2017 ජුලි 01 වන සෙනසුරාදා

දිග බබා ඉක්මනින්ම රටින් යනවලු........

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 365

චන්දන ඔයයි දිල්හානියි විවාහ වුණේ කොයි කාලේදීද?
ඔන්න දැම්මා මාව අමාරුවේ. ඔය කාලවකවානු තමයි මට මතක හිටින්නේ නැත්තේ. (එහෙම කිව්ව චන්දන ළඟම හිටිය හොඳම ගෝලයෙක්ගෙන් විවාහ වුණු දවස මතක් කරන්න උදවු ගත්තා. හැම දෙයක්ම හොඳට මතක චන්දනට තමන් විවාහවුණු දවස අමතක වෙච්චි එකනේ පුදුමේ. කොහොමෙන් කොහොමහරි ගෝලයගේ උදව්වෙන් චන්දන ඒ සුන්දර දවස මතක් කරගත්තා) ගෝලයාගේ පිහිටෙන් මට විවාහවුණු දවස දැන් කියන්න පුළුවන්. අපි විවාහ වුණේ 1998 ඔක්තෝම්බර් 22 වැනිදා.

එතකොට චන්දයි දිල්හානියි ආසාවෙන් හිටියේ ඔය පුංචි පවුලට දුවෙක් ඉපදෙනවටද පුතෙක් ඉපදෙනවටද?
අවුරුද්දකට සැරයක් අපේ පවුලේ අයට දළදා පූජාවක් කරන්න තියෙනවා. එදා ගිය වෙලාවේ දිල්හානි දළදා මාලිගාවේදී මගේ පිටිපස්සට වෙලා හෙමීට මේ සුභ ආරංචිය කිව්වා. එයාටත් තිබුණේ පුංචි සැකයක්. මුලදී කියද්දී මට තේරුණේත් නෑ. මම හිටියේ අර මුරුතැන් පූජාව සිහියෙන් නිසා. ආයේ මම අහද්දී තමයි දිල්හානි මට කිව්වේ. එදා මට හරි සතුටුයි. 

පසුගියදා දෙවංගිගේ උපන්දියටත් දළදා මාලිගාවට ගියා නේද?
ඔව්... ඔව්... ඒ ගිය වෙලෙත් මම දෙවංගිට තැන පෙන්නලාම කිව්වා. මෙන්න මෙතනදී තමයි ඔයා ගැන අම්මා මට මුලින්ම කිව්වේ කියලා 

දෙවංගි ඔය දෙන්නාගේ කුළුඳුල් දරුවා. එයා ලැබෙන්න කලින් බොහෝ බලාපොරොත්තු ඔය දෙන්නගේ හිත්වල තිබුණානේ?
ඔව්. ගොඩක් බලාපොරොත්තු තිබුණා. දිල්හානි මාධ්‍යවේදිනයක්. ඉතින් ඕනම අම්මා කෙනෙක්ට වගේම දිල්හානිටත් චූටි චූටි අමාරුකම් තිබුණා. හැබැයි ඒ හැම ඇඟේ අමාරුවක්ම දිල්හානි හරිම සතුටින් විඳදරාගත්තා. හැබැයි හිටපු ගමන් දිල්හානි මට අමාරුකම් පෙන්නුවා. මගේ ආදරේ වැඩියෙන් ලබාගන්න දිල්හානි බොරුවට අමාරුබව පෙන්නුවද දන්නෙත් නෑ.

දෙවංගි ඉපදුණු දවසේ අමතක නොවන සිදුවීමක් වුණා නේද?
මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න කලින් දෙවංගි අපි ඉන්න තැනට ආවා. හැබැයි මේ වෙලාවේ අපිට ඕනවුණේ දුව නැති තැන තාත්තාගෙන් දුව ගැන අහන්නේ ඒ නිසාම අපි දෙවංගිටත් පොඩ්ඩක් එහාට වෙලා ඉන්න කියලා ආදරණීය ඉල්ලීමක් කළා

හරි දැන් දුවත් එහාට ගිටපු එකේ අර එදා වෙච්චි දේ ගැන කියමුකෝ?
දිල්හානි හොස්පිටල් එකේ ඇඩ්මිට් කළාට දිල්හානිට දරුවා ලැබෙන්නේ නෑ. අපේ ලොකු මාමා හොස්පිටල් එකේ ඉඳන් පිරිත් පවා කීවා. දරුවා ලැබෙන්න දිනත් පහුවෙලා. පස්සේ වෝටර් බෑග් එක ඩැමේජ් කළා. ඒක ඩැමේජ් කළාට පස්සේ දිල්හානිගේ උදරය බලන් ඉද්දීම අඩුවෙනවා. හැබැයි දරුවා ලැබෙන්නේ නෑ.

ඒ කියන්නේ එතන ලොකු කලබලයක්?
ඔව්... ඇත්තටම නර්ස්ලා එහාට දුවනවා... මෙහාට දුවනවා. අපිට කරගන්නත් දෙයක් නෑ. හොඳ වෙලාවට වෛද්‍ය තිලක් ජයරත්න මහත්තයා පහළ ඉඳන් උඩට එනවා. එදා අපේ වෙලාවටද හන්දා හොස්පිටල් එකේ සෝපානය වැඩ කරන්නෙත් නෑ. ඒ නිසා ඩොක්ටර් පහළ ඉඳලා තට්ටු පඩිපෙළ නැගලා උඩට දිව්වා. එක පාරටම ගිහින් දිල්හානිව එතනින්ම තියටර් එකට ගත්තා. එතනදී දිල්හානිගේ කුසේ ඉන්න බබා අරගෙන මට ඩොක්ටර් ගෙනත් දුන්නේ ඔන්න දිග බබෙක් කියලයි. 

දෙවංගි කියන නම දැම්මේ කවුද?
ඒ නම තිබ්නේ අරිසෙන් අහුබුදු මහත්තයා. ‍දෙවංගි කියන්නේ දිව්‍ය අංග ඇත්තී කියන තේරුමයි. එයාගේ නම දෙවංගි චමෝද්‍යා වික්‍රමසිංහ

පුංචි කාල් දෙවංගි මොන වගේද?
චූටි කාලේත් එයා දඟ නෑ. අපේ දෙවංගි හරි අහිංසකයි. එයා එයාගේ වැඩ. එයාගේ පාඩුවේ කරනවා. දුව ලැබිලා අවුරුදු දහයකට පස්සේ දිල්හානිට නිවුන් පුතාලා දෙන්නෙක් ලැබුණනේ. පුතාලා දෙන්නයි දෙවංගියි හාත්පසින්ම වෙනස්.

එයා  බබෙක් ගැන කියද්දි මම හිටිය‍ේ මුරුතැන් පුජාෙව් සිහියෙන්

ඉස්කෝලෙදිත් එයා එහෙමද?
නෑ.. ඉස්කෝලේදී නම් එයා කෙලිලොල් කියලා ආරංචියි. හරියට සෙල්ලම් කරනවා. යාළුවෝ එක්ක දඟලනවලු. හැබැයි මම ඉස්සරහදිවත්, දිල්හානි ඉස්සරහදිවත් එහෙම නෑ. එයා ඉගෙන ගත්තේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ.

වැඩිපුර එකතු අම්මා එක්කද... තාත්තා එක්කද?
එයා මම හිතන විදිහට බයනම් මට තමයි. හැබැයි ඔක්කොම හොර රහස්, කුමන්ත්‍රණය තියෙන්නේ අම්මා එක්ක. අම්මා සහ දුව අතර තියෙන සම්බන්ධතාවය බොහෝ වැඩියි. මට මොකක්හරි දෙයක් කියන්න ඕනවුණොත් දෙවංගි මුලින්ම කියන්නේ එයාගේ අම්මට. අම්මාගේ මාර්ගයෙන් තමයි මට කියන්නේ.

මගේ ආදරේ වැඩියෙන් ලබාගන්න දිල්හානි බොරුවට අමාරුබව පෙන්නුවද දන්නෙත් නෑ.

ඒ කියද්දීත් දිල්හානි හරි ලස්සනට කියනවා ඇති නේද?
ඔව්.. ඔව්.. යාළුවන් එක්ක ට්‍රිප් එකක් යන්න කිව්වොත් දිල්හානි කියන්නේ මේ දුවට ට්‍රිප් එකක් යන්න තියෙනවා... මොකද කරන්නේ අපිත් යනවද? කියලා. මට වෙන වැඩ නැහැනේ මේ ඔක්කොම වැඩ දාලා ට්‍රිප් යන්න. එක් දිල්හානි දන්නවා. අන්තිමට ඉතින් දුවව යවනවා.

දෙවංගි චන්දනගේ ගෝලයෙක් නෙවෙයිද?
නැහැනේ... අපේ දෙවංගි එහෙම නටන්නේ නැහැනේ. පුංචි කාලේත් එයා මම දරුවන්ට නැටුම් උගන්නද්දී දොරට මුවාවෙලා බලාගෙන ඉන්නවා. හැබැයි එයා හරි දක්ෂ දරුවෙක්. 

ඒ වුණාට දෙවංගි එක්තරා වැඩසටහනකදී අමරදේව මාස්ටර්ගේ ගීතයකට නර්තනය ඉදිරිපත් කළා නේද?
ඔව්... එක්තරා වැඩසටහනකදී අමරදේව සර් වෙනුවෙන් කළ උපහාර ගීතයට දරුවන් එක්ක නර්තනය ඉදිරිපත් කළේ දෙවංගි. එදා මම හරි සතුටු වුණා. එදා ෆීල්ඩ් එකේ අයත් දැනගත්තා කවුරු හරි අලුත් නර්තන ශිල්පියෙක් ඇවිල්ලා කියලා. දෙවංගි නර්තනය ඉදිරිපත් කරද්දී බලන් හිටපු අයත් හොයන්න පටන් ගත්තා කවුද මේ ගෑනු ළමයා කියලා. ඇත්තටම එදා මට ගොඩක් සතුටු හිතුණා.

දෙවංගිව කලි එළියට ගේන්න ඇයි මෙච්චර පරක්කු?
මට මුලින්ම ඕනවුණේ දෙවංගිට හොඳට උගන්වන්න. එයා ඒ දේ හොඳටම කළා. ඊළඟට මට ඕන වුණේ දෙවංගිට. ක්‍රමනුකූලව නර්තනය ඉදිරියට ගෙන්වන්න දෙවංගි ඉන්නවා කියලා මගේ දුව හරහා වෙන දරුවෙක්ට අසාධාරණයක් කරන්න මම කැමැති නෑ. ඒ නිසා දුව හෙමීට නටපුවාවේ කියලා මම ඉන්නවා.

ඔක්කොම හොර රහස්, කුමන්ත්‍රණ තියෙන්නේ අම්මා එක්ක

හිතාගෙන ඉන්නේ දෙවංගිව අනාගතයේ නර්තන ශිල්පිනියෙක් කරන්නද?
නෑ.. මෙයා අයි.ටී. ඉගෙන ගන්නවා. ඒ නිසා තවත් මාස හත අටකින් විදේශගත වෙන්න හිතාගෙන ඉන්නවා. මගේ මල්ලි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා උසස් අධ්‍යාපනයට දෙවංගි ඕස්ට්‍රේලියාවට යාවී. ඒ උසස් අධ්‍යාපනය කරලා ආවට පස්සේ නැටුම නැටුවට කමක් නෑ. මම දන්නවා එයා නටන්නත් එයි.

ඒ කියන්නේ දෙවංගිගේ නැටුම් ගුරුවරයා චන්දන නෙවෙයි?
අපොයි නෑ. ලයිසියම් එකේ මාත්‍රා කියලා කොන්සට් එකක් තියෙනවා. ඒ ප්‍රසංගයේදී දෙවංගි හරි අපූරුවට නටනවා. එයා මගෙන් අඩියක්වත් ඉගෙන ගෙන නෑ. එයාගේ ගුරුවරිය පාසැල් ගුරුවරිය වුණු ගයනි මිස්. මොනව වුණත් මෙයා උසස් අධ්‍යාපනය ඉගෙන ගන්නම ඕනේ. ඊට පස්සේ නටන නැටිල්ලක් නැටුවට කමක් නෑ. එතකන් එයාට අවසර නෑ. එයා විනයානුකූලව හොඳ පුහුණුවක් ඇතිව සුදුසු කාලයේදී නර්තනයට යොමු වේවි.

ඉගෙනගෙන ඉවරවෙලා ඕනැ නැටිල්ලක් නටපුදෙන්

දෙවංගි ආස නැද්ද තාත්තාගෙන් නැටුම් ඉගෙනගන්න?
අනේ... නෑ එහෙම නෙවේ. මම ආසයි තාත්තාගෙන් ඉගෙන ගන්න. ඒත් තාත්තා මුලින් කිව්වේ මුලින් හොඳට ඉගෙන ගන්න කියලයි. ඉතින් තාත්තාගෙයි අම්මගෙයි බලාපොරොත්තුව තමයි මම කළේ. ඉදිරියේදී මම තාත්තගේ හොඳම ගෝලයෙක් වෙන්න ආසයි.

ඒ වුණාට දෙවංගි වැඩිපුර ආදරේ අම්මටලු නේද?
අනේ නෑ...  මම අම්මටයි තාත්තටයි දෙන්නටම එකවගේ ආදරෙයි. හැබැයි මම වැඩිපුරම කිට්ටු අම්මටනේ. තාත්තා ගොඩක් වැඩ කරනවා. ගොඩක් කර්යබහුලයි. ඉතින් අම්මා තමයි අපිට වැඩියෙන්ම සමීප ඉතින්. තාත්තට කියන්න ඕනේ දේත් මම කියන්නේ අම්මා ලවා තමයි. 

ළඟදී දෙවංගි විදෙස්ගත වෙනවලු. අම්මා තාත්තා මල්ලිලා දෙන්නා දාලා යන්න දුක නැද්ද?
මම නම් කැමති නෑ විදෙස්ගත වෙන්න. ඒත් අම්මයි තාත්තයි කියන නිසා යන්නත් වෙනවා. ඒත් මෙයාලව දාලා යන්න නම් ගොඩක් දුකයි.

 

► Text – Jayamali / Pic - Sumudu

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00