ප්‍රේමය නම් කිමැයි චාරිකාවේ වඩාත් ගැඹුරු ඉසව්වක් කරා ඇවිද යාමට අපි සිතුවෙමු. ප්‍රේමය පිළිබඳ වන විවිධ විචිත්‍ර චින්තාවන් අද්දර, ප්‍රේමයේ ගැඹුර සහ යථාර්ථය පිළිබඳ ඇතැම් දෑ අපට මඟහැරී යන බවට යම් හැඟුමක් විය. ප්‍රේමය නම් හැඟුම මනෝභාවය පිළිබඳ කියවා ගන්නට මිනිස් මනස පිළිබඳ විෂය ප්‍රාමාණිකයකු අපි සොයා ගියෙමු.
සිය අදහස්, සංකල්ප, දැනුම සමඟ මුසුකර බෙදා දෙමින් තුරුණු වියේම විෂයානුබද්ධ ලෝකයේ අවධානය දිනා සිටින ඔහු නමින් මනෝවිද්‍යාව සම්බන්ධ කථිකාචාර්යවරයකු වන ඕෂධ පෙරේරාය. තුරුණු බුද්ධිමතකු වන නමුත්, ඕෂධ වෙතද අපි සුපුරුදු පැනය යොමු කළෙමු. අප විමසා සිටියේ ප්‍රේමය පිළිබඳ වදන, ප්‍රේමය පිළිබඳ හැඟීම, දැනීම පිළිබඳ ඔහුගේ පෞද්ගලික අදහසයි.
අප ප්‍රේමණීය සංවාදයේ සියලු කොටස්කරුවන් මෙන් ඕෂධ, ඇරඹුමේදී මොහොතක් කල්පනා කළේය.
“මම මෙහෙම කියන්නම්... සරලවම කිව්වොත්, මට දැනෙන විදිහට නම් ප්‍රේමය කියන්නෙ තවත් පුද්ගලයකු කෙරෙහි දැනෙන ආකර්ෂණයක තවත් ස්වභාවයක්. එක ‘වර්ෂන්’ එකක්. එහෙම තමයි මට නම් දැනෙන්නෙ. අපි තවත් පුද්ගලයෙක්ව දැක්කම ආකර්ෂණය වෙනවා. එතැන විවිධ මට්ටම් තියෙනවා. ඒ මට්ටම්වලින් එක මට්ටමක් විදියට තමයි මට ප්‍රේමය කියන එක දැනෙන්නෙ.”
ප්‍රේමයේ මට්ටම්, ප්‍රේමීය ස්වභාවයන් සහ ප්‍රේමයේ හැඩතල පිළිබඳවද අප සහෘද ප්‍රේමණීයන් නොයෙක් වර සංවාද ඇති කොටගෙන තිබේ. එහෙත් වඩාත් පුළුල් දෘෂ්ටියකින් ප්‍රේමණීය සංවාදයට අවතීර්ණ ඕෂධට අනුව ප්‍රේමය ආකර්ෂණයේ තවත් මට්ටමකි. එසේ නම් ඇසිය යුතු යමක් තිබේ. අපි දෙවනුව විමසාලීමු.
ආකර්ෂණය, ප්‍රේමය වගේ තැන්වල ඇතිවන මිනිස් හැඟීම්වලට, බැඳීම්වලට නම් ලබාදීම කරන්න පුළුවන් දෙයක්ද?
“මිනිස්සු විදිහට ඕනෑම සංකල්පයකට නමක් දීලා ඒක රාමුගත කරන්න අපි උත්සාහ කරනවා. ඒක ස්වභාවික මිනිස් නැමියාවක්. මොකද එතකොට මිනිස්සුන්ට ලේසියි “මේක තමයි ඒ” කියන කාරණාව අඳුනගන්න. ආදරය, ප්‍රේමය කියන කාරණාවලදීත් ඕක ඔහොමම තමයි. එතැන අපිට දැනෙන හැඟීම හෝ වෙනත් දෙයක් මේක ප්‍රේමය වෙන්නැති කියන තැනකින් යම්කිසි රාමුවකට දාගන්නවා. සමහර විට ඒක ප්‍රේමය වෙන්නත් පුළුවන්, සමහර විට ඒක ප්‍රේමය නොවෙන්නත් පුළුවන්. නමුත් මිනිස්සුන්ගේ ස්වභාවය මත මිනිස්සු එහෙම රාමුගත කිරීමක් කරනවා.”
ඕෂධගේ පැහැදිලි කිරීම හරහා පෙනී යන්නේ නම් දීම මිනිස් ස්වභාවයක් බැවින්, ප්‍රේමය ඇතුළු හැඟුම් කලාප වෙත නම් තැබීමට මනෝ වර්ගයා දරන උත්සාහයේ හරි වැරැද්ද ඇගයීම අර්ථ විරහිත බවයි. එහෙත් ඇතැම් තැන්වල මිනිසුන්ට කාලයත් සමඟම ප්‍රේමය යැයි සිතූ තැන්වල ආකර්ෂණය පමණක් තිබූ බවට හැඟුමක් ඇතිවිය. ඒ ද සාමාන්‍ය තත්ත්වයකි.
මෙම පැහැදිලි කිරීම අවසානයේ තවත් පැනයක් සඳහා හැඟුමක් අප සිතෙහිද පහළ විය. ඉඳින් අපි මෙලෙස විමසා සිටියෙමු.
ඒත් මිනිසුන් විවිධ අවස්ථාවල තමන්ගේ හැඟුම් හඳුනාගත නොහැකිව මංමුලා වෙනවා නේද? මිනිසුන්ම තමන් වටා ගොඩනගා ගත් සමාජ සංස්කෘති, ජීවිතයේ ලද අත්දැකීම් මෙන්ම සමාජ විශ්වාස සහ නීතිය ද, මෙම මංමුලා සහගත බවට හේතුවක් නොවේද?
“මම මුලින් කිව්වා මිනිස්සු හදාගන්න රාමුව හදාගන්නෙම ඔය කියන කාරණා මත ඉඳලම තමයි. ඒත් මෙතැන සිද්ධ වෙන්නෙ පටලවා ගැනීමකට වැඩිය, ඒ මොහොතේ ඇතිවෙන හැඟීම නම් කර ගැනීම. ඒකෙ හරි වැරැද්ද, සුදුසු නුසුදුසු බව නිශ්චය කර ගන්න අමාරුයි. මොකද ඒ මොහොතේ අපිට දැනෙන හැඟීම, අපිට දැනෙන තේරෙන, අපට හසුවන වපසරිය අනුව තමයි රාමුගත කරගන්නෙ.”
ප්‍රේමය, ආකර්ෂණය සහ ඒවා විෂයෙහි ඇති විෂයානුබද්ධ පැහැදිලි කිරීම් හා සියුම් ලෙස තවරාලමින් විෂය සමඟ රැඳි තුරුණු වියතකුවම ඕෂධ පෙරේරා අප සමඟ මේ චාරිකාවට එක්ව සිටියේය.
ලෝකෙ විවිධ සම්බන්ධතා තියෙනවා. ඔබ හිතන විදියට ඒ අතරින් ප්‍රේම සම්බන්ධතා මේ තරම් විශේෂ වෙන්නෙ ඇයි?
“අපි පොඩ්ඩක් ඉතිහාසයට අතීතයට යමුද?”
ඔහු මේ පැහැදිලි කිරීම සිදු කළේ බොහෝ දුර අතීතය පිළිබඳ විග්‍රහයක්ද මතිනි.
“අපි පරිණාමීය ක්‍රියාවලිය පැත්තට ගියොත් අවුරුදු දහස් ගාණකට ඉස්සෙල්ලා අතීතයේදී ඔය ප්‍රේමණීය සම්බන්ධතා කියන දේ, බොහෝ වෙලාවට අපේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේ කොටසක් විදියට තමයි වැඩ කළේ. එතැන තිබුණෙ වර්ගයා බෝ කිරීම කියන කාරණය. ඒත් මේ මොහොත වෙනකොට ඒක තරමක් වගකීම් සහගත වෙනස් විදිහේ දෙයක් බවට පත්වෙලා තියෙනවා.”
තවමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නමුත් පවතින සාක්ෂි සහ විශ්වාස ගුරු කොටගත් විට මානව පරිණාමයේ මුල් යුගයේදී මිනිස්සු එක් සැමියකු, එක් බිරිඳක මත සීමා නොවූහ. නමුත් වර්තමානය වන විට ඉඳුරාම වෙනස් වී, ප්‍රේමයේ විෂයෙහි හටගන්නා සම්බන්ධතාවල වඩාත් වගකීම් සහගත ස්වභාවයක් කාලයත් සමඟ නිර්මාණය වී ඇත. එක් අයකු සමඟ ප්‍රේම කිරීම, එක් අයකු සමඟ විවාහ වීම ආදී ප්‍රේමයේ සම්මතයන් වර්තමානයේ නිර්මාණය වී තිබේ. ඕෂධගේ පැහැදිලි කිරීම් හමුවේ අපට අවබෝධ වූයේ එවැන්නකි.
මේ පරිවර්තනය සිද්ධ වුණේ කොහොමද?
සංවාදයට විවිධ තැන්හි මැදිහත් වූ අපි නැවත ප්‍රශ්න කර සිටියෙමු.
“පරිණාමයේ මුල් කාලේ අපිට අහුවෙන විදිහට මේක මේ තරම් සංකීර්ණත්වයකින් තිබුණු කාරණාවක් නෙවෙයි. අනිත් සතුන්ගෙන් මිනිස්සු වෙනස් වෙන, මිනිස් මොළයේ උසස් මානසික හැකියාවන් රැඳී තිබෙන කොටසේ වර්ධනයත් එක්ක අපේ විශාල වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. අපි අනිත් සතුන්ට වඩා හිතන්න, සැලසුම් කරන්න, උපකල්පනය කරන්න උත්සාහයක් ගත්තා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට යම් යම් සාධකවලට අපි නිර්මාණය කරගත්ත වෙනම වටිනාකම් ආරෝපණය කරන්න පටන් ගන්නවා. ඒකට සංස්කෘතිය, ඒත් එක්කම බැඳුණු කලාව වගේ දේවලුත් හේතුවක්.” මිනිස් චින්තන ක්‍රියාවලියේ දියුණුව සහ තවත් සාධක රැසක් කරණ කොටගෙන ප්‍රේමය නමින් උපදින සබඳතාවලට වැඩි වටිනාකමක් එක්වන්නට ඇති බව ඕෂධ පැහැදිලි කරයි.
ප්‍රේමය නිසා මිනිස්සුන්ට වැරදිලා තියෙනවා. ප්‍රේමය නිසා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා තියෙනවා. එහෙම අදහස් උදහස් අපි සමාජය තුළ දකිනවා. ඔබ හිතන්නෙ ඒ අදහස් සාධාරණයි කියලද?
“දෙදෙනෙක් අතර ගොඩනැගෙන ප්‍රේමය සම්බන්ධ සම්බන්ධතාවයකදී, එහි ස්වභාවයේම තමා අනෙකා සමඟ තමාව බෙදා ගැනීම. මනෝවිද්‍යාවේදී අපි පෞරුෂය සම්බන්ධව කතා කරනවා. ඉතාම සරලව කිව්වොත් පෞරුෂය කියලා කියන්නෙ කෙනෙක් තවත් කෙනෙක්ගෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියන එක. මෙතැනදි දෙන්නෙක් කියලා කියන්නෙ පෞරුෂයන් දෙකක්. මේ වෙනස්කම හින්දම ගැටලු, ගැටුම්, සබඳතා, දෙදරා යාම් සිද්ධ වෙන්න පුළුවන්. ඒත් ඒක වරදක් නෙවෙයි. ඒක තමයි ස්වභාවය.” බොහෝ විට බොහෝ දෙනකු පිළිගැනීමට අකමැති නමුත් ප්‍රේමයේ යථා ස්වභාවය පිළිබඳ එය මනා පැහැදිලි කිරීමකි. එම පැහැදිලි කිරීම තවදුරටත් අපූර්වත්වයට නැගෙන්නේ, සුවපත් සබඳතා පවත්වාගෙන යාමට ප්‍රේමණීය මිනිසුන්ට එම අවබෝධය හරහා ලැබෙන ශක්තිය කවරේද යන්න දැන ගැනීමෙනි.
“ප්‍රේමයේදී පළමුවැනි දේ තමයි අනිත් කෙනා වෙනස් කියලා පිළිගන්න එක. මුලදි අපි ඒක පිළිගන්නවා. කාලයක් යද්දී පිළිගන්න බැරුව යනවා. එතකොට තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ. සරලවම කියනවා නම් ඔය මානව ස්වභාවය මෙන්න මේකයි කියන එක නිශ්චිතවම තේරුම් ගන්න අපිට පුළුවන් නම්, අපිට සම්බන්ධතා යහපත් කරගන්න පුළුවන්. ඒත් ඒක ටිකක් අමාරුයි. කියවීම, දැනුම, සාහිත්‍ය කලාව පරිශීලනය කිරීම වගේ දේවල් ඔස්සේ මේ අවබෝධය ලබාගන්න පුළුවන්. ස්වභාවය පිළිබඳ අවබෝධයෙන් සිටීම තමා වැදගත් වෙන්නෙ. එහෙම වුණාම අපිට පුළුවන් අපිව පාලනය කරගන්න.”
මෙම සංවාදය තවත් දුර ඇදී ගියේය. ප්‍රේමයේ විෂය පිළිබඳ සිදුකළ අධ්‍යයන, පර්‌යේෂණ, න්‍යාය ආදී දැනුම් රැසක එකතුවක්, නොමසුරුව අප සමඟ බෙදා ගැනීමට ඕෂධ කටයුතු කළේය. එහෙත් සුපුරුදු, පොතක තරම් කරුණු පිටුවකට ගොනුකොට අපි ඔබට ප්‍රේමයෙන් මෙම සටහන ලියා තැබුවෙමු.
• චමිඳු නිසල්