හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය ප්‍රේමවන්තයා ලෙසින් අද ද ඔහුගේ නම විරාජමානය. එහෙත් ඉඳහිට ගැඹුරු හඬින් ඇසෙන ගී කිහිපයක් නොවන්නට ඔහු ගායකයකු බව බොහෝ දෙෙනකුට සිහි නොවේ. මන්ද යත් විජය කුමාරණතුංග නම් සිනමා රංග පෞරුෂය සහ මානවවාදී දේශපාලන පෞරුෂය ගායන භූමිකාවට වඩා ඉඳුරාම ප්‍රබලය. එනමුදු මෙවන් වකවානුවක මධුර ගැඹුරු හඬකට උරුමකම් කී විජය කුමාරණතුංගයන්ගේ මධුර ගීතාවලිය අප මඟහැර යනු කෙලෙසද? ඉඳින් මේ සටහන විජය නම් ගායකයා පිළිබඳවමය.
1969 වසරේ තිරගත වූ සුගතපාල සේනරත් යාපාගේ “හන්තානේ කතාව” චිත්‍රපටයෙන් විජය කුමාරණතුංග එක් රැයකින් සිනමා තරුවක් බවට පත්වුවද, ඔහුගේ ගායන හැකියාව කලඑළි දුටුවේ හැත්තෑව දශකයේ අග භාගයේය. චිත්‍රපට පසුබිම් ගීත සමඟින් කුමාරණතුංගයන්ගේ මධුර හඬ රසික හදවත් තදින් ඇද බැඳ ගැනීමට සමත් විය. විජය මුලින්ම චිත්‍රපට පසුබිම් ගී ගායනය සමඟින් එකතු වූයේ ධර්මසේන පතිරාජ නිර්මාණය කළ “පාර දිගේ” සිනමා පටය ඔස්සේ බව කියැවේ.
මෙම සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂවරයා බවට පත්ව ඇති ප්‍රේමසිරි කේමදාසයන්, “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගායනය කරවමින් සිදු කරනු ලැබුවේ සිංහල සිනමාවේ තවත් විශ්මකර්ම කාර්යයකි. ඒ වන විටත් රසික හදවත් ඇද බැඳගෙන තිබූ විජය කුමාරණතුංගයන්ගේ රංග පෞරුෂයට අභිමුව ගායන පෞරුෂය මතු කිරීම සුවිසල් අභියෝගයක් වූ බව නිසැකය.
ගීත සියයත් එකසිය පනහත් අතර ප්‍රමාණයක් විජයගේ හඬින් හැඩවී ඇති බව සිංහල ගීත සාහිත්‍ය පරිශීලනය කරන්නෝ පවසති. එහෙත් ඔහු මෙම සියලු ගැයුම් සිදුකර ඇත්තේ වසර දහයකට අඩු කෙටි කාලසීමාවක වීම තවත් සුවිශේෂත්වයකි. සිනමාව මෙන්ම, සිංහල සංගීතයද ස්වර්ණමය යුගයක් වූ අසූව දශකයේ, විජය ගායකයකු ලෙසින් ඉස්මතු වීම පිළිබඳ ගැඹුරු විග්‍රහයන් ඔහුගේ සමකාලීනයන් විසින් සිදු කරනු දැකගත හැකිය.
විජයගේ සිනමා ගමන් මඟ තහවුරු කර ගැනීම දුෂ්කර කාර්යයක් වූවා මෙන්ම, සංගීතමය ගමන් මඟ ස්ථාපිත කර ගැනීමද ඔහුට අභියෝගයක් විය. මෙයට ප්‍රධාන හේතුව වූයේ එකල රටේ පැවති සීමාසහිත රාජ්‍ය මාධ්‍ය විජය කුමාරණතුංග විරෝධී ආකල්පයකින් කටයුතු කිරීමයි. දැඩි දේශපාලන මර්දනය හමුවේ රජයේ ගුවන්විදුලිය සහ රාජ්‍ය රූපවාහිනී නාලිකා සිතාමතාම විජය කුමාරණතුංග නම් ගායකයා වාරණය කළේය. ඒ නිසාම විජයගේ හඬ පෞරුෂය ජනගත වීමට තිබූ අවස්ථා බොහොමයක් වැළකී යන්නට විය.
තවත් පසෙකින් එච්.ආර්. ජෝතිපාල ප්‍රමුඛ ස්වර්ණමය යුගයේ ගායන තරු රැසක් මෙම යුගය වන විටත් ජන හදවත් තුළ විරාජමානව සිටියහ. චිත්‍රපට පසුබිම් ගීතය මෙම ශිල්පීන් සාමූහිකය වටා කේන්ද්‍රගතව පැවතිණි. බොහෝ සිනමා රසිකයන් අද ද විශ්වාස කර පරිදි දැඩි මානවවාදියකු වූ විජය කුමාරණතුංගයන් චිත්‍රපට පසුබිම් ගී ගායනා බොහොමයක් සිතාමතාම ප්‍රතික්ෂේප කර ඇත. ඊට ඉඳුරාම හේතු වී ඇත්තේ නළුවකු ලෙස අතිශය ජනාදරයට පත්ව සිටි ඔහු, ගායකයකු ලෙසද සිනමාව ආක්‍රමණය කිරීම ඔස්සේ සිය සහෘද කලාකරුවන්ට අවස්ථාව අහිමිවේ යැයි ඔහු තුළ වූ බියයි.
කෙසේ වෙතත් විජයගේ මධුර ගායනය ශ්‍රී ලාංකික ජන හදවත් ස්පර්ශ කළේ ගුවන්විදුලිය හෝ රූපවාහිනිය වැනි ප්‍රධාන මාධ්‍ය ඔස්සේ නොව, කැසට් පට ඔස්සේය. එබැවින් එවක තවත් රසික සමූහයක් තුළ වූ මතයක් වූයේ විජය රංගනයෙන් දිනාගත් ජනප්‍රියත්වය ඔස්සේ ගායකයකු ලෙසද තම ස්ථානය තහවුරු කර ගැනීමට උත්සාහ දරන බවයි. මෙම අදහස තවදුරටත් තහවුරු වීමට හේතු වූයේ එකල එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් සහ නිහාල් නෙල්සන් වැනි ප්‍රවීණ ජනප්‍රිය සංගීත ශිල්පීන් ක්ෂේත්‍රයේ දැවැන්තයන් ලෙස කටයුතු කිරීමයි. එම නිසාම ඔවුන්ගේ ආභාෂය ලබමින් සිනමාවේ ජනප්‍රිය තරුව ලෙස විජය ගායනයට පිවිසි බවට මතයක් රසිකයන් තුළ ගොඩනැගී තිබුණි. කෙසේ වෙතත් මෙම කලාකරුවන් බොහෝ දෙනකු එකිනෙකාට ප්‍රේම කළ සොඳුරු සහෘද මිනිසුන් වූහ.
තවත් පසෙකින් ගායකයකු ලෙස විජය කුමාරණතුංග පිළිබඳව විමසන විට ඔහු ප්‍රේමසිරි කේමදාස යටතේ ලද පන්නරය අමතක කළ නොහැකිය. මෙම සම්බන්ධය එතරම් ප්‍රකට සම්බන්ධයක් නොවුණද, විජය - කේමදාස සුසංයෝගයෙන් ගීත නිර්මාණ විස්සකට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී තිබේ. විජය කුමාරණතුංගයන් ජීවත්ව සිටියා නම් මෙම සුසංයෝගය ශ්‍රී ලාංකීය සංගීතයේ නොමැකෙන මතකයක් වන්නට තිබුණි. කෙසේ වෙතත් එකිනෙකට වෙනස් නිර්මාණ සඳහා දායකත්වය එක් කරමින් විජය, කේමදාසයන් ඇසුරේ ගායන පන්නරයක් ලබා ඇති බව සමකාලීන විචාරකයෝ කියා සිටිති.
විජය කුමාරණතුංගයන්ගේ හඬ සමඟ යුග ගායනයෙන් බැඳුණු සුප්‍රකට ගායිකාවන් රැසක් සිටිති. ඒත් ඒ අතරින් සුවිශේෂී කොට දැක්විය හැකි චරිතයක් වන්නේ චන්ද්‍රලේඛා පෙරේරාය. චන්ද්‍රලේඛා සහ විජය සුසංයෝගයෙන් නිර්මාණය වූ යුග ගී ප්‍රමාණය විසි හතරක් පමණ වේ.
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු...
විජය - චන්ද්‍රලේඛා ගැයූ මෙම මධුර ගීතය ශ්‍රී ලාංකික ප්‍රේමයේ සදාතනික ප්‍රාර්ථනාවක් වී ඇති බව නොරහසකි.
ජීවමානව සිටියදී විජය කුමාරණතුංග හට නිසි ඇගයුමක් ලබා නොදෙන්නට එම යුගයේ රාජ්‍ය තන්ත්‍රය කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසකි. එහෙත් අවස්ථා කිහිපයකදී විජය කුමාරණතුංගයන්ගේ මධුර හඬ පෞරුෂය ඇගයුමට ලක්විය.
“සහරාවේ සිහිනය” සිනමා පටය වෙනුවෙන් 1991 වසරේ 19 වැනි සරසවි සම්මාන උළෙලේදී හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානය විජය නමින් වෙන් කෙරුණි.
වලාකුළක් ගෙන මුවා කරමු හිරු
ගිනිගෙන වියරුව නලියන වැලි කතරේ
රත් වුණු වැලි කැට පුපුරණ
මැදපෙරදිග මරු කතරේ
එදා සහරාවේ සිහිනය සිනමා පටය වෙනුවෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ මෙවන් ගීත, විජය නම් හඬ පෞරුෂයේ සුගායනීය හැකියාව අද ද මනාව පැහැදිලි කරයි.
1992 දී විජය කුමාරණතුංග නැවතත් හොඳම පසුබිම් ගායකයා ලෙස “දොළොස් මහේ පහන” සිනමා පටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය. එම සම්මානය ඔහු නමින් වෙන්වූයේ “සරා ගුවන විද නැඟුණු” නම් චිත්‍රපට පසුබිම් ගීතය වෙනුවෙනි. කෙසේ වෙතත් මෙම සම්මාන ද්විත්වයම විජය නමින් ලියැවුණේ ඔහු දිවිසැරිය නිමා කර තිබූ කලකය.
අඳුරු යුගයේ හිත්පිත් නැති දුෂ්ඨ දේශපාලනය විසින් විජය කුමාරණතුංගයන්ගේ ජීවිතය උදුරා ගන්නා විට “පාර දිගේ” චිත්‍රපටයෙන් ඇරඹි ඔහුගේ සිනමා පසුබිම් ගී ගායනයෙන් වසර අටක පමණ කෙටි කාලයක් තුළ සිනමා පට රැසකට දායකත්වය සපයා තිබුණි. ගඟ අද්දර, රන්දෙණිගල සිංහයා, නොම්මර 17, අහිංසා ආදී සිනමා පට ඔහුගේ මධුර හඬ සමඟ සදාතනිකව බැඳී ඇත.
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වූවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුණි ආශා ගිනිසිළු සේමා
විජය කුමාරණතුංගයන්ගේ ගීතාවලිය පෙළින් පෙළ සිහිපත් කළ හැකිය. කැසට් යුගය තුළ ද විජය කුමාරණතුංගගේ භූමිකාව පහසුවෙන් අකා මකා දැමිය නොහැකිය. විජයගේ නමින් කැසට් කිහිපයක්ම එම වකවානුවේ එළි දුටුවේය. කෙසේ වෙතත් ඇතැම් නිර්මාණ සමුච්චයන් බලාපොරොත්තු වූ තරම් ජනතාව අතරට නොගිය බව අප පිළිගත යුතුය. එම යුගයේ පැවති ආර්ථික, සමාජ, දේශපාලන වටපිටාව මෙන්ම, ස්වර්ණමය යුගයේ කැසට් ආධිපත්‍ය දැරූ සහෘද කලාකරුවන්ට පැවති සුවිශේෂී ආකර්ෂණය ඊට හේතු වූවා විය හැකිය.
කෙසේ වෙතත් විජය කුමාරණතුංගයන්ගේ ගීතාවලිය පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නම් අප බොහෝ දෙනකුට මඟහැරුණු තවත් රසවත් ගීත රැසක් ඉස්මතු කර ගැනීමට හැකිවනු බව නොඅනුමානය. 37 වසරකට පසු විජයගේ ආදරණීය රසිකයකු හෝ සහෘදයකු ඒ උදෙසා වෙහෙස මහන්සි වීම ඇරඹුවහොත්, එහි ඵලය රසවත් වන බව නම් සපථ කොට කිව හැකිය.
කෙසේ නමුත් කෙටි කලකට සීමා වූ විජයගේ ගායන ජීවිතයෙන් ශ්‍රී ලාංකික සංගීතය ලද දායාද කිසි කලෙක සුළු කොට තැකිය නොහැකිය. ඇතැම් විචාරකයන්ට අනුව විජයගේ හඬ පෞරුෂය වටහා ගැනීමට ඇතැම් සංගීතඥයන්ට අවකාශයක් නොලැබුණි. නැතිනම් ප්‍රමාණවත් කාලයක් නොවීය. විජය සතුව තිබුණේ සංගීතයේ දුර්ලභ ගැඹුරු ගී හඬකි. එම හඬින් තවත් බොහෝ වැඩ ගැනීමට තිබූ බව අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්ම මෙම සටහනද, ශ්‍රී ලාංකික සංගීතය උදෙසා විජය තවත් කලක් ජීවත් වූවා නම්... යන උණුසුම් සුසුමෙන් අවසන් කරමු.
• චමිඳු නිසල්