2025 මාර්තු 15 වන සෙනසුරාදා

ඔයා දැන් මගේ කේක් හදන්නෙ නැද්ද ආය... - Vijitha Kumara

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

කේක් ගැන රස මතක අවුස්සාලන හැම මොහොතකම මට ඔහු හැර කිසිවෙක්ම මතකයට නොනැගේ. මගේ කේක් ලෝකයේ රජු ඔහුය. ඒ තරම් දිව්‍යමය රස කේක් A Taste of Heaven කේක් රස බලන තෙක් මා විඳ තිබුණේම නැත. ඉන්දියාවේ ගී රැජනක් වූ කවිතා ක්‍රිෂ්ණමූර්තිගේ සහ පද්මභූෂණ සම්මානයෙන් සම්මානනීය වූ ඉන්දියාවේ වයලින් වාදනයේ සාර කුසුමක් වූ එල්. සුබ්‍රමනියම්ගේ විවාහ සංවත්සරය සමරන්න වයලින් සහ රතු රෝසවලින් හැඩවත් වූ කේක් ගෙඩිය නිර්මාණය කළ  A Taste of Heaven කේක් අයිතිකාරයා නොහඳුනන ලංකාවේ කලා ලෝකයේ කිසිවෙක් නැති තරම්ය. ඒ කලා ලෝකයේ කලා තරු, ඔවුන්ගේ දරුවන් උපන් දින සමරද්දී හැදෙන කේක්, චිත්‍රපට දින පනහ, දින සියය උදෙසා සැමරුම් කේක්, විවාහ සංවත්සර, විවාහ මංගල්‍යය, විවාහ ගිවිස ගැනීම්, මේ ආදී කලා ලෝකයේ ඇත්තන්ගේ ජීවිතයන්හි කේක් හා යාවෙන කවර තැනකදී වුව A Taste of Heaven අයිතිකාරයා නොසිටියොත් එය පුදුමයක් වන නිසාය.

කේක් රසට ආදරයත් සම්මිශ්‍රණය කර නිමැවෙන කේක් නිසාම කලා ලෝකයේ කා අතරත් ආදරය ගෞරවය දිනාගත් A Taste of Heaven අයිතිකාරයා දැන් නළුවෙකි. කලාවට ඇති ආදරය නිසාම මානසික තෘප්තියත් සැහැල්ලුවත් උදෙසා රංගනයට අවතීර්ණ වුවද ඔහුගේ ජීවිතයේ අංක එක මේ මොහොතේත් හැමදාමත් කේක් කලාව සහ  A Taste of Heaven සවිමත් ව්‍යාපාරය වග ද කිව යුතුමය.
ඉතින් එයා කවුද?

එයා තමයි විජිත කුමාර...

දැන් ඔබ නළුවෙක්. නළුවෙක් වීම ඔබට දැනෙන්නේ කොහොමද?
ඒක නම් ඇත්තටම හරිම අහම්බයක්. නමුත් ඒ අහම්බය මගේ ජීවිතයේ මට ලැබුණු ලොකු වාසනාවක්. මොකද නළුවෙක් වීම මම පුංචි කාලයේ ඉඳන්ම මගේ ජීවිතයේ දැකපු හීනයක්. ඉතින් පුංචි කාලයේ ඉඳන් දැකපු හීනයක් සැබෑවීම ඇත්තටම දැනෙන්නේ පුදුමාකාර වාසනාවක් විදිහට. මම කලාවට හුඟාක්ම ආදරය කරන, කලාවට හුඟාක්ම ළැදි කෙනෙක්. මාව ළඟින් ආශ්‍රය කරන හැම කෙනෙක්ම ඒක දන්නවා.

පුංචි කාලයේ ඉඳන් දැකපු හීනයක් හැබෑවක් කරගන්න ඇයි විජිත මේ තරම් දිගු කාලයක් ගත්තේ?
ඔව් මම පුදුම ආසාවකින් නළුවෙක් වෙන්න බලාගෙන හිටියා. ආසාවෙන් හිටියා. ඒත් මට කේක් නිර්මාණ ශිල්පියෙක් වෙන්න වුණා. ඒත් ඒ දේ එහෙම වුණාට මම හරි කැමතියි. කලා ක්ෂේත්‍රයේ හැමෝම වගේ මාව අඳුරගත්තේ කේක් නිසා. ඒ වගේම මම සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට ස්ථාවර වුණේ කේක් නිසා. මම අහලා තියෙනවා කතාවක් හැම දෙයක් ගැනම ටික ටික දැනගන්න ඕනෑ, නමුත් එක දෙයක් ගැන හරියටම දැනගන්න ඕනෑ කියලා. ඇත්තටම මම මේ වෙද්දි මූල්‍යමය වශයෙන් ස්ථාවර නිසා මට දැන් මගේ අනෙක් දක්ෂතා වෙනුවෙන් කැප කරන්න කාලයක් තියෙනවා.

කලාවේ ශානර බොහොමයක් තියෙනවා. සිනමාව, නාට්‍ය, වේදිකා නාට්‍ය, ගීත, මේ ආදී වශයෙන්. විජිතගේ හිත මේ අතුරින් නැවතුණු තැන් මොනවද?
මම හුඟාක් කැමති ටෙලිනාට්‍ය හා සිනමාවට. ඒත් මම සින්දු අහන්නත් හරිම කැමති කෙනෙක්.

හීන හැබෑ වුණාම දැනෙන සතුට කොහොමද විජිත?
ඒක නම් වචනයෙන් කියන්න බැරි තරම් සතුටක්. ඉස්සර මම පුංචි කාලේ ටෙලිනාට්‍ය බලද්දි අනේ මෙහෙම ටී.වී. එකෙන් මාවත් ටෙලිනාට්‍යයක දකින්න තියෙනවනම් කියලා හිතුවා. චිත්‍රපටයක් බලද්දි අනේ මාත් මෙහෙම ‘ස්ක්‍රීන්’ එකක දකින්න තියෙනවනම් හිතුවා. ඉතින් ඒ හීන හැබෑ වෙද්දී දැනෙන සතුට කොහොමද වචනවලින් කියන්නෙ.

ඇත්තටම ටෙලිනාට්‍ය කලාවට ආව ගමන් සිනමාවට අවතීර්ණ වීමට ලැබීම නළුවෙකුට හෝ නිළියකට බොහෝ විට කලාතුරකින් ලැබෙන වාසනාවක්. ඔබට ඒ වාසනාව සහ අවස්ථාවත් ලැබිලා තියෙනවා?
අනේ ඔව්. ඇත්තටම ඒක නම් පුදුම වාසනාවක් විදිහට මම දකින්නෙ. නීරා තමයි මාව සිනමාවට රැගෙන යන, මාව සිනමා නළුවෙක් කරන චිත්‍රපටය. වාසව බදුගේට සහ ටචිත්ට ඇත්තටම මාව නීරා චිත්‍රපටය ඔස්සේ සිනමාවට අරගෙන ආවට මම හදවතින්ම ස්තූතියි කියන්න ඕනෑ. නීරා චිත්‍රපටයට මට කතා කරපු වෙලාවේ මම මගේ ටෙලිනාට්‍ය රංගනයක වීඩියෝ ‘ක්ලිප්’ එකක් යවලා , බලන්න මාව ගැලපෙනවද කියලා... ගැලපෙනවනම් විතරක් ගන්න... හොඳයි කියලා හිතෙනවනම් විතරක් ගන්න... මොකද නිර්මාණයට මම නිසා හානියක් නම් වෙන්න බෑ කියලා මම කීවා. ඒ වෙලාවේ වාසව කීවා නෑ ඔයා හරියනවා එන්න කියලා. ඇත්තටම පුදුම සහයෝගයක් එයාලා මට දුන්නෙ. සුමිත්‍රා රාහුබද්ධ වැනි ප්‍රවීණ ලේඛිකාවක් ලියූ නවකතාවක් ඇසුරින් නිර්මාණය වෙන චිත්‍රපටයක රඟපාන්න ලැබීම තවත් අවස්ථාවක් සහ වාසනාවක් විදිහටයි මම දකින්නෙ.

රංගනයේදී ටෙලිනාට්‍ය රංගනය හා සිනමා රංගනය අතර වෙනසක් ඔබට දැනෙනවද?
ටෙලිනාට්‍ය රංගනයට වඩා සිනමා රංගනය ලේසියි කියලා දැනෙනවා.

ලාංකික සිනමාවෙන් එහාට ඔබේ සිනමා රසවින්දනය යාවෙන ඉසව් මොනවාද?
හින්දී සිනමාවට මම හුඟාක් ආසයි. මම හුඟාක් හින්දී චිත්‍රපට බලනවා. ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපට බලනවා. ෂාරුක් ඛාන්, සල්මාන් ඛාන්, අමීර් ඛාන් ඉන්න චිත්‍රපට බලන්න මම හුඟාක් ආසයි. ඒ වගේම නිවාඩුවක් ලැබුණු ගමන් යාළුවොත් එක්ක මම චිත්‍රපට බලන්න යනවා.

ඉස්සරෝම දර්ශන තලයකට ගිය මොහොතේ කැමරාව ඉදිරියේ දැනිච්ච හැඟීම කොයි වගේද?
ඒක ඇත්තටම හරි විශේෂයි. මම හිරිපොද වැස්ස ටෙලිනාට්‍යයේ හොඳ රසිකයෙක්. දවසක් ඔය නාට්‍ය ගැන ප්‍රභාත් අයියා එක්ක කතා කරද්දි තමා මට එහි රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම ප්‍රභාත් අයියාටත් නිමන්ති පෝරගේ අක්කාටත් එම නාට්‍යයේ තිර රචක තිමිර උඩමලත්ත අයියාටත් මම මේ වෙලාවේ ඒ වෙනුවෙන් ස්තූතියි කියන්න ඕනෑ. නිමන්ති අක්කා සහ තිමිර අයියා මට එහි රඟපාන්න කළ ඇරියුම මේ මොහොතේත් මට සතුටක්.

Qවිජිතගේ මුල්ම රඟපෑම වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර මොනවද?
මම මගේ මුහුණුපොතේ දාපු දර්ශන දැකලා ටෙලිනාට්‍ය බලලා හුඟාක් අය මට කතා කළා. විවිධ ප්‍රතිචාර දැක්වුවා. හදාගන්න ඕනෑ තැන් කියලා දුන්නා. පළමු රංගනයනේ, තව අත්දැකීම් ලැබෙද්දි තව තවත් සාර්ථක වෙයි කීවා. ඇත්තටම කේක් හදපු මුල් කාලයේ වුණත් හදපු කේක් සහ පසු කාලයේ හදපු කේක් අතර ලොකු වෙනසක් තියෙනවනෙ. අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න තමයි දියුණු වෙන්නෙ සහ පරිණත වෙන්නෙ.

ඇත්තටම මුල්ම රංගනයේදි ඔබට ලැබුණු අත්දැකීම් මොනවද?
ඒක නම් මාරම දෙයක්. රඟපාන එක ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි කියලා මුලින්ම කියන්න ඕනෑ. අපි ගෙදර රූපවාහිනියෙන් බලන් ඉන්න තරම් ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒක ඇතුළේ හුඟාක් අයගේ ලොකු මහන්සියක් තියෙනවා. ඒ වගේම කියන්න ඕනෑ මම කලා ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒත් මට එදා පුදුම තරම් චකිතයක් ආවා. එයාලා එක්ක රඟපාන්න යද්දි ඒ හැඟීම වෙන දෙයක්. මම මේ කතා කරන්නේ හිරිපොද වැස්ස ගැන. මට ප්‍රභාත් අයියා උදව් කළා. එතන හිටිය හැමෝම උදව් කළා. එයාලා මාව අඳුරගෙන සිටීම මට ලොකු සහයක් වුණා. පළමුවෙනි ‘සීන්’ එක මම හොඳට කරා කියලා ප්‍රභාත් අයියා කීවාම මට පුදුම ශක්තියක් දැනුණා. ඒ වගේම දෑස මත මොහොතක් නාට්‍යයේ හිටියෙත් මම දන්නම අය. රශිපබා, මීනා අක්කා, නිරෝෂන් අයියා, මාධිනී අක්කා, මේ වගේ කට්ටියක්. නිරෝෂන් අයියා මට ලොකු සහයෝගයක් දුන්නා. හැමෝම ඇත්තටම පුදුම සහනයක් දුන්නා. බුද්ධිනි අක්කායි කසුන් පතිරණ අයියායි දෙන්නත් ඇත්තටම මේ වෙලාවේ මම මතක් කරන්න ඕනෑ.

ඔයාගේ පුංචිම යාළුවා රොෂාන් රණවනගේ පුතු කියලයි මට හිතෙන්නෙ. කොහොමද එයාගෙන් ලැබුණු ප්‍රතිචාරය?
එයා මම රඟපානවා දැකලා කුෂ්ලානි අක්කට කියලා මට “කෝල්” එකක් අරගෙන දෙන්න කියලා. මට මොකද්ද දන්නවද එකපාරටම ඇහුවේ... ඔයා දැන් මගේ කේක් හදන්නෙ නැද්ද ආය... ඔයා දැන් රඟපාන එකද කරන්නෙ ඇහුවා. මම කීවා නෑ නෑ මම ඔයාගේ කේක් හදනවා රඟපෑවට කියලා.

විජිත කියන්නෙ ලස්සනට පිළිවෙළට ආකර්ෂණීය විදිහට අඳින කෙනෙක් සහ ආභරණ පළඳින කෙනෙක්?
පුංචි කාලේ ඉඳන්ම ලස්සනට පිළිවෙළට පිරිසිදුව අඳින්න මම ආසයි. ආභරණවලට ආසයි. සපත්තුවලට ආසයි. මගේ යාළුවොත් මට ලස්සන දේවල් තෝරාගන්න උදව් කරන අවස්ථා තියෙනවා. ඒත් මට මෝස්තරයක් වර්ණයක් දැක්කම එක මොහොතකින් ඒක මට ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරගන්න පුළුවන්. කේක් කලාවේදිත් මම සංවේදී වෙන්නෙ මෝස්තර සහ වර්ණවලටනෙ. ඒකත් හේතුවක් වෙන්න ඇති මට ගැලපෙනම දේ නිවැරදිවම තෝරගන්න මට පුළුවන් වීමට.

ඇත්තටම ඔයා ජීවිතය ගැන තෘප්තිමත්ද?
ඇත්තටම ඔව්. දැන් මට වයස අවුරුදු 41 ක්. අවුරුදු 41 ක් වෙද්දි මම මගේ ජීවිතයේ සියලුම සිහින, බලාපොරොත්තු, අරමුණු ඉටු කරගෙන ඉවරයි. ඉතින් එහෙම වෙද්දි මට දැනෙන තෘප්තියේ තරම මෙච්චරක් කියලා කියන්න ඇත්තටම මම වචන දන්නෙ නැහැ. මම ජීවිතයට හරි ආදරෙයි සහ මම ජීවත් වෙන්නෙ හරි සතුටින්. මට ජීවිතයේ ලබාගන්න අවශ්‍ය හැමදේම මම ලබාගත්තා. කේක් කියන්නේ මගේ ජීවිතයේ අංක එක. ඒ නිසා කවදාවත් කේක් සහ මගේ ව්‍යාපාරය මම අත්හරින්නෙ නෑ. රංගනය අත්හරින්නෙත් නෑ.

තනිකඩ ජීවිතය කොයිතරම් වින්දනයක්ද කියලා ඇහුවොත් විජිත මට  දෙන උත්තරය මොකක්ද?
ඇත්තටම නිදහස් වින්දනයක්. මට කවදාවත් ජීවිතයේ පාළුවක් තනිකමක් දැනිලා නෑ. මගේ අක්කා මගේ ජීවිතයේ හැමදේකදිම මගේ ළඟ හිටියා. මගේ ළඟ ඉන්නවා. ආදරයේ අඩුවක් දැනෙන්නෙ නැති තරමට මට අක්කාගෙන් ආදරය ලැබෙනවා. දැන් නම් අක්කා මට කියන්නෙ තනියෙන් හිටියා ඇති කියලා. බලමු... හිතන්න ඕනෑ ජීවිතය කොතැනකදි හරි වෙනස් කරගන්නවද කියලා. ඒත් කෙනෙක්ට අරමුණක් තියෙනවනම් කවුරු නැතත් තමන්ගේ ජීවිතය තමන්ට දිනන්න පුළුවන්. කේක් හදපු මුල්ම කාලේ මමත් පුදුම තරම් කට්ටක් කෑවා. මේ ගමන ලේසියෙන් ආපු ගමනක් නෙවෙයි. හුඟාක් බාධක දුෂ්කරතා විඳ දරාගෙන ආපු ගමනක්. ඒත් ඒ සියල්ල මැද අරමුණු සහ සිහින අත්නොහැරීමේ රහස තමයි අද මගේ හැම දිනුමකම රහස.
ඇත්තටම කවදාවත් මට තනිකමක් දැනිලා නෑ. ආදරය මට හැමදාම ලැබුණු සහ ලැබෙමින් පවතින දෙයක්.

• සංජීවිකා සමරතුංග
• ළහිරු හර්ෂණ

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00