2025 ජනවාරි 24 වන සිකුරාදා

පිටරැටියන් - රටවැසියන් එකසේ පිනවන Silent Night

 2025 ජනවාරි 24 වන සිකුරාදා, ප.ව. 02:00 39

සුමියුරු “කැලිප්සෝ”‍ සංගීතයෙන් දෙස් විදෙස් රසික හදවත් සියුම් ලෙස ආමන්ත්‍රණය කරන "Silent Night" සංගීත කණ්ඩායම පිළිබඳ ඔබ අසා ඇතිවාට සැකයක් නැත. අද හදසර කතාබහ "Silent Night" සංගීත කණ්ඩායමේ, කණ්ඩායම් නායක ලලිත් නිශාන්ත සමඟයි.

මොකක්ද මේ “සයිලන්ට් නයිට්”‍?
"Silent Night" කියන්නෙ සංගීත කණ්ඩායමක්. අතුල කාරියකරවන මහත්මයා, මගේ ගුරුතුමා තමයි මට කැලිප්සෝ සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම ගැන අදහස දීලා අපි මේ වගේ දෙයක් කරමු කියලා මාව ඒ තැනට පොළඹවලා සංගීත කණ්ඩායම පටන් ගන්න මට උදව් උපකාර කළේ. කාලයක් "Mix" කියන නමින් සංගීත කණ්ඩායම කරගෙන ගියා. පස්සේ මට තේරුණා මේ නම අපේ සංගීත කණ්ඩායමට ගැලපෙන්නෙ නැහැ කියලා. මෑතකදී තමයි "Silent Night" කියන නම අපේ සංගීත කණ්ඩායමේ නම වශයෙන් යොදා ගත්තෙ.

මම "Silent Night" කියන ගීතය ගොඩක් ප්‍රිය කරපු කෙනෙක්. එය එංගලන්තයේ පිටිසරබද පල්ලියක දේව ගැතිවරයෙක් නිර්මාණය කරපු ගීතයක්. ඒ ගීතය ජේසුස් වහන්සේගේ උපත ගැන කියැවෙන සාමකාමී ගීතයක්. ඉතින් ඒ ගීතයේ නම තමයි අපේ සංගීත කණ්ඩායමේ නම විදිහට වර්තමානයේ යොදාගන්නෙ.

ඔබ සංගීත ක්ෂේත්‍රයට ප්‍රවේශ වීම සහ "Silent Night" ආරම්භය ගැන කතා කරමු?
අසූව දශකයේ අගභාගයේ දැන් වගේ සංගීත කණ්ඩායම් ගොඩක් තිබුණේ නෑ. මමත් මුලින් අපේ ගමේ වාදනය කළ සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කරන්න සහභාගි වුණා. මගේ මිත්‍රයා වගේම මගේ ගුරුවරයා අතුල කාරියකරවන "The Prince" සංගීත කණ්ඩායමට මාව සහභාගි කර ගත්තා. නමුත් මට කාලයක් යනකොට මේ වැඩේ නීරස වුණා. ඊට පස්සේ මම ඒ සංගීත කණ්ඩායම්වලින් තරමක් දුරට ඈත් වුණා.

ඒ කාලයේදී අතුල කාරියකරවන මහත්මයා ශ්‍රී ලංකා හෝටල් සංස්ථාව සමඟ සම්බන්ධ වෙලා “කැලිප්සෝ” සංගීත කණ්ඩායම පටන් ගත්තා. එතුමා මට ඒකට සහභාගී වෙන්න ආරාධනා කළා. මමත් ඒකට සහභාගි වෙලා ඉන්න අතරතුර අතුල මහත්මයා ඔහුගේ පෞද්ගලික හේතු මත ඒ සංගීත කණ්ඩායමෙන් ඈත් වුණා. සංගීත කණ්ඩායමේ නායකත්වය මගේ අතට අරගෙන "Mix" කියන නමින් මේ සංගීත කණ්ඩායම පවත්වාගෙන ආවා. කලින් කිව්වා වගේ මෑතකදී තමයි "Mix" කියන සංගීත කණ්ඩායම "Silent Night" ලෙස නම් කළේ.

විශේෂයෙන් කියන්න ඕනෑ අතුල කාරියකරවන මහත්මයා නැත්නම් අද ලලිත් නිශාන්ත කියලා සංගීත ශිල්පියෙක් නැහැ. "Silent Night" කියලා සංගීත කණ්ඩායමකුත් නැහැ. මගේ ගුරුවරයා මගේ මිත්‍රයා දැනට අවුරුද්දකට කලින් අප අතරින් වෙන් වුණා. විශේෂයෙන්ම මම එතුමාව ගෞරවයෙන් මතක් කරනවා.

"Silent Night" සාමාජිකයන් ගැන විස්තර කතා කරමු?
 "Silent Night" සංගීත කණ්ඩායමට නිත්‍ය සාමාජිකයන් කීප දෙනෙක් සිටිනවා. ඊට අමතරව සෙසු සාමාජික පිරිසක් සිටින අතර අවශ්‍යතාව පරිදි අපි ඔවුන්ගේ සේවය ලබා ගන්නවා. කණ්ඩායමේ නායකයා මම. විශේෂයෙන් කතා කරන්න ඕනෑ අපේ ගිටාර් වාදකයා මලර් ද සොයිසා මහත්මයා අසූව දශකයේ මුල් භාගයේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම්වල ගිටාර් වාදකයෙක් ලෙස කටයුතු කරපු දක්ෂයෙක්. ඔහු සැක්සෆෝන් වාදනයටත් දක්ෂතා දක්වනවා. ඒ වගේම තුෂාන් ප්‍රනාන්දු, රාජ් බෝපිටිය ගිටාර් වාදනය සහ ගායනයෙන් දායකත්වය දක්වනවා.
ඒ වගේම ඩ්‍රම්ස් හා කොංගෝ වාදනයෙන් හිමාල් ඉන්දික, බේස් ගිටාර් වාදනයෙන් චමින්ද ජෝෂප්, එක්කෝඩියන් වාදනයෙන් ප්‍රසාද් වගේම ආරම්භයේ සිට අපට විශාල සහයක් වූ ඩ්‍රම්ස් සහ කොංගෝ වාදක විහංග සහ උපුල් වික්‍රමසිංහ යන අය සංගීත කණ්ඩායමත් සමඟ රැඳී සිටිනවා.

"Silent Night" ප්‍රසංග පවත්වන ස්ථාන ගැන කතා කරමු?
අපේ ප්‍රසංග පවත්වන්නෙ හෝටල් සංස්ථාවත් සමඟ සම්බන්ධ වෙලා විදේශිකයන් ඉලක්ක කරගෙනයි. දැනට අඹේපුස්ස තානායමේ තමයි මූලිකව ප්‍රසංග පවත්වන්නෙ. ඊට අමතරව අපි පෞද්ගලික ප්‍රසංගවලටත් සහභාගී වෙනවා.

"Silent Night" සංගීත කණ්ඩායමේ නිල ඇඳුම බොහොම විශේෂයි. ඒ ගැනත් කතා කරමු?
බොහෝ දුරට අපේ ඉලක්කගත ප්‍රේක්ෂකාගාරය වෙන්නෙ විදේශිකයන්. අපි ප්‍රසංග පවත්වන්නෙ ගනුදෙනු කරන්නෙ විදේශිකයන් සමඟ. එතකොට අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය විදහා දක්වන පරිදි තමයි අපි මේ ඇඳුම නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ ඒ අවස්ථාවලදී කහ පාට බතික් සරම සහ කමිසය ඇඳලා පන් කොළ තොප්පිය දානවා. ඒ වගේම බතික් කමිසය සහ කලිසම ඇඳලා ප්‍රසංග පවත්වන අවස්ථාත් නැතුවම නෙවෙයි.

ගායනා කරන ගීත ගැන කතා කළොත්?
කලිනුත් කිව්වා වගේ අපි ප්‍රසංග පවත්වන්නෙ බොහෝ දුරට විදේශිකයන්ට. අපේ ප්‍රේක්ෂකයන් අනුව අපි ගායනා කරන ගීත තීරණය කරනවා. බොහෝ දුරට බටහිර ගීත ගායනා කරනවා.
ඒ වගේම ජපන්, ඉන්දියානු, මෙක්සිකෝ ගීතත් ගයනා කරනවා. මම ගොඩක් සතුටින් කියන්න කැමතියි, ඇතැම් අවස්ථාවලදී විදේශිකයන් ඇවිත් අපේ සිංහල ගීතවල නම කියලම අපෙන් ගීතය ඉල්ලනවා. ඒ වෙලාවට මට දැනෙන්නෙ බොහොම නිහතමානී ආඩම්බරයක්.

ප්‍රසංගවලදී සිදුවුණු විශේෂ සිදුවීම් මොනවාද?
විශේෂ සිදුවීම් නම් බොහොමයක් තියෙනවා. හැබැයි මම මේක කියන්නම ඕනෑ. අද වෙනකොට ශ්‍රී ලංකාවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම් බොහොමයක් තියෙනවා. ඇතැම් සංගීත කණ්ඩායම් සංගීතය ගෞරවය කෙලෙසමින් ඉතා පහත් අයුරින් හැසිරෙනවා. ඒ වගේම සංගීතයේ ගෞරවය රැකගෙන මේ දේ කරගෙන යන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසට මම ගෞරව කරනවා. සංගීත කණ්ඩායමක් විදිහට අපි කවදාවත් පහත් තත්වයට වැටෙන්නෙ නෑ.

කණ්ඩායමක් ලෙස අනාගත බලාපොරොත්තු මොනවාද?
විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා අපේම ගීත කිහිපයක් කරන්න. CD එකක් කරන්න සූදානමකුත් තිබුණා. නමුත් මට තියෙන ගැටලු‍ව දැන් සංගීතය යන දිශාවත් එක්ක  classical නිර්මාණ රසිකයා පිළිගනීද කියන දේ. නමුත් මම විශ්වාස කරනවා හොඳ නිර්මාණයක් ඉදිරිපත් කළොත් ඒ වටා රසික පිරිසක් ඒකරාශී වෙයි කියලා.

• මංගලා පවිත්‍රානි