ඉතින් මම තවමත් නොදනිමි...
ජීවිතයේ කිසිදු තත්ත්පරයක් හා වියපත් නොවූ ජේත්තුකාරයා...
අසංස්කෘතික – සංස්කෘතිකවාදියා
චමත්කාරවත් සෞන්දර්යවේදියා
අහම්බකාරක තීර්ථයාත්‍රිකයා
අකුරු එක්ක හුස්ම ගන්න හිතුවක්කාරයා
රාමුවෙන් එහා පිටස්තරවාදී ප්‍රකාශකයා
කවුරුන්දැයි ඔබට කියන්නට
ඉතින් මම තවමත් නොදන්නෙමි.
“මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිහිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්”
සමන් සඳ එසේ ලියූ සඳ එසඳ ඒ සඳ මමත් නොඅසාම ආදරය කළෙමි...
කුමට අසන්නද?
මා හද සිඹි සඳ මම ඒ ගී පද හා පෙමින් බැඳුණේ බොහෝ දුරාතීතේ දවසකය.
ඉතින්...
අසන්නට කිසිත් නැත
කියන්නට දෙයක් මිස...
ආල මාල කවිකම් ගෙතූ, හෘද ලීලා තාලයෙන් ඇලල වූ, සුභාවිත සුලාලිත සුභාෂිත අකුරු තෝතැන්නක අමුතු අයිතිකාර සමන් අතාවුදහෙට්ටි සමන් කියයි ලියාලූ සඳ ඉතින් කොහොමද නොදී ඉඩහසර කියන්නට සමන් කියයි ගැන සමන්ට...
ආහ්... තවමත් නොකියවූ හෙයින් සැබැවින්ම සමන් කියයි ගැන ඔබට කියන්නට අනේ මම නොදන්නෙමි. මා දන්නේ සමන් කියයි ලියූ සමන් ගැන කියන්නටය.
මට සමන්ගෙන් මෙහෙම අහන්න හිතුණා.
ලියන්න කාටත් පුළුවන් අකුරු දන්නවනම්. ඒත් අකුරු සිඹින්න, වචන එක්ක හුස්ම ගන්න හැමෝටම බෑ. වචනවලට ආත්මීය ආලයකින් ප්‍රේම කරන්න හැමෝටම බෑ. ඒත් ඔබට පුළුවන්. හේතු කියන්න.
මගෙන් කවුරුවත් එහෙම ප්‍රශ්නයක් මීට කලින් අහලා නෑ.
එහෙම කියපු සමන් තත්ත්පර අංශුමාත්‍රයක් නිහඬව හිටියා. ඒත් මට දැනෙනවා ඒ නිහඬත්වය ඇතුළෙත් දෝර ගලා ගියේ වචන නැති සල්ලාප.
මම හිතන්නේ අපි රේඩියෝ එක්ක හැදිච්ච පරපුරක්. හඬ සහ වචන එක්ක ජීවත් වෙච්ච, හුස්ම ගත්ත පරපුරක්. මම හිතන්නේ ඔබ කියන තරමට මම වචන එක්ක සංවේදී නම් ඒ සංවේදීත්වයට ඒක බලපාන්න ඇති.
අහන්න උත්තරය ඉවර නැත...
මම කියන්න තියෙන දේ හොඳම විදිහට කියන්න, ලියන්න තියෙන දේ හොඳම විදිහට ලියන්න මට හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. වචන මසුරු විදිහට පාවිච්චි කරලා නොමසුරු විදිහට ලියන්න කියන්න මම උත්සාහ කරනවා.
සමන් එහෙම කියද්දි මට මෙහෙමත් අහන්න හිතුණා.
ඒ දවස්වල පත්තරේකට සංචාරක සටහන් ලියද්දි මමත් සමන්ගේ සහෘදයෙක්. මට හැඟුණේ, මට දැනුණේ වචන දිගේ අපිත් ඇවිදිනවා වගේ. වචන දිගේ අපිව කැටුව සංචාරක සටහන් දිගේ ඔබ අපිව ඇවිද්දනවා වගේ.
අසන්නට කිසිත් නැත
කියන්නට දෙයක් මිස...
සමන් අපත් ගියා ඔබත් එක්ක අකුරු එක්ක පාර දිගේ ඔබත් එක්ක ඇවිදින්නට.
පත්තරේට සංචාරක සටහන් ලියූ වග මතක් වුණේ මේ මොහොතේ ඒ ගැන කියද්දි.. එහෙම දැනුණා නම් එයම සතුටක් - ඒ සමන්
නොකීවට මාත් එක්ක එහෙම කියූ අය ඉන්න ඇති තවත් - ඒ මම
මම දෙයක් ලියන්න ඉස්සර, මම දෙයක් කියන්න ඉස්සර හුඟාක් පොතපත කියවනවා. හුඟාක් කරුණු අධ්‍යයනය කරනවා. මගේ ලියන ශෛලිය සහ ලේඛනය වෙනස් වග ඔබට දැනෙනවා නම් සමහර විට ඒ කියවීම සහ සොයා යාමත් ඊට හේතුවක් වෙන්න ඇති.
ඉතින් එහෙම කියන සමන්...
සමන් කියයි අපිට පිරිනමද්දි
සම්, මස්, ලේ, නහර, ඇටමිඳුළු විනිවිද යන ස්නේහයකින් සමන් හා බැඳුණු තාරකා හා තරුසරත් අපිට චොකොහොලික් හීන සහ කළු මකරා පිරිනමන මොහොතත් ඇවිත්...
සමන් කියයි.
චොකොහොලික් හීන
කළු මකරා
ඒ ගැන මම නෙවෙයි එයාලා කියන්නෙ මෙන්න මෙහෙමයි.
සමන් කියයි - 2 – සමන් අතාවුදහෙට්ටි
විවිධ අවස්ථාවන්හි සමන් අතාවුදහෙට්ටි පැවැත්වූ දේශන එක්කොට සමන් කියයි යනුවෙන් මුලින්ම කෘතියක් පළ වූයේ 2016 වසරේ ගුණසේන ප්‍රකාශනයක් ලෙසිනි. නන්දා මාලිනී, වික්ටර් රත්නායක, ප්‍රේමකීර්ති ද අල්විස්, දයා ද අල්විස් සහ කළණි පෙරේරා පිළිබඳ දේශන 5 ක් ඊට ඇතුළත් විය.
දේශන 10 ක් අඩංගු සමන් කියයි - 2 සුරස ප්‍රකාශනයකි.
මාදුළුවාවේ සෝභිත හිමි, සුගතපාල ද සිල්වා, ආර්.ආර්. සමරකෝන්, ජැක්සන් ඇන්තනී, ඩබ්ලිව්. ජයසිරි, රම්‍යා වනිගසේකර, ලක්ෂ්මන් විජේසේකර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රේමසර ඈපාසිංහ සහ නිලාර් එන් කාසිම් පිළිබඳ විවිධ අවස්ථාවන්හි සමන් පැවැත්වූ දේශන මේ කෘතියට අඩංගු වෙයි.
චොකොහොලික් හීන – තාරකා අතාවුදහෙට්ටි
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවකගේ ජීවන අත්දැකීම් සම්භාරයක් පසුබිම් කරගෙන මේ නවකතාව නිර්මාණය වී ඇත.
නුහුරු නුපුරුදු රටක තනි වී, ඉගෙනුම ලබද්දී මුහුණ දෙන්නට වන විවිධ අභියෝග හමුවේ කඩා වැටෙන ජීවිත හා යළි ඒ ජීවිත නගා සිටුවීම උදෙසා යොවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගන්නා වෙහෙස පිළිබඳවත්, ඔවුන්ගේ ජීවිත කළඹවමින් ගලා හැලෙන ප්‍රේම අත්දැකීම් පිළිබඳවත් මේ කෘතියට අඩංගුය.
මුතුමිණි නම් ශිෂ්‍යාවගේ ජීවන අන්දරය ලෙස ඉදිරිපත් කෙරෙන මේ නවකතාව ඔස්සේ දිල්ලි නුවර පිළිබඳ ආකර්ශනීය සිතුවමක් අප ඉදිරියේ මවන තාරකා යොවුන් ප්‍රේමයේ අපූරු පැතිකඩ ගණනාවක්ද පාඨකයන්ට දායාද කරයි.
මේ තාරකා ලියූ මුල්ම කෘතියයි.
කළු මකරා - තරුසර පෙරේරා
දිනුක් කුඩා ළමයෙක්. ඔහුගේ සුරතල් බල්ලා කළු. කළු සහ දිනුක් අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවයක්. දෙන්නාට දෙන්නා නැතිවම බැරි තරම්. කළු සහ දිනුක් දෙදෙනා මුහුණදෙන අපූරු අත්දැකීමක් කළු මකරා ළමා කතාවට පාදක වෙයි.
මේ ළමා කතාවේ විශේෂත්වය සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ඉදිරිපත් කිරීමයි.
රසය පමණක් නොව භාෂා දැනුම ද වඩවා ගැනීමට කළු මකරා කුඩා ළමුන්ට ප්‍රයෝජනවත් වන්නේ එබැවිනි.
අහන්න...
තුන් පරපුරක පොත් රෑන ගැන සමන් කියන හැටිත් නොකියා කොහොමද?
කතා පැයයි
ගීත රසයි
හමුව යසයි
තුන් පරපුරක පොත් තුනක් ජනගත කිරීම
මාර්තු 12 හරියටම 3.30
ශ්‍රී ලංකා පදනමේදි සිද්ධ වෙනවා.
මහාචාර්ය සරත් විජේසූරිය
මහාචාර්ය අන්කුරන් දත්තා
(ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ)
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂඥ වෛද්‍ය හේමන්ත පෙරේරා
සූපවේදිනී අනෝමා විජේතුංග තමයි එදාට එන්නෙ අදහස් දක්වන්න.
නදීක ගුරුගේ, සදනි විජේතුංග ඇවැසි තත්ත්පරයේදී ගයද්දි රූකාන්ත ගුණතිලක සහ චතුරිකා නිර්මාණි එනවලු පසුබිම් ගායනයෙන් රසවත් කරන්න.
තනූජා ජයවර්ධනලු පූරක ගෙත්තම...
ඉදිරිපත් කිරීම ෆෝ ඉන් වන්...
සමන් වරහන් ඇතුළෙ මෙහෙම කියනවා.
(සමාජ මාධ්‍ය රූගත කිරීම් සඳහා අවසර නොමැති බව කරුණාවෙන් සලකන්න)
හැමදේම කීවා... එක දෙයක් හැර
ප්‍රේමණීය ප්‍රේම් දිසානායක නොවෙන්නට ෆාස්ට් පබ්ලිෂින් - සුරස නොතිබෙන්න පොත් එයි. ඒත් මෙහෙම එයිද කියලා හිතුණෙත් හිතෙන්නෙත් මටම විතරක් නම් වෙන්න බෑ.
ප්‍රේම්ගේ පොත් චමත්කාරය ඒ තරම් සුන්දරයි... කොන්දේසි විරහිත අකුරු ප්‍රේමයක් ප්‍රේම්ට තියෙන්නෙ.
ඉතින් දම් පාට අමුතු හැන්දෑවක් නිසැකවම ඒවි තවත් දවස් කිහිපයකින්.
එතකම් ඉවසලා ඉන්න...
ඉතින් ඊට පස්සෙ දවසක
පොත් පිටු අස්සෙ
අකුරු දිගේ
හිතේ හැටියට කැමති විදිහට ඇවිදින්න...
• සංජීවිකා සමරතුංග