2025 මාර්තු 15 වන සෙනසුරාදා

ඒ වගේ වගකීමක් දරන්න තරම් මම දක්ෂ නැහැ - Nita Fernando

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

නිලන්ත හපන්වීර අධ්‍යක්ෂණය කළ “තේජා”‍ සිනමා පටය මේ දිනවල තිරගත වෙනවා. එහි තේජා නම් භූමිකාවට පණ පොවන්නේ ඔබයි. ඒ ආරාධනාව ලැබුණේ කොහොමද?
තේජා චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නිලන්ත හපන්වීරයි. මේ ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. නමුත් මීට අවුරුදු විස්සකට පමණ පෙර නිලන්ත කළ කෙටි චිත්‍රපට දෙකකට පමණ මමත් සම්බන්ධ වුණා. ඒ නිසා ඔහු ගැන යම්කිසි පැහැදීමක් වගේම ඔහු නිර්මාණ දැකීමක් තියෙන කෙනෙක් කියලා මම තේරුම් ගත්තා. ඉතින් සිනමා පටයක් කරන්න ඕනෑ කියලා නිලන්ත මට කිව්වා. තේජා කියන්නේ ඔහුගේ අත්දැකීමත් එක්ක, දේශපාලන පසුබිමත් එක්ක ලියැවුණු කතාවක්.

“තේජා” පිටපත ඔබ අතට පත්වෙද්දි මොකද හිතුණේ?
තේජා පිටපත මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න තවත් එක් හේතුවක් වුණා. කාන්තාවක් ධෛර්යමත් වෙලා මේ සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන දේ ඒ පිටපතේ අපූරුවට ලියැවිලා තිබුණා. මම රඟපෑවේ තේජා කියන චරිතයයි. තේජා බිරිඳක්, මවක්, ගෘහණියක්. ඒ වගේම ඇය උද්ඝෝෂණයකට මැදි වී අනික් කාන්තාවන් වෙනුවෙන් හඬ නගනවා. ඇත්තටම තේජා පිටපත හරි ප්‍රබලයි.

මේ නිලන්ත හපන්වීරගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. ඔහු මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?
මම ඔහුත් සමඟ කෙටි චිත්‍රපට කිහිපයක් කරලා තියෙනවා. තේජා කියන්නේ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වුණාට ඔහුට අධ්‍යක්ෂණය පිළිබඳ යම් අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඔහු අධ්‍යක්ෂණය ගැන යම් පැහැදීමක් ඇතිව තමයි ඒ කටයුත්ත භාර ගත්තේ. ඒ මොහොතේදී පිටපත බලලා ඔහු අධ්‍යක්ෂණය කළේ නැහැ. කරුණු කාරණා එකතු කරලා එය සිනමා පටයක් නිර්මාණාත්මකව කරන්නේ කොහොමද කියන අවබෝධයක් ඔහුට තියෙනවා. ඒ නිසා නිලන්ත ගැන කිසිම අවිශ්වාසයක් මට තිබුණේ නැහැ. ඔහු ගැන පැහැදීමක් විශ්වාසයක් මට තිබුණා. “තේජා” පළමු සිනමා අධ්‍යක්ෂණය වුණාට එය සාර්ථක නිර්මාණයක්. ඔහු හොඳ අධ්‍යක්ෂවරයෙක්.

“තේජා” රූගත කිරීම් කරලා වසර දහයකට පසුවයි තිරගත වෙන්නෙ. නිර්මාණයක් මෙලෙස කල් ගතවීම විශේෂයෙන් නිෂ්පාදකයාට අසාධාරණයක් නේද?
ඔව්... ඒක ඇත්ත. මේ ප්‍රමාද වීමට කරුණු කාරණා කිහිපයක්ම තිබුණා. “තේජා” අපි රූගත කිරීම් කළේ මීට වසර දහයකට පමණ උඩදීයි. නිර්මාණයක් පවත්වාගෙන යද්දි මුදල් අවශ්‍ය වෙනවා. ඔය අතරේ කොවිඩ් වසංගතය ඇතිවුණා. රටේ වාතාවරණයත් එක්ක අපිට නිර්මාණය එළි දක්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. “තේජා” ජාත්‍යන්තර කාන්තා දිනයක් ළං කරලා තිරගත කිරීම් කරන්න අදහස් කරගෙනයි හිටියේ. ඒ මේ කාන්තාවන් වෙනුවෙන් කතා කරන, කාන්තාවකගේ කතාවක් නිසායි. ඉතින් වසර දහයකට පස්සේ ඒ අවස්ථාව මේ වසරේදී අපිට ලැබුණා.

මේ සිනමා පටයේ නිෂ්පාදනයට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්... හැබැයි මෙහි නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම මගේ නෙවෙයි. අපි තුන්දෙනෙක් මෙයට සම නිෂ්පාදනයෙන් දායක වුණා. නිලන්ත මේ සඳහා මහිල් ආර්. පෙරේරාව මුලින්ම සම්බන්ධ කර ගත්තා. පසුව මාත් මෙයට නිෂ්පාදනයෙන් දායක වුණා. අවසානයේදී සුරංග ද අල්විස් සම්බන්ධ වුණා. ඒ අනුව “තේජා” සිනමා පටයේ සම නිෂ්පාදිකාවක් ලෙසින් මම කටයුතු කරනවා.

ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ වගේම නිෂ්පාදිකාවක්. වර්තමාන සිනමාව ගැන මොකද හිතෙන්නෙ?
රංගන ශිල්පිනියක් විදිහට අපි කැමති චරිතයක් තමයි අපි තෝරාගන්නෙ. චරිතයකට මට කතා කරද්දි ඒ චරිතයට ඇතුළු වෙන්න මට පුළුවන් නම් පමණයි මම ඒ චරිතය බාරගන්නෙ. නමුත් නිෂ්පාදිකාවක් ලෙසින් කටයුතු කරද්දි නම් වගකීම් බොහොමයක් තියෙනවා. චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. සමහර විට නිෂ්පාදනය කරන නිර්මාණයෙන් ලාභ ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. හැබැයි සිනමාවට ආදරය නිසා ඒ ගැන මම දෙවනුවටයි හිතන්නෙ.

ඔබ සිනමාවට සම්බන්ධ වෙලා වසර හැටක්. නමුත් තවමත් ඔබට තියෙන ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැහැ. ඒක ගැන අද මොකද හිතෙන්නෙ?
මම සිනමාවට සම්බන්ධ වෙලා වසර හැටක් වුණාට එයින් වසර 20 ක් කැනඩාවේ හිටියේ. ඒ නිසා ලංකාවේ වසර හතළිහයි හිටියේ. මම කැනඩාවට ගියේ කලා ක්ෂේත්‍රයේ  මගේ හොඳම කාලයේදීයි. මම සම්බන්ධ වුණු නිර්මාණ මම කැනඩාවට ගියාට පස්සේ එකින් එක මෙරට තිරගත වුණා. ඒ නිසා මම ලංකාවේ නොහිටියාට මගේ ආදරණීය රසික රසිකාවියන්ට මාව අමතක වුණේ නැහැ. එදා වගේම අදටත් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව තියෙනවා. ඒ ගැන මගේ ආදරණීය ප්‍රේක්ෂක සහෝදර සහෝදරියන්ට ස්තූතිවන්ත වෙනවා. ආදරය නොඅඩුව ලබන්න මම වාසනාවන්තයි කියලයි මට හිතෙන්නෙ.

වර්තමානයේ තරුණ අධ්‍යක්ෂවරුන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ ආගමනය ගැන ප්‍රවීණ කලාකාරියක් විදියට මොකද හිතෙන්නෙ?
ඇත්තටම ඔවුන්ගේ පැමිණීම මේ ක්ෂේත්‍රයට හරිම වටිනවා. හොඳ දක්ෂ තරුණ අධ්‍යක්ෂවරුන් අපිට ඉන්නවා. ඕනෑම කෙනෙකුට ආරම්භයක් තියෙනවා. අද අලු‍ත් තාක්ෂණය තියෙනවා. ඔවුන් අලු‍ත් තාක්ෂණයත් එක්ක මේ ගමන යනවා. ඒක මේ ක්ෂේත්‍රයට අවශ්‍ය දෙයක්. කාලයත් එක්ක අලු‍ත් නිර්මාණවේදීන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඕනෑ. ඉතින් ඔවුන් ගැන ඇත්තටම සතුටුයි.

ඔබට සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
අනේ නැහැ... මට ඒක අමාරු කාර්යයක්. අධ්‍යක්ෂණයේදී හැම කෙනකුගේම චරිතයට රිංගන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක හරිම භාරදූර කටයුත්තක්. ඒක ලොකු වගකීමක්. ඒ වගේ වගකීමක් දරන්න තරම් මම දක්ෂ නැහැ කියලා මට හිතෙනවා.

• දිශානි ජයමාලි

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00