2025 ජනවාරි 11 වන සෙනසුරාදා

ගල් යුගයෙන් - AI යුගයටත් පිණුම් ගහපු කාටූන්

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 8

ඔන්න මචෝ අද අරගෙන ආවා අපි කවුරුත් ආදරේ Trend එකක් ගැන අලු‍ත් කතාවක්. සීන් කෝන් එක කාටූන් ගැන. කවුද ඉතින් කාටූන්වලට ආසා නැත්තෙ. Cartoon කියන්නෙ අද ඊයේ නිර්මාණය වෙච්ච Trend එකක් නෙවෙයි. ඒත් මෑතකාලීනව බාල මහළු අපි කාටත් Cartoon ලෝකයේ විශාල පරිවර්තනවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම මේ කවුරුත් ආසා Cartoon ගැන කතාව සුදාලත් එක්ක බෙදාගන්න අපි තීරණය කළා.

ඉස්සර මචෝ කාටූන් කියලා කියන්නෙ අතින් අඳින චිත්‍ර භාවිත කරලා නිර්මාණය කරපු ලස්සන කලාවක්. මුල් කාලේ නිර්මාණකරුවන් විශාල වෙහෙසක් මහන්සියක් දැරුවා කාටූන් නිර්මාණය කරන්න. කොහොම වුණත් මේ සීන් කෝන් එකේ ආරම්භය ගැනත් වචනයක් හරි කියන්න ඕනෑ. කතාව හරියට අකුරට ගලපන්න ගියොත්, ගල් යුගයේ ගුහා චිත්‍ර ගැන හිටං කතා කරන්න වෙනවා. හැබැයි මචෝ අපි මේ සීන් එකේ ආතල් එක සහ රියල් එක චුට්ටක් ලයින් කරන්න හදන නිසා එච්චර දුර යන්න බැහැ.

මුලින්ම පුවත්පත්වල සඟරාවල තමා කාටූන් නිර්මාණය වෙන්න පටන් ගත්තෙ. එක්දහස් අටසිය ගණන්වල මැද පුවත්පතක ආණ්ඩුවක් විවේචනය කරමින් නිර්මාණය වුණු චිත්‍රයක් තමා මුල්ම කාටූනය විදිහට ගොඩක් දෙනා සලකන්නෙ. ඒ කාටූන් එක පළ වෙලා තිබුණේ 1843 "Punch" සඟරාවේ. ඇත්තටම මචෝ අද විනෝදාස්වාදය වෙනුවෙන් වැඩිපුර භාවිත කළත් කාටූන් ලෝකයට ඇවිල්ලා තියෙන්නෙ සමාජ දේශපාලන විවේචන මාධ්‍යයක් විදිහට.

ඒත් මචෝ අද ළමයින්ට සහ පොදුවේ අපි හැමෝටම විනෝදාස්වාදය ලබාදෙන සජීවීකරණ මාධ්‍යයක් විදිහට කාටූන් නිර්මාණය වෙන්න පටන් ගත්තෙ විසිවැනි සියවසේ දී. ලෝකයේ මුල්ම කාටූනය ලෙස සැලකෙන්නෙ 1908 වසරේ ප්‍රංශයේ නිර්මාණය වූ "Fantasmagorie" නම් කෙටි ‘ඇනිමේටඩ්’ චිත්‍රපටය. ඇත්තටම වර්තමානයේ තියෙන මේ කාටූන් කලාව ලෝකයේ ජනප්‍රිය වෙන්න හේතු වුණේ ‘වොල්ට් ඩිස්නි’ වගේ අයගේ මැදිහත්වීමයි. ඩිස්නි යුගය තමා මචෝ අපි හැමෝම මේ තරම් කාටූන් පිස්සෝ බවට පත් කළේ.

1928 දී "Steamboat Willie" - මිකී මවුස්ගේ ආරම්භය සිද්ධවෙනකොට 1937 දී "Snow White and the Seven Dwarfs"- පළමු සම්පූර්ණ දිගු ‘ඇනිමේෂන්’ චිත්‍රපට හැදුණා. කොහොම හරි 1980 න් විතර පස්සේ තමයි අද අපි වැඩිපුර බලන Digital Animation Cartoon නිර්මාණය වෙන්න පටන් ගත්තෙ. CGI තාක්ෂණය (Pixar සහ Disney) භාවිත කරලා තමයි ඔය අපි පොඩි කාලේ පිස්සු වැටුණු කාටූන් ගොඩක් නිර්මාණය වුණේ. ඒවා අයිති වෙන්නෙ ඩිජිටල් යුගයට.

කොහොම වුණත් මචෝ පහුගිය අවුරුදු පහළොවක විස්සක කාලය ඇතුළත කාටූන් තාක්ෂණය වගේම භාවිතයත් හිතාගන්න බැරි තරම් වෙනස් වුණා. ඇත්තටම දැන් තියෙන්නෙ ඉස්සර අපි බලපු චූටි චූටි කාටූන් ආතල් යුගයට වඩා වෙනස් එකක්. සුදාලා නොදන්න ලොකු කතාවක් මේක පිටුපස්සෙ තියෙනවා.

නව තාක්ෂණික යුගය තුළ කාටූන් නිර්මාණය වෙනස්වීමේ මූලික හේතුව වන්නෙ තාක්ෂණික සංවර්ධනය, විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණය, AI සහ CGI (Computer-Generated Imagery) පිළිබඳ මූලික ව්‍යුහයන්හි වර්ධනයයි.

දැන් ලෝකයේ ගොඩක් වෙලාවට කාටූන් නිර්මාණය වෙන්නෙ ඩිජිටල් මෘදුකාංග භාවිතයෙන්. ඉතින් මචෝ Toon Boom Harmony, Adobe Animate සහ Blender වැනි මෘදුකාංග ගැන කැමති නම් ඔයාලට හොයලා බලන්න පුළුවන්. හැබැයි මේ වැඩේ ඇතුළට මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාවත් ඕනෑ වෙනවා. ඒ නිර්මාණශීලී හැකියාව වඩාත් නිවැරදිව සහ පරිපූර්ණව සිද්ධ කරගන්න තමයි මේ මෘදුකාංග උදව් කරන්නෙ.

අපි කාටූන් කාටූන් කියලා කිව්වට දැන් ලෝකයේ වැඩිපුරම දැකගන්න ලැබෙන්නෙ 3D ‘ඇනිමේෂන්’. 3D තාක්ෂණය භාවිත කරමින් චරිත සජීවීව ඉදිරිපත් කිරීම මේ වෙලාවේ මුළු ලෝකයේම සිනමා කර්මාන්තයේ ප්‍රධාන කාර්යභාරයක් වෙලා තියෙනවා. මචංලා වැඩිදුර විස්තර හොයලා බලනවනම් Pixar Animation Studios සහ DreamWorks වගේ ආයතන ඔස්සේ මේ වැඩේ සිද්ධවෙන ආකාරය ගැන විස්තර අන්තර්ජාලයේ තියෙනවා.

ඊළඟට වචෝ මෑත කාලීනව කාටූන් ලෝකයේ සිද්ධවුණු විශාලම පරිවර්තනය තමයි කෘත්‍රිම බුද්ධියේ ආගමනය. AI සහ ‘මැෂින් ලර්නින්ග්’ පරිකල්පනයේ අවස්ථා දැන් මිනිසුන්ගෙන් ඈත්වෙලා කාටූන් ලෝකයේ වෙනස්ම තැනකට යමින් තියෙනවා.

AI-driven tools ඔස්සේ දැන් සෑහෙන්න ‘චිත්‍ර ඇනිමේශන්’ නිර්මාණය වෙනවා. DALL-E, Runway ML වගේ පරිගණක වැඩසටහන් තමා මේ වැඩේ ප්‍රමුඛයෝ බවට පත්වෙලා ඉන්නෙ. ඇත්තටම ලොකු ලොකු නිර්මාණ ශිල්පීන් නැතුව අපිටත් දැන් කාටූන් හදාගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. සිරාවටම ඒක පිස්සුවක් තමා. ඕනෑ යෙදවුම් තියෙනවනම් කැමති නම් අපිට අපේ කාටූන් නිර්මාණය කරගන්න පුළුවන්. සුදාලට මතක ඇති ඒ වගේ පිස්සු හැදෙන ආතල් Trend පහුගිය කාලයේ සමාජ මාධ්‍යවල සෑහෙන්න viral වුණා. මේ වෙනකොට කාටූන් ලෝකය තුළ Lip syncing, voiceovers වගේම facial animations ඇතුළු ස්වයංක්‍රීයව නිර්මාණය කිරීමේ හැකියාවට ලොකු තැනක් ලැබිලා තියෙනවා. මේක ඇත්තටම ලොකු Y Trend එකක්.

මේ වෙනකොට කාටූන් ලෝකයේ වැඩිපුරම ආකර්ෂණය දිනාගෙන තියෙන්නෙ Web Series සහ Short Form Content. සමාජ මාධ්‍යවල බලපෑමත් ඒකට ප්‍රධාන හේතුවක්. YouTube, TikTok සහ Instagram Reels වගේ වේදිකා කාටූන් බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන වෙලා තියෙනවා සුදාලට බලාගන්න පුළුවන්. ජනප්‍රිය චරිතවල, ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල ආභාෂය සහිතව නිර්මාණ සිද්ධ කිරීම, සජීවී සංදර්ශන පැවැත්වීම වගේ දේවල් පවා මෑත කාලීනව කාටූන් ලෝකය ඇතුළේ සිද්ධ වෙනවා.

හැබැයි මචෝ ප්‍රමිතිගත Content වල අවුලක් නිර්මාණය වෙලා තියෙනවා කියන එකත් අවසාන වශයෙන් කියන්න ඕනෑ. දැන් දැන් ගොඩක් වෙලාවට නිර්මාණය වෙන කාටූන්වල ආකල්පමය ගුණාත්මකභාවය ඉතාම අවමයි. ඇසැබි නිර්මාණ සඳහාත් විශාල වශයෙන් දැන් කාටූන් භාවිත වෙන්න පටන් අරගෙන. ඊළඟට ප්‍රචණ්ඩත්වය සහ සමාජ දුරාචාරය සඳහාත් මේ ඔස්සේ යම් දායකත්වයක් දක්වන අවස්ථා දැකගන්න පුළුවන්.

කොහොම වුණත් කාටූන් කියලා කියන්නෙ අපි හැමෝම කැමති දෙයක්. එදා ඉඳන් අද දක්වා කාටූන් ලෝයේ සිද්ධ වෙච්ච වෙනස්කම් සහ අද නිර්මාණය වෙලා තියෙන Trend ගැන කතා කරන්න තව ගොඩක් විස්තර තියෙනවා. ඉතින් තවත් දවසක කාටූන් ආතල් ගැන, ආතල් කතාවක් අරගෙන අපි එන්නම්. අදට නවතිනවා.

• චමිඳු නිසල්