2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා

මරණයට පුළුවන්ද ආදරය මරන්නට...

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01 51

සම්, මස්, ලේ, නහර ඇටමිඳුළු විනිවිද ළය ලෙයට දැනෙන ප්‍රේමයකින් ඔහු ප්‍රේම කළ මිනිසුන් - ඔහුට ප්‍රේම කළ මිනිසුන් බොහෝ වූ හෙයින් ඔහු සමුගැනීමකින් ඉනික්බිතිත් සමු නොගත් මිනිසෙකි. කිසිදා සමු නොගන්නා මිනිසෙකි. හැර ගියත් හැර නොයන ප්‍රේමණීය මතක සිය දහස්, දස දහස් හදවත්හි ශේෂ කර තැබූ මිනිසෙකි.

මරණයට පුළුවන්ද ආදරය මරන්නට...
විජය කුමාරණතුංග ඒ වග නොහැකි බව පසක් කර දුන් මිනිසෙකි.
“දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
අලුගෝසුවනේ එල්ලාපන්
අලුගෝසුවනේ එල්ලාපන්

කටු ඉඹුලේ අප එල්ලාපන්
යුක්තිය උදෙසා කෑ මොර දීමයි
යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුඛ වාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව”

විජය එහෙත් ඔබ වන් තවකෙක් නූපන් කරුමය ලාංකික දේශපාලනය මෙන්ම සිංහල සිනමාවද තවමත් විඳවමින් පවතී යැයි මට හැඟේ. මක්නිසාදයත් ඔබ වක් නොවූ කෂේරුකාවක් සහිත පිරිමියෙකු සහ මිනිසෙකු වශයෙන් දේශපාලනයත් සිනමාවත් අබිමුව පෙනී සිටි නිසාමය. විජය ඔබ ගැයූ ගී සමුදායක් නොවූ ගී සමුච්චයේ...

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන් මගේ ප්‍රියතම ගීතයකි

විජය ඔබ එසේ ගැයුවා පමණක් නොව මානවවාදී උත්තුංග ප්‍රේමයෙන් යුක්තියේ ළදලු දලුලන සුගන්ධවත් සුගීතවත් සමාජයකට ද්වාරය විවර කරලීම වෙනුවෙන් පෙනී සිටියේය.
මේ රට බෙදන්න එපා... බෙදන්න ඉල්ලන්නත් එපා... අපි නොබෙදුණ රටක සහෝදරත්වයෙන් ජීවත් වෙමු...

විජය යාපනයට ගොස් නිර්භයව කීවේය.
විජය තුළ හුස්මක් ගත්තේ න්‍යායවාදී දේශපාලනඥයකු නොව මානවවාදී ප්‍රායෝගික සබුද්ධිමත් මානව ප්‍රේමියෙකි. ජාති, ආගම්, කුල, පන්ති, වර්ණ ප්‍රකාරව නොබෙදුණු සමාජයක් විජයගේ සදාතනික ප්‍රාර්ථනය වූයේය.
“ගඟ ඉද්දර බිනු තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මෘදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ
බැඳුණා පහසේ
ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුලි මැද උණුසුම් සුව ගැවසේ
ඔබ රුව ඡායා
සැඟවේ පායා...”

ස්නේහවන්ත පපුතුර ගැහැනුන් හට සුව සැදූ ප්‍රේමවන්තයාගේ සිට, රෝස මල් සොයා ඉගිල ගිය කඩවසම් ආලවන්ත ආදරවන්තයාගේ සිට දේශපාලනමය යතුරකින් සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙන් ද්වාරයක් විවර කරන්නට යත්න දැරූ මානවවාදී ප්‍රේමවන්තයා දක්වා විජයගේ භූමිකාව විසල් අනන්තයකි.

ආදරයේත්, ශෘංගාරයේත්, ප්‍රේමයේත්, අනුරාගයේත් ස්වර්ණවත් මුද්‍රාවක් බඳු වූ ඒ හදවතේ සුපිපුණු රතු පාට, සුදු පාට, දම් පාට මල් යායේ හුස්මක් ගත් ආලවන්තයාට මිනිසුන් අසීමාන්තිකව ආදරය කරලීය. විජයගේ රූපයට පමණක් නොව හදවතටද එනයින්ම ආදරය කළේය. ජීවිතය දැනෙන්නේම ආදරය ඇති තැනකය. ඉඳින් විජය හැමදාමත් ජීවිතය දැනෙන්නට ජීවත් වූ මිනිසෙකි.

මක් නිසාද යත් අවසන් තත්ත්පරය දක්වාම විජය ආදරය විඳි මිනිසෙකි. විජය සමුගත්තේ නැත. විජය සමුගැන්වූයේය. එහෙත් ඝාතකයාට හා ඝාතකයන්ට ඒ සමුගැන්වීම කළ හැකිවූයේ භෞතිකව පමණි. විජය මරා දමන්නට හැකිවූයේ භෞතිකව පමණි. එහෙයින් මේ මොහොතේත් විජය හුස්මක් වැටෙන හුස්මක් ගන්නා මිනිසෙකි.

විජයට ආදරය කළ මිනිසුන්ගේ ආදරය කොතෙක් ගැඹුරු වීද යත් විජය හා ඒ ආදරය මිහිදන් කරන්නට කවදාවත් කිසිවකුටවත් නොහැකි වූයේය. එතරම් සුන්දර මුහුණකට T56 තුවක්කුවක් එල්ල කළේ කෙළෙසකදැයි මේ මොහොතේත් සිතා ගැනීම අරුමයක් වුවත් ආදරය සහ මනුෂ්‍යත්වය මරා දැමූ හදවතකට කළ නොහැකි දේ කුමක්දැයි යන්න ඒ මරණයම පසක් කර දී හමාරය.

“සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු...”

එහෙත් සැරයටියෙන් යනෙන දවසක් උදාවෙන්නට පෙර විජය මළවුන්ගේ සීතල ලෝකය තුරුල්ලේ සැතපුණේය. එහෙත් තවත් එක් ප්‍රාර්ථනාවක් ශේෂ වී ඇත.

සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු...

එහෙත් ආ දුර කොතෙක්දැයි නොදන්න, යා යුතු දුර කොතෙක්දැයි නොදන්න මේ අනන්ත සංසාර චාරිකාවේ කවදා කොතැනකදී අපි යළි හමුවේදැයි අපි නොදන්නෙමු.

එහෙත් මම මරණය විශ්වාස නොකරමි. මරණය යනු භෞතිකව මේ ශරීරය හැර යාම පමණකි. එහෙත් කිසිදා කිසිවක අවසානයක් මිස කෙළවරක් නැති හෙයින් මරණය යනු ශරීරය හැර යාමක් පමණකි.
විඥානය මේ අනන්ත සංසාරය තුළ නොයෙකුත් රූපකාරකයන් හා සරන සත්‍ය තුළ මරණය යනු සම්මුතික මරණය තුළ අප දකින මරණයට ඉඳුරාම වෙනස් සත්‍යයක් යැයි මට හැඟේ. එහෙයින්ම මරණය යනු මේ අනන්ත සසර සක්මන තුළ මුණනොගැසෙන අමුතුම සමුගැනීමකි.

එහෙත් වේදනාව වන්නේ ඒ මරණය තුළින් සමුගන්නා කිසිවකු ඒ සමුගන්නා පුද්ගලයා වෙසින්ම යළි කිසිදා අපට හමු නොවීමය.
එහෙත්...

මරණයට පුළුවන්ද ආදරය මරන්නට...

එහෙයින්ම විජය වෙනුවෙන් ජන හදවත්හි උපන් ආදරය කිසිදා කිසිලෙසකින්වත් නොවියළුණේය. එය කිසිදා පරව නොගියේය. විජය වෙනුවෙන් උපන් මානව ප්‍රේමය සාර පොළොවක් සෙයින් අස්වැද්දුණු හෙයින්ම මුඩුබිමක් බවට පරිවර්තනය නොවූ ඒ මහා සරු බි​ෙම් තවත් සොඳුරුතම සුගන්ධවත් කුසුමක් පිපුණු දවසක මමත් එහි සාක්ෂිකරුවෙක් වීමි.

ඒ මිනුවන්ගොඩ ගොඩගල්ඔලුවේ විජය සිනමා ශාලාව විවෘත වූ දවසයි. විජය කුමාරණතුංගයන් වෙනුවෙන්ම නිර්මාණය වූ පළමු සිනමාහල යන ප්‍රශංසනීය ස්වර්ණවත් මුද්‍රාවත් සමඟින් එය ලාංකික සිනමා රසිකාගාරයේ අයිතියට පත් වූ ඒ හැන්දෑව විජය මතක පිරුණු සන්ධ්‍යාවකි.

විජය සිනමාහලේ නිර්මාතෘ, ඒ සුන්දර ප්‍රශංසනීය සංකල්පයේ අයිතිකරු, ව්‍යාපාර ජාලයක හිමිකාරිත්වය දරන විජය සිනමාහලේ සභාපති වීරසිරි අධිකාරි රසවතාණන්ට ලාංකික සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනංවන්නට වසර ගණනාවක් පුරා ප්‍රයත්න දරන යම් පාර්ශ්ව වෙත්නම් ඒ සියල්ලන් වෙනුවෙන් අපි හදවතින්ම ස්තූති යැයි කියමු. එහි කළමනාකාර අධ්‍යක්ෂ විකුම් අධිකාරි, කළමනාකරු සමින්ද ජයවික්‍රම, මේ සියල්ලන්ගේ කැපවීම, මහන්සිය එදා ඒ ප්‍රයත්නය පිටුපස රැඳී තිබූ වග ද අපි දනිමු.

විජය සිනමාහල සංකල්පයේ නිර්මාතෘ වීරසිරි අධිකාරි සැබැවින්ම විජය රසවතෙකි. විජයගේ රසිකයෙකි. එදා ප්‍රවේශ පත්‍ර මිලට ගෙන විජයගේ චිත්‍රපට බලන්නට ගිය වීරසිරි අධිකාරි තරුණයා දවසක තමන් ආදරය කළ විජය කුමාරණතුංගයාණන් වෙනුවෙන්ම මතු යම් දවසක තමන් උපයන මුදලින් සිනමා හලක් තැනීමේ සිහිනය දුරාතීතයේ එදවසක එක් මොහොතක  දකින්නටත් ඇත. නොදකින්නටත් ඇත.

එහෙත් මා විශ්වාස කරන, මා ආදරය කරන එකම සර්ව බලධාරී දෙවියන් වහන්සේ වන මේ ස්වභාවධර්මයේ ආශිර්වාදය අපේ හදවත් මත ඉපදෙන, ඉපදී දලුලන, දලුලමින් ඉගිලී යන්නට අත්තටු සොයන සිහිනයන්ට ආශිර්වාදය ප්‍රදානය කරනු ලබයි. ඉඳින් විජය සිනමාහල මා දකින්නේ ඒ සර්ව බලධාරී දේවත්වයේ ආශිර්වාදයක් ලෙසය.

මහාචාර්ය ගුණපාල රත්නසේකර, දිනේෂ් ප්‍රියසාද්, සුනිල් ටී ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ස්විනීතා වීරසිංහ, නදීකා ගුණසේකර, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, චුලක්ෂි රණතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව ආදී කලාව හා යා වූ සිතැත්තන් රැසක් ඉකුත් 16 සන්ධ්‍යාවේ හැඟුම්බර දම් පාමින් වර්ණවත් වූ විජය සිනමාහල වෙත පැමිණියහ. ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ මරුවා සමඟ වාසේ සිනමා රූපකාරකය නැරඹූහ. ක්ලීටස්, ජීවන්, රන්ජන්, ශ්‍රියානි, ස්විනීතා ඇතුළු බොහෝ අය විජය සිහිපත් කළහ. ඒ සියල්ල විජය හදවතට දැනෙන, හදවත්හි ඉඩහසරක් වෙන් කරගත් හුස්මක් වැටෙන නිසා ජීවත් වූ මිනිසකු නොවී හුස්මක් ගනිමින් ජීවත් වූ මිනිසෙකු වූ හෙයින්මය.
ඉතින් ජීවිතය දැනෙන්නේම ආදරය ඇති තැනකය!

වීරසිරි අධිකාරි රසවතාණෙනි, ඔබගේ සිනමාමය ප්‍රේමයේ ගැඹුරු අක්මුල් පිරිසිඳ නැගුණු ස්නේහය ශ්‍රී ලාංකික සිනමාවට ලස්සන අමිල තෑග්ගක් තිළිණ කළේය. එහෙත් අපට දැනෙන, අපව රිදවන රික්තකයක් ශේෂ වී තිබේ. එනම් විඳින්නට තරම් රසභාව ලීලා අවුස්සාලන, චමත්කාරයේ රන් රේඛා සලකුණු කරන සිනමා රූපකාරක දැන් දැන් ඉඳහිටක හෝ සිංහල සිනමාවට තෑගි නොවෙතැයි දැනෙමින් පවතින කරුමයය.

බහුතරයක් චිත්‍රපට නිෂ්පාදකවරුන්ට ලාංකික සිනමාවම එපා කරවන, චිත්‍රපට නිෂ්පාදකවරයකුගේ උතුම් භූමිකාව, සිනමාව වෙනුවෙන් නිෂ්පාදකවරයකුගේ වටිනාකම බොහෝවිට සුරක්ෂිත නොවුණු, අවතක්සේරුකරණයට ලක්වන, චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ ආත්මයම සූරා කන, ඇතැම් අධ්‍යක්ෂවරුන් යැයි කියා ගන්නා, අධ්‍යක්ෂවරුන් යැයි සිතා ගන්නා ඇතැම් අධ්‍යක්ෂවරුන් නිසා අගාධයටම තල්ලු වී යන සිංහල සිනමාවේ අනාගතය මහා ඛේදවචාකයක පෙරනිමිති පෙන්වන කලියුගයක විජය සිනමාහලේ සම්ප්‍රාප්තිය සුබ පෙරනිමිත්තක් වුවත් ප්‍රශ්නාර්ථයක් වන්නේ මෙවන් සිනමාහල්වල තිරගත කිරීමට තරම් සිනමාමය චමත්කාරයෙන්  පරිපූර්ණ සිනමා රූපකාරක අධ්‍යක්ෂණය වේදැයි යන්නය. එවන් තිර පිටපත් ලියවේදැයි යන්නය. නිෂ්පාදනය වේදැයි යන්නය. එවන් අධ්‍යක්ෂණ භූමිකාවන් නගාසිටුවීම වෙනුවෙන් නිෂ්පාදකවරුන් සොයා ගැනීමේ පසුබිමක් උදා වේදැයි යන්නය. එක් නිෂ්පාදකවරයෙක් රවටමින් තවත් නිෂ්පාදකවරුන් රැවටීමටද පොරකන, එයම ජීවනෝපාය කරගත් ඇතැම් සිනමා අධ්‍යක්ෂවරුන් නිසා තවද සිනමා නිෂ්පාදනයක් වෙනුවෙන් වියදම් ඇස්තමේන්තුව (බජට් එක) සෑදුණේ කෙසේදැයි සිතා ගැනීම උභතෝකෝටියක් වන තරමට ඇතැම් අධ්‍යක්ෂවරුන්ගේ බජට් හැදිල්ල පුදුමාකාර “හැදිල්ලක්” වන නිසා එක් චිත්‍රපට නිෂ්පාදනයකින් ඉනික්බිති චිත්‍රපට නිෂ්පාදනය යන වචනයත් එපා වූ චිත්‍රපට නිෂ්පාදකවරු සිටිති.

සැබවින්ම මෑත කාලීනව සිංහල සිනමාවට අත්වී ඇති ඉරණම ගැන කතා කරන්නට වෙනමම සංවාදයක් අවැසි වී තිබේ. මෙවන් අවර්ණවත් පසුබිමක සුබ සිහිනයක සුබ සලකුණක් ලෙස විජය සිනමාහලේ සම්ප්‍රාප්තිය මම දකිමි. එහෙත් ඒ සිහිනය සහ එවන් සිහින වඩාත් සාරාර්ථ, පරිපූර්ණත්වයේ අත්තටු රැගෙන සිනමාමය අහසක සරන දවසක් පැමිණෙන්නේ සිනමාමය සෞන්දර්යෙන් සහ චමත්කාරයෙන් පරිපූර්ණ සිනමා රූපකාරක සිනමාහල් සරසන්නට තෑගි වන දිනයකදීය.

අපි බලා හිඳිමු.
අපි සිහින දකිමු.
ඒ බලා හිඳීම සහ සිහින අතරේ වීරසිරි අධිකාරී රසවතාණෙනි, ඔබට සහ ඔබ වැන්නවුන්ට අපි අාශිර්වාදයේ මල් පොකුරු පිළිගන්වමින් ස්තූති යැයි කියමු.

• සංජීවිකා සමරතුංග
• චේතිය ළහිරු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00