නාද තීර්ථ සංගීත වැඩසටහනට ඔබත් සහභාගි වුණා. ඒ ගැන මුලින්ම කතා කරමුද?
ඔව්... සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කරන සමන්ත පෙරේරාගේ නිර්මාණ කාර්යයක් තමයි නාද තීර්ථ වැඩසටහන. මේ වන විට අපි වැඩි වශයෙන් හඳුනාගෙන තියෙන්නේ සංගීතය කියන දේ සරල දෙයක් විදිහටයි. මේ දිනවල වැඩිපුරම අපිට දකින්න ලැබෙන්නෙත් ඒකපුද්ගල ගී ප්‍රසංග හෝ කීපදෙනෙක් එක්ක එකතුවෙලා කරන ප්‍රසංගනේ. මේක එහෙම ප්‍රසංගයක් වුණේ නෑ. මේක සංගීත නාද මුල්කරගෙන තිබුණු සංගීත ප්‍රසංගයක්. මේකෙ මම ගායකයෙක් විදිහට සහභාගි වුණා.
ඒ ගායනයත් වෙනදාට වඩා වෙනස් වුණා නේද?
ඔව්... කටහඬ භාවිත කරගෙන වෙනස් විදිහේ අර්ථකථනයක් ගායනයට මම මේකෙදි දෙන්න උත්සාහ කළා. ලෝකයේ වෙන රටවල ගීතයයි සම්භාව්‍ය සංගීතයයි අතර තවත් කලා නිර්මාණ අනන්ත අප්‍රමාණව තියෙනවා. ඒවාට Art songs කියලත් කියනවා. ලංකාවේ ගීතය ඇරුණුකොට ඔපෙරා සහ තව කීපයක් හැරුණුකොට එතැනින් එහාට ඔය Art songs වැනි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණය කෙරෙන්නේ නැති ගාණයි. ඒ වගේ අත්හදා බැලීමක් තමයි නාද තීර්ථය තුළ සිදුවන්නේ.
නාද තීර්ථය ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට අහන්නට ලැබෙයිද?
ඔව්... අපි තිස්වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී ඒක ප්‍රදර්ශනය කළා. බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා ඒක තව ප්‍රසංගයක් විදිහට කරන්න කියලා. ඒ නිසා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයටත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ වැඩසටහන රට වටාත් පාසල් දරුවන්ට බලන්නත් මේක ප්‍රදර්ශනය කරන්න.
කේමදාස මාස්ටර්ගේ හොඳම ගෝලයෙක් වුණ ඉන්දිකා මාස්ටර් සංගීතයට කළ සේවය සහ මඟපෙන්වීම දකින්නේ කොහොමද?
මම හැමවෙලේම කියන දෙයක් තමයි මගේ ලෝකයේ වීරයා ආචාර්ය කේමදාස කියලා. අපේ රටේ සංස්කෘතියවත් අපේ රටේ කලාවවත් අපේ රටේ චින්තනයවත් මාස්ටර් පහුකළ මේ කිසිම යුගයක කිසිම තැනක මාස්ටර් වැනි පුද්ගලයකු බිහිවෙන්න සරු පොළොවක් වුණේ නෑ. අපේ ඉතිහාසයට ආපහු ගිහිල්ලා බැලුවම එහෙම සරු පොළොවක් තිබුණේ නැති තැනක මාස්ටර් වගේ කෙනෙක් ඉපදීමම එක්තරා සුවිශේෂී කරුණක් වුණා.
ඔබ කියන්නේ මාස්ටර් හැරුණාම අදටත් එහෙම කෙනෙක් නෑ කියලා?
ඔව්... හැමෝම ගලාගෙන යන අතට පිහිනාගෙන ගිහිල්ලා ඒ ඔස්සේ නිර්මාණවලට කොහොමද පිවිසෙන්නේ කියලා බැලුවා මිසක අපේ කවුරුවත් උඩුගම්බලා පිහිනීමක් කළේ නෑ. එහෙම ඉන්නවානම් සංගීතය පැත්තෙන් ඉන්නේ ආචාර්ය කේමදාසයන් විතරයි.
මාස්ටර්ගේ මියයාමත් සමඟ ඔපෙරා සංගීතය ගැන ඉන්දිකාට දැනුණේ කොහොමද?
ඔපෙරාව ඉදිරියට ගෙනියන එක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් කාරණාවක් නෙමේ. අනිත් එක අපේ රටේ සංගීත අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරුයිනෙ. ඔපෙරාවේදි කළ යුත්තේ ආචාර්ය කේමදාස කෙනෙක් යළි බිහිකිරීම නොවේ. ආචාර්ය කේමදාසයන් පටන් ගන්න තැනින් පටන් ගත යුතුයි. ඔපෙරාව බිහිවුණාට පස්සෙ ඔපෙරාව මේ දක්වා විවිධ සංගීතවේදීන් අතට පත්වෙමින් එයාලගේ ප්‍රකාශනය හරහා වෙනස් වේවි. ඒවා කලාවත්, ආසියාතික අනන්‍යතාවයත් හැටියට අපේ මාස්ටර් සුවිශේෂී චරිතයක්. මම ඒකේ නියෝජනය කළේ ගායිකාවක් විදිහට. ඒ නිසා මාස්ටර් වැනි සංගීතවේදියෙක් බිහිකරන්නනම් ඒ සඳහා හොඳ අධ්‍යාපන රටාවක් මේ රට තුළ තියෙන්න ඕනෙ.
මාස්ටර් ඉන්දිකාලට උගන්වපු දෙයින් මේ රටට යමක් කරන්න පුළුවන් නේද?
ඔව්... මට මාස්ටර් උගන්වපු හඬ තාක්ෂණවේදයක් අපිට තියෙනවා. 2008 මාස්ටර් නැතිවුණාට පස්සෙ 2009 අවුරැද්දෙ මම එක දෙයක් කල්පනා කළා. ඒ මාස්ටර් ගාවට මම ඉගෙන ගන්න ගියදා පටන් මාස්ටර් නැතිවෙනකන්ම මම මේ සුවිශේෂී විෂය මොකක්ද කියලා හදාරන්න පටන් ගන්නවා. ඒ හැදෑරීමත් එක්ක මම බොහෝ සංගීතවේදීන්ගේ සංගීතය රස විඳිනවා. අපි ඒවා මාස්ටර් හරහා අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඉතින් 2009 අවුරුද්දේ මම නැවත නැවත ආපස්සට ජීවිතය ආවර්ජනය කරමින් මගේ මොළය ඇතුළේ මාස්ටර් කියලා දීපු දේවල් කාවැදිලා ගබඩාවෙලා තිබුණා. අපේ ජීවිතයට තමයි ඒවා ජීර්ණය වෙලා තිබුණේ. ඒ නිසා මම නැවත මාස්ටර්ගේ මියයාමත් එක්ක මාවම අවදිකරගෙන මාස්ටර් කියලා දීපු දේවල් හොයන්න පටන් ගත්තා. මම උත්සාහ කරනවා මම ඒ කියලා දීපු දේ හරහා ගෝල පරම්පරාවක් හදාගෙන ඔවුන්ට මේ දේවල් කාවද්දන්න.
ඉන්දිකා ඔබ ඔපෙරා ගායිකාවක්. එහෙම නේද?
ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මම සරල ගීත ගායනා කරන්නේ නැද්ද කියලා. මම විශ්වාස කරන්නේ මම උත්සාහ ගත්තේ දෙපයින් හිටගන්න. මගේ පළවෙනි ගීතය සඳ පහන් රැයක් ගීතයයි. ඒක 1998. හැබැයි මගේ ජීවිතේ පටන් ගත්තේ කේමදාස මාස්ටර්ගේ ඔපෙරාවෙන්. සාමාන්‍ය පවුල්වල දරුවන් මේ බටහිර සංගීත ජානමය ඇති. ඔපෙරා වැනි සංගීත අපේ රටේ නඩත්තු වෙන්නේ නඩත්තු කරන්නේ ඉහළ පන්තියේ මවුපියන්ගේ දරු දැරියන් තුළ. ඉතින් ඒක නඩත්තු කරන්න පුළුවන් පරිසරයක් පෞද්ගලිකව මගේ මවුපියන්ටවත් කේමදාස මාස්ටර්ගේ පදනමට ආපු ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මවුපියන්ටවත් පරිසරයක් තිබුණේ නෑ. ඒක රැකිලා තිබුණේ මාස්ටර් නිසාමයි.
මාස්ටර්ගේ අභාවයත් සමඟ ඒක වෙනස් වුණා නේද?
මාස්ටර්ගේ අභාවයත් එක්කම අතිදක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙකුට යන එන මං නැතිවුණා. මාස්ටර් තමයි ඒ ශක්තියෙන් හරි අපූරුවට කේමදාස පදනම නඩත්තු වුණේ. සරල ගීතයෙන් එහා ගියපු රසඥතාවයක් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිබුණා. මම උත්සාහ කරනවා සරල ගීතය තුළින් මගේ සංගීත ජීවිතය බොහොම සාර්ථකව ගෙනියන්නට පුළුවන් බව පෙනි පෙනී මම උත්සාහ කරන්නේ ඒ තුළ දෙපයින් හිටගන්න නෙමේ... මාස්ටර්ගේ යම්කිසි දැක්මක් තියෙනවානම් ඒ දැක්ම මේ රටේ ගොඩනැගිය යුත්තේ කොහොමද කියන මාර්ගය හොයාගන්නයි.
Text – Jayamali / Pic - Internet