2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ඕනෑම ආදර කතාවක මුල් කාලය හරිම ලස්සන ෆැන්ටසියක් - Gayan Gunawardana

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

Qමේ දවස්වල ජීවිතය බොහොම සතුටින් ගත වෙනවා නේද?
ඔව්... බොහොම සතුටින්, ආදරයෙන් ගත වෙනවා.

Qගයාන් පහුගිය දිනක ආදරණීය පෙම්වතිය පූජනී භාග්‍යා සමඟ විවාහ වුණා. ඔබගේ ආදර කතාව ගැන සඳහන් කරමු?
අපේ ආදර කතාව පටන් ගත්තෙ 2019 වර්ෂයේදී. ඒ “හුස්මක් තරමට”‍ ටෙලි නාට්‍ය අතරතුරදි. “හුස්මක් තරමට”‍ ටෙලි නාට්‍යයේ මගේ හොඳම යාළුවා වුණේ සංගීත් ප්‍රභූ. ඇත්ත ජීවිතයෙත් මගේ හොඳම යාළුවා ඔහුයි. “හුස්මක් තරමට” ටෙලි නාට්‍ය පාසල් ළමයින්ගේ කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය වූ නාට්‍යයක්. ඒකෙ අපේ යෙහෙළියන් දෙදෙනා විදිහට හිටියේ කස්තුරි ජයවර්ධන සහ පූජනී භාග්‍යා. ඔවුන් දෙදෙනා සහ අපි දෙදෙනා ටෙලිනාට්‍යයේ සහ සැබෑ ජීවිතයෙත් හොඳම මිතුරන්. ඉතින් ඒ කාලය ඇතුළතදී අපි හතරදෙනා හොඳම යාළුවන් බවට පත් වුණා. මමයි පූජනීයි පෙම්වතුන් වුණු දවසෙම සංගීත් ප්‍රභූ සහ කස්තුරි ජයවර්ධන පෙම්වතුන් වුණා. එදා සිට අද දක්වාම මම සහ සංගීත් යන දෙපාර්ශ්වයේම ආදර කතා කිසිම වෙනසක් නැතුව ජීවන ගමනේ ඉදිරියට ඇවිත් තියෙනවා. “හුස්මක් තරමට” ටෙලි නාට්‍ය නිසා  මට පූජනීව හම්බවුණා. අපි පෙම්වතුන් වෙලා අද වෙනකොට විවාහ වෙලා පවුලක් විදිහට සතුටින් ඉන්නවා.

අපි දැක්කා පූජනී සහ ඔබගේ විවාහ මංගල්‍ය ඉතාම සුන්දරව පැවැත්වුණා. ඒ ගැනත් කතා කරමු?
2024 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනයේදී මම පූජනීට විවාහ යෝජනාව ගෙනාවා. අපි දෙසැම්බර් මාසය වෙනකම් විවාහයට සූදානම් වුණා. ඊට පෙර අපි ගොඩක් Photo shoot කළා. ඒ Photo shoot දැකලා ගොඩක් අය හිතුවා අපි විවාහ වුණා කියලා. නමුත් මගේ තාත්තාගේ අසනීපයත් එක්ක අපි විවාහය ටිකක් කල් දැම්මා. 2022 අවුරුද්දෙ මගේ තාත්තා ගොඩක් අසනීප වුණා. තාත්තා සනීප වෙනකම් විවාහ උත්සවය ගන්නෙ නෑ කියලා හිතුවට, 2022 වසරේ දෙසැම්බර් මාසයේ අවාසනාවන්ත ලෙස තාත්තා අපි අතරින් සමුගත්තා. තාත්තා නැති අඩුව මට ගොඩක් දැනුණා. ඒ නිසා තවත් කල් අරගෙන අවුරුදු දෙකකට පස්සෙ තමයි මම පූජනීට විවාහ යෝජනාව ඉදිරිපත් කළේ. 2024 දෙසැම්බර් මාසයේ අපේ Pre-Shoot එක කළා. ඉන්පසු ජනවාරි මාසයේ Lehenga Shoot එක කළා. ඉන්පසු අපේ විවාහයේ පළවෙනි දවස 2025 ජනවාරි 30වැනිදා The Bran house හිදී සරල අයුරින් පැවැත්වුණා. පළවෙනි දවසේ අපේ සියලුම නෑදෑයන් සහ මිතුරන් සහභාගි වුණා. විවාහ උත්සවයේ දෙවැනි දවස Paradise Inn Bolgoda පරිශ්‍රයේ පැවැත්වුණා. දෙවැනි දවසේ කලා ලෝකයේ සහෝදර ශිල්පීන් ශිල්පිනියන් වගේම අපේ ව්‍යාපාරික හිතවතුන්, මගේ සහ පූජනීගේ පාසල් මිතුරු මිතුරියන්, ළඟම නෑදැයන් කිහිප දෙනෙක් සහභාගි වුණා.

පූජනීගේ ආදරය ගයාන්ට දැනෙන්නෙ මොන වගේද?
අවුරුදු 33 ක ජීවිත කාලය පුරාවටම මම ආදරය විවිධාකාරයෙන් අත්විඳලා තියෙනවා. මට පෙම්වතියන් කිහිප දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අයගේ ඇසුරත් එක්ක බලනකොට වෙනස්ම විදිහට, මට සීයට සීයක් ගැලපෙන ආදරය පූජනීගෙන් ලැබෙනවා. අපි දෙන්නා අතර තියෙන්නෙ ආත්ම ගාණක් පෙරුම් පුරාගෙන ආවා වගේ ආදරයක්. අදහස් වුණත් හොඳටම ගැලපෙනවා. අපි දෙන්නගේ අඩුපාඩු දෙන්නට දෙන්නා හදාන්න විදිහ, ඒවා කළමනාකරණය කරගන්න විදිහ වුණත් ගොඩක් සාර්ථකයි කියලා මට දැනෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපි දෙන්නගේ විවාහය, ජීවිතය, නිර්මාණ, ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක කරගන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම පාඩුවේ හැංගිලා වගේ ජීවත් වෙන්න තමයි අපි දෙන්නම ගොඩක් කැමති. හැමදාම රූපවාහිනියේ පේන්න, හැමදාම නාට්‍යවල පේන්න, කොටින්ම කිව්වොත් මිනිස්සුන්ට කරදරයක් වෙන්න අපි දෙන්නම කැමති නැහැ. ඉතින් මට දැනෙනවා අපි දෙන්නගෙම තියෙන මේ වගේ ගුණාංග හින්දා දෙන්නට දෙන්නා හොඳින් ගැලපෙනවා කියලා. හරිම සාර්ථක වගේම චාම් විදිහට ජීවත් වෙන්න පුළුවන් ආදරවන්තියක් මට ලැබුණා. ඉතින් මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය පූජනීව මට හිමිවුණු එක කියලා සතුටින් කියන්න පුළුවන්.

ගයාන් කාලයක් තරුණියන්ගේ සිහින කුමාරයා වෙලා සිටියා. අදටත් ගැහැනු, පිරිමි දෙපාර්ශවයෙන්ම ඔයාට ලැබෙන ආකර්ෂණය අඩුවෙලා නැහැ. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයන්ගෙන් ඇතැම් වැඩිහිටියන්ගෙන් මට ලැබුණු උපදෙසක් තමයි “ඔයා කසාද බඳින්න එපා. තනිකඩ ඉන්න. ඔයාට තියෙන ජනප්‍රිය බව, ඉල්ලුම විවාහයත් සමඟ අඩු වෙන්න පුළුවන්”‍ කියන දේ. අපි ප්‍රවීණයන් සහ වැඩිහිටියන් කියන දේවල් පිළිගන්න ඕනෑ. නමුත් මම මේ උපදෙස නම් ඇත්තටම පිළිපැද්දෙ නැහැ. රසික රසිකාවියන්ගේ ආදරය, ආකර්ෂණය දිනාගන්න අපේ ජීවිතයේ වටිනාම දේවල් කැප කරන්න ඕනෑ කියන දේ පෞද්ගලිකව මම නම් විශ්වාස කරන්නෙ නැහැ. මොකද සැබෑ රසික ආකර්ෂණය ලැබෙන්න ඕනෑ අපේ නිර්මාණවලට. ටෙලි නාට්‍යවලට, ගීතවලට ආදරය කරන සැබෑ රසික රසිකාවියන්ට අපි තනිකඩද විවාහකද කියන දේ අදාළ වෙන්නෙම නැහැ. මම විශ්වාස කරනවා අපි වයසට ගිහිල්ලා ඇවිදගන්න බැරි තත්වයට පත්වුණත් ඒ රසිකයන්ගේ හදවත්වල සදාකාලිකවම අපි සිහින කුමාරයන් සහ සිහින කුමාරියන් වෙලා ඉඳීවි කියලා. මොකද මගේ තාත්තා නුවන් ගුණවර්ධන. ඔහු ජීවිතයෙන් සමුගන්නකම් රසික හදවත් ඇතුළේ සිහින කුමාරයෙක් වෙලා හිටියා. අදටත් මට නම් ඔහු සිහින කුමාරයෙක්.

“පූජනීයේ”‍ ගීතය ගැනත් කතා කරමු?
 අපේ විවාහ උත්සවයට කලින් Pre-Shoot එකක් කළා. Pre-Shoot ගීතයේ විදියට තමයි, “පූජනීයේ”‍ ගීතය නිර්මාණය කළේ. ”‍පූජනීයේ”‍ ගීතය පද රචනා කළේ අශාන් ප්‍රනාන්දු. සංගීතවත් කළේ ෂෙහාන් ගලහිටියාව. ඒත් එක්කම කියන්න ඕනෑ පූජනී සහ මම එකතුවෙලා කරපු පළවෙනි ගීතය තමයි “ඔබ වෙනුවෙන්”‍ ගීතය. ඉතින් ඒ ගීතය බොහෝ ජනප්‍රිය වුණා. ඒ ගීතයත් එක්ක තමයි අපි දෙදෙනා ගීත නිර්මාණ කටයුතු කරන්න පටන් ගත්තෙ. මම ටෙලි නාට්‍ය කරන කාලේ ඉඳන්ම ගීත නිර්මාණ කරනකොට, ගීතය පූජනීට යවනවා මේක හොඳයිද බලන්න කියලා. ඒ හැම අවස්ථාවකදීම පූජනී ඉතාමත් උනන්දුවෙන් ඒ දේවල්වලට මට උත්තර දුන්නා සහ ඇගේ අදහස් කියමින් මට උදව් කළා. පසුගිය කාලවල හිටපු යහළු යෙහෙළියන් එහෙම උනන්දුවෙන් උත්තර නොදීපු අවස්ථාත් තිබුණා. කොහොම වුණත් පූජනී ඉතාම උනන්දුවෙන් මගේ දේවල්වලට උත්තර දුන්නා සහ මාව උනන්දු කරමින් ලොකු හයියක් වෙලා ළඟ හිටියා.

ආදරය කියන්නෙ බොහොම සුන්දර දෙයක්. නමුත් ආදරය කරනකොට අපිට ලැබෙන්නෙ සුන්දර මතක විතරක්ම නෙවෙයි. ප්‍රේමය ඇතුළේ දුක, වේදනාව, විරහව වගේ දේවලු‍ත් තියෙනවා. ඔයාගේ ජීවිතයේ ඒ වගේ දුක හිතුණු තැන් තියෙනවද?
ආදරය නිසා දුක හිතුණු තැන් ගොඩක් තියෙනවා. ආදරේදී වේදනාව, විරහව වගේ දේවල් දැනෙන එක සාමාන්‍යයි. හැබැයි මේ වෙනකොට මම අතීතයේ සිදුවුණු හැම සිදුවීමක්ම අමතක කරලා, වේදනා දීපු තැන්වලින් අයින් වෙලා ඉන්නවා. මගේ ජීවිතයේ ඇතැම් වේදනාත්මක තැන් ගැන මම කතා කරන්න කැමති නැහැ. මොකද මම කැමති නැහැ කිසිම කෙනෙකුට අපහාසයක් හෝ සිත් රිදීමක් වෙනවට. ඒ නිසා ඒ දේවල් මම සහ මට ළඟම අයත් එක්ක විතරක් තියෙන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. ආදරය සම්බන්ධ අඳුරු මතකවලින් මට වැඩිපුරම නැතිවෙලා තියෙන්නෙ විශ්වාසය. හැබැයි අද වෙනකොට ඒ හැම දෙයක්ම අතීතයට එකතුවෙලා පූජනී එක්ක මම අලු‍ත්ම ගමනක් පටන් අරගෙන තියෙනවා.

බොහෝ දෙනා කියනවා ආදරය කරන කාලයේ තියෙන ප්‍රේමය, විවාහ ජීවිතය තුළ ඒ අයුරින්ම රැඳෙන්නෙ නෑ කියලා. ඒ ගැන ඔබ දරන මතය මොන වගේද?
විවාහ වෙලා තවම බොහොම කෙටි කාලයක් නිසා මට එහෙම ගැඹුරු පිළිතුරක් දෙන්න බැහැ. නමුත් අපි අවුරුදු හයක් පුරාවට පෙම්වතුන් ලෙස ඇසුරු කළා. මම දකින දේ, ඕනෑම ආදර කතාවක මුල් කාලය හරිම ලස්සන ෆැන්ටසියක්. හරිම සුන්දරයි. ඇඟේ සමනල්ලු‍ පියාඹන සුන්දර හැඟීමක් තමයි ඒ කාලයට දැනෙන්නෙ. නමුත් කාලයත් එක්ක වයසත් එක්ක අපි ටිකෙන් ටික පරිණත වෙනකොට එක්තරා තැනකදී ඒ දේවල් වෙනස් වෙනවා. මම හිතන්නේ ඕනෑම ආදර කතාවක ඒ වෙනස්වීම සිදුවෙනවා. අපේ දෙමව්පියන්ගේ ආදරය ගත්තොත් එයාලා නව යෞවනයන් වගේ හැසිරෙන්නෙ නැහැ. ඒ වයසත් එක්ක, වගකීම්, පරිණත බව එක්ක එයාලා වෙනස්ම විදිහකට ආදරය විඳිනවා. අපේ ආදරයත් මේ අවුරුදු හය ඇතුළතදී යම් යම් අවස්ථාවලදී වෙනස් වුණා. හැබැයි ඒක හොඳට මිසක් නරකට නෙවෙයි. අනාගතය ගැන නිවැරදිම අනාවැකි කියන්න බැරිවුණත් මම හිතනවා අපේ අනාගතයේ දේවල් හොඳම විදිහට සිද්ධ වෙයි කියලා. ඕනෑම විවාහයක් ඇතුළෙ යම් යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් තේරුම් ගැනීම, එකිනෙකා ගැන ආදරය, ගෞරවය, විශ්වාසය වගේ ගුණාංග තියෙනවා නම් ඒ බැඳීම ශක්තිමත් වෙනවා. ඒ වගේ බැඳීමක් ඇතුළේ සදාකල් පෙම්වතුන් වගේ ආදරයෙන් සතුටින් ඉන්න පුළුවන්.

ගයාන්ගෙත් පූජනීගෙත් වෘත්තීය ජීවිතයේ ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
පූජනී සහ මම කියන්නෙ නිර්මාණකරුවන් දෙන්නෙක්. නමුත් අපි දෙන්නා එකතුවෙලා කරන නිර්මාණ හොඳ සැලසුමක් අනුවයි සිදු කරන්නෙ. ගොඩක් දුරට මූල්‍යමය කටයුතු සිද්ධ වෙන්නෙ මගේ අතින්. ඒ වගේම කලා අංශය, නිර්මාණශීලි දේවල්, පාට ගැලපීම්, ඇඳුම් පැළඳුම් පැත්ත බලන්නෙ පූජනී. දෙන්නගේ ගැලපීම එතැනයි තියෙන්නෙ. පූජනී එක පැත්තකින් වගකීම සම්පූර්ණයෙන්ම බාරගන්නකොට ඒ පැත්තෙන් මගේ ඔළුව නිදහස් වෙනවා. එතකොට මගේ සැලසුමට අනුව සාර්ථකව නිර්මාණ කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මගේ සංගීත කණ්ඩායම "RAWDS Music Band" එක්ක අලු‍ත් නිර්මාණ කිහිපයක් කිරීමේ අපේක්ෂාවක් තියෙනවා. ඉදිරියේදී අපේ ආදරණීය රසිකයන්ට ගයාන් සහ පූජනීගේ අලු‍ත් නිර්මාණ කිහිපයක් දැක බලාගන්න අවස්ථාව ලැබේවි.

• මංගලා පවිත්‍රානි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00