“ගොවි තාත්තා” කියන්නේ දර්ශන රුවන් දිසානායකගේ කුළුඳුල් සිනමා පටයයි. මෙවැනි සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න හේතු වුණේ මොකක්ද?
“ගොවි තාත්තා” සිනමා පටයේ තේමාව වන්නේ මගේ තාත්තාගේ ජීවිත කතාවයි. මගේ තාත්තා අපිටත් වඩා සමාජය එක්ක කැපවුණු පුදුම මනුස්සයෙක්. ඒක අපි පොඩි කාලේ ඉඳන්ම අත්දුටුවා. “සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න ඕනෑ” කියලා හිතද්දීම මගේ හිතට මගේ තාත්තාව ඇඳුණා. මම ඉපදුණේ පොළොන්නරුවේ. ඒවා කෘෂි ගම්මානයි. ඒ ගොවි ගම්මානවල සිටින ගොවියා කවියෙක්. ඒ කවිකම, ගොවියාගේ හිතේ තිබුණු සෞන්දර්ය, ගහකොළට තිබුණු ළැදියාව, බැඳීම, පාලනය නොකළ විවෘත ආර්ථිකයත් එක්ක ටිකෙන් ටික අහිමිවෙලා ගියා. එයින් පොළොවට සහ ඔළුවට විස වැටුණා. ඒ සමඟම ගොවි බිම්වල ආදරය කියන සංකල්පය පවුල ඇතුළෙන්ම මැරිලා ගියා. අම්මලා රට යද්දි ගැහැනු දරුවෝ ගෙවල්වල තනි වුණා. තාත්තලා කුඹුරු අතහැරියා. පිරිමි දරුවන් යුද්ධයට ගියා. සමහර ගැහැනු දරුවෝ ගාමන්ට් ගියා. මේ දේවල් එක්ක ගහට, ඇළට දොළට බැඳිලා තිබුණු ජීවිත අහිමි වුණා. ගොවි කවියා ටිකෙන් ටික මැරිලා ගියා. ඒ තුළින් සිද්ධවුණු ඛේදවාචකය කියන්න, ආදරයේ පණිවිඩය කියන්න “ගොවි තාත්තා” තුළින් උත්සාහ කළා.
දර්ශන සංගීතඥයෙක්. එවැනි නිර්මාණවේදියෙක් සිනමා පටයක් අධ්‍යක්ෂණය කිරීමම අභියෝගයක් නේද?
ඔව්... මම ගමේ පන්සලේ නාට්‍ය පිටපත් ලියලා, සංගීත අධ්‍යක්ෂණය කරලා, නාට්‍ය නිර්මාණය කළා. මාව ළඟින්ම දන්නා අය ඒ දේ දන්නවා. නාට්‍ය කවුරුවත්ම දීපු නැති කාලයක නාට්‍ය පිටපත් මමම ලියලා ඒවා අධ්‍යක්ෂණය කළා. මගේ කියැවීම අනුව මම සංගීතයෙන් ඉදිරියට එද්දී අධ්‍යක්ෂවරුන් කියන සමහර බොළඳ දේවල් අපිට කරන්න සිද්ධ වුණා. සමහර අධ්‍යක්ෂවරුන්ට පසුබිම් සංගීතය කියන්නේ මොකක්ද කියලවත් අවබෝධයක් තිබුණේ නැහැ. ඔය අතරේ සමනළ සංධ්වනිය චිත්‍රපටයට මම සම්මාන ලබද්දී සමහර අධ්‍යක්ෂවරුන් චිත්‍රපට පවා දුන්නේ නැහැ. “දර්ශනට චිත්‍රපට දුන්නාම එයා සම්මාන ගන්නවා. අපිට නැහැ” කියන මතයක් එක්ක ඇතැමුන් කල්ලි ගැහුණා. ඒ නිසා මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න තීරණය කළා. “රූප, නාද, අර්ථ, සෞන්දර්යෙන් පිරිපුන් කලාකරුවෙක් වේද, එය සිනමාව” යැයි මම විශ්වාස කරනවා. “ගොවි තාත්තා” නිර්මාණය කරද්දී මම කාවවත් කොපි කළේ නැහැ. මේ මගේ හැඩයයි. තීරණ ගනිද්දි මම ටිකක් හිතුවක්කාරයි. ඒ නිසා මම සිනමා පටයක් අධ්‍යක්ෂණය කරන්න තීරණය කළා.
කුළුඳුල් සිනමා පටයට නිෂ්පාදකයෙක් සම්බන්ධ කර ගැනීමත් අභියෝගයක් නේද?
ඔව්... හැබැයි පුදුම සිදුවීමක් කියන්නම්. මේ සිනමා පටයට නිෂ්පාදකවරුන් සොයද්දී නිෂ්පාදකවරුන් තුන්දෙනෙක් සම්බන්ධ වෙන්න කැමති වුණා. වස විස බිංදුවක්වත් පොළොවට එකතු නොකරන බෝසත් ඉංජිනේරු ගොවි මහත්තයෙක්ව මම මෙයින් තෝරා ගත්තා. ඔහු නමින් සරත් බණ්ඩාර කොක්වැව මහතායි. ඒ නිසා මුළු ජාතියම සරත් බණ්ඩාර කොක්වැව ගොවියාට සදා ණයගැතියි කියලයි මට හිතෙන්නේ. මේක සල්ලි හම්බ කරන්න පුළුවන් තේමාවක් නෙවෙයි. හැබැයි රට වෙනුවෙන් “ගොවි තාත්තා” බලන්න යැයි මම ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ දිනවල ජාතියේ උන්නතිය, ස්වභාව දහමේ අනාගතය වෙනුවෙන් හැදුණු එකම චිත්‍රපටය වෙන්නේ “ගොවි තාත්තා” යි.
මේ වන විට “ගොවි තාත්තා“ තිරගත වෙමින් පවතිනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන අධ්‍යක්ෂවරයෙක් විදියට සෑහීමට පත්වෙන්න පුළුවන්ද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි. මේ වෙනුවෙන් විශාල ප්‍රචාරයක් ලබා දෙන්න කෝටි ගණන් සල්ලි නැහැ. ඒ අතරේ ජාතික චිත්‍රපට සංස්ථාව පවා උදව් නොකරන වෙලාවේ ප්‍රේක්ෂකයන් ලබා දෙන මේ සහයෝගය හරිම වටිනවා. අපේ චිත්‍රපටය තිරගත වෙද්දී සංස්ථාව තවත් චිත්‍රපට එකතු කරන්න උත්සාහ කළා. “ගොවි තාත්තා” ට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් අසාධාරණකම් වුණා. සමහර සිනමා ශාලාවලට බලපෑම් කිරීම් සම්බන්ධයෙන් පවා අපිට ආරංචි ලැබුණා. ඔය අතරේ සිනමා ශාලා විස්සක් පමණ අපිව තේරුම් ගත්තා. ඔවුන් අපිට සිදුවෙන අසාධාරණකම් ගැන දැනගෙන හිටියා. නිෂ්පාදකවරයෙක් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ජාතික චිත්‍රපට සංස්ථාවට නැහැ. ඔවුන්ට පෞද්ගලික හිතවත්කම් හා කල්ලි වැඩියි. ඒක මම වගකීමෙන් කියන්නේ. ඔය අතරේ අපිට ආදරය කරන, අපිට සිදුවන අසාධාරණකම් ගැන දන්න නිලධාරීන් ඉන්නවා. නමුත් බහුතරයක් “ගොවි තාත්තා” ට කෙනෙහිළිකම් කළා. සිනමා ශාලා හිමියන්ට දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවන්න අවශ්‍යතාවක් තිබුණත් ජාතික චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන්ට ඒ අවශ්‍යතාව නැහැ.
“ගොවි තාත්තා” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ ජාත්‍යන්තර සම්මාන දිනූ ජගත් චමිලයි. කුළුදුල් සිනමා අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබට ඔහුගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
ජගත් චමිල මේ සිනමා පටයට පුදුම කැප කිරීමක් කළා. අපිට කාෂ්ඨක අව්වේ රූගත කිරීම් කරන්න සිද්ධ වුණා. ඒක ලෙහෙසි වුණේ නැහැ. ඒ වගේම මේ සැබෑ චරිතයි. මේ කියැවෙන්නේ සැබෑම වූ දෙබස්. ඒ චරිතවලට හානි කළේ නැහැ. මගේ තාත්තට ගැලපෙනම රූපය තමයි ජගත් චමිලට තියෙන්නේ. ජගත් කළ කැපකිරීම මාරයි.
දර්ශනගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය මොන විදියේ නිර්මාණයක් වේවිද?
මේ වෙද්දී මම සිනමා නිර්මාණ දෙකක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දෙකම වාණිජ චිත්‍රපට දෙකක් වේවි. චිත්‍රපට දෙකේම තේමාව වන්නෙත් ආදරයයි. “ගොවි තාත්තා” චිත්‍රපටයෙන් මම බොහෝ පාඩම් ඉගෙන ගත්තා. චිත්‍රපටය නැරඹූ හැමෝම කඳුළක් ඇස් අගින් තියාගෙන සිනමා ශාලාවෙන් පිටව යන බව මම විශ්වාස කරනවා. ගල් හිත් පවා උණු කළ “ගොවි තාත්තා” වෙනුවෙන් ආදරය කරුණාව සහ මේ ස්වභාව දහම වෙනුවෙන් වැටුණු කඳුළට වටිනාකමක් එකතු කරන්න අපිට ඕනෑ වුණා.
• දිශානි ජයමාල