දුශේනි... ලැබුවා වූ 2025 වසර සුබ නව වසරක් වේවා?
අනේ ගොඩක් ස්තූතියි. හදසර කාර්ය මණ්ඩලයටත් ලක්වාසී ලෝකවාසී හැමදෙනාටමත් ලැබුවා වූ 2025 වසර සුබම සුබ වසරක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.
මම දැන් දුශේනි කියන්නද... හිතෛෂී කියන්නද?
ඇත්ත... බොහෝ දෙනා මේ දවස්වල හිතෛෂීට ගොඩක් ආදරය කරනවා. හිතෛෂී කියන්නෙ සඳුන් රාජකරුණා මහතා අධ්‍යක්ෂණය කරන “මායාවී” ටෙලිනාට්‍යයේ මම රඟපාන චරිතයයි. මේ දිනවල හිතෛෂී එක්ක ටිකක් මම කාර්යබහුල වෙලා ඉන්නවා. මේ අවුරුද්ද පටන් ගැනීමත් එක්ක “මායාවී” වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඇත්තටම සමහර දවස්වලට මඟ තොටේදී කට්ටිය මට හිතෛෂී කියලා කතා කරන අවස්ථා තියෙනවා.
දුශේනි හිතෛෂී වුණේ කොහොමද?
“මායාවී” ටෙලිනාට්‍යයේ තිර පිටපත් රචකයා මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතායි. එහි අධ්යක්ෂ සඳුන් රාජකරුණා මහතා සහ නිෂ්පාදක ලලිත් වසන්ත මහතායි. මේ ටෙලිනාට්‍යයේ හිතෛෂීගේ චරිතය නිර්මාණය කරන විදිහ ගැන මේ නාට්‍යයට එන්නත් කලින්ම මහේෂ් අයියා ගැනයි සඳුන් අයියා ගැනයි මට ලොකු විශ්වාසයක් තිබුණා. මට කොටස් පනහක් වගේ යද්දි හිතෛෂී කියන චරිතය මහේෂ් අයියා හරි ලස්සනට ගොඩනගන බව තේරුණා. එක්තරා සිද්ධි දාමයකට පස්සෙ මේ චරිතය කණපිට හැරවුණා. මිනිසුන්ගේ හිතේ මේ චරිතය ගැන තිබුණු සමහර අකමැති දේ කැමැත්තක් බවට පෙරළුණා. ඉතින් මමත් මට දෙන්න පුළුවන් උපරිම දායකත්වය හිතෛෂී වෙනුවෙන් දෙනවා.
2025 වසරේදී බාරගත්ත නිර්මාණ කටයුතු මොනවද?
කොහොමටත් එකපාර මම නිර්මාණ බොහොමයක් බාරගන්න කෙනෙක් නෙවෙයි. මිනිස්සු ආදරය කරන එක චරිතයක් එකවර මිනිසුන් දකිනවාට මම කැමතියි. එතකොට මිනිස්සු ඒ චරිතයත් එක්ක ජීවත් වෙනවා වැඩියි. අපිව හැමවෙලේම රූපවාහිනියෙන් විවිධ චරිත ඔස්සේ දකිද්දි ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් තියෙනවා කියලා මම පෞද්ගලිකව හිතනවා. ඒ අතරේ මේ වෙද්දි මට ලැබුණු නිර්මාණ කිහිපයකම පිටපත් කියවමින් ඉන්නෙ. හැබැයි තාම වෙන නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. වැඩි කාලයක් මේ දිනවල හිතෛෂී එක්ක තමයි ගෙවෙන්නෙ.
දුශේනි... මේ පුංචි කාලේ දැකපු හීනයක් සැබෑ වීමක්ද?
නැහැ... මට නිළියක් වෙන්න, කලාකාරියක් වෙන්න හීනයක් තිබුණේ නැහැ. ඒ හීනය මගේ ජීවිතයත් එක්ක ගොඩක් දුරින් තිබුණු දෙයක්. මම පාසල් ගියේ, ජීවත් වුණේ කුරුණෑගලයි. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. මම පවුලේ වැඩිමලා. මට මල්ලි කෙනෙක් ඉන්නවා. අපිට තිබුණු එකම හීනය අධ්‍යාපනයයි. ඒ හැර මේ වගේ ලෝකයක් අපි දැකලා තිබුණෙත් නැහැ. ඒ වගේ හීනයක් තිබුණෙත් නැහැ. හැබැයි මගේ තාත්තට මම මේ පැත්තට ඒවි කියලා පොඩි විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසයත් එක්ක මට මේ ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණා. හැබැයි ආවට පස්සෙ රංගනය කියන්නෙ මම හිතුවාට වඩා බැරෑරුම් දෙයක් කියලා මට තේරුණා. ඒ නිසා මම රංගනය පිළිබඳව, මිනිසුන් පිළිබඳව හදාරන්න පටන් ගත්තා.
රංගන වෘත්තිය දවසේ පැය අටකට සීමා වෙන්නෙ නැහැ. දකිනවාට වඩා රංගනය හරි වෙහෙසකර රැකියාවක් නේද?
ඔව් ඇත්තටම... මේක හරි වෙහෙසකර රැකියාවක්. අපි මෙතැනදී ගනුදෙනු කරන්නෙ අපේ හැඟීම් එක්කයි. තරහව, දුක, කේන්තිය, වෛරය, සතුට, මේ හැමදෙයක්ම රඟපාද්දි අපි ඒ ස්වරූපයට අපිව ගෙනියන්න ඕනෑ. නිර්මාණ කිහිපයකදීම මට කාත් එක්ක හෝ ගහගන්න සිද්ධි රඟපාන්න තිබුණා. ඒ ගහගන්න දර්ශනය රූගත කිරීම් කරද්දි මාව ඇත්තටම වෙව්ලන්න ගන්නවා. තරහව රඟපාදිත් මාව ඇත්තටම වෙව්ලනවා. ඒක සෙට් එකේ ඉන්න අය හොඳට දන්නවා. ඇත්තටම රංගනය ගොඩක් මහන්සි වෙලා කරන රස්සාවක්. මානසිකවත් අපි මේකත් එක්ක ජීවත් වෙන්න ඕනෑ. මේක ගෙදර ගෙනියන්නත් බැහැ. ගෙදර ප්‍රශ්න මෙතැනට ගේන්නත් බැහැ. ඇත්තටම මේක හරි බැරෑරුම් රස්සාවක් කියලා මේකට ඇවිත් වසර කිහිපයක් ගියාට පස්සෙ මම තේරුම් ගත්තා. මුල් කාලෙදි “මේක හරි ෆැන්ටසි” කියලා මටත් හිතුණා. හැබැයි ටික කාලයක් යද්දි මේක හරි බැරෑරුම් කර්තව්‍යයක් කියලා මම තේරුම් ගත්තා.
මේ ආපු ගමනේදි මේ ක්ෂේත්රය සම්බන්ධව කලකිරීමක් ඇතිවෙලා නැද්ද?
මම මේ ගමන ගොඩක් හෙමින් ආවේ. ලැබුණු හැම නිර්මාණයක්ම මම බාරගත්තෙ නැහැ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරපු “පාර දිගේ” ටෙලිනාට්‍ය නිසා මට අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙන් මට හරිම අවංක ප්‍රේක්ෂක පිරිසක් ඇතිවුණා. ඒක “පාර දිගේ” ටෙලිනාට්‍යයේ රඟපෑ අපි හැමදෙනාටම ලැබුණා. ඒ එකතු වුණු පිරිස මාත් එක්ක “මායාවී” ටෙලිනාට්‍යයටත් ඇවිත් ඉන්නවා. ඒ අවංකවම ලැබෙන ආදරය මට හරි වටිනවා. සමහර දවස්වලට මහන්සිය දැනෙනවා. අපි හැඟීම් එක්ක රඟපාද්දි දැනෙන මහන්සියත් එක්ක “ටිකක් නිවාඩුවක් ගත්තොත් හොඳයි” කියලා හිතිලා තියෙනවා. හැබැයි ක්ෂේත්රය නිසාවත්, ක්ෂේත්රයේ අය නිසාවත් මට කලකිරීමක් ඇතිවෙලා නැහැ.
මහන්සි වෙන අතර ලැබෙන නිවාඩු දවස්වලට මොකද කරන්නෙ?
මම ටිකක් නිදාගන්න කැමති කෙනෙක්. ඉතින් ලැබෙන නිවාඩු දවසට මම ගෙදරට වෙලා හොඳට නිදාගන්නවා. ලංකාවේ හෝ පිටරටක ටෙලිනාට්‍ය මාලාවක් තිබුණොත් ඒවා බලනවා. චිත්‍රපට බලනවා. කුරුණෑගල යනවා. එහෙම නැත්නම් කොළඹින් පිට ටිකක් ඇවිදින්න යනවා.
ජීවිතයේ ලැබුණු වටිනාම දේ මොකක්ද?
මගේ ජීවිතයේ ලැබුණු වටිනාම දේ අවංක ආදරයයි. ඒ ආදරය මට හැම පැත්තෙන්ම අඩුවක් නැතුව ලැබිලා තියෙනවා. සමහර කාලවලදී මට මගේ ජීවිතයේ අතිශය සාර්ථකත්වයට යන්න අවස්ථාව ලැබුණා. මම හොඳ ආදරණීය අම්මෙක් තාත්තෙක් ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ වගේම මගේ මල්ලිගෙන්, මගේ පෙම්වතාගෙන් හරි ආදරණීය ආදරයක් මට ලැබෙනවා. කලාකාරියක් වීම තුළින් මට අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කලාකාරියන් වගේම ක්ෂේත්රයේ හැමෝගෙන්ම අවංක ආදරය ලැබෙනවා. ඒ වගේම මගේ ආදරණීය රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය මට ගොඩක් වටිනවා. ඒ අවංක ආදරය තමයි මගේ ජීවිතය ලැබුණාම වටිනාම දේ.
අද දුශේනි පෙම්වතියක්. සචින්ගෙයි දුශේනිගෙයි ඒ ප්‍රේමණීය ආදරය ගැනත් කතා කරමු?
ප්‍රේමය කියන්නෙ සුන්දරම දෙයක් නෙවෙයි. ඒක හැලහැප්පීම්, තේරුම් ගැනීම් එක්ක එකතු වුණු ආදරයත් එක්ක ඉස්සරහට යන දෙයක්. ප්‍රේමය හරි ලස්සනයි. අපි ආදරය කරනවා. තාම අපි විවාහ වෙන දිනය තීරණය කරලා නැහැ. කවදා හරි ඒක වේවි. මේ මොහොතේදී හැමදෙයක්ම තේරුම් ගත්ත අපේ ආදරය හරි සුන්දරයි. අනාගතයේදී අපි දෙන්නට චිත්‍රපටයකට අවස්ථාව ලැබේවි. බලමු ඉතින්.
පළමු සම්මානය අතට ලැබෙද්දි මොකද හිතුණේ?
මේ කෙටි කාලය තුළදී සම්මාන කිහිපයක්ම මට ලැබුණා. මුලින්ම “පාර දිගේ” ටෙලිනාට්‍ය වෙනුවෙන් ජනප්‍රිය නිළියගේ සම්මානය ලැබුණා. එදා මම සම්මාන උළෙලට ගියෙත් තාත්තා එක්කයි. එදා ඒ සම්මානය අතට ගනිද්දි ඒක මාරයි. ඊට පෙර සම්මානයක් මගේ අතට ලැබිලා තිබුණේ නැහැ. එදා මට හිතාගන්නවත් බැරි වුණා. එදා තිබුණු ඒ සතුට ඊට පස්සෙ කිසිදු සම්මානයක් ලැබෙද්දි ලැබුණේ නැහැ. ඒක වෙනස්ම වෙනස් හැඟීමක්.
දුශේනි.. ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද?
ඇත්තටම මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. මේ වෙලාවේ “මායාවී” එක්ක වැඩ කරනවා. හිතෛෂී කියන්නෙ හොඳ චරිතයක්. ඉතින් සතුටින්, නිදහසේ, කාටවත් කරදරයක් නොවී ජීවිතය ගත කරන්න පුළුවන් නම් මට එච්චරයි.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ