2025 මාර්තු 22 වන සෙනසුරාදා

ගහන්න කුඩු කරන්න කියලා ක​ට්ටිය කෑ ගැහුවා අසභ්‍ය වචනයෙන් බැන්නා - පාඩුව කෝටි පහක්! - Avatar

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 8

චතුරංග... ඔබ Avatar සංගීත කණ්ඩායමේ නිර්මාතෘවරයා. මැදිරිගිරිය සිදුවූ සිදුවීමේදී ඒ සංගීත ප්‍රසංගය සංවිධානය කළේ කවුද?
ඒ සංවිධායකවරුන් event සංවිධානය කරන ආයතනයක අයයි. එයාලා තමයි මේ ප්‍රසංගය සංවිධානය කළේ. මෙම ප්‍රසංගයේදී අපිත් එක්ක ඒ අයව සම්බන්ධ කළේ අපි දන්න කෙනෙක්. ඔහු තමයි අපිත් එක්ක මුදල් ගනුදෙනු කරලා අපිට දින වෙන් කළේ. එයා අපේ ගනුදෙනු නිසි විදියට කරලා දුන්නා.

මීට පෙර Avatar සංගීත කණ්ඩායම ඒ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට සහභාගි වුණාද?
නැහැ... අපි සංගීත කණ්ඩායමක් විදියට ජනප්‍රිය වෙලා ප්‍රසංගවලට සහභාගි වෙන්න පටන් අරගෙන තාම මාස හතරක් පහක් පමණ වෙනවා. මේ කාලය තුළදී අපිට කොළඹ අවට ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. මේ කොළඹින් පිට ගමකට ගිහින් සංගීත ප්‍රසංගයක් පැවැත්වූ මුල්ම අවස්ථාවයි.

ඇත්තටම එදා සිද්ධ වුණේ මොකක්ද?
ප්‍රසංගයක් පවත්වද්දී අපි හැමදේම ලබා දෙනවා. විදුලි ආලෝකය, ශබ්ද විකාශන, විදුලි බුබුළු, ප්‍රසංග වේදිකාව ඇතුළු සියලු‍ම දේ අපි තමයි බාර අරගෙන කරන්නෙ. ඒ හැමදේටම තමයි පැකේජ් එකක් විදියට අපි මිල තීරණය කළේ. ප්‍රසංගය පවත්වන දිනයට පෙර දිනයේ අපි ඒ අදාළ ස්ථානවලට ගිහින් පෙර සූදානමක් කරනවා. එදත් එහෙමයි. සංවිධායකවරුන් පටන් ගන්න කියපු වෙලාවට සියල්ල සූදානම් කරලා ඒ වෙලාවටම අපි ප්‍රසංගය පටන් ගත්තා. එදත් ප්‍රසංගය සාර්ථක වුණා. ආපු මිනිස්සු විනෝද වුණා. ප්‍රසංගයේ කලාකරුවන් තුන්දෙනෙක්ට සින්දු කියන්න තිබුණා. අවසානයේදී ගීත ගායනා කරන්න තිබුණේ වස්ති කණ්ඩායමටයි. ඒ අය එතැනට ඇවිත් හිටියට වේදිකාවට ආවේ නැහැ. එයාලා ආපු වෙලාව ඒ අය දොළහයි හතළිස් පහයි කියනවා. සංවිධායකවරුන් තවත් වෙලාවක් කියනවා. ඒක සංගීත කණ්ඩායමක් විදියට අපිට අදාළ වෙන්නේ නැහැ. කොහොම වුණත් ඒ අයට වේදිකාවට ඇරයුම් කළ වෙලාවේ ඒ අය ආවේ නැහැ. ඒකට හේතුව අදාළ සම්පූර්ණ මුදල ලැබුණේ නැහැ කියලයි ඒ අය කියන්නෙ. ඒ නිසා ඒ අය ආවේ නැහැ. ඔය අතරේ අපිට ලොකු නිහඬතාවයක් වේදිකාවේ තියන්න බැහැ. ඒ නිසා අපි නැවතත් අපේ සංගීත කණ්ඩායමේ ඇමේලියාවයි ඩී.ජේවයි වේදිකාවට කැඳෙව්වා. නමුත් ප්‍රේක්ෂකයන් ඒ අයට සින්දු කියන්න දුන්නේ නෑ. එයාලා කලබල කරන්න පටන් ගත්තා.

ඒ කලබලය ආරම්භයේදී එතැන හිටපු පොලිස් නිලධාරීන් නිසි පියවර අනුගමනය නොකළා කියලා ඇතැමුන් චෝදනා කරනවා?
ඔව්... අපිට පෞද්ගලිකව ආරක්ෂක අංශය ලබා දුන්න ආරක්ෂාව තරම්වත් පොලිසියෙන් ආරක්ෂාව ලැබුණේ නැහැ. ඒක තමයි කනගාටුවට කරුණ වන්නේ කලබලයේදී ප්ලාස්ටික් පුටු උඩට එවද්දී පෞද්ගලික ආරක්ෂක අංශ සහ අපේ සංගීත කණ්ඩායමේ ආරක්ෂාවට යන පස්දෙනා එයාලාගේ ජීවිත ගැන නොසිතා වේදිකාවේ ඉඳන් ඒ එවන පුටු අල්ලමින් ලොකු අවදානමක් ගත්තා. නමුත් පොලිස් නිලධාරීන් ඔවුන්ගේ අවම බලයවත් පාවිච්චි කළේ නැහැ. අඩුම තරමේ එක වෙඩිල්ලක් කිසිවෙකුට හානි නොකර අහසට එල්ල කළා නම්, මේ කෝටි ගණනක අලාභය සිදු නොවී එක බුලට් එකක අලාභයකින් විතරක් මේ ගැටලු‍ව විසඳන්න තිබුණා. නමුත් ඒ අය එහෙම කළේ නැහැ.

ඒ වෙද්දි Avatar සංගීත කණ්ඩායමේ හැමෝම වේදිකාවේ. ඒ අයට මේ සිදුවීමෙන් අනතුරක් සිදුවුණේ නැද්ද?
නැහැ... අපි මැදිරිගිරිය, පොළොන්නරුව ඒ අවට මිනිසුන්ට දොස් කියන්නේ නැත්තෙත් ඒකමයි. අපිව ඒ මොහොතේ ආරක්ෂා කළෙත් ඒ ගමේම පිරිසක්. සංගීත කණ්ඩායමේ පිරිසව අවට ගෙවල්වලට ඒ අය පුළුවන් තරම් පරිස්සමට එක්කගෙන ගියා. ඒ යන අතරතුරේ ලොකු කලබලයක් නිසා සීයට සීයක් බේරිලා යන්න බැහැ. සමහරුගේ අසභ්‍ය වචනවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් ඒ ගමේම මිනිස්සු ඒ මොහොතේ අපිව ආරක්ෂා කළා. අපේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනයි. නමුත් කණ්ඩායමක් විදියට අපේ හතළිස් පහක පනහක පිරිසක් ඕනෑම ප්‍රසංගයකට සහභාගි වෙනවා.

මේ සිදුවීමෙන් ලොකුම හානිය වුණේ Avatar සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩවලටයි?
ප්‍රසංගයකදී වේදිකාව උඩ තියෙන හැම සංගීත භාණ්ඩය අපේ. කණ්ඩායමේ ආරක්ෂාවට පස්දෙනෙක් ඉන්නවා. අපි පස්දෙනාට කියලා තියෙන්නෙ යම්කිසි ප්‍රශ්නයක් වුණොත් මුලින්ම අපේ සාමාජිකයන් සහ සංගීත භාණ්ඩ ඉක්මනින් වාහනයට දාගන්න කියලයි. ඒ අය ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඒ දේ කළා. නමුත් එක්වරම ඩ්‍රම් සෙට් එක ගලවන්න බැහැ. ඒ සංගීත භාණ්ඩ වාහනයට දාද්දිත් “ගහන්න කුඩු කරන්න”‍ කියලා කට්ටිය කෑ ගැහුවා. නමුත් ඒ අය පරිස්සමට ඒ වැඩේ කළා. ඒ වුණත් ප්‍රසංගය පවත්වන ස්ථානයේ සවි කරලා තිබුණු විදුලි ආලෝකය, විදුලි බල්බ ඇතුළු අනෙකුත් සියල්ලම අපි කුලී පදනම මත ගත්ත දේවල්. ඒවාට දැඩි හානි සිද්ධ වුණා.

දළ වශයෙන් අලාභයේ මුදල කීයක් විතර ඇද්ද?
සිදුවූ අලාභ හානිය කොයිතරම්ද කියලා අපිට තවම නිශ්චිතව කියන්න අමාරුයි. ඇතැම් භාණ්ඩ අලු‍ත්වැඩියා කරන්න පුළුවන්. සමහර දේවල් නැවත අලු‍ත්වැඩියා කරන්න බැහැ. දැනට බලද්දි කෝටි පහකට වඩා අලාභයක් පෙන්නනවා. නමුත් අලු‍ත්වැඩියා කරන්න පුළුවන් දේවල් අලු‍ත්වැඩියා කරගත්තොත් අලාභය අඩු කරගන්න පුළුවන්. තවම හරියටම කියන්න බැහැ.

බොහෝ දෙනා කනගාටු වෙන දෙයක් තමයි හානියට පත්වුණු ඩ්‍රම් සෙට් එක. ඒක නැවත අලු‍ත්වැඩියා කරන්න බැහැ?
ඔව්... ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ඒක අපේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම් සෙට් එකක්. ඒක ලෝකයේ පිළිගත් සමාගමකින් නිපදවපු ඩ්‍රම් සෙට් එකක්. ඒ වගේ ඩ්‍රම් සෙට් ලෝකයේ තියෙන්නෙ ඉතා සීමිත ගණනක් විතරයි. ඒක මිලෙන් අධිකයි. අපිට මේ විදියේ ඩ්‍රම් සෙට් තුනක් අරගෙන දෙන්න කට්ටිය කතා කරලා තියෙනවා. මේ වෙද්දි ඇමෙරිකාවේ ජීවත් වෙන අපේ රටේ නිළියක් වන ගයේෂා පෙරේරාගේ සැමියා හසංජිත් මුලින්ම අපිට කතා කරලා ඩ්‍රම් සෙට් එකක් අරන් දෙන්නම් කිව්වා. ඒ වගේම තව ඇමෙරිකාවේ, ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයන් දෙන්නෙක් ඩ්‍රම් සෙට් අරන් දෙන්න කැමති වුණා. මේ මේ හැම වචනයක්ම අපිට ලොකු හයියක්.

මේ සිදුවුණු සිදුවීමත් එක්ක සංගීත කණ්ඩායමේ මානසික තත්ත්වය කොහොමද?
එදා අපි ක්‍රීඩාංගණයෙන් ඉවත් වුණේ පාන්දරයි. අපේ සංගීත කණ්ඩායමේ තරුණ ගායිකාවක් ඉන්නවා. ඇමේලියාට තවම වයස අවුරුදු දාහතයි. මේ හැම ජීවිතයක්ම ගොඩක් වටිනවා. ඒ නිසා “ආපහු සංගීත කණ්ඩායමක් විදියට කටයුතු කරන්න පුළුවන්ද” කියන තැනට අපි ඇද වැටුණා. හැබැයි දහවල් දොළහ එක වෙද්දි අපි හැමෝගෙම මනස හදාගන්න අපිට පුළුවන් වුණා. එදාම තිබුණු ගාල්ල ප්‍රසංගයට අපි සහභාගි වුණා. එදා අපි කුලී පදනමට සංගීත භාණ්ඩ කුලියට ගත්තා. ගාල්ලේ හිටපු ආදරණීය මිනිසුන් අපිව හොඳටම තේරුම් ගත්තා. එයාලා අපිට ලොකු හයියක් වුණා. දහවල් දොළහ වෙනතුරු කවුරුවත් අපිට ශබ්ද විකාශන එව්වේ නැහැ. ඒ අය බය වෙන්න ඇති. හැබැයි දහවල් දෙක වෙද්දි ශබ්ද විකාශන යන්ත්‍ර පහක් ගාල්ලට ආවා. ඒක අපිට ලොකු හයියක්. ඒ ක්‍රීඩාංගණයට ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක් තිබුණොත් ඇති. නමුත් අපි ඒ පහම එදා සවි කරලා සාර්ථක ප්‍රසංගයක් කළා. ඒ ආපු අයගෙන්  අපිට ලොකු හයියක් ලැබුණා.

විදේශ සංචාර කිහිපයක්ම Avatar සංගීත කණ්ඩායමට ලැබිලා තියෙනවා නේද?
ඔව්... මේ මස විසි වැනිදා ඉතාලියට හා ප්‍රංශයට අපේ කණ්ඩායම යනවා. ප්‍රසංග හයක් අපි පවත්වනවා. ඒ කාලය තුළදී මේ අලාභ හානියට පත්වුණු දේවල් අලු‍ත්වැඩියා කරන්නත්, ඇණවුම් කළ භාණ්ඩ ගුවන් මගින් ගෙන්වා ගන්නත් කාලය තියෙනවා. අපි නැති අතරේ ඒ ටික ආයෙමත් යථා තත්ත්වයට පත් කරලා නැවතත් Avatar සංගීත කණ්ඩායම පටන් ගන්නවා. මේ වරද සිදුවුණේ සංගීත කණ්ඩායමෙන්වත් භාණ්ඩවලින්වත් නෙවෙයි. හැබැයි වන්දි ගෙවන්න සිදුවුණේ, ඒ අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දෙන්න සිදුවුණේ අපිටයි.

• දිශානි ජයමාලි