දිනක්ෂි... මේ දවස්වල එෆ්.එම්. නාලිකාවක වැඩ කරනවා කියලයි ආරංචිය?
ආ... ඒ මේ දවස්වල නිර්මාණය වෙන මම සම්බන්ධ වුණු අලුත්ම ටෙලිනාට්‍යයි. ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නෙ චාමර ජයවීර මහතායි. ළඟදීම ඒ නිර්මාණය දැකගන්න ලැබේවි. ඒක දරුවන්ගේ දෙමව්පියන්ගේ සම්බන්ධතා එකට ගැටෙන නිර්මාණයක්. ඒක හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් සංවේදී පවුලේ කතාවක් වේවි.
මේ වසර ආරම්භ වුණේ දිනක්ෂිගේ අලුත්ම සිනමා නිර්මාණයත් සමඟයි. අපි ඒ ගැනත් කතා කරමු?
ඔව්... හර්ෂ උඩකන්ද මහතා අධ්‍යක්ෂණය කරන “රෝස ආදරේ” සිනමා පටයට මමත් රංගනයෙන් දායක වුණා. මේ දවස්වල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද චිත්‍රපටය තිරගත වෙනවා. ඒ ගැන සතුටුයි. ඒක ලස්සන ආදර කතාවක්. ඒත් එක්කම ත්‍රාසය, භීතිය, කුතුහලය එකට මුසුවුණු හොඳ බයිස්කෝප් එකක්. මේ වසර ආරම්භ වුණේ “රෝස ආදරේ” එක්කයි. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ චිත්‍රපටයේ මම රඟපාන්නෙ ශෂිනි කියන සිනමා නිළියගේ චරිතය. ඇයට ලැබෙන ආදරයත් එක්ක ඇතිවෙන පවුලේ ප්‍රශ්න, ඇය ආදරය කරන පිරිමි ළමයාගේ අසනීප තත්ත්වයත් එක්ක ජීවිතය දිනන්න උත්සාහ දරන හැටි කියා දෙන නිර්මාණයක්.
නෝරා මේ දවස්වල ටිකක් විශේෂයි. ඇය බොහෝ දෙනා කතා කරන චරිතයක් වෙලා?
ඔව්... නෝරා චරිතය ගොඩනැගෙන්නෙ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන “පිරිමි ළමයි” ටෙලිනාට්‍ය ඔස්සෙයි. ඒකෙ මම නෝරාගේ චරිතය රඟපානවා. ඒ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒක මානසික ව්‍යාකූලතාවයක් තියෙන තරුණියකගේ චරිතයක්. එයාගේ කතාව තවම එළියට එන ගමන්. ඉදිරියේදී ඇත්තටම නෝරාට එහෙම වුණේ ඇයි කියලා දැනගන්නට ලැබේවි. ඒක මම හරිම ආසාවෙන් කරන චරිතයක්. ඒකෙදි වෙනස් විදියට මට භාව ප්රකාශනය කරන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. අද වෙනතුරු ඒ ටෙලිනාට්‍යයේදී මට එකම දෙබසක්වත් කියන්න ලැබුණේ නැහැ. මුහුණේ ඉරියව් කියැවෙන ඒ චරිතය මට ටිකක් අභියෝගයක්. හැබැයි නෝරාට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
දිනක්ෂි... මේ දවස්වල කාර්යබහුලයි කියලයි ආරංචිය?
ඔව්... නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඔය අතරේ “පාරාදීසේ” නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා.
ඔය කාර්යබහුලත්වයත් එක්ක සාරන්‍යා වෙනුවෙන් කාලය වෙන් කරන්නෙ කොහොමද?
මේ හැම වෙහෙසක්ම දරන්නෙ එයා වෙනුවෙන්. සාරාන්‍යා තමයි අපේ ජීවිතේ. ඉතින් එයා වෙනුවෙන් කොහොම හරි වෙලාව වෙන් කර ගන්නවා. දැන් තියෙන ආර්ථිකයත් එක්ක අපිට රැකියාවල් කරන්න වෙලා තියෙනවා. හැබැයි කොච්චර කාර්යබහුල වුණත් මාත් සාරංගත් මුල් තැන දෙන්නෙ පවුලටයි. බබාගේ හැම දෙයක්ම අපි කරනවා. එයාගේ කිසිම දෙයක් අපි මගහරින්නෙ නැහැ. බොහෝ වෙලාවට අපි ෂූටින් යන්නෙත් බබාව පෙර පාසලට එක්ක ගිහිල්ලයි. අපි නැත්නම් අපේ කවුරු හරි එයාව ගෙදර එක්ක එනවා.
සාරන්‍යා ඔයත් සාරංගත් රංගනයේ නියැලෙනවා දකිනවා. එයාගේ ප්‍රතිචාර කොහොමද?
එයා ඒ දේවල් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ දවස්වල එයා නෝරාගේ චරිතය කරනවා. ටීවී එකෙන් මම රඟපාන නෝරාව දැකලා ගෙදර ඉඳන් එයා නෝරා කියලා හිතාගෙන ඇස් දෙක ලොකු කරගෙන එහාට මෙහාට දුවමින් ඒ විදියට රඟපානවා. පහුගිය කාලය එයා සාරංග රඟපෑ චූටියාගේ චරිතය රඟපෑවා. එයා ඒ කාලේ චූටියාට හරි කැමතියි. මේ දවස්වල නෝරාට කැමතියි.
සාරන්‍යාව මඟහැරෙන තැන් ඇති නේද?
ඔව්... සමහර දවස්වල අපි ෂූටින් ඉවර වෙලා රෑ යද්දි එයා නිදි. පහුවෙනිදා ආයෙත් පාන්දර අපිට ෂූටින් තිබුණොත් ඒ වෙලාවටත් එයා නිදි. ඒ නිසා බබාව මඟහැරෙන තැන් ගොඩක් තියෙනවා. ඒ වෙලාවට දුකයි. මේ ගෙවෙන්නෙ එයාගේ ලස්සනම හොඳම කාලය. ඒත් අපි වැඩවලට ගියාම ඒ වෙලාවල් මඟහැරෙන තැන් තියෙනවා. ඒ දේවල් ගැන පසුතැවිලි වෙන වෙලාවල් නැතුවාම නෙවෙයි. නමුත් ගොඩක් වෙලාවට ඉඩ ලැබෙන හැම වෙලාවෙම එයා එක්ක ඉන්න උත්සාහ කරනවා. කොළඹ රූගත කිරීම් කරද්දී ලැබෙන පැයක දෙකක පොඩි විවේක කාලයටත් ගෙදර ගිහින් එයාව බලලා එනවා. කොළඹින් පිට තියෙන හැම රූගත කිරීමකදීම අපි සාරන්‍යාවත් අරගෙනමයි යන්නෙ. රූගත කිරීම් කරන තැනට සාරන්‍යා ගියාම අපි රඟපාන දිහා එයා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් එයාට ඒවා හුරුයි.
සාරන්‍යා පෙර පාසල් යන චූටි දුවෙක්. එයාව පෙර පාසලට බාරදීපු මුල්ම දවස කවදාවත් අමතක කරන්න බැරුව ඇති?
ඉස්සර අපේ අම්මලා අපි මුලින්ම ඉස්කෝලෙ ගිය දවස් ගැන කියද්දි ඒක මොන වගේ හැඟීමක්ද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අම්මලා තාත්තලට ඒ අවුරුදු ගාණකට පෙර ඇතිවුණු හැඟීම මටයි සාරංගටයි එදා විඳින්න අවස්ථාව ලැබුණා. ඒක වෙනමම හැඟීමක්. අපිත් එක්කම ඉඳලා පෙර පාසලට බාර දෙද්දී දුකකුත් හිතට දැනුණා. ඒ වගේම සාරණ්‍යා ගැන හිතට ලොකු සතුටක් දැනුණා. ජීවිතේ එක එක කාල පරිච්ඡේදවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතේ කියන්නෙ. පෙර පාසල් ගිය මුල්ම දවස් දෙකේම සාරන්‍යා ඇඬුවේ නැහැ. තුන්වෙනි දවසේ ටිකක් දුක හිතිලා ඇඬුවා. අපි දෙන්නම එයා එක්ක පෙර පාසල ඇරෙනකම්ම ඉඳලා ආවා. දැන් නම් හරිම ආසාවෙන් පෙර පාසල් යනවා. පෙර පාසලේ ගේට්ටුව ගාවට ගිය ගමන් එයා ඇතුළට දුවගෙන යනවා.
දිනක්ෂි... රංගනය කියන්නෙ හරිම වෙහෙසකාරී රැකියාවක්. මේ රැකියාවෙන් අයින් වෙන්න, “දැන් ඇති” කියලා හිතිලා නැද්ද?
නැහැ... මම ජීවිතේ අද වෙද්දි මොනවා හරි දෙයක් ලබාගෙන තියෙනවනම්, හම්බ කරගෙන තියෙනවනම්, මිනිසුන්ගේ ආදරය දිනාගෙන තියෙනවනම්, ඒ හැම දෙයක්ම ලැබුණේ මේ රැකියාව නිසයි. ඒ නිසා මේ රැකියාව මට කවදාවත් එපා වෙලා නැහැ. ඇත්තටම මේක අට පහ රැකියාවක් නෙවෙයි. මහන්සියි. හැබැයි මේක ඇතුළේ ලොකු ආත්ම තෘප්තියක් තියෙනවා. ඒ නිසා ඒ දැනෙන මහන්සිය නැතිවෙලා යනවා. මගේ ජීවිතේ මට හැමදේම මේ රැකියාව නිසයි ලැබුණේ. ඒ නිසා මේ රැකියාව මට එපා වෙන එකක් නැහැ.
2025 අලුත් බලාපොරොත්තු මොනවාද?
ලොකු බලාපොරොත්තු කවදාවත් මගේ ජීවිතේ තිබිලා නැහැ. එදිනෙදා දේවල් ගැන මම සැලකිලිමත් වෙනවා. ඒවාට මුහුණ දෙන්න උත්සාහ කරනවා. දැන් තියෙන බලාපොරොත්තුව අපේ සාරණ්‍යයි. එයා වෙනුවෙන් කාලය හදා ගැනීමම ලොකු අභියෝගයක්.
• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ