ඔන්න මචෝ මේ පාර අපි අරගෙන එන්නේ ලංකාවේ මේ දවස්වල සිරාවටම දකින්න ලැබෙන ටිකක් බරපතළ Y Trend එකක් ගැන කතාවක්. සල්ලි හොයන්න Play කරන Online game ගැන තමා මේ කතාව. මේ වෙද්දි ලංකාවේ කෙල්ලො කොල්ලො අතර මේ සීන් කෝන් එක ලොකු Trend එකක් වෙලා ඉවරයි. ඇත්තටම මචෝ මේක එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි.
සුදාලා නම් මේ දවස්වල Social media කරක් ගහනවා නම් අපි මේ කියන සීන් එක දැකලා ඇති. Facebook එකේ Tiktok එකේ Youtube එකේ Gameගහලා සල්ලි හොයන්න පුළුවන් කියලා Advertisement සෑහෙන්න Play වෙනවා. තත්ත්පර 15 තත්ත්පර 30 චූටි චූටි Ad ඕගොල්ලෝ බලන වීඩියෝ කෑලි අස්සෙන් තමයි මතු වෙන්නෙ. එක පාරක් හරි මේ වගේ වීඩියෝ එකක් දිහා බලාගෙන හිටියොත්, ඔයාට ඒවා නැවත නැවතත් පෙන්නන්න පටන් ගන්නවා.
මේ අස්සේ සමහර Youtube මේ විදියේ ගේම් ගහලා සල්ලි හොයන්න පුළුවන් කියලා වීඩියෝ upload කරලා තියෙනවා දැකගන්න පුළුවන්. ඒ වගේම ටිකක් ප්‍රසිද්ධ වගේ චරිත දාලා ටිකක් දිග ප්‍රචාරක දැන්වීම් එහෙමත් සමහර තැන්වල දැකගන්න පුළුවන් මචෝ. ඒ විතරකුත් නෙවෙයි. මේ ජාතියේ App ගැන Review එහෙමත් සමහරු දාලා තියෙනවා. හැබැයි මචෝ ආතල්ම සීන් කෝන් එක තමයි මේ සමහරක් දේවල් Organic වගේ පෙනුණට මුදල් ගෙවලා කරන ප්‍රචාරණ ව්‍යාපෘති.
මොකද මචෝ මේ Advertisement Planකරලා හදලා තියෙන්නේ, විවිධ ක්‍රමෝපාය භාවිත කරලා. Digital Marketing වල, Online Market එක අල්ලගන්න භාවිත කරන උපාය උපක්‍රම ටික මෙයාලා ලස්සනට භාවිත කරනවා. අපේ අයට Interest එකක් ඇතිවෙන විදිහට, මේ දැන්වීම් ප්‍රචාරණය වෙනවා. ඒවාට අඩු වැඩි වශයෙන් අවධානය දක්වන අයව Filter කර ගන්නවා. ඊට පස්සේ මේ Ad දිගින් දිගටම පෙන්නලා අපේ සුදාලගේ ඔළුවල මේ Game ගහලා සල්ලි හොයන්න පුළුවන් කියලා Idea එකක් හදනවා.
මතක තියාගන්න ඕනෑ සුදෝ අපි කතා කරන්නේ Gaming Streaming ගැනවත් E Spot ගැනවත් නෙවෙයි. මේක එහෙම්පිටින්ම කැසිනෝ සහ වෙනත් සූදුවල Online version එකක්. මෙම දැන්වීම් ගොඩක් වෙලාවට කැසිනෝ වගේ ක්‍රීඩා ආකාර හදලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, බැංකු ගිණුම්වලට මුදල් ලබා දෙන ක්‍රමවේද තමා මේ අය ප්‍රවර්ධනය කරන්නෙ.
සූදාලට කියන්න අපේ කෙල්ලො කොල්ලො අතර Online සූදු ඇත්තටම ලොකු Trend එකක්. කෙල්ලො කොල්ලො කතාවෙන තැන්වලත් පහුගිය දවස්වල අහන්න ලැබුණා, අරයා අර ගේම් එක ගහනවලු නේද? ඇත්තටම ඒකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? වගේ කතන්දර ගොඩක්. සිරාවටම බලාගෙන යද්දි සිද්ධවෙලා තියෙන්නෙ අර ප්‍රචාරණ ව්‍යාපෘතිවල තියෙන දේවල් බලලා බලලා අපේ කෙල්ලො කොල්ලන්ගේ ඔළුව මඤ්ඤං වුණු එක.
මෙතැන මචෝ ප්‍රධාන කාරණා කිහිපයක් කරා තමයි මේ සෙටාර් එක අපේ කෙල්ලො කොල්ලන්ව බාගන්න හදන්නෙ. පළවෙනි සීන් එක තමයි මේකෙදි, ඉතා අඩු ආයෝජනයකින් විශාල මුදලක් ඉපැයිය හැකි බවට පොරොන්දු දීලා තමයි සීන් එකට කට්ටියව ඇදගන්නෙ. ඉතින් සිරාවටම ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉන්න සමහරු පුංචි ආයෝජනයක් කරලා ගාණක් හොයාගන්න පුළුවන් වගේ අදහසකින් මේ ගේම් සීන් කෝන් එකට සෙට්වෙන අවස්ථා දැකගන්න පුළුවන්. සිරාවටම මචෝ සමහරු කියනවා දවසෙ ගාණ ෂේප් කරගන්න මේක මරු වැඩක්, ගේමක් ගහගන්න පුළුවන් කියලා.
ඒත් මචෝ ඇත්තටම මෙතැනදී වෙන්නෙ දවසේ ගාණ ෂේප් කරගන්න එක කෙසේ වෙතත් අපේ කෙල්ලො කොල්ලන්ගේ වත සතේට හිඳෙන එක. ඊළඟට මෙයාලා කියනවා මේක “නිශ්චිත” ලෙස මුදල් උපයන ක්‍රමවේදයක් කියලා. ඔය එක එක චරිත දම්මලා සහතික දීලා තමයි මෙයාලා ඔය කතාව කියවන්නෙ. අපේ මචංලා මේ ජාතියේ Advertisement එහෙම Facebook එකේ instragram එකේ Youtube එකේ දැකලා තියෙනවා නම් අපි මේ කියන දේ හොඳට පැහැදිලි වෙයි.
ඇත්තටම මචෝ මෙතැනදී වෙන්නේ පොඩි ගාණක් යොදවලා මුලින්ම අපේ සෙට් එක අල්ලගන්න එක. සමහරක වැඩේ පටන් ගන්න සල්ලි ඕනෙත් නෑ. ටිකක් දුර යද්දී තමයි ගරානාස් පාර දාන්න මේ සෙට් එක පටන් ගන්නෙ. මුලින්ම කීයක් හරි දිනලා අපේ අයට දෙන සීන් කෝන් එකකුත් මෙයාලා Create කරනවා. පස්සේ ලොකු ගණන්වලින් සෙල්ලම් දාන්න යද්දි අපේ සෙට් එකම සුද්ද කරන්න මේ සීන් එකේ ඔස්තාර්ලා සෙට් එක කටයුතු කරනවා. ඔය මේ සීන් එකට මුලින්ම ගියපු අය තමයි මේක පට්ට වගේ අදහස් දාලා, අනිත් අයගේ ඔළු කන්නේ. සිරාවටම මචෝ අර පිරමීඩ බිස්නස් එක වගේ මහා ජාවාරමක්.
වස්තුලට කියන්න මේ game බලන්න ලස්සනයි. ඒ වගේම ගොඩක් වෙලාවට හරිම සරලයි. පොඩි පොඩි දේවල් කරලා සල්ලි හොයන්න පුළුවන් වගේ තමයි මෙයාලා පෙන්නන්නේ. ඒකම තමයි අපේ අය මේ සීන් එකට මෙච්චරම සෙට්වෙලා පිස්සු හැදිලා Y Trend එකක් පවා හදාගෙන ඉන්නේ. මේ සීන් එක ලංකාව ඇතුළේ ඉඳන් වගේම ලංකාවේ පිටත ඉඳලත් මෙහෙයවනවා කියන එක බොහොම පැහැදිලියි.
ගොඩක් වෙලාවට මේක පිටිපස්සේ ඉන්නේ සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සූදු වෙබ් අඩවි, ගෝලීය බුකීකරුවන්, හෝ ඔන්ලයින් කැසිනෝකාරයෝ. හරියට බැලුවොත් මචෝ මේක සම්පූර්ණ නීති විරෝධී වැඩක්. ඒ කියන්නේ සුදෝ අපේ සෙට් එක මේ වෙලාවේ හදාගෙන තියෙන මේ තකතීරු Y Trend එක නීති විරෝධීයි. ඒකට හේතු ටික සුදාලා දැනගෙන ඉන්නම ඕනෑ.
ලංකාවේ සූදු පිළිබඳ නීතියට සූදු කටයුතු සඳහා බලපත්‍ර ලබාදීම හා පාලනය කිරීම සිදු වෙන්න ඕනෑ. Online සීන් එකට ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙන්න බලපත්‍ර නම් නෑ. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සූදුවලට බදු ගාස්තු අය කිරීමේ නීති රීති තියෙනවා. ඒවත් මේවාට බලපාන්නේ නෑ. ඒ විතරකුත් නෙවෙයි මචෝ, ලංකාවේ බැංකු හරහා තමයි මේ ඔන්ලයින් ගනුදෙනු ටික සිද්ධ වෙන්නේ. ඒකේ නීත්‍යානුකූලභාවයත් ප්‍රශ්නයක්. විද්‍යුත් ගනුදෙනු තියෙන නීති Online ගනුදෙනු සම්බන්ධ නීති පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් මචෝ ඒවත් මෙතැනදී නම් අනුගමනය වෙන පාටක් නැහැ.
සුදාලට කියන්න ලංකාවේ විශාල වශයෙන් කෙල්ලො කොල්ලො මේ සීන් එකට පෙළඹිලා හිටියත් මේ සම්බන්ධව හරි දැනුවත් කිරීමේ වැඩසටහනක්වත් තාම දැකගන්න නැහැ. Youtube එකට ගිහිල්ලා Search කරලා බැලුවත් මේක හරි වැඩක්, පිළිගත හැකි දෙයක් වගේ කියැවෙන වීඩියෝ තමයි දැකගන්න ලැබෙන්නේ. අනිත් අතට මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොවීමට හේතුවකුත් තියෙනවා. බොහෝ Online සූදු වෙබ් අඩවි රටින් පිටත ක්‍රියාත්මක වන නිසා ඒවා නියාමනය කිරීම අභියෝගාත්මකයි කියන කතාව ඇත්ත. ඒත් රටින් පිටත නම් මේ සමාගම් ටික තියෙන්නෙ ලංකාවේ කෙල්ලො කොල්ලොන්ගේ සල්ලි ටික හූරගෙන මෙයාලා යනවා කියන එක අපි තේරුම් ගන්නම ඕනෑ දෙයක්.
ඊළඟට මචෝ මේ සීන් එකට අහුවෙච්ච අයගෙන් පොදුවේ අහන්න ලැබෙන දේවල් කිහිපයක් ගැනත් අපි කතා කරන්න ඕනෑ. අසාමාන්‍ය විදිහට ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වෙලා 100% සහතික ප්‍රතිලාභ හෝ ඉතා ඉක්මනින් ධනවත් වීමේ පොරොන්දුවලට රැවටිලා තමන් මේවාට ඇබ්බැහි වුණු බව තමයි ඒ අය කියන්නෙ. ඒ වගේම එයාලට කාලයක් තිස්සේ අපැහැදිලි ගනුදෙනු තොරතුරු මේකේ තියෙනවා. ඇත්තටම මුදල් මුලදී ලැබුණත් පස්සේ ගන්න අමාරු වෙච්ච බව තමයි සමහරු කියන්නේ.
ඊළඟට ආසාව පස්සේ දිව්වට මෙයාලට මේ හා සම්බන්ධව පැමිණිලි කරන්න, ප්‍රතිචාර දක්වන්න කිසිම කෙනෙක් ඉඳලා නැහැ. ඒ නිසාම කේස් එකෙන් සෑහෙන්න ගාණකට තට්ටු කරගෙන කට්ටිය කට වහගෙන පැත්තකට වෙලා තියෙනවා. සමහරු පොඩි ගාණකට තට්ටු වෙච්ච නිසා කොහොමත් වැඩේ අමතක කරලා දාලා ඉන්නවා. හැබැයි ලොකු පොඩි ගණන් ඔක්කොම එකතු කරලා කෝටි ගාණක් සාක්කුවේ දාගෙන මේ ජාවාරම්කාරයෝ පට්ට සතුටින් ඇති.
මේ වෙනකොට ලෝකය පුරාම රටවල් මේ හා සම්බන්ධව දැඩි නීති රීති නියාමන ක්‍රමවේද හඳුන්වාදීලා තියෙන්නෙ. සමහරක් රටවල් මේකට අවසර දීලා තියෙනවා ලොකු නියාමනයන්ට යටත්ව. අපේ ලංකාවේ අයත් ඉක්මනට මේ සීන් කෝන් ඒ ගැන අවධානය යොමු කළොත් හොඳයි. නැත්නම් හෙට අනිද්දට අන්තර්ජාලයේ සූදු පොළවල්වලට පනින්න අලුත් පොලිසියක් හදන්න වෙනවා.
• චමිඳු නිසල්