2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ලංකාවේ කිසිම සිනමා සම්මාන උළෙලකදී අපිට ඇගයීමක් නෑ - Haroon Shaideen

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

මට ඉඩ දෙන්න මෙහෙම කියන්න... මට ඔබ වනස්පතියක්... දැන් ඔයා මගෙන් අහන්න ඇයි ඔයා එහෙම කියන්නෙ කියලා... මෙහෙමයි... හරූන් ෂයිඩීන් මම ඔයාව කියවලා තියෙන විදිහට, මම ඔයා ගැන නිහඬව බලාගෙන ඉඳලා තියෙන විදිහට, කෙස් කළඹක, කෙස් ගසක, කෙස් රොදක ඔයාගේ හිතේ උපදින අමුතුම කලාවක් ඇඟිලි තුඩු අග්ගිස්සක තවරාන ඔයා සරසන ආකාරයට, ඔයා කියන්නෙම කේශාලංකාරය කියන ඉසියුම්ම කලාවේ මහා වනස්පතියක්...

ඒ කලාව ලාංකික සිනමාවට ඔයා මුහු කරපු තැන්හි මතකාවර්ජන කොයි තරම් සුන්දරද කියලා සිහිපත් වෙද්දි ඇත්තටම හරූන් ඔයා විතරක් නෙවෙයි, රුක්මණී දේවියගේ කේශාලංකාරය කළ සෑම් පෙරේරා, මාලිනී ෆොන්සේකාගේ කේශාලංකාරය කළ ලලිත් ධර්මවර්ධන, ශ්‍රියානි අමරසේනගේ හිසකෙස් සැරසූ සරත් රණවීර වැනි කේශාලංකාරයේ ප්‍රවීණයන් ඇයි කවදාවත් ලංකාවේ සිනමා උළෙලකදී සම්මානනීයව ඇගයුණේ නැත්තේ කියන ප්‍රශ්නය හිතට නැගෙනවා. මට හිතෙන්නෙ හරූන් බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ ආදී ඈත යුගයන්හි ප්‍රස්තුත ඔස්සේ නිමැවූ සිනමා රූපකාරකයන්හි ඒ යුගමය හැඩතල, වර්ණ පිළිබිඹු කරන්න කේශාලංකාරය තුළින් නළු නිළි උවනට, පෞරුෂයට ලබා දෙන වටිනාකම සුන්දරත්වය ඇයි ඒ සිනමා උළෙලවල්හි සම්මාන නිර්දේශ කරන පාර්ශ්වයන්ට කවදාවත් නොවැටහුණේ කියලා මට හිතෙනවා. ඇත්ත හරූන් ඒ සම්මාන, ඇගයුම්, ප්‍රශංසා, මල්මාල නොලද්දත් ඒ සිනමා රූපකාරක රසවිඳි සුවහසක් ප්‍රේක්ෂක හදවත්හි ඔබ සහ ඔබ වැන්නවුන් ජනනය කළ ඒ කලාවෙහි මතක රසභාව රැඳී තියේවි හිත්වල...

ඔයා දන්නවද හරූන් මමත් ඒකට හොඳම උදාහරණයක්. මොකද  යශෝධරා චිත්‍රපටය බලපු මගේ මතක ද්වාරය අදටත් යශෝධරා ළඟ විවරවෙන තැනක් තියෙනවානම් ඒ සඳළු තලයක සිට පහළ බලන යශෝධරාවගේ හිසකෙස් විලාසය... ඉතින් ඒ මනරම් නිමැවුම් මවාලූ දෑත් මත සම්මාන නොරැඳවීම අහෝ දුකක් කියලා තමයි ලංකාවේ සිනමා උළෙලවල් ගැන කතා කරද්දි මට හිතෙන්නෙ. ඇත්තටම ලංකාවේ සිනමාව කියන්නෙම ඛේදවාචක මහ ගොඩක් එක්ක කතා කරන්න තියෙන මාතෘකාවක්... ඒ අතරින් කවදාවත් කේශාලංකාර ශිල්පියෙක් සම්මානයකින් පුද නොකිරීම ලංකාවේ සිනමා උළෙලවල් ගැන කතා කරන මාතෘකාවකදි කතා නොකර අත්හරින්න බැරි ප්‍රස්තුතයක්...
ඉතින් හරූන්... මේ මට හිතෙන දේවල්... නෑ හරූන් මේ මම හිතන දේවල්... දැන් අපි කතා කරමු. ඒ කියන්නෙ ඔයා සහ මම කතා කරමු...

ගෞතම බුද්ධ මාතා චිත්‍රපටය ළඟ මගේ මතකය නවතිද්දි මේ මොහොතේත් මට එහි අමතක කරන්න බැරි යම් දෙයක් තියෙනවා නම් ඒ විශේෂයෙන්ම මහාමායාවගේ, ප්‍රජාපතියගේ හිසකෙස් විලාසිතා. ජීවමානව අපව ඇවිද යා නොහැකි අතීතයකට අප කැටුව ගිය ගමනක තීරණාත්මකම කොටස්කාරයෙක් වුණ ඔබ, කේශාලංකාර ශිල්පියෙක් කියන භූමිකාවෙන්. මට හිතෙන්නෙ එහෙම?
ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ කේශාලංකාර ශිල්පියා ලෙස නිර්මාණශීලී දායකත්වය ලබා දෙන්න ලැබුණු ඇරයුමෙන් පසු මම ඉන්දියාවට ගියා. මම ඒ යුගය අධ්‍යයනය කළා. දමිළ හින්දී නිර්මාණ හොයාගෙන ගියා. ඉන්දියාවේ සිටින මගේ යාළුවන්ගෙන් තොරතුරු ලබා ගත්තා. කේශාලංකාරය කියන්නෙ හරි සියුම් කලාවක්. බුදුන් වහන්සේ ලොව පහළ වීමටත් ප්‍රථම අතීතයක ඉන්දියාවේ මාලිගාවන්හි කුමාරිකාවන්ගේ, බිසෝවරුන්ගේ, රජවරුන්ගේ සහ මිනිසුන්ගේ හිසකෙස් සැරසූ අයුරු මේ යැයි මනසේ චිත්‍රයක් මවා ගැනීමම එක්තරා ෆැන්ටසියක්. මම පුදුම වින්දනයක් ලබන්නේ ඒ ෆැන්ටසිය තුළ සැරිසැරීමෙන්. යශෝධරා චිත්‍රපටයේ කේශාලංකාර ශිල්පියා වුණෙත් මම. ඒ යුගය සහ ගෞතම බුද්ධ මාතා යුග ද්විත්වයම එක සමානයි. ඒත් මම කවදාවත් එක චිත්‍රපටයක හිසකෙස් සැකසුමක් තව චිත්‍රපටයක චරිතයකට ගේන්නෙ නෑ. ඉතින් යශෝධරාහි ආභාෂය එතැනදි ගෞතම බුද්ධ මාතා වෙත නොගෙනෙන්න මම හුඟාක් පරිස්සම් වුණා.
මම ලද ලොකුම වින්දනය තමයි එම ඉන්දියානු නළු නිළියන් දක්වපු ප්‍රතිචාරය. ඔවුන් ලැබුවේ පුදුම වින්දනයක්. ලංකාවේ ඉන්න එපා හරූන්. ඔයා වටින්නෙ අපේ රටට කියලා ඔවුන් මට කීවා. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ සොනක්ෂි සිං, බුද්ධ මාතාහි පාල්ගුනී ඛන්නා, යශෝධරාහි පල්ලවි සුභාෂ් ඇතුළු මා සමඟ මෙතෙක් වැඩ කළ සියලු ඉන්දියානු ශිල්පීන් අදටත් මට කතා කරනවා. ඔයා අපේ රටට එන්න කියලා අදටත් ඔවුන් මට කියනවා. ඒ ඇගයීම කවදාවත් සල්ලිවලින්වත් ලබන්න බැරි සතුටක්, තෘප්තියක්. ජීවිතයේ හැමදේම සල්ලි නෙවෙයි. සල්ලිවලට ගන්නත් බැරි, හොයන්නත් බැරි ජීවිතය සුවපත් කරන, ජීවිතය සරසන දේවල් තව හුඟාක් ලෝකයේ තියෙනවා කියලා දන්න සහ විශ්වාස කරන කෙනෙක් මම.

ඇත්තටම කවදාවත් ලංකාවෙන් යන්න හිතුණෙවත් හිතුවෙවත් නැද්ද හරූන්?
නෑ. මේ මොහොත වෙනතුරු නෑ. ඒකට හේතු හුඟාක් තියෙනවා. මම මගේ ලංකාවට ආදරෙයි. මේ මම ඉපදුණු රට. මම හැදුණු වැඩුණු රට. මට ලංකාවෙන් යන්න ඕනෑ තරම් අවස්ථා ලැබිලා තියෙනවා. ඒත් මම කවදාවත් ලංකාවෙන් යන්න හිතුවෙ නෑ. 2023 අප්‍රේල් 18 මගේ නංගි මේ ලෝකයෙන් සමුගත්තා. මට මගේ නංගි බලාගන්න වගකීම තිබුණා. අද වෙද්දි මගේ අම්මාට තාත්තාට අවුරුදු හැත්තෑ පහක්. වයසින් වියපත් වුණත් ශාරීරිකව මානසිකව අම්මත් තාත්තත් තාම තරුණයි. ඒත් මට මගේ අම්මත් තාත්තත් බලාගන්න යුතුකම වගකීම තියෙනවා. මම මගේ අම්මට තාත්තට සහ මගේ නංගිගේ මතකයට තාමත් ආදරෙයි. මම මේ රටේ සිනමාවට ආදරෙයි. පුංචි කාලයේ ඉඳන් මම දැකපු හීන දිගේ තමයි මම තාමත් ඇවිදින්නේ. මම ඉන්දියානු ශිල්පීන්ව චිත්‍රපට සඳහා මෙන්ම වෙළෙඳ දැන්වීම් සඳහා ද හැඩගන්වා තියෙනවා. ඇත්තටම මම ආසයි හොලිවුඩ්, බොලිවුඩ්, නොලිවුඩ්, කොලිවුඩ් මේ හැම ක්ෂේත්‍රයකම වගේ සිනමා නිර්මාණයන්හි කේශාලංකාර ශිල්පියෙක් ලෙස මගේ නිර්මාණශීලීත්වය විදහා දක්වන්න පුළුවන් නම්. මට ඕනෑ එහෙම අවස්ථා වෙනුවෙන් මේ රටෙන් ගිහින් නැවතත් මේ රටට එන්න. එහෙම නැතුව කිසිම දවසක මේ රට දාලා යන්න නම් මට හිතිලා නෑ.

මට කියන්න කොහොමද හිසකේ ගස්වලින් මෙච්චර ලස්සන චිත්‍ර අඳින්නෙ. ඇත්තමයි හරූන් ෂයිඩීන් ඔයාගේ හිසකෙස් විලාසිතා මට පේන්නෙ ලස්සන චිත්‍ර වගේ වෙලාවකට?
ඇත්තටම මට ඕනෑම කලා ශිල්පියෙක්ගේ ඔළුවට අත තිබ්බම මට එයාට කරන හිසකෙස් විලාසිතාව මැවිලා පේනවා. අනේ මන්දා ඒක මට දැනෙන්නෙ දෙවියන්ගෙන් ලැබුණු ආශිර්වාදයක් වගේ. ඇත්තටම මගේ හදවතේ මැවෙන කේශාලංකාර චිත්‍රයක් තමයි අවසානයේ එළි දකින්නෙ. ඇත්තටම එතෙන්දි පුදුම ඉවසීමක් ඕනෑ. මොකද මම ආසයි පුංචිම පුංචි සිද්ධාන්තයක්වත් මඟ නොහැර ඉන්න. මොකද ‘Details’ වැඩි වෙච්ච තරමට තමයි මුහුණක‘Make up’ එකක් ‘Hair style’ එකක් ලස්සන. මිස් ජෙනිස්, විජයබා කොල්ලය, කදිර දිව්‍යරාජ, ගෞතම බුද්ධ මාතා, එන්න තියෙන ආයු දක්වා චිත්‍රපට හැම එකකම මගේ සැරිසැරීම මට හරි සුන්දර අත්දැකීමක්.

ඒ සුන්දර අත්දැකීම අභියෝගයක් ලෙස දැනුණු තැන් තියෙනවද?
කදිර දිව්‍යරාජ චිත්‍රපටය කරද්දි දේව මණ්ඩලයේම කේශාලංකාරය කරන්න වුණා. මම බෞද්ධ පරිසරයක් තුළ හැදුණු කෙනෙක්. සමහර අයගේ මතයක් තියෙනවා දේව චරිත වැනි චරිතයන්හි නිර්මාණශීලී ප්‍රතිරූප ගොඩනගද්දි වස් වදින්න පුළුවන් කියලා. මිනිසුන්ගේ හිතේ ඒ චරිත ගැන මැවුණු ස්වරූප තියෙනවා. ඒ ස්වරූපයට සංකල්පයට හානියක් කරන්න බෑ මට අල්පමාත්‍රයකින්වත්. ඇත්තටම ඕනෑම චිත්‍රපටයක් ලැබුණට පස්සේ ඒ සිනමා පටයේ අධ්‍යක්ෂවරයා සහ වේෂ නිරූපණ ශිල්පියා සමඟ කතා කළාට පසු මම තනියෙන් හුඟාක් කල්පනා කරනවා. මම සරසන්න ඕනෑ නළුවාගේ හෝ නිළියගේ මුහුණ මතක් කරගෙන මම ඔහු හෝ ඇය වෙනුවෙන් මම නිමවන කේශාලංකාරය සිහිපත් කරනවා. ඒ නිහඬ කල්පනා ලෝකය ඇත්තටම මනරම් ෆැන්ටසියක්.

සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් ඔබට ලැබෙන නිදහස ගැන තෘප්තිමත්ද?
මහාචාර්ය සුනිල් ආරියරත්න සර් කවදාවත් මට ඇඟිලි ගහන්නෙ නෑ. මට නිදහස දෙනවා උපරිමයෙන්ම. සර් කියනවා හරූන්ට කොණ්ඩයක් දුන්නොත් නම් ලේසියෙන් ගන්න බෑ ඒ ‘Artist’ ව සෑහෙන වෙලාවකට කියලා. ජයන්ත චන්ද්‍රසිරි සිනමාවේදියාගේ දේවි කුසුමාසන චිත්‍රපටයේත් කේශාලංකාර ශිල්පියා ලෙස කටයුතු කළේ මම. ඇත්තටම ඒ නිදහස නම් මට මෙතෙක් උපරිම ලැබිලා තියෙනවා.

ඇත්තටම ගැහැනියකට කොණ්ඩය කියන්නෙ කොහොම වටිනාකමක් තියෙන දෙයක්ද?
මම ඕනෑම කෙනෙක්ගේ කොණ්ඩයට පුදුම තරම් ආදරය කරන කෙනෙක්. ගැහැනියකට තියෙන ලොකුම ආභරණය තමයි කොණ්ඩය. කෙනෙක්ගේ මුහුණු ළයාන්විත කරන්න, නපුරු කරන්න, රාගික කරන්න, ඕනෑම මනෝභාවයක් කෙනෙක්ගේ මුහුණ මත දවටන්න කොණ්ඩයට පුළුවන්. හිතන්න ගැහැනියකගේ හිස තට්ටෙ ගෑවොත්, කොණ්ඩය කැපුවොත් පෙනුම කොච්චර වෙනස් වෙනවද? මුදු මුදු පොකුටු කොණ්ඩයකින් පෙනුම කොච්චර වෙනස් වෙනවද? මම සාමාන්‍යයෙන් කෙනෙක් මගෙන් කොණ්ඩය හදාගන්න ආවත් මම ඒ කොණ්ඩය, මෝස්තරය, වර්ණය තෝරා ගනිද්දි එයාගේ රැකියාව, එයා අම්මා කෙනෙක්ද, ඒ තොරතුරු අහනවා. “කෙමිකල් ට්‍රීට්මන්ට්” එකක් මම කොණ්ඩයකට කරන්නෙ නොකරම බැරි තැනකදි විතරයි. කොච්චර සල්ලි ලැබුණත් මම කාගෙවත් කොණ්ඩයක් විනාශ කරන්න කැමති නෑ.

හරූන් ෂයිඩීන් මම කියවපු විදිහට හරිම සුන්දර හදවතක් තියෙන හරි ධනාත්මක මනුස්සයෙක්. හිතින් හැමදාමත් තරුණ මනුස්සයෙක්. දෙනවද උත්තරයක්?
ඇත්තටම මම හැම මොහොතකම ධනාත්මකව හිතන්න, සුන්දර දේවල් ගැන හිතන්න කැමති කෙනෙක්. මම ආසයි සුන්දර දේවල් ගැන හිතන්න. ඇත්තටම ඍණවාදීව හිතන කෙනෙක්ට සුන්දර නිර්මාණශීලී දේවල් නිර්මාණය කරන්නත් බෑ. ලස්සන නෑ කියන ඕනෑම කෙනෙක්ට මම කියන්නේ මේ ලෝකයේ ඕනෑම කෙනෙක්ට ලස්සනම කෙනා තමන් වෙන්න ඕනෑ කියලා. සමහර අය වියපත් වෙද්දි, දරුවන් ලැබුණම ජීවිතය අත්හරිනවා. හුස්ම වැටෙන නිසා ජීවත් වෙනවා. කවදාවත් මරණය තෙක් ජීවිතය අත්හරින්න එපා. සිතුවිලිවලින් තරුණ වෙන්න. ජීවිතයට ආදරය කරන්න. ජීවිතය දැනෙන්නෙ, හමුවෙන්නෙ එහෙම තැන්වලදි. එහෙම ඍණාත්මක අනුන්ගේ දේවල් හොයන, විවේචනය කරන මිනිසුන්ව මම මගේ හදවතින්ම ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ ජීවිතය අයිති තමන්ට. පොදු සමාජයට හිරිහැරයක්, පීඩනයක් හෝ අසාධාරණයක් නොවන විදිහට තමන්ගේ ජීවිතය විඳින්න, තමන්ගේ හීන හොයාගෙන යන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. ඇත්තටම ඇතුළාන්තයෙන් හිස්, නිසරු, විඳවන මිනිස්සු තමයි ඒ විදිහට අනික් අයගේ දේවල් හොයන්නෙ සහ බලපෑම් කරන්නෙ. මධුවිතකට ‘සෙට් වුණත්’ අනික් අයගේ දේවල් කතා කරන, විවේචනය කරන, දේශපාලනයම කතා කරන මිනිස්සුන්ට ඇයි බැරි නිහඬවම චමත්කාරය විඳින්න, ලස්සන දේවල් ගැන කතා කරන්න, චිත්‍රපටයක් ගැන කතා කරන්න.

මාර්තු 02 – Hair by Haroon අලුත් වැඩක් පටන් ගන්නවා. කියන්න ඉතින්?
එදාට මගේ තැන, ඒ කියන්නෙ Hair by Haroon හිදී මම එක්දින Workshop එකක් පටන් ගන්නවා. එක වැඩමුළුවකට සහභාගි කරවගන්නෙ දහ දෙනෙක් විතර. මොකද හුඟාක් අය ගත්තම ප්‍රායෝගිකව අමාරුයි පුහුණුව උපරිමයෙන් ලබා දෙන්න. චිත්‍රපටවලට ආරාධනා ලැබිලා තියෙන නිසා දැනට මට මාස දෙකේ තුනේ පාඨමාලා පටන් ගන්න අමාරුයි. මොකද ශිෂ්‍යයන් අතරමං කරන්න මට බෑ. කෙනෙක්ට පෞද්ගලිකව උපරිම දැනුමක් මේ එක්දින වැඩමුළුව ඔස්සේ මම ලබා දෙනවා. අඛණ්ඩව මේ එක්දින වැඩමුළුව කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

ලංකාවේ කිසිම සම්මාන උළෙලකදී කේශාලංකාර ශිල්පීන් ඇගයීමක් සිදුවෙන්නෙ නෑ. ඇයි ඒ කලාවට සම්මානනීය වටිනාකමක් නොලැබෙන්නෙ?
ඇත්තටම ඒක හරිම ඛේදනීය තත්වයක්. කේශාලංකාර ශිල්පය කියන්නෙ කලාවක්. සිනමා කෘතියකට එයින් ලැබෙන ආලෝකය, පෞරුෂය විශාලයි. ඒත් සමහරු කේශාලංකාර කලාව හෝ ශිල්පය ගණන් ගන්නෙ නෑ. මේකප් ‘ආර්ටිස්ට්’ කෙනෙක් හිටියොත් මදිද, ඇයි කේශාලංකාර ශිල්පියෙක් චිත්‍රපටයකට කියලා අහන සිනමා අධ්‍යක්ෂවරුන් ඉන්නවා. රුක්මණී දේවියගේ කේශාලංකාර ශිල්පියා සෑම් පෙරේරා, මාලිනී ෆොන්සේකාගේ කේශාලංකාර ශිල්පියා ලලිත් ධර්මවර්ධන වගේම සරත් රණවීර, රුචිර කහඳ, තුෂාර වැනි මගේ ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඉන්නවා. සෑම් පෙරේරා, ලලිත් ධර්මවර්ධන, සරත් රණවීර කියන්නෙ ප්‍රවීණම කේශාලංකාර ශිල්පීන්. ඔවුන් කවදාවත් ලංකාවේ සිනමා සම්මාන උළෙලකදි ඇගයීමට ලක් වී නෑ. මම මේ කතා කරන්නෙ මගේ ක්ෂේත්‍රය නියෝජනය කරන සියල්ලන් වෙනුවෙන්. සමහර විට එක් කලා ශිල්පියෙක්ගේ හිසකෙස් සකසන්න පැය ගණන් අපි මහන්සි වෙනවා. ඒත් අපි වැඩ කරන සමහර චිත්‍රපටවල මංගල දර්ශනයටවත් අපිට ඇරයුම්පතක් එන්නෙ නෑ. මට එහෙම වෙලා තියෙනවා. චිත්‍රපටයට කිසිම සම්බන්ධයක් නැති අය ඒ මංගල දර්ශනවලට යද්දි වැඩ කරපු අපිට ඇරයුම්පතක් නොදී ඉන්න තරම් නොසලකා හරින තැන් තියෙනවා. ඇත්තටම ලංකාවේ සිනමා උළෙලවල් ගැන මෙහෙම ප්‍රශ්න හුඟාක් තියෙනවා. ඒක හරි ඛේදවාචකයක්.

• සංජීවිකා සමරතුංග

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00