2025 මාර්තු 15 වන සෙනසුරාදා

මම භාෂාව හඬවනවා කියලා මහාචාර්ය විමල් දිසානායක කීවා

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

තම පන්හිඳෙන් මැවෙන අපූරු පද රචනා ඔස්සේ රසික හදවත් අමන්දානන්දයට පත් කරවන ගීත රචනා කළ ඔහු, පරිපාලන ක්ෂේත්‍රයේ වගකීම් දැරූ දක්ෂයෙකි.
ගීත රචකයකු සාහිත්‍යවේදියකු සහ ගත්කතුවරයකු වශයෙන් කටයුතු කරන ඔහු රටක් ආදරය කරන සුනිල් සරත් පෙරේරා ශූරීන්ය. මෙවර හදසර කතාබහ ඒ සොඳුරු සාහිත්‍යවේදියා සමඟයි.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල මම පොත් කිහිපයක් රචනා කරමින් ඉන්නවා. එකක් ගීත රචනය පිළිබඳව ලියැවෙන ශාස්ත්‍රීය පොතක්. පොතේ නම “කලාත්මක ගීතයේ මුහුණුවර”‍. මේ වෙනකොට ගොඩක් දුරට පොත ලිවීමේ කටයුතු සම්පූර්ණ වෙලා තියෙනවා. තව කවි පොතක් නිම කරලා තියෙනවා “සොබා සොඳුර”‍ කියලා. කරුණු එකතු කරගෙන තවත් පොතක් ලියමින් ඉන්නවා “තිසාහාමි සහ දඹානේ වැදි සංස්කෘතිය”‍ ගැන. ඒ පොත ඉවර වෙන්න නම් තව ටික කාලයක් යයි. ඉතින් මේ දේවල් එක්ක තමයි කාලය ගතවෙන්නෙ.

ගී පද රචකයකු සහ සාහිත්‍යවේදයකු ලෙස මෙතෙක් ආ ගමන්මග ගැන අදහසක් දක්වමු?
ආපු දුර ගැන මම සතුටු වෙනවා. මගේ නිර්මාණවලට විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙනවා කියලා මම දැනගත්තේ මෙවර මගේ උපන්දිනයත් සමඟයි. මොකද ගොඩක් අය කතා කරලා සුබ පැතුම් එක් කරන අතර මගේ පොත් සහ නිර්මාණ ගැන ගොඩක් ප්‍රශංසනාත්මකව කතා කළා. මගේ හුඟක් ගීතවලට “දාර්ශනික කවිතාව”‍ කියන දේ බොහෝ දුරට බලපාලා තියෙනවා. ඉතින් මම හිතනවා සරල ගීතයකට වුණත් දාර්ශනික කවිතාවය ඇතුළත් වෙන එක බොහොම වටිනවා කියලා. ඒ වගේම මම සතුටු වෙනවා මගේ ගීත සහ නිර්මාණ රසවිඳින රසික පිරිසක් මා වටා එකතුවීම සහ ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලට.

ගීත රචනා කිරීමේ ඔබගේ අරමුණ මොකක්ද?
මගේ සෑම ගීතයකම කිසියම් දර්ශනයක් සහ අරමුණක් තියෙනවා. අරමුණ තමයි, රසික ජනතාව තුළ හොඳ රසඥතාවයක් ඇති කරන එක. තව කාරණයක් තියෙනවා. රටේ සංවර්ධනය ගැන කතා කරනකොට ඒකට අනුබද්ධ දෙයක් තමයි දේශානුරාගය කියන්නෙ. ආර්ථික, විද්‍යාත්මක වශයෙන් බොහෝ කරුණු විස්තර කළත් සංවර්ධනයට මූලිකව තියෙන්න ඕනෑ “දේශානුරාගය”‍ කියලා මම තදින් විශ්වාස කරනවා. ඒ නිසා මගේ බොහෝමයක් ගීත ලියැවෙන්නේ “දේශානුරාග ගීත”‍ වශයෙන්. “දේශානුරාගය”‍ සහ ”‍භාෂානුරාගය”‍ නොමැති පුද්ගලයා, මම හිතන විදිහට ඔහු ගැන කතා කරන්නවත් සුදුසු නැති පුද්ගලයෙක්. මම දේශානුරාගය කියන දේ තදින්ම තියෙන කෙනෙක්. ගීත රචනයේදී මගේ මූලික අරමුණ රසඥතාවය ලබා දෙන අතරම දේශානුරාගයෙන් පිරි රසික පරපුරක් ගොඩනගන එක. මම විතරක් නෙවෙයි, අරිසෙන් අහුබුදු, මහගමසේකර, කුමාරතුංග මුනිදාස වගේ මෙකී නොකී ශූරීන් බොහොමයක් දේශානුරාගය ගැන වැඩි වශයෙන් කතා කළා. මට සතුටු වෙන්න පුළුවන් ගීත සමුදායක් මම රචනා කරලා තියෙනවා. “බුදුන් වැඩිය රට”, “මගේ රටට දළදා හිමි සරණයි”‍, “පියාසර කර යමි - දේශයෙන් දේශයට”‍, “මගේ රට මට අගෙයි - තවුතිසාවට වැඩිය”‍ වගේ බොහොමයක් දේශානුරාගී ගීත මම ලියලා තියෙනවා. විශේෂම දේ තමයි “පියාසර කර ආමි - දේශයෙන් දේශයට”‍ යන ගීතය මම ලිව්වේ ගුවන් යානයේ වෙනත් රටකට යන අතුරතුරයි.
දේශානුරාගී ගීතවලට අමතරව, අමරදේව මහත්මයා ගායනා කරන “වේවා සිත් සතුට වඩන”‍ ගීතය වැඩ කරන ජනතාව වෙනුවෙන් ලියැවුණු උපහාර ගීතයක්.
ඒ වගේම මම පරිසරය ගැන ගීත බොහොමයක් ලියලා තියෙනවා. ඕසෝන් ස්ථරය ගැනත් මම ගීතයක් රචනා කළා. ප්‍රශ්නයක් පැන නැගුණා ඕසෝන් ස්ථරය ගැන ගීත ලියන්න පුළුවන්ද කියලා. නමුත් මම ගීතයක් ලිව්වා. ඉතින් මගේ තවත් එක අරමුණක් තමයි පරිසරය ආරක්ෂා කිරීමට මිනිසුන් පෙළඹවීම. මම ලියපු ගීත විවිධ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬින් උදේට ගුවන්විදුලියේ ඇහෙනකොට මට ලොකු සතුටක් දැනෙනවා. මම හිතනවා මෙවැනි ගීත ඔස්සේ මගේ අරමුණ ඉටුවෙලා තියෙනවා කියලා.

ඔබගේ ගීතවලට පසුබිම් වෙලා තියෙන අවස්ථා හා සිදුවීම් ගැනත් කතා කළොත්?
මගේ බොහොමයක් ගීත සත්‍යයත් කල්පිතයත් අතර සම්මිශ්‍රණයක්. “පෙර දිනයක මා පෙම් කළ යුවතිය”‍ ගීතය ගත්තොත් ඒ ගීතයේ සත්‍යයේ ඡායාවකුත්, කල්පිතයක එකතුවකුත් තියෙන ගීතයක්. මම කලින් කියපු ”‍පියාසර කර ආමි”‍ ගීතය ගුවන් යානය යන අතරතුර අත්දැකීම් ඇසුරෙන් ලියැවුණු ගීතයක්.

 “ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
 මේ මහ කන්ද බැලු‍වා හිඳ ගම සිරස
 ඔබ මා අතැර වෙන නුවරක ගිය දවස
 මේ මහ කන්ද බැලු‍වා හොරහින් මදෙස”‍

මේ ගීතය ලිව්වේ අමරදේව මහත්මයා, මම සහ ජී.බී. දිසානායක මහත්මයා ඇතුළු පිරිසක් නිව්ටන් ගුණසේකර මහත්මයාගේ වැඩසටහනකට සහභාගි වීමට ගිය අතරතුර. එම වැඩසටහනේ විවේක කාලයේ ආහාර ගනිමින් සිටින අතරතුර මට ආරාධනා ලැබුණා පරිසරය ගැන ගීතයක් ලියන්න කියලා. එහෙම ලියැවුණු ගීතයක් තමයි මේක. මේ ගීතයේ රජරට වැව් බැඳි රාජ්‍යයේ පරිසරය ගැන වර්ණනාවක් තියෙනවා. මේ ගීතයට මම ගොඩක් උපමා රූපක භාවිත කරලා තියෙනවා. සොබාදහමේ අත්දැකීම් ඇසුරෙන්, ගැඹුරු වින්දනයක් තුළින් චින්තනයට බලපාන ගීත මට ලියන්න පුළුවන් වුණා.

විශේෂයෙන්ම කියන්න ඕනෑ මගේ අතින් කවදාවත් රටට ජාතියට අවැඩක් වෙන ගීතයක් ලියැවිලා නැහැ. රසවින්දනයට හානියක් වෙන ගීතයක් ලියැවිලා නැහැ. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. බුදු දහමට, බුදුරජාණන් වහන්සේට තිබෙන අසීමිත භක්තිය නිසා මගේ අතින් ලියැවුණු ගීතයක් තමයි “මගේ රටට දළදා හිමි සරණයි”‍ කියන ගීතය. ඒ වගේම වැඩිකල් නොපවතින රැඩිකල් ගීත මගේ අතින් ලියැවිලා නැහැ.

ගීත රචනයේදී ඔබ අනුගමනය කරන විශේෂ භාෂා උපක්‍රම මොනවාද?
මම ලියපු ගීතවලින් භාෂාවට අලු‍ත් මුහුණුවරක් ගෙන දීමට පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. නාම පද, ක්‍රියා පද තුළින් කරන භාෂා වික්‍රමය ඇසුරින් අලු‍ත් රචනා උපක්‍රම මම ගීතය මගින් හඳුන්වා දීලා තියෙනවා. මේ හේතු නිසා විමල් දිසානායක මහාචාර්යවරයා, භාෂා වික්‍රමයක් කරපු කෙනෙක් විදිහට තමයි මාව හඳුන්වන්නෙ. නාම පද, ක්‍රියා පද එකතු කරලා ලියපු ගීතයට “රූපක”‍ කියන භාෂා ප්‍රයෝගය අපේ පැරණි සාහිත්‍යයෙත් භාවිත කර තිබුණා. නමුත් පළමු වරට නාම පද, ක්‍රියා පද එකතු කරලා ලියැවුණු ගීත සාහිත්‍යයක්ම බිහි කළේ මමයි කියලා මට නිරහංකාර සතුටක් ලබන්න පුළුවන්.
ඒ වගේම තවත් තැනකදි විමල් දිසානායක මහාචාර්යතුමාම කියනවා මම භාෂාව හඬවනවා කියලා. ඒ “ඇය යන්න ගියා මැකිලා”‍, “එරන්දතිය”‍, “පෙර දිනයක මා පෙම් කළ යුවතිය”‍ වගේ ගීත හේතුවෙන්.

ගීතයකින් ජන මනසට සිදුවෙන බලපෑම මොනවගේද?
ගීතය තුළින් හික්මීම, ඉවසීම, ආදරය, ධනාත්මක හැඟීම් වගේ දේවල් මිනිස් සිත තුළ ඇති කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ රටේ සංවර්ධනයේදී දේශානුරාගය ඇති කරලා මිනිසුන්ගේ සිත් තුළ රට ගැන ආදරයක් ගෞරවයක් ඇති කරන්න ගීතයට පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ මත වෙනස් කරන්නත් ගීතයට පුළුවන්. සෑම කලාවක් වගේම ගීතය තුළිනුත් මිනිසාව ප්‍රඥාවෙන් ආනන්දය කරා රැගෙන යාමේ හැකියාව තියෙනවා.
 “පෙර දිනයක මා පෙම් කළ යුවතිය”‍ කියන ගීතයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කාලය සහ අනිත්‍යතාව තුළින් මතුවන වින්දනයක්. කාරණාව තමයි ගීතය තුළින් භාෂාවට සේවයක් කරන්න පුළුවන්.

ඔබට ලැබුණු ඇගයීම් හා සම්මාන ගැනත් කතා කරමු?
ඒක නම් ඉතින් මටත් හරියට මතක නැහැ. නමුත් මම කිහිපයක් කියන්නම්. මම රාජ්‍ය සාහිත්‍ය සම්මාන හතරකින් විතර පිදුම් ලැබුවා. විශේෂයෙන්ම පරිසරය හා සන්නිවේදනය සම්බන්ධව ජනාධිපති සම්මානයක් මට හිමිවුණා. දේශානුරාගී ගීත සාහිත්‍යයට ලැබුණු රාජ්‍ය සාහිත්‍ය සම්මානයකුත් තියෙනවා.

සාහිත්‍යවේදියකුගේ භූමිකාවට අමතරව ඔබ විවිධ ක්ෂේත්‍රවල වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ කාලේ රස මතක ආවර්ජනය කළොත්?
 මම 1993 අවුරුද්දේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් වුණා. අදටත් මතක් වෙනකොට ඇස් දෙකට කඳුළු එන හරිම ලස්සන මතක පෙළක් මට තියෙනවා. අදටත් මට කතා කරන, සුබ පැතුම් එක් කරන මගේ සමීපතමයන් මතක් කරන කාරණාවක් තමයි “බුද්ධ පූර්ණිමා”‍ වැඩසටහන කාලයේ අද වගේ තාක්ෂණික පහසුකම් නැහැ.
ඉන්දියාවේ සාරානාත් නුවර තිබුණු වැඩසටහනට මම යනකොට මුළු පරිසරය පුරාම පැතිරිලා තිබුණේ පුදුම පින් පාටක්. ඒ වැඩසටහන ශ්‍රී ලාංකිකයන්ට නැරඹීමට අවස්ථාව උදා කරලා දුන්නා.
 ඒ වගේම තවත් අත්දැකීමක් තමයි ඒ කාලේ ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට රූපවාහිනිය පැහැදිලිව පෙනුණේ නෑ. තිත් තියෙන ගතියක් තමයි තිබුණේ. ඒක නිවැරදි කිරීමට යා යුතු විකාශනාගාරය හදලා තිබුණේ ප්‍රිම්රෝස් කන්දේ. නමුත් මේ ගැටලුව විසඳන්න මම ඉංජිනේරුවන් සමඟ හතර පාරක් විතර හන්තාන කන්ද නැගලා හන්තාන කන්දේ විකාශනාගාරයක් ගොඩනැගුවා.

• මංගලා පවිත්‍රානි