දුර්ලභ වූ මිනිසත් බවක් ලැබ මෙලොවට උපදින අප සියල්ලෝම මේ දිවි රඟ මඬලේ රඟදෙමින්, වැළපෙමින්, තුටු වෙමින් සිට අවසානයේදී බැස යන්නෝ වෙමු. ඒ අතර සිය සහජ දක්ෂතාවන්ගෙන් ජන මන පිනවමින්, හදවත් සොරා ගැනීමට තරම් ප්‍රේමණීය වූත්, අති දක්ෂ වූත්, කලා තරු ඕනෑ තරම් අප අතර සිටිති. හටගත් සියල්ල නැසී යන අස්ථිර ලෝකයේ ඔවුන්ද දිනෙක අප අතරින් නික්මෙනුයේ සොඳුරු මතකයන් මෙන්ම ආදරණීය මිනිසත් ගුණ සුවඳ හදවත් තුළ ශේෂ කරමිනි. 2025 වසරේ පෙබරවාරි මාසයේ කලා අඹරේ දීප්තිමත් තාරකාවෝ දෙදෙනෙක් අප අතරින් සමුගත්හ.
කලා ලෝකයට මහත් සේවයක් කරමින් පිරවිය නොහැකි හිස්තැනක් තබා නික්ම ගිය ඔහු, ලාංකික වේදිකාව, පුංචි තිරය සහ සිනමාව අංග රචනයෙන්ද රංගනයෙන්ද ප්‍රභාමත් කළ විශිෂ්ට කලා ශිල්පියකු වූ “වසන්ත විට්ටච්චි” මහතාය.
1956 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා උපත ලද වසන්ත විට්ටච්චි මහතා, ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වශයෙන් ප්‍රේක්ෂක ගෞරවාදරයට පාත්‍ර විය. ඔහු රෝගාතුරව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ පෙබරවාරි මස 26 වැනි දින සොඳුරු මතක රැසක් ඉතිරි කරමින් තම දිවිසැරිය නිම කළේය. මිය යන විට 69 වැනි වියෙහි පසුවූ හෙතෙම දියණියකට ආදරණීය පියෙක් විය.
ප්‍රේක්ෂක හදවත් තුළ අමරණීය මතක සටහන් තැබූ දක්ෂ කලාකරුවකු වූ වසන්ත විට්ටච්චි, අකුරු කළේ වැල්ලම්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයෙනි. 1978 වසරේ නිමල් පතිරණගේ “රත්තෝ” නාට්‍යයෙන් වේදිකාවට පය තැබූ වසන්ත මෙරට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට අත්පොත් තැබීය. අනතුරුව “ලයනල් වෙන්ට්ඩ්” ශිල්ප ශාලිකාවට ඇතුළත් වීමට වාසනාව ලද ඔහුට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුනන්ද මහේන්ද්‍ර ආදී ප්‍රවීණයන්ගෙන් දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා විය.
එමෙන්ම 80 දශකයේදී, අංග රචනා ශිල්පියකු වූ රංජිත් වික්‍රමසිංහ හමුවීමත් සමඟ ඔහුගේ මඟපෙන්වීමෙන් අති දක්ෂ වේශ නිරූපණ ශිල්පී “ශේෂා පලිහක්කාර” ඇදුරුතුමා යටතේ අංග රචනයට එක්වූ වසන්ත විට්ටච්චි මහතාට 1983 වර්ෂයේදී පින්ලන්තයේ ආසියාතික තරුණ නාට්‍යකරුවන්ගේ සම්මේලනයට සහභාගිවීමේ අවස්ථාව හිමිවිය.
“ආදර කතාව” සිනමා පටයෙන් වසන්ත විට්ටච්චි වේෂ නිරූපණ ශිල්පියකු ලෙස චිත්‍රපට ලෝකයට පිවිසි අතර වේදිකාවට අවශ්‍ය රංගන ප්‍රතිභාව මෙන්ම වේදිකාවට ගැලපෙන අපූරු කටහඬක් ද ඔහු සතු විය. පසු කාලයේදී “වරෙන්තු” වේදිකා නාට්‍යයේ පොලිස් නිලධාරියාගේ චරිතයත්, “සෙක්කුව” නාට්‍යයේ මහතැනගේ චරිතයත්, “යක්ෂාගමනය” නාට්‍යයේ වෙළෙන්දාගේ චරිතයත් තුළින් ඔහුගේ සුවිශේෂී රංගන හැකියාව විදහා පෑමට සමත් විය. වසන්ත රංගනයෙන් දායක වූ පළමු ටෙලි නිර්මාණය වූයේ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ලගේ “කඩඉම” ටෙලිනාට්‍යයයි. එසේම “බුමුතුරුණු” සහ “තාරාදේවි” ටෙලිනාට්‍යවලද පසුකාලීනව පුංචි තිරයේ දිගහැරුණු ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙදහාමිනේ”, “දඬුබස්නාමානය”, “නන්නත්තාර” සහ “වෙස්මුහුණු” වැනි ටෙලිනාට්‍ය ඔස්සේද රසික හදවත් දිනා ගැනීමට ඔහු සමත් විය.
වසන්ත විට්ටච්චි මහතා නික්ම ගොස් දෙදිනකට පසු, එනම් පෙබරවාරි මස 28 වැනි දින ආදරණීය මතක වැස්සකින් රසික හදවත් පුරවා නික්ම ගිය ඇය, සුන්දර සිනහවකින් මුව සරසාගත් පුංචි තිරය හැඩ කළ අවිහිංසකාවියක් වූ “සුසන්තා චන්ද්‍රමාලි” ය. ඇය ගැන ද ඇත්තේ බොහෝ සුන්දර මතක ගොන්නකි. රසික හදවත් නිතැතින්ම ආකර්ෂණය වන සොඳුරු සිනහව ඇයට ආභරණයක් විය. කලක පටන් පිළිකා රෝගයෙන් පෙළුණු ඇය, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට 61 වැනි වියේ පසුවූවාය.
1964 වසරේදී හම්බන්තොට, මුල්කිරිගලදී උපත ලැබූ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, කුමරු ලියනගේ මහතාගේ ආදරණීය බිරිඳ වූ අතර රංගන ශිල්පිනී තිසුරි යුවනිකාගේ සදාදර මෑණියන් වූවාය.
1986 වසරේ සිට කලා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදුන් ඇය ටෙලිනාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් රසික හදවත් දිනා ගැනීමට සමත් වූ දක්ෂ රංගන ශිල්පිනියකි. 2000 වසරේ සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද “සරෝජා” චිත්‍රපටය ඔස්සේ සිනමාවට අත්පොත් තැබූ චන්ද්‍රමාලි, “ජය පිට ජය”, “රන් කෙවිට” සහ “නිදහසේ පියා ඩී.එස්.”, “ප්‍රවේගය”, “සුමේධා”, “උඩුගන් යාමය”, “වන් ෂොට්” ආදී සිනමාපට රැසකට රංගනයෙන් දායක වූවාය.
චන්ද්‍රමාලි මහත්මියගේ එකම දියණිය වූ තිසුරි යුවනිකාට තම මව සමඟ 1994 වසරේදී “පුංචි කුමාරිගේ” චිත්‍රපටයට රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමි විය. එවිට තිසුරි වයස අවුරුදු 3 ක ළදැරියකි.
ඊට අමතරව මුතු පලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේ ගෙදර ආදී ටෙලිනාට්‍ය රැසක් ඔස්සේ දන මන දිනූ සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය, 2009 දී දේශපාලනයට පිවිසි අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දකුණු පළාත් සභාවට තරග වැදුණාය. කෙසේ වෙතත්, ඇයට සභාවට තේරී පත්වීමට නොහැකි විය. 2020 වසරේදී ඇයට පිළිකාවක් ඇති බව පළමු අදියරේදී හඳුනාගත් අතර, පිළිකා වර්ධනය අවම කිරීම සඳහා ඇය අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත්තාය.
සිය සහජ දක්ෂතාවයෙන් පුංචි තිරය සහ රිදී තිරය මත සදාතනික මං සලකුණු තැබූ වසන්ත විට්ටච්චි මහතාණනි, සුසන්තා චන්ද්‍රමාලි මහත්මියනි, පැතු ජීවිතයක් වෙත්නම් ඒ ජීවිතයම හමුවේවා!.
• මංගලා පවිත්‍රානි