2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ආලවන්ත ප්‍රේමවන්ත සුන්දර විජය....

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 7

මෙය දශක හතරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් සුවඳ නොමියෙන මිනිසකුගේ කතාවකි. ආදරය ලබන්නටම උපන් මිනිසුන් ලොව විරලය. ආදරය ලැබුවද පෙරළා ලෝකයට ආදරය බෙදා දෙන්නට හැකි මිනිසුන් ඊටත් විරලය. ශ්‍රී ලාංකික ඉතිහාසයේ අපට හමුවන එවන් මිනිසුන් අතර විජය කුමාරණතුංග නාමය සදා අනුස්මරණීයය. මේ විජය පිළිබඳ තවත් කතාවකි.

විජයගේ සිනමාව, දේශපාලනය, ගායනය ආදී සකලවිධ කලාවන් සහ සාමාජීය ප්‍රපංච පිළිබඳ වෙන් වෙන්ව සාකච්ඡා කරනු නොහැකි නැත. අප ද එවන් සංවාදක් ගොඩනැගුවහොත් එවා ඉතා පුළුල් මෙන්ම ගැඹුරු ආන්දෝලනාත්මක සංවාද‍යක් වනු නොඅනුමානය. එහෙත් යුගයක මිනිසකු වූ විජය පිළිබඳ සිදුව ඇති එවන් සංවාද ප්‍රමාණාත්මකව මෙපමණ යැයි කිව නොහැකි ලෙස අපතර ඉතිරිව තිබේ. එම නිසාම විජය කුමාරණතුංගයන්ගේ සිනමාව හෝ දේශපාලනය පිළිබඳ නොව සමස්තය විෂයෙහි ඔහු තුළ වූ මානවීය සුගන්ධය පිළිබඳ සටහනකට අපි ඉඩකඩ වෙන් කළෙමු.

විජය ළතෙත් හදවතක් තිබූ මිනිසකු බව ඔහු ඇසුරු කළ මිනිසුන් අනේක වාරයක් පවසනු අප අසා තිබේ. විජය නම් මිනිසාගේ සිනමා භෞතිස්මයෙන් ඉක්බිති ඔහුගේ කලාව විවිධ බධා හමුවේ ඉදිරියට ඇදී ආවකි. එම චාරිකාව කොතරම් දුෂ්කර එකක් වුවද, එම චාරිකාව පුරාවට ඔහු විසින් මනුෂ්‍ය ධර්ම සුරැකි බව අද ද ශ්‍රී ලාංකිකයෝ විශ්වාස කරති. විජයගේ සිනමා ආගමනය තව එකකු කපා තලා පෙළා ඉදිරියට පැමිණි ගමනක් නොවුණි. සරසවි පුවත්පතේ පළවූ දැන්වීමකට අනුව “හන්තානේ කතාව” නම් ඓතිහාසික සිනමා සිත්තමෙන් විජයගේ සිනමාවතරණය සිදුවිය.

විජය කුමාරණතුංග, ශ්‍රී ලාංකික සිනමාවේ සිහින කුමාරයා බවට පත්වන්නේ හුදෙක් ඔහුගේ රංග පෞරුෂය හේතුවෙන්ම පමණක් නොවෙයි. ඔහු කෙරෙන් සදාතනිකව වහනය වුණු මානව සුගන්ධය ඔහු ලද සියල්ල කෙරෙහිම බලපැවැත්වීය. සිනමාව තුළදී සිය සහෘද කලාකරුවන්ට මෙන්ම අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයන් ඇතුළු සියල්ලන් කෙරෙහිම අපරිමිත සෙනෙහසකින් විජය කුමාරණතුංග කටයුතු කර තිබේ. ඒ පිළිබඳ අපමණ සාක්ෂි මෙලක කලාවේ ජීවමාන චරිත විසින් රට හමුවේ තබා ඇත.

කලාව තුළදී මුදල දෙවනුව සැලකූ විජය කුමාරණතුංග, බොහෝ නිර්මාණ කාර්යයන්හිදී හිතමිතුරුකම් පළමු තැන ලා සලකා තිබේ. එම නිසාම අද ද ජීවත්ව සිටින ඇතැම් චිත්‍රපට නිෂ්පාදකයන් ඔහුට මුදලින් ණය බව ඔහු ඇසුරු කළ පිරිස් පවසති. චිත්‍රපට නිෂ්පාදනය උම්මාදයක්ව පැවති මෙම යුගයේ, ඇතැම් නිර්මාණ ලාභදායී නොවීය. එවන් නිර්මාණවලදී නිෂ්පාදකයෝ බොහෝ විට ණයකරුවන් බවට පත්වෙමින් අමාරුවේ වැටුණහ. එවන් නිර්මාණ තුළදී විජය බොහෝ විට තමන්ගේ රංග කාර්යය වෙනුවෙන් හිමි වේතනය ලබා නොගත්තේය.

එපමණක් නොව, සිය කලා ජීවිතය තුළදී කර්මාන්තයේ නියුතු මිනිසුන් අතර උස්මිටිකම් නොතෑකු විජය, සියල්ලන්ට එක හා සමානව සැලකූ මිනිසෙක් වූයේය. සිනමාවෙහි යුග කාරකයන් බොහෝ විට හිස උදුම්මාගත් මිනිසුන් බවට පත්වෙද්දී, විජයගේ භාවිතය මුළුමනින්ම වෙනස් වූවක් විය. තේ අල්ලන කොලු‍වාගේ පටන් අධ්‍යක්ෂවරයා දක්වා සියල්ල කෙරෙහිම විජය පතුරුවා හරිනු ලැබුවේ එක හා සමාන සෙනෙහසකි. මේ පිළිබඳ අප්‍රමාණ කතාන්දර එදා කර්මාන්තයේ නියුතු මිනිසුන් අතර පවතී.

විජය හිතාමතා අගය නොකර සිටීමට එම යුගයේ සිනමාව විෂයෙහි පැවති දේශපාලනය තීරණය කළේ කුහක අදහස් පෙරදැරිවය. විජය කුමාරණතුංගයන්ගේ කලාව කෙරෙහි නොයෙක් වාරණ ක්‍රියාත්මක විය. සම්මාන උළෙලවල්හිදී ඔහු නොසලකා හරිනු ලැබීය. එහෙත් ඒ කිසිවක් කෙරේ අල්පමාත්‍රික වෛරී හැඟු‍මක් ඔහු තුළ නොවුණු බව ඔහු ඇසුරු කළ පිරිස් අද ද කියා සිටිති. විජය කුමාරණතුංගයන්ගේ කලාව උපේක්ෂාවෙන් පිරුණු මානවවාදී එකක් වූයේ එබැවිනි.

විජය කුමාරණතුංග තුළ නොපැවතුණු එහෙත් එම යුගය අරක්ගත් බිහිසුණු යමක් වූයේය. ඒ නම් ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වයයි. අසූ තුනේ ජූලි කලබලවලින් පසු මුළු රටම ගිනියම් වී යද්දී, ජාතිවාදය ශ්‍රී ලාංකික දේශපාලනයේ ආත්මීය කොටසක් බවට පත්වෙද්දී පවා විජය කුමාරණතුංග මානව ප්‍රේමියකු ලෙස නැගී සිටියේය. විජය විශ්වාස කළේ ආගම් ජාති කුල මල ගෝත්‍ර නොවේ, ඔහු විශ්වාස කළේ එක් මනුෂ්‍ය ජාතියක් පමණි. එම නිසාම මෙම යුගයේ කෲරත්වයෙන් මිනිසුන් ගලවා ගැනීමට විජය කුමාරණතුංගයන් සිනමා වීරයකු ලෙස නොව, සැබෑ ලොව මානව ප්‍රේමී විරුවකු ලෙස නැගී සිටියේය.

විජය කුමාරණතුංග දේශපාලන ආගමනය හුදෙක්ම ඔහු තුළ වූ මානව ප්‍රේමයේ තවත් පැතිකඩක නිරූපණයකි. රට පුරා ප්‍රචණ්ඩත්වය පැතිර යමින් තිබූ යුගයේ සිය ජනකාන්ත බව ප්‍රචණ්ඩත්වයට එරෙහිව විජය කුමාරණතුංග නොමසුළුව භාවිත කළේය. 1977 කටාන ආසනයට තරග කරමින් දේශපාලනයට පිවිසි විජය කුමාරණතුංග, 1982, 1984 මැතිවරණවලදී ක්‍රියාකාරී දේශපාලන භූමිකා නිරූපණය කළමුත් ඔහුගේ සිහින කිසිදා ඵල නොදැරුවේය. විජයට අවශ්‍ය වූයේ දේශපාලන බලය නම් ඒ සඳහා ඉතා සුමට සුව පහසු මාවතක් ඔහු ඉදිරියේ තිබුණි. එහෙත් කිසිවිටෙක විජය, එය තෝරා නොගත් අතර, යුගයේ දුෂ්කරම දේශපාලන මාවත් මානවවාදී සංහිඳියාව පෙරටුව ඔහු විසින් තෝරාගනු ලැබීය.

දකුණත් උතුරත් එක ලෙස ඇවිළුණු අසූව දශකයේ, ඒ ගිනි නිවා මිනිසුන් සනසනු රිසියෙන් විජය කුමාරණතුංග නම් මානවවාදියා දැරූ හුදෙකලා උත්සාහය මෙපමණ යැයි කිව නොහැකිය. විටෙක එහි ප්‍රතිඵලයක් ලෙස, විජය දඟගෙයි ලෑමට එවක පාලකයෝ කටයුතු කළහ. නැක්සලයිට් චෝදනා මත විජය සිරගත කෙරුණු අතර, රාජ්‍ය කෲරත්වය විසින් විජයගේ තරු ගුණය නසා දැමීමට ඉතා දුෂ්ඨ කායික හිංසනයේ පවා නිරතව තිබුණි. එහෙත් විජය කුමාරණතුංගයන් කිසිවිටෙක මෙම පීඩා හමුවේ ඔල මොළ සිඳගත් නිවට නියාලු මිනිසෙක් නොවීය.

1986 දී උතුරේ ගිනි නිවනු පතා විජය කුමාරණතුංග සාමයේ දූතයෙක් බවට පත් විය. එල්ටීටීඊය ඇතුළු සංවිධාන විසින් උතුර දකුණට විරුද්ධව සංවිධානය කරමින් රටම ගිනි තබන්නට සූදානම් වූ මොහොතේ විජය යාපනය බලා පිටත් වූයේය. එය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේද සුවිශේෂී සිදුවීමක් ලෙස සටහන්ව තිබේ. විජය කුමාරණතුංගගේ මේ ගමනේ අභිප්‍රාය වූයේ, ගැටුමකින් තොරව ශ්‍රී ලාංකික මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි සංහිඳියාව රැගෙන ඒමයි. එහෙත් අවාසනාවකට විජයට තරම් ලොකු හදවතක් උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන්ටද නොවුණේය. විජයගේ එම උත්සාහයද මල්ඵල නොදැරුවේ එබැවිනි. එහෙත් විජයගේ සෑම උත්සාහයකින්ම වහනය වූ සුගන්ධයෙන් සුවඵල ලැබූවෝ වූහ.

පසෙකින් සිය රංග කාර්යය තුළින් අඳුරු යුගයේ මිනිසුන්ගේ මුව සිනහ රඳවමින් විජය කුමාරණතුංගයන් දිදුලන්නට විය. තවත් පසෙකින් මානව ප්‍රේමය ලොවට බෙදා දෙමින් ජන හදවත් තුළ අපිරිමිත සෙනෙහසක් ඔහු නමින් ලියැවෙන්නට විය. උස්මිටිකම්වලින් තොරව විජයගේ මනුගුණදම්වල සුවඳ අසූව දශකයේ අග මුළු රට පුරා විහිද ගියේය. දුර්ගන්ධයට නහැපුඩු පුරුදු කළ මෙම යුගය මෙම සුගන්ධය දරා සිටීමට සූදානම් නොවීය. විජය කුමාරණතුංග නම් සොඳුරු සිතැති මානව ප්‍රේමියා නමින් ඝාතන වරෙන්තුවක් ලියැවුණේ එබැවිණි.
විජය කුමාරණතුංග කිසිවිටෙක ප්‍රචණ්ඩත්වය අගය කළ අයකු නොවුණෙන්, ප්‍රචණ්ඩත්වය ගුරු කොටගෙන සිටි දේශපාලන ව්‍යාපාරයට සහ රාජ්‍යයට ඔහුව සතුරකු ලෙස පෙනෙන්නට පටන් ගැනීම අරුමයක් නොවේ. නාඳුනන තුවක්කුකරුවා ටී-56 ක්ද අතැතිව 1988 පෙබරවාරි 16 වැනිදා දහවල් විජය සොයා පැමිණියේ එබැවිනි. අවසානයේදී පොල්හේන්ගොඩ නිවසේදී කිසිවකුටත් සිතා ගැනීමටවත් නොහැකි පරිදි සිංහල සිනමාවට බිහිවූ මේ කඩවසම් නළුවාගේ මුහුණටද වෙඩි තබා ඔහු ඝාතනය කෙරුණි. මුහුණට වෙඩි තබා මරා දමා, ඔහුගේ රුව මකාලනු හැකිවනු ඇතැයි එදා ඝාතකයන් විශ්වාස කරන්නට ඇත. ඉඳින් අවසන ඝාතකයන්ට සිය ඉලක්කය ලබාගත හැකි විය. එහෙත් ඔවුන්ගේ අරමුණ බිඳී ගියේය.
තිස් හත් වසරකට පසුවද රුව මෙන්ම ගුණද මකා දැමිය නොහැකි සදාදරණීය මානව ප්‍රේමියා ,“විජය කුමාරණතුංග”‍ ශ්‍රී ලාංකික ජන හදවත්වල තවමත් ජීවමානය.

• චමිඳු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00