය. ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි තරම් දැඩි මිතුදමකින් බැඳී සිටියි. ජීවිතයේ කිසිම දිනක මංගලෝත්සවයකට සහභාගී වී නොසිටි මංගල්‍යයක් යනු කුමක්දැයි කිසිම අදහසක් නොතිබුණු හැරිසන් ඇයත් තමාත් අතර ඇති මිතුදම ගැන පමණක් සිතා ඇගේ ආශාව ඉෂ්ට කිරීමට කැමති වුණේය.
ඒ අනුව හය හැවිරිදි හැරිසන්ගේත් පස් හැවිරිදි එයිලිඩ්ගේත් මංගලෝත්සවය ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හිදී පැවැත්විණ. මේ අපූරු මිතුරන් දෙදෙනා වෙනුවෙන් ශූභාශිංසන පළ කිරීමට ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් රැසක්ම ඊට එක්වුණහ. ඇතැම් දෙනා සැතපුම් දහස් ගණනක් ගෙවා ලෝකයේ වෙනත් රටවල සිට පවා පැමිණියහ. එම සියලු දෙනාම ස්පයිඩර්මෑන්, බැට් මෑන්, සුරංගනාවියන් වැනි කාටූන් චරිතවලින් සැරසී සිටීම විශේෂත්වයක් විය.
උත්සවය ඇරඹුණේ ඩිස්නි කාටූන් සංගීත වාදනයක් සමඟින් එයිලිඩ්ගේ වැඩිමල් සොයුරු කැලම් ඇයව මංගලෝත්සව ශාලාවට කැඳවාගෙන පැමිණීමත් සමඟ ය. රෝස පැහැති අලංකාර ගවොමකින් හා සුදු පැහැ වේලයකින් එලියිඩ් සැරසී උන්නේ සැබෑම මනාලියක ලෙසිනි. හැරිසන් ද ස්කොට්ලන්ත සම්ප්‍රදායට අනුව නිල් පැහැ කෙටි සායකින් හා කමිසයකින් සැරසී සිටියේය. උත්සවයේ වැඩකටයුතු පටන් ගැනුණේ පොඩිත්තන් දෙදෙන එකිනෙකා හා මාල හුවමාරු කරගැනීමෙනි.
ඉන් අනතුරුව සුරංගනා කතාන්දරයක් ආකාරයට එයිලිඩ්ගේ මව විසින් ලියා තිබුණු ඇගේ ජීවිත කතාව සියල්ලන්ටම ඇසෙන සේ කියැවිණ. පිළිකා රෝගය ඇයව ගිලගන්නට පැමිණි නපුරු වන මෘගයෙකු යැයි මව එහි ලියා තිබුණි. සියලු දෙනාම සංවේදී වුණු එම මොහොතේදී එයිලිඩ්ගේ වැඩිමල් සොයුරිය ඇය වෙනුවෙන් ලියූ කවියක් ගායනා කළාය. ‘Even if we are apart, I will always be with you’ (අපි වෙන්වුණත් මම හැමදාම ඔබ ළඟයි) යනුවෙන් එම කවියේ වචන ගලපා තිබුණි.
ස්වාමිපුරුෂයා සහ භාර්යාව වෙනුවට ‘සැමදා හොඳම මිතුරන්’ (Best friends forever) යැයි ප්‍රසිද්ධියේ දිව්රැම් දීමෙන් පසු එයිලිඩ් හා හැරිසන් නැටුමට එක්වූහ. එය ඇත්තෙන්ම විනෝද ජනක දසුනක් විය. මෙතෙක් වේලා සංවේදී බර වූ හදවතින් හුන් ආරාධිතයෝ සියලුදෙනා පොඩිත්තන් දෙදෙනාගේ ‘ගංග්නම් ස්ටයිල්’ නර්තනයට අත්පොළොසන් දෙන්නට වූහ.
► Text — Rajitha