තම පන්හිඳෙන් මැවෙන අපූරු පද රචනා ඔස්සේ රසික හදවත් අමන්දානන්දයට පත් කරවන සුළු ගීත රචනා කළ ඔහු, ඉන් නොනැවතී ගීතයේ අගය හා වටිනාකම සමාජගත කිරීමට වෙහෙසෙන සාර්ථක සන්නිවේදකයෙකි. ගීත රචකයකු මෙන්ම ජනමාධ්‍යවේදියකු වශයෙන් ද කටයුතු කරන සුගත් සෝමවීර සමඟ කරන සුහද කතාබහයි මේ.
ඔබ ගැන කෙටි සඳහනක් කරමු?
මම සුගත් සෝමවීර. මගේ ගම නවගත්තේගම. ආනමඩුව කැලේවැව විජය කනිෂ්ඨ විද්‍යාලයෙන් පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. උසස් පෙළ සඳහා ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මම පාසල් කාලයේ සිටම නිර්මාණ කටයුතුවලට දායක වුණා. මම හතර වසරෙදි තමයි මගේ කවියක් පත්තරයක පළ වෙන්නෙ. ගීත රචකයෙක් ලෙස පළමුවැනි ගීතය ලියන්නෙ 2000 වසරේදී. එතැන් සිට අද වෙනකම් කලාව හදාරලා විවිධ නිර්මාණ රැසක් කරලා තිබෙනවා.
නව වසරේ ඔබගේ වැඩ කටයුතු කොහොමද?
මේ වසරේ මගේ කලා ජීවිතයට වසර විසිපහක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් මගේ නිර්මාණයක් එළි දක්වන්න සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. සුපුරුදු පරිදි මේ අවුරුද්දෙත් ගීත රසවින්දන වැඩසටහන් පවත්වන්න අපේක්ෂාවෙන් සිටිනවා.
“මතක මංකඩ” දොරට වඩින්නට නියමිතයි. අදහසක් කියමු?
2019 වසරේ සිට මේ දක්වා මම ලියපු ගීත හැටක් තෝරගෙන “මතක මංකඩ” නමින් පොතක් රචනා කරලා තියෙනවා. ජනවාරි 25 වැනි සෙනසුරාදා පස්වරු දෙකට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී, “මතක මංකඩ” දොරට වඩිනවා. එදිනට ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්වරුන් විසින් ආරම්භක දේශන සිදු කරන්න නියමිතයි.
මේ පොතේ තියෙන ගීතයක් තමයි “මතක මංකඩ”. ඒ නමින් මේ පොත මම නම් කරලා තියෙනවා. මතක මංකඩ කියන ගීතයටත් ලස්සන පසුබිම් කතාවක් තියෙනවා. මම ජීවත් වුණේ වන්නියේ නවගත්තේගම කියන කැලෑබද ප්‍රදේශයක. අපේ ගම වටේටම වැව් තියෙනවා. ගමේ මිනිසුන් තමන්ගේ අවශ්‍යතාවලට වැවට එනවා. ඉතින් මේ වැවේ තියෙන “මංකඩ” නිතරම බොරවෙලා තමයි තියෙන්නෙ. නමුත් දහවල් කාලයේ කවුරුත් වැවට එන්නෙ නැති වෙලාවට වීදුරුවකින් පතුල බලනවා වගේ විනිවිද පතුල පේන ගාණට මංකඩ ඉතාම පිරිසිදුවට පෑදෙනවා. වැව පතුලේ මිනිසුන් දාන කුණුරොඩු වගේම බැරිවීමකින් වැටෙන මුද්දක් මාලයක් වගේ වටිනා දේවල් පවා වැව පතුලේ රැඳී තියෙනවා. නිශ්චල පරිසරයක මේ වගේ දෙයක් දකින එක භාවනාවක් වගේ. නමුත් කවුරු හරි ඇවිල්ලා මංකඩට අඩිය තිබ්බොත් ඒක බොර වෙලා අපහැදිලි වෙනවා.
ප්‍රේමයත් ඒ වගේ. අපි මතක විදිහට සුන්දර මතක වගේම රිදවන මතකත් අපේ හදවතේ දරාගෙන ඉන්නවා. අපි කොච්චර නිශ්චලව සිටියත් අපි නොහිතන මොහොතක ලැබෙන දුරකථන ඇමතුමකින් හෝ හමුවීමකින් අර මතක මංකඩ බොර වෙනවා. සිතට වේදනාවක් දැනෙනවා. ඉතින් මම මේ මංකඩත් සම්බන්ධ කරගෙන, ප්‍රේමයත් සම්බන්ධ කරගෙන ලියපු ගීතයක් මේක.
ගීත රචකයෙක් සහ මාධ්‍යවේදියෙක් ලෙස ආරම්භයේ සිට මෙතෙක් කල් පැමිණි දුර ගැන කතා කළොත්?
මම කලින් කිව්වා වගේ මගේ ගම නවගත්තේගම. කලා කටයුතුවලට කොළඹ එන්න සිද්ධ වුණා. මේ වෙනකොට කලාව කේන්ද්‍ර වෙලා තියෙන්නෙ කොළඹට. දැනුම සහ තාක්ෂණය තියෙන්නෙ කොළඹ. මට බොහොම අපහසුවක් වුණා ඒ දුර ගැටලුව. නමුත් විවිධාකාර බාධක අභියෝග මැද මම මගේ අරමුණ ජය ගත්තා. කැපකිරීම් රාශියක් එක්ක ඉතාම දුෂ්කර ගමනකින් පස්සේ මට අද වෙනකොට සතුටුදායක තත්ත්වයක් තියෙනවා.
මම ගීත ලියන්න පටන් ගත්තෙ පාසල් කාලේ ඉඳලා. එදා ඉඳන් අද වෙනකම් මම ලියපු ගීත 150 කට අධික සංඛ්‍යාවක් තියෙනවා. 2014 සිට මම ලියපු පොත් කිහිපයක් තියෙනවා. ඒ වගේම මම ගීතය ගැන විවිධ වැඩසටහන් සිදු කරනවා. මම ඉගෙන ගත්ත දේ අලුත් පරපුරට දායාද කරන්නත් මම කටයුතු කරනවා. ඒ ගැන මගේ හිතේ තියෙන්නෙ බොහොම තෘප්තිමත් හැඟීමක්.
ගීත රචනා කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොනවාද?
මම නිතරම හිතන්නෙ මගේ නිර්මාණයෙන් සමාජයට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන දේ. මම නිර්මාණයක් කරනකොට ඒකෙ තියෙන ගුණාත්මක බව වගේම රසවින්දනය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක එක් එක් පුද්ගලයන්ට විශේෂ වුණු අරමුණු තියෙනවා. මූල්‍ය අරමුණු, ජනප්‍රිය වීමේ අරමුණු, ගුණාත්මක බවින් වැඩි නිර්මාණවල අරමුණු වගේ පුද්ගලයානුබද්ධ අරමුණු තියෙන්න පුළුවන්.
මගේ අරමුණ මම ලියන දේ තව කෙනෙකුට හුස්මක් වෙන, පිපාසයෙන් ඉන්න කෙනෙකුට වතුර බිංදුවක් වෙන, තව කෙනෙකුට උදව්වක් වෙන විදිහට කරන එක. හැබැයි මේ දේවල් මගේ නිර්මාණවලින් කොතරම් දුරට සිද්ධ වෙනවද කියන දේ දන්නෙ මගේ නිර්මාණ රසවිඳින රසිකයන්.
ඔබගේ ගීතවලට පසුබිම් වෙලා තියෙන්නෙ පෞද්ගලික අත්දැකීම්ද?
මම මේ වන විට ගීත 150 ට වැඩි ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ඒ ගීතවලින් වැඩි සංඛ්‍යාවක් රචනා වෙලා තියෙන්නෙ මගේම අත්දැකීම් පාදක කරගෙන. මම ජීවත් වෙන පරිසරයේ තිබුණු දේවල්, මම අහපු දැකපු දේවල් ඇසුරෙන් ගීත ලියැවිලා තිබෙනවා. ඒ වගේම ප්‍රේම ගීත ගත්තොත් මම විඳපු ප්‍රේමය, මට අහිමිවුණු ප්‍රේමය, මට ප්‍රේමය දැනුණු විදිහ වගේ මගේම අත්දැකීම් පාදක කරගත්ත ගීත තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ. මගේ ජීවිතයේ මට සමීපව දැනුණු අත්දැකීම් හා සිදුවීම් මම ගීතවලට වැඩි වශයෙන් පාදක කරගෙන තියෙනවා.
ඔබ රචනා කර ඇති අනෙකුත් ගීත පොත් ගැන මතක් කරමු?
මගේ පළවෙනි ගීත පොත 2014 වසරේ ප්‍රකාශයට පත් වූ “වසන්තය මගෙ නොවෙයි” කියන පොත. එහි ගායනා කරන ලද ගීත කිහිපයක් පමණයි තිබුණේ. අනිත් ගීතයේ පද රචනා ස්වරූපයෙන් තමයි පොතට ඇතුළත් වෙලා තිබුණේ. මේ පොත කුරුණෑගලදී එළි දැක්වුණා.
“දැන් ඉතින් සමුගන්න” නමින් 2019 වසරේදී මගේ දෙවැනි පොත එළිදැක්වුණා. මේ පොතේ ගීත අසූවක් ඇතුළත් වුණා. මේ ගීත අසූවම පටිගත වුණු ගීත විදිහට තමයි ඇතුළත් කරලා තියෙන්නෙ. මම කලින් කිව්වා වගේ මේ වසරේ ජනවාරි මාසයේ 25 වැනිදා දොරට වැඩීමට නියමිත වෙලා තියෙන්නෙ මම රචනා කළ තුන්වැනි ග්‍රන්ථය වෙන “මතක මංකඩ”.
ඔබගේ ගී පොත්වල විශේෂත්වය මොකක්ද?
මගේ පොත්වල විශේෂත්වය වෙන්නෙ 2019 සහ 2025 මම ලියපු පොත්වල ගීතයත් එක්කම හැම ගීතයකටම අදාළ QR Code එකක් ඇතුළත් කරලා තියෙනවා. අද කාලයේ හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. ගීතය පොතෙන් කියවලා ඒ ලබන රසවින්දනයම ගීතය අහලා ලබන්නත් පහසු වෙන්න තමයි මම මේ QR Code එක ගීතයත් එක්ක පොතට ඇතුළත් කරලා තියෙන්නෙ.
“ගීතාත්ම” ගැනත් කතා කරමු?
වර්තමානයේ වැඩි වශයෙන් තියෙන චෝදනාවක් තමයි ඉස්සර අහලා රසවිඳපු පැරණි ගීත වර්තමානය වෙනකොට සමාජගත වීම අඩුවෙලා කියන චෝදනාව. මම නිර්මාණවේදියෙක් සහ සන්නිවේදකයෙක් විදිහට කල්පනා කළා, මේ චෝදනාවට සාධනීය පිළිතුරක් ලබා දෙන්නෙ කොහොමද කියලා. මට කලින් හිටපු පරම්පරාවේ පිරිස ගීත සමාජගත කරන්න යම් යම් වැඩසටහන් කරලා තියෙනවා. මම ඔවුන්ගෙන් පූර්වාදර්ශයක් ලබා ගත්තා.
ඒ අනුව මම වැඩසටහනක් ආරම්භ කළා. ආයතනවල, ගම්වල, පාසල්වල පිරිස් එකතු කරගෙන ගීතය ගැන කථිකාවතක් ගොඩනගන්න සහ ගීතය කියන දේ ජීවිතයට කොච්චර වැදගත්ද කියන දේ සමාජගත කරන්න. “ගීතාත්ම” විදිහට විවිධ ස්ථානවල පැවැත්වෙන්නෙ මේ වැඩසටහන. මේක රසවින්දනාත්මක වැඩසටහනකින් ඔබ්බට ගිය ඊට වැඩිය බැරෑරුම් කටයුත්තක්. ගීත හඳුන්වා දෙන ගමන් ගීතවලින් ගන්න පුළුවන් ප්‍රයෝජන මොකද්ද කියලා මෙහිදී අපි කතා කරනවා. “ජීවිතයට ප්‍රතිශක්තිය දෙන ඖෂධීය ගී මාත්‍රාව, ගීතාත්ම” විදිහට මේක සමාජගත කරලා තියෙනවා. ගීතාත්ම වෙනුවෙන් රසිකයන්ගෙන් විශාල ප්‍රතිචාරයක් සහ ඉල්ලීමක් තියෙනවා. මමත් ඉතාම ආසාවෙන් කරන වැඩසටහනක් තමයි මේක.
ඇත්තටම ගීතයකින් කරන්න පුළුවන් මොනවාද?
සෑම කලා මාධ්‍යයකම අවසාන ප්‍රතිඵලය විය යුත්තේ “ආනන්දයෙන් ප්‍රඥාව කරා” රසිකයන් ගැන යෑමයි. මේ කියමන ගීතයටත් අදාළයි. මේ කියමනට අදාළ ගීතය අපිට ඕනෑ තරම් දැකගන්න පුළුවන්. මම විශ්වාස කරනවා ගීතයකින් මිනිසුන්ට රසවින්දනය සපයන අතර බුද්ධියත් විවර කරන්න පුළුවන් කියලා. පෞද්ගලිකව මට ඒ වගේ අත්දැකීම් තියෙනවා. ගුණාත්මක ගීතයකට පුළුවන් පුද්ගලයකුගේ මුළු ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න.
මගේ ”දැන් ඉතින් සමුගන්න” කියන ගීතය ගත්තොත්, එක්තරා අවස්ථාවක මම ගීතාත්ම වැඩසටහනේදී මේ ගීතය ගැන කතා කළා. එහිදී පාසල් සිසුවියක් මාත් සමඟ කතා කරලා කිව්වා “දැන් ඉතින් සමුගන්න” ගීතය අහලා ඇය ජීවිතය නැති කරගන්න ගත්ත තීරණය වෙනස් කළා කියලා. ඇය පස්සෙ උසස් අධ්‍යාපනය සාර්ථක කරගන්නත්, ජීවිතය සාර්ථක කරගන්නත් අවශ්‍යයි කියලා යහපත් තීරණ ගත්තා. ගීතය කියන්නෙ මනුෂ්‍යයාගේ හදවත ඔස්සේ මොළයට ආමන්ත්‍රණය කරන්න පුළුවන් අපූරු කලා මාධ්‍යයක් කියලා හඳුන්වන්න පුළුවන්.
• මංගලා පවිත්‍රානි