2025 මාර්තු 08 වන සෙනසුරාදා

Hi මචං ඉරුණු ඩෙනිම්!

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ඔන්න මචෝ අදත් අපි තවත් ආතල් Y Trend එකක් අරගෙන ආවා. “අනේ! පුතේ කලිසම ඉරිලනේ!”‍ මහ පාරේදී ආච්චි කෙනෙක් තරුණ කෙල්ලෙක් ඇඳගෙන යන ඩෙනිමක් දැකලා කියලා තිබුණා. සීන් එක කියන්නෙ මචෝ, කෙල්ල ආච්චිට හිනාවෙලා, ආච්චි කෙල්ලට හිනාවෙලා. මේවා සිරා ආතල් සිද්ධි මචෝ. ඉතින් මේ ආතල් එක ගැන අද සුදාලා එක්ක චැටක් දාන්න අපි තීරණය කළා. මේ කතා කරන්න යන්නෙ ලෝකය පුරා තාරුණ්‍යය පිස්සු වැටිලා ඉන්න ඉරුණු ඩෙනිම් Fashion එක ගැන. Ripped Denim කියන්නෙ දැන් ඇත්තටම මඟ තොටේ නිතරම දකින්න ලැබෙන විලාසිතාවක්.

ඩෙනිම් කියන්නෙ මචෝ Fashion ලෝකයේ බොහෝ කාලයක ඉඳන් දකින්න ලැබෙන Trend එකක්. සමස්තයක් විදිහට ගත්තොත් ගෝලීය ඩෙනිම් වෙළෙඳපොළේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 70ක් විතර වෙනවා. නිකන් ඇහුව ගමන් ඔළුව කරකවලා යනවා නේද? හිතන්න එපා මචෝ, ඩෙනිමක් ඇඳපු නැති කෙනෙක් වර්තමාන පරම්පරාවල හොයාගන්න හරිම අමාරුයි. ඩෙනිම් කියන්නෙ නිකන් ආගමක් වගේ ඇඳුමක් තමා. ඩෙනිම් සම්බන්ධ විලාසිතා හිතාගන්න බැරි ප්‍රමාණයක් ලෝකය පුරා විසිරිලා තියෙනවා. කාලයකට කලින් අපි Y Trend එකෙන් ඩෙනිම් ගැන විතරක් කතා කළා සුදාලට සමහර විට මතක ඇති.

කොහොම වුණත් අද වෙනකොට ඩෙනිම් වෙළෙඳපොළේ විශාල කොටසක් ඉරුණු ඩෙනිම්වලටත් අයිතිවෙලා තියෙනවා. ඉරුණු ඩෙනිම් කියන්නෙ විලාසිතාවක්. ඒ වගේම සංස්කෘතිමය ප්‍රකාශනයක් විදියට තමයි හඳුන්වන්නෙ මචෝ. අපි මේ සීන් කෝන් එකේ ඉතිහාස කතාව මුලින්ම ගලපගන්න එක ආතල්. එතකොට තමා ඔය සංස්කෘතික කෑල්ල තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ.

19 වැනි සියවසේ කම්කරුවෝ වැඩ කිරීමේ පහසුවට තමා ඩෙනිම් අඳින්න පටන් ගත්තෙ. ඒක ඉතින් වෙනම දිග ලොකු කතාවක්. ඉතින් මචෝ ඒ කාලේ ඩෙනිමක් ඇන්ඳත් වැඩ කරද්දි ඉරෙන්න තියෙන සම්භාවිතාව වැඩියි. ඔය කාර්මික යුගයේ කම්හල් ඇතුළේ වැඩ එච්චර පහසු වුණේ නෑ. කොහොම වුණත් මචෝ ඉරුණු ඩෙනිම් මේ කම්කරුවන් ඇන්ඳෙ Fashion එකක් විදිහට නෙවෙයි, නැති බැරිකමට සහ දෛනික ජීවිතයේ වැඩ පහසු කර ගන්න.

ඉස්සර සල්ලි හොයන්න වැඩ කරනකොට කලිසම ඉරුණා. පස්සෙ අපි කළේ සල්ලි දීලා කලිසම ඉරාගන්න තැනට පත් වුණා. ඒක වුණේ මෙන්න මෙහෙමයි සුදෝ. ඇමෙරිකානු ‘පන්ක්’ උප සංස්කෘතියේ නැගී සිටීමත් සමඟ 1970 ගණන්වල තමා අද අපි මේ දකින ඉරුණු ඩෙනිම් පිස්සුව මුලින්ම සමාජගත වෙන්න පටන් ගත්තෙ. ‘පන්ක්’ උප සංස්කෘතිය කියලා කියන්නෙ නිදහසට බර, පිස්සු ඇඳුම් අඳින, වෙනම සංගීත ශානරයක් එක්ක බිහිවුණු උප සංස්කෘතියක්. අන්තර්ජාලය පැත්තෙ ගිහිල්ලා පොඩ්ඩක් හොයලා බැලු‍වොත් මේ සීන් එක ගැන වැඩිපුර දැනගන්න පුළුවන්.

දැන් නම් මචෝ මේ සංස්කෘතියෙන් ලබපු විලාසිතා ආභාෂය ප්‍රධාන ධාරාවටත් ඇවිල්ලා ඉවරයි. කොහොම හරි මෙතැනින් තමයි ඔය ඉරුණු ඩෙනිම් සහ අමුතු ජාතියේ ඇඳුම් පැළඳුම් ගොඩක් එළියට ආවේ. මේ කාලේ සංගීතයෙනුත් විශාල බලපෑමක් සිද්ධ වුණා මේ විලාසිතාව නිර්මාණයට සුදෝ. ඇමෙරිකානු ‘පන්ක්’ සංස්කෘතිය තුළ නිර්මාණය වුණු ජනප්‍රිය රමොන්ස් (Ramonz) වගේ සංගීත කණ්ඩායම්වල කැරලිකාර විප්ලවීය ඇඳුම් පැළඳුම් අතර, ඉරා දැමූ කලිසම්වලට ලොකු තැනක් තිබුණා. කොහොම වුණත් මේ කාලේ මේ සීන් එක තිබුණේ එක්තරා කණ්ඩායමක් අතර විතරයි.

ඔන්න ඊට පස්සේ 1980 සහ 1990 ගණන්වලදී, කර්ට් කොබේන් වැනි තරු මේ ඉරිච්ච කලිසම්වලට අනන්‍ය තැනක් ලැබෙන්න හේතුවක් වුණා. මේ කාලේ ප්‍රසිද්ධ වුණු තවත් සමාජ සංස්කෘතික ව්‍යාපාරයක් වුණු ‘රොක්’ සහ ‘ග්‍රන්ජ්’ ව්‍යාපාර ඔස්සේ තමා ඉරුණු ජින්ස් ප්‍රධාන ධාරාවේ Fashion වලට එකතු වෙන්න පටන් ගත්තෙ. ප්‍රධාන ධාරාවට එකතු වුණා කියලා කිව්වට එහෙම එකපාරටම එකතු වුණේ නෑ. ඒ කාලේ තිබුණු පිළිවෙළ, මහත්මා ගතිය වගේ දේවල්වලට අභියෝග කරන විප්ලවීය අදහස් තියෙන මිනිස්සු තමයි මේ ජාතියේ ඇඳුම් පැළඳුම් එක්ක ලෝකය වෙනස් කරන්න උත්සාහ කරමින් හිටියෙ.

කොහොම හරි මචෝ අලු‍ත් සහශ්‍රය ලැබුවාම 2000 ගණන්වලදී මේ සීන් කෝන් එකේ ජනප්‍රියත්වය ටිකක් අඩු වුණා. ඒත් වස්තු අද අපි දකින ඉරුණු ඩෙනිම් පිස්සුව 2010 න් පස්සෙ තමයි මේ මට්ටමට දියුණු වෙන්න පටන් ගත්තෙ. මෙවර මේ සීන් එක ලෝකයේ ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවන්, සමාගම් සහ ඔවුන්ගේ සංදර්ශන ඇතුළෙම තමා උස්සලා ගත්තෙ. ඒත් එක්කම අනම් මනම් තේරුම් නැතුව, හැම කෙනාම මේ ඉරුණු ඩෙනිම් අඳින්න පටන් ගත්තා. නිදහස ගැන පොඩි අදහසක් තිබුණත්, මේක තවදුරටත් Fashion එකක් විතරක් විදිහට භාරගන්න අලු‍ත් පරම්පරාව සූදානම් වුණා.

කොහොම වුණත් මේ දවස්වල දකින්න ලැබෙන රැල්ලට හේතු ටිකත් වෙන වෙනම අරගෙන බලන එක හොඳයි මචෝ. ඉරුණු ඩෙනිම් ඕනෑම ඇඳුමකට රළු ගතියක් සෙට් කරනවා. ඒ වගේම කැපිලා පෙනෙන තියුණු බවක් මේ විලාසිතාවේ තියෙනවා. එකේ ඉතින් අමුතුවෙන් කියන්න දේකුත් නෑ. සුදාලා ඉරුණු ඩෙනිමක් ඇඳලා තියෙනවා නම්, ඇඳගෙන යන අය දැකලා තියෙනවා නම් ඒක තේරෙනවා ඇති. ඒ සීන් තමයි ගොඩක් වෙලාවට ලෝකය පුරා තරුණ තරුණියෝ මේ සීන් එකට පිස්සු වැටෙන්න ප්‍රධානතම හේතුව. ඊළඟට සුදෝ අපි කවුරුත් දන්න විදිහට ඩෙනිම්වලට තියෙනවා බහුකාර්යභාවයක්. මේ නිසාම ඉරුණු ඩෙනිමකින් වුණත් අවස්ථාව අනුව සැහැල්ලු‍ පෙනුමක් හෝ සුඛෝපභෝගී උසස් විලාසිතා පෙනුමක් ලබාගන්න පුළුවන්. දැන් ඉරුණු ඩෙනිම් කියන්නෙ වෙලාවකට රස්තියාදුකාර වීදි ඇඳුමක්, වෙලාවකට ලොකු සමාජ පොෂ් ගතිය පෙන්වන ඇඳුමක්. කඩේකට ගිහිල්ලා මේ ඩෙනිම්වල ගණන් ඇහුවමත්, ටිකක් ඔළුව කැරකෙන්න ගන්න සීන් එකක් තියෙනවා තමා මචෝ. හොඳට තියෙන ඒවාට වඩා ඉරුණු ඒවට මෙච්චර ඇයි මිලක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්.

අනිත් අතට ලෝකය පුරා සමාජ මාධ්‍යවල සහ ප්‍රසිද්ධ චරිතවල බලපෑම මේ සීන් එක මෙච්චර නැගලා යන්න ලොකු හේතුවක්. උදාහරණයක් විදිහට ගත්තොත් මචෝ මේ කාලේ ජනප්‍රිය චරිත වන ජිජී හදීද්, කන්යේ වෙස්ට් සහ රිහානා වැනි තරු නිතර ඉරුණු ඩෙනිම් අඳිනවා අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ අයගේ අනුගාමිකයොත් ඉබේටම වගේ මේ Fashion වලට සෙට් වෙනවා. අනිත් සරලම කාරණාව තමයි ඉරුණු ඩෙනිම් විලාසිතාවල මේ වෙනකොට දැකගන්න පුළුවන් විවිධත්වය. ඒ නිසා තමන් කැමති විදියේ තේරීමක් කරන්න ඕනෑම පාරිභෝගිකයකුට ලොකු අවස්ථාවක් තියෙනවා.

මුල් කාලේ නම් මේ සීන් කෝන් එකේ වැඩිපුර හිටියෙ පිරිමි සුදෝ. දැන් කාන්තාවන් සහ පිරිමින් යන දෙපිරිසම ඉරුණු ඩෙනිම් අඳිනවා. ඒත් දැන් Y Trend එක අනුව කාන්තාවන් ඉරුණු ඩෙනිම් තම ඇඳුම් එකතුවට වැඩිපුර එකතු කරගන්න බව පේන්න තියෙනවා. බටහිර රටවල් පැත්තට ගියොතින් මේ සීන් එක දැන් එන්න එන්නම වැඩිවෙන බව තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන්ම කාන්තාවන්ගේ විලාසිතා බොහොමයක් තුළ මේ ඉරුණු ඇඳුම්වලට ලොකු අවස්ථාවක් ලැබෙන බව පේන්න තියෙනවා. ඊළඟ ආතල් සීන් එක තමයි Z පරම්පරාවට අයත් අලු‍ත් තාරුණ්‍යයත් මේ සීන් එකට ඇබ්බැහි වුණු එක. ලංකාවෙත් ඒ තත්ත්වය දැකගන්න පුළුවන් මචෝ.

හැබැයි මේකෙ ආතල්ම සීන් එක තමයි ඇඳුම ඇන්ඳද නැද්ද කියලා හොයාගන්න බැරි ලෙවල් එකට ඩෙනිම ඉරාගෙන අඳින කට්ටිය ඉඳීම. ඉතාම සරාගී ඇඳුමක් විදියට ඉරුණු ඩෙනිම් කාන්තාවන් අතර ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නෙ මෙන්න මේ නිසා. සමහරු කියන විදියට පිරිමින්ට රස්තියාදුකාර බවක් ගැහැනුන්ට පොෂ් බවක් මේ අමුතුම විලාසිතාව නිසා ලබා දෙනවා.

කොහොම වුණත් අවසාන වශයෙන් කියන්න ඕනෑ මචෝ මේක දැන් සාමාන්‍යකරණය Fashion එකක්. අලු‍ත් පරම්පරාවේ ආකර්ෂණයත් එක්ක මුලදී කැරලිකාරිත්වයේ සංකේතයක්ව පැවති ඉරුණු ඩෙනිම් දැන් ආත්ම විශ්වාසය, පෞද්ගලිකත්වය පිළිබඳ හැඟවෙන සාධකයක් බවට පත්වෙලා තියෙනවා කියලා විලාසිතා ලෝකය ගැන අධ්‍යයනය කරන කට්ටිය කියන්නෙ. ඊළඟට මචෝ මේක තවදුරටත් තනිව පවතින විලාසිතාවක් නම් නෙවෙයි. ඉරුණු ඩෙනිම් ඇඳීම කියන විලාසිතාව සපත්තු, අත් පළඳනා ඇතුළු තව ආයිත්තම් ගොඩක් එක්ක බැඳිලා තියෙනවා.

• චමිඳු නිසල්