2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ප්‍රේමය කියලා කියන්නෙ වතුර වගේ දෙයක් - Ilaksha Jayawardana

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

ප්‍රේමය නම් කිමැයි විමසාලමින් ප්‍රේමණීය මිනිසුන් අතරින් ඇවිද යන චාරිකාවේ තවත් තව සොඳුරු මිනිසකු අද්දර අපි නතර වීමු. අප මෙවර ප්‍රේමය නම් කිමැයි විමසා සිටියේ තුරුණු කවියකුගෙනි. ඔහු නමින් ඉලක්ෂ ජයවර්ධන නම් විය. නූතන සිංහල කවීන් අතර ඉලක්ෂ සහෘද හදවත් දිනූ කවියෙකි. ඉඳුරාම ඊට හේතුව ඔහු සතුව ඇති රසභාව පූර්ණ කවීත්වයයි. ඉතින් ඒ කවිකම් උපදින සිතින් අපි ප්‍රේමය පිළිබඳ විමසා සිටියෙමු.

සුපුරුදු සංවාදය ඇරඹුමෙහිම මේ තුරුණු කවියාගේ ප්‍රේමය පිළිබඳ වන හැඟු‍ම අපි ප්‍රශ්න කළෙමු. එය බොහෝ තැන්හි ප්‍රේමණීය මිනිසුන් අතරමං කරවන සුළු පැනයක් වූ නමුත්, අප තුරුණු කවියා එය වෙනස්ම මානයකින් අල්ලා ගත්තේය.
“මට අනුව නම් ප්‍රේමය කියලා කියන්නෙ වතුර වගේ දෙයක්. මොකද වතුර වගේම ප්‍රේමයත් නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. හැබැයි වතුර වැඩි තැනක අපි හිටියොත් අපිව ගිලිලා මැරෙන්න පුළුවන්. ඉතින් සමහර ප්‍රේමයන් ළඟදි වුණත් අපිව ගිලිලා මැරෙන්න පුළුවන්.”‍

තුරුණු කවියා ප්‍රේමය ජලය හා සම කොට අපූරු කාව්‍යමය පැහැදිලි කිරීමක් සිදු කරන්නට වූයේය. සැබවින්ම එය ප්‍රේමය පිළිබඳ කවියට නිමිත්තක් යැයි අපට හැඟුණි. එම අදහස තවත් හැඩ වූයේ ඔහුගේ මෙම පැහැදිලි කිරීමත් සමඟය.
“ඒ වගේම වතුරට පාටක් නැහැ, හැඩයක් නැහැ, සුවඳක් නැහැ. ඒත් ඕනෑම වතුරකට ලස්සන පාටක්, හැඩයක්, සුවඳක් එකතු කරන්න පුළුවන් පිටතින් එන කෙනෙකුට. ඒ වගේම වෙලාවකට වතුර හරිම ලස්සනට මෘදුව ගලා බසිනවා. තවත් වෙලාවකට මහා ගංවතුරක් වගේ සියල්ල කඩා බිඳගෙන යනවා. ප්‍රේමයත් ඒ වගේ.”‍

ඉලක්ෂ නම් තුරුණු කවියාගේ පැහැදිලි කිරීම අනුව ප්‍රේමය විවිධ ස්වභාව ගන්නේ ඒ වටා බැඳෙන දෑ හේතුවෙනි. ප්‍රේමය ලස්සන වන්නේ තවත් ලස්සන දෑ ඒ මත තැවරෙන විටය.

එසේ නම් ප්‍රේමය සබඳතා බවට පත්වන්නේ කෙසේද? ප්‍රේමය දැනෙන විට ප්‍රේමය මතින් තෝරා ගැනීම් සිදුවන්නේ කෙසේද? අප සහෘද සංවාදයේ ඊළඟ අදියරට විෂය වූයේ එවන් කරුණු සමූහයකි.

“මේක මම පෞද්ගලිකව හිතන්න දෙයක්. මම හිතනවා ප්‍රේමය තුළින් අපිට දැනෙන්නෙ අපිවමයි කියලා. අපි කෙනෙකුට ප්‍රේම කරද්දි හැඩයක් මවනවා. අපි කැමති වෙන්නෙ මේ ලක්ෂණවලට කියලා කියනවා. ඒත් මම හිතන විදිහට වෙන කෙනෙක් තුළින් ඒ අපි දකින්නෙ අපිවමයි. ඒ අපේම කැඩපතක්. නොගැලපීම් කියලා කියන්නෙ අපි අපිව දකින්නෙ නැති තැන්වල ඇතිවෙන දෙයක්. අපි ප්‍රේම කරන කෙනා තුළින් අපිව නොපෙනෙන විට ඇතිවෙන දෙයක්.”

එය සැබවින්ම ඉතා ගැඹුරු පැහැදිලි කිරීමකි. ප්‍රේමය නම් කිමැයි ලිහා පහදා ගන්නට උත්සාහ කරන ඕනෑම අයෙකු ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු රැසක් එම පැහැදිලි කිරීමේ අන්තර්ගත වී තිබේ. ඉතා තදින් ප්‍රේමයෙහි බැඳෙන මිනිසුන්ට ඉතා තදින් සිත් රිදවීම් ඇතිවන්නේද, මෙම නියමයම මත සිට යැයි ඉලක්ෂ ජයවර්ධන නම් තුරුණු කවියාගේ විශ්වාසයයි.

ප්‍රේමය සහ කලාව අතර පවතින සහසම්බන්ධය මේ තුරුණු කවියා ලවා පැහැදිලි කර ගැනීම යෙහෙකියැයි අපට හැඟු‍ණි. කලාවට කවියට මෙතරම්ම ප්‍රේමය විෂය වී ඇත්තේ ඇයිදැයි අපි ඔහුගෙන් විමසා සිටියෙමු.

“කලාකරුවෙක් කියලා කියන්නෙ අමුතු විශාල හදවතක්, විශාල පරිමාවක දෘෂ්ටියක් තියෙන වෙනස් මනුස්සයෙක්. කවියෙක් කියන්නෙත් පපුවේ උලක් ඇනුණු මනුස්සයෙක් කියලා කියනවනෙ. එහෙම වුණාම, කලාකරුවෝ යම් යම් සිද්ධි වෙනුවෙන් ඕනෑවට වඩා සංවේදී වෙනවා. ඉතින් ප්‍රේමය කියන මාතෘකාවේදිත් කලාකරුවෝ එහෙමයි.”‍

කලාව උපදින සංවේදී හදවත් ප්‍රේමය නම් සියුම් ගැඹුරු සංවේදී හැඟු‍ම ඉදිරියේ මෙතරම් තදින් කැළඹී යන්නේ, ප්‍රේමයට ඇති අනන්‍ය අපූරු ස්වභාව නිසාම බව ඉලක්ෂගේ පැහැදිලි කිරීමෙන් හැඟී යයි.

“කලාවක් ඇසුරු කරපු මනුස්සයෙක් තමන්ගේ පෙම්වතිය තරහ වුණා කියලා, ඇයව මරා දමන්න උත්සාහ කරන්නෙ නෑ. තමන්ව අතහැරලා වෙන කෙනෙක්ව කසාද බැඳලා යනකොටත් කලාකරුව කියනවා ‘මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ’ කියලා. ඇත්තටම කවියෙක්ගෙන් කලාකරුවෙක්ගෙන් ප්‍රේමයේදී තවත් කෙනෙකුට වෙන්න තියෙන අලාභය අඩුයි.”‍

ප්‍රේමයේ සෝ තැවුල් විඳදරා ගන්නට කවිය, සෞන්දර්ය කොතරම් මෙහෙයක් ඉටුකර තිබේද? ඉතිහාසයේ පටන් අද දක්වා කලාකරුවනුත් කලාව ඇසුරු කළ මිනිසුනුත්, ප්‍රේමයේ වියෝවත් සොඳුරු ලෙස දරා සිටින උන් නොවේද? ඉලක්ෂ ගලපා පහදා අපට කියන්නේ ඒ කතාවයි.

මුණගැසීම් සහ වෙන්වීම් ප්‍රේමයේදී වළකනු බැරිය. එහෙත් ප්‍රේමය මතින් නිර්මාණය වූ සබඳතා බිඳී යන විට, එතැනදී ඉපිද තිබූ ප්‍රේමයද මිය යයිද? අප ඒ පිළිබඳ තුරුණු කවියාගේ අවධානය යොමු කළේ ප්‍රේමයේ තවත් පැතිකඩක් පිළිබඳ ඔහුගේ හැඟු‍ම් අවදි කරගනු අටියෙනි.

“ඒක කවදාවත් එහෙම වෙන්නෙ නෑ නේද? හරියට හුළඟක් කවදාවත් අපිට අතින් අල්ලලා නතර කරන්න බැහැ වගේ. ප්‍රේමයක් කියලා කියන්නෙ ඇරඹුමක්වත් අවසානයක්වත් කවදාවත් හොයන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනෙක් හැම දෙයකම ආරම්භයක් ගැන අවසානයක් ගැන අපිට කියන්න පුළුවන්. ඒත් ප්‍රේමයේදි එහෙම කියන්න පහසු නැහැ.”‍

ප්‍රේමය ආරම්භයක් හෝ අවසානයක් සොයාගත නොහැකි මිනිසුන් කෙරෙහි පවතින අපූරුතම හැඟු‍මකි. මේ තුරුණු කවි සිත ඒ පිළිබඳ අපූරු කවි සංකල්පනා කොතෙකුත් ලියා ඇතුවාට සැක නැත.

“අපි කෙනෙකුගෙන් ඇහුවොත් කොහොමද ආදරයක් ඇතිවුණේ, ඇතිවුණු තැන පැහැදිලි කරන්න කියලා, ඒක කරන්න අමාරුයි. ඒ වගේම තමයි අවසානයත්. මම හිතන්නෙ මරණය දක්වාම ඒක පවතිනවා. මතු ආත්ම කතා මම ලොකුවට විශ්වාස කරන්නෙ නැති හින්දා ඒ ගැන දන්නෙ නැහැ. නමුත් ප්‍රේමය මරණය දක්වාම පවතිනවා කියලා මම හිතනවා.”‍

ප්‍රේමයට ආරම්භයක් කෙසේ හෝ සොයා ගත්තත් අවසානයක් නම් සොයාගත නොහැකි බව ඉලක්ෂ කියා සිටියි.

කවියකු වූ ඉලක්ෂ ප්‍රේමයේ ළතැවුල් වියෝව පෞද්ගලිකව දරා සිටියේ කෙසේද? ප්‍රේමය පිළිබඳ කියවාගන්නකුට කවියකුගේ ප්‍රේමය පිළිබඳ යම් අදහසක් ලබා දෙනු රිසින් අපි විමසා සිටියෙමු.

“කවියෙක් විදිහට මම ගොඩක් වෙලාවට මගේ ආවේග පාලනය කරගත්තෙ කවිය නිසාමයි. අපිට නිතරම වහිනවානම් හොඳයි කියලා හිතෙනවා. මොකද වැස්සේ තෙමෙද්දි අපේ අඬන කඳුළු පේන්නෙ නෑනෙ. අන්න ඒ වගේ කවියෙක් විදියට කෑගහලා අඬන්න හිතුණත්, ගිහිල්ලා මැරෙන්න හිතුණත්, මොන වගේ ආවේගයක් ආවත්, මම තෝරාගත්ත දේ කවිය. ඒ නිසා මම ඕනෑම කෙනෙකුට කියනවා, තමන්ගේ ආවේග පාලනය කරගන්න පුළුවන් කලා මාධ්‍ය ඕනෑ තරම් තියෙනවා මේ ලෝකයේ.”‍
සම්මතය, සංස්කෘතිය, නීති රෙගුලාසි සමඟ ප්‍රේමයට පවතින බාධා පිළිබඳවත් අපි සංවාදයේ කෙළවරක සාකච්ඡා කළෙමු. සමස්තය දෙස ස්වභාවයක් ලෙස බලමින්, කරුණු පැහැදිලි කළ ඉලක්ෂ මිනිසුන් සම්මතය කඩා බිඳගෙන ප්‍රේමය දිනාගන්නා බවත්, තවත් පිරිසක් සම්මතය මතින් පීඩිතව දුක් විඳින බවත් පැහැදිලි කළේය. මිනිසුන්ට තමන් කැමති තැනක ප්‍රේමණීය ලෙස නතර වීමට ඇති අයිතිය කවියකු ලෙස ඔහු මුළු හදින්ම පිළිගන්නා බව අපට හැඟු‍ණි.
ප්‍රේමය පිළිබඳ කතාව ලෝකයා කෙරෙහි වන මානව ප්‍රේමයේ සීමාවෙන් අවසන් කිරීමට අප සූදානම් වීමු.

“හොඳ මිනිස්සුවත් නරක මිනිස්සුවත් ලෝකයේ නැහැ. හරිම සරලව කිව්වොත් තමන්ට වෙනවට අකමැති දේවල් අනිත් අයට නොකර ජීවත් වෙන්න පුළුවන්නම්, ලෝකය හරිම ලස්සනයි.”‍

• චමිඳු නිසල් ද සිල්වා