2025 මාර්තු 01 වන සෙනසුරාදා

දරුවන්ගේ ලෝකයටම ආදරයෙන් අමතන්නී.... - Nadeeka Maduwanthi

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

“දරුවන්ට ආදරය කරන්න.
එහෙත් ඔබගේ ආකල්ප, සිහින සහ ප්‍රාර්ථනා දරුවන්ට නොදෙන්න.

මක්නිසාද යත් දරුවන්ට දරුවන්ගේම සිහින, ආකල්ප සහ ප්‍රාර්ථනා ඇති හෙයිනි.”

ඛලීල් ජිබ්රාන් නම් ලේඛකයා වරෙක එලෙස ලියා තැබුවේය.
ආදරය... මේ විශ්වයේ ඇති මනරම්ම වූ මනෝභාවය වූ කලී එය ආදරය යැයි මම විශ්වාස කරමි. මක්නිසාද යත් ආදරය තරම් සෞන්දර්යාත්මක වූත්, සැනසිලිදායක වූත්, මිහිරිතම වූත්, වෙනත් මනෝභාවයක් නැති තරමට ආදරය තුළින් විදාහල සෞම්‍ය ගුණ සමුදා චමත්කාරවත් වන හෙයිනි.

චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය සහ සාරය එක්තැන් වූ තෝතැන්න නම් ආදරය යනු මේ විශ්වයේ එදා මෙදාතුර ඇතිවූ චමත්කාරවත්ම හැඟීම වග මම විශ්වාස කරමි. මම ඇයට ආදරය කරමි. ඒ ආදරයට සහේතුක හේතුවක් තිබේ. එනම් ඇය නිර්ලෝභීව දරුවන්ට ප්‍රදානය කරන්නා වූ ප්‍රේමණීය ළතෙත් කොන්දේසි විරහිත ආදරයේ කතාන්දරයයි. ඒ ආදරය ජාති, ආගම්, පන්ති, කුළ සමාජ කිසිදු නිර්ණායකයකින් වියුක්තව දරුවන් වෙත ප්‍රදානය කිරීමට ඇය තෝරාගත් මාධ්‍යද ඇගේ ආදරය තරම් අකලංකය.

ඒ කුමක්ද?
පොත ඇගේ මාධ්‍යයයි. ලේඛනය ඒ මාධ්‍ය හා බැඳුණු ඇගේ හුස්මයි. ඉතින් ඇය ලියූ පොත් තරමටම සුන්දර ලස්සන ගුරුතුමිය නදීකා මධුවන්තිට දරුවන් සේම ඇය හඳුනාගත් දා පටන් මම ද ආදරය කරමි.
මේ වදන් වියමන ඒ ආදරය වෙනුවෙන් මම ඈ වෙත පිරිනමනු ලබන ත්‍යාගයයි.
DRAKO (ඩ්‍රැකෝ), NURSERY RHYMES (ළමා ගීත), Doodle (Colouring book, Copy colouring book ආදී පොත් රැසක්ම Nadee Teacher Publications නමින් එම්.ඩී. ගුණසේන පොත් ප්‍රකාශන මුද්‍රණ ද්වාරයෙන් නදීකා එළිදැක්වීම ඇරඹූයේ මීට කලකට ඉහතදීය.

ඇයි නදීකා ඔබට දරුවන් වෙනුවෙන් කතන්දර පොත් ලියන්න හිතුණේ?
මම විශ්වාස කරනවා කතන්දර පොත් දරුවන්ගේ ගතිගුණ වැඩිදියුණු කරන්න, හැකියාවන් වර්ධනය කරන්න ලොකු කාර්යභාරයක් සිදු කරන බව.
කතන්දර පොත් කියවීම මගින් දරුවන්ගේ වචන මාලාව, ඉංග්‍රීසි භාෂණ හැකියාව, නිර්මාණශීලීත්වය, චිත්තරූප මවාගැනීමේ හැකියාව, අවසාන වශයෙන් සියල්ලන්ගේම එකමුතුවක් ලෙස බුද්ධි වර්ධනය, ඔවුන්ට වඩාත් කල්පනාකාරී සහ පරිකල්පනීය වීමට උදව් කරනවා. කතන්දර පොත් කියවීමෙන් දරුවන්ට නව කුසලතා ඉගෙන ගැනීමට පමණක් නෙවෙයි, ශක්තිමත් චිත්තවේගීය හා සමාජීය පදනම් ඇති යහපත් පුද්ගලයන් බවට පත්වීමටද හැකියි.
මම මේ කතන්දර පොත් දෙකම ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් යන දෙකෙන්ම නිර්මාණය කරලා තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට සමීප නැති දෙමාපියන්ට තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි කතන්දරය පැහැදිලි කර දීමේ හැකියාව වැඩි වෙනවා වගේම මේ ද්වීභාෂා ක්‍රමය නිසා දරුවන්ට වගේම දෙමාපියන්ටත් ඔවුන්ගේ ඉංග්‍රීසි හැකියාව වැඩිදියුණු කර ගැනීමට පුළුවන් වෙන නිසා.

ඔබගේ පළවෙනි පොත Drako (ඩ්‍රැකෝ) කතාව?
මේ කතාවේ ඩ්‍රැගන්ගේ නම ඩ්‍රැකෝ. පිරිමි ළමයගේ නම රොන්. ඒ වගේම වක්‍රාකාරව දරුවෙක් එදිනෙදා ජීවිතයේදී තනියම තමන්ගේ එදිනෙදා කටයුතු කරගන්න ඕනෑ කියන පණිවිඩය දෙනවා වගේම, කොහොමද තමන්ගේ දුක, තරහ වගේ චිත්තවේග පාලනය කරගන්නේ, ඒ වගේම යහළුවන් විදියට එකිනෙකාට උදව් කර ගැනීමේ වටිනාකම, මිත්‍රත්වයේ බලය පෙන්වන කතාවක්.

Three little bees (මී මැසි යහළුවෝ) කතාවෙන් දෙන ප්‍රධාන පණිවිඩය අන් අයට උදව් කිරීම, නිවැරදි තීරණ ගැනීම, කරුණාවන්තකම සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම?
මේ කතාවේ මී මැස්සො එකට එකතුවෙලා මකුළු දැලක සිරවී සිටින සමනලයෙක් බේරාගන්නවා.
ඉතින් මේ වගේ කතාවකින් එකමුතු වෙලා ප්‍රශ්නයක් කොහොමද විසඳගන්නෙ කියලා දරුවන්ට කියලා දෙනවා.

ඇයි කතන්දර පොත් කියවන එක දරුවන්ට වැදගත් වෙන්නෙ?
කතන්දර පොත් ඔබත් නව ලෝකයක් විවර වෙනවා. දරුවන්ගේ භාෂාව සහ චිත්‍ත පාලන හැකියාව වැඩිදියුණු වෙනවා. ඒ වගේම දරුවන්ව screen එකෙන් ඉවත් කර පොත පතට හුරු කිරීමට හැකියාව ලැබෙනවා. නින්දට යෑමට පෙර පොතක් කියවීම මගින් දරුවන් ඉතාමත් සැහැල්ලු‍ හොඳ නින්දකට යනවා වගේම දෙමාපියන් සහ දරුවන් අතර හොඳ බැඳීමක් වර්ධනය වෙනවා. Bedtime story කියන්නෙ දරුවන්ව සන්සුන් කරන සැපදායී පරිසරයක් හදන ඉතාමත් වැදගත් දෙයක්.

ළමා ගීත?
මේ පොතෙන් මම ප්‍රසිද්ධ ළමා ගීත 10ක් (Twinkle Twinkle little star, Humpty Dumpty etc..) ඉංග්‍රීසියෙන් පමණක් නෙවෙයි, එය ශබ්ද කරන ආකාරය pronunciation සහ සිංහල සින්දුවද නිර්මාණය කරලා තියෙනවා. මෙහිදී සිංහල සින්දුව නිර්මාණය කිරීමට ඉංග්‍රීසි ගුරුවරියක් වන බන්දුමතී ද සිල්වා ගුරුතුමිය උදව් කරනු ලැබුවා. මේ පොතේදී ඉංග්‍රීසි දැනුම සමීප නැති දෙමාපියන්ට නිවැරදිව ගීතය ගායනා කිරීම සහ නිවැරදි සිංහල තේරුම දැන ගැනීමට පුළුවන් වෙනවා.
මම බලාපොරොත්තු වෙනවා මෙම පොත් මිලදී ගන්න අයට සිංහල සහ ඉංග්‍රීසි සින්දුවල audio tracks ලබා දෙන්න.

ඇයි පාට කරන Doodle colouring, Pattern colouring ඇතුළු පොත් 5ක් නිර්මාණය කළේ?
Doodle colouring and Pattern colouring වලින් කුඩා දරුවන්ගේ මතකය, වැඩකට focus  කිරීමේ හැකියාව වැඩිදියුණු වෙනවා. ඔවුන්ට අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි කරනවා. එම දරුවන් යම් දෙයක් කිරීම ආරම්භ කළ විට කැපවීමෙන් එම වැඩේ නිම කිරීමේ හැකියාව ලැබෙනවා.
චිත්‍ර පොත් වර්ග 5ක් නිර්මාණය කරන්න හේතු ඇය පවසන්නීය.
ජීවිතයම ලේඛනය කරගත් සඳ දැනෙන සුවය වෙනස්ම සුවයකි. දැනෙන සතුට වෙනස්ම සතුටකි. අකුරු තුළට සම්මිශ්‍රණය කර හදවතේ උපදින නෙක හැඟුම් පොත් පිටු තුළ සිත්තම් කරද්දී, ලස්සන වර්ණ පදාස ගැල්වූ චිත්‍ර ඒ පිටු මත සිත්තම් වෙද්දී ඒ ඔස්සේ දරුවන්ගේ ලෝකයේ අහුමුළු සිසාරා ඈ කරන සමස්ත ආමන්ත්‍රණය කොතෙක් නම් සොඳුරු දැයි, කොතෙක් නම් ආදරණීය දැයි කියන්නට මා සන්තකයේ වදන් නැති තරම් යැයි මට සිතේ.

• සංජීවිකා සමරතුංග