2025 මාර්තු 22 වන සෙනසුරාදා

පිකාසෝ ඉදිරියේ ගැහැනියක් නිරුවත් වෙනවා බලන්න එන්න - Chandana Wickramasinghe

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02 57

ආහ්...

ගලන සිහිල් දොළ පාරක් අස තවත් දිය සීරා ගැඹුරේ ගලතැයි සිතෙන ගල් පර්වතය ඉස්මත්තේත් සුරබා ගුරුන්නාන්සේ අබිමුව උඩරට නර්තන රිද්මයට අත් පා නටවන පුංචි සන්දියේ රුවන්ගේ සිට ලාංකික පොළොවේ සංස්කෘතික අක්මුල්වලට ප්‍රේමයෙන් බැඳුණු තාන්න මාන්න තුළ පොත් සිල්ලර කාසියක් තරමටවත් මායිම් නොකරපු ලොකු රුවන් දක්වාත්...

අවශේෂ වෙමින් පවතින කලාවක් රැකගන්නට අපිරිමිත කැපකිරීම් කළ සුවිශේෂී මිනිසුන්ට උපහාරයක් ලෙස ශේෂ ලෝකයට තිළිණ කරන්නේ යැයි හැඟෙද්දී එහි ස්නේහවන්ත භූමිකාව ළතෙත් සිතින් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වන ජීවිතේ තත්ත්පර අසංඛ්‍යකින් එක තත්ත්පරයක් ලෙස නිර්වචනය කරන්නට සිතෙන බණ්ඩාර නිලමේ දක්වාත්...
බෙරයට ආත්මීය ආලයකින් පෙම් බැඳි හේතුවා දක්වාත්....

ගෝත්‍රිකවාදී වැඩවසම්වාදී චින්තනය පපුව මැද පුරවාගත් ගරා වැටී දියාරු වී යන රදළ උරුමයේ අහංකාර මාන්න සමුදාය වංසක්කාර යැයි කියාගන්නා පරපුරක අවසන් පුරුකක් ලෙසින් දරාගන්නට වෙර දරන පරාජිත ලොකු නිලමේ දක්වාත්...
සරල දිශානතියකින් එහාට හැඟීම් තුළ සරල නර්තනයේ සෞන්දර්යාත්මක ඉසියුම් රිද්ම රේඛාවන් මාත්‍රයෙන් මාත්‍රයට ස්පර්ශ කරන සරල කෙල්ලක් නොවූ සරලා දක්වාත්...

හෘද සමාන ආලවන්ත ආලයකින් උඩරට නර්තනයේ සියුම් ඉසියුම් හැම රිද්ම මාත්‍රයකටම අසමාන ප්‍රේමයකින් බැඳුණු ඒ නර්තන චමත්කාරයෙන්ම ජීවිතය හා හුස්ම ගන්නා සුරබා ගුරුන්නාන්සේ දක්වාත්.... අපූරු රංගනමය සම්මිශ්‍රණ දාමයකින් ශේෂ සුසැඳි වග පළමු කොට ලියා තබමි.

ඔබ දන්නවාද? මහා නර්තනවේදී රවිබන්ධු විද්‍යාපති ගුරු පියාණන්ගේ නර්තන වින්‍යාසමය ස්පර්ශය ලබන්නට තරම් පින්සාර වූ හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය යන තේමාත්මක සංරචනයෙන් දිලිසෙන ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ ශේෂ මාර්තු 23 ප්‍රංශයේ පැරිස් නුවරත්, 30 වැනිදා ඉතාලියේ මිලානෝ සහ කෝමෝ නගරවලත් තිරගත වීමට නියමිතය. නර්තනවේදී චන්දන වික්‍රමසිංහ, උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ, යොහාන් ජේස් යන කලාකරුවන් ශේෂ අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක සමඟ ශේෂ තිරය මත දිගහරින මෙම උත්සවය වර්ණවත් කරන්නට එක් වී සිටී. රවිබන්දු විද්‍යාපති නර්තන අධ්‍යක්ෂණය කළ, ගයාත්‍රි කේමදාස සංගීතය අධ්‍යක්ෂණය කළ කෑන්ස් වර්ල්ඩ් සිනමා තරගයේදී හොඳම නර්තනයට හිමි සම්මානය දිනාගත් ශේෂ ඉදිරියේදී මැලේසියාව, ඇමෙරිකාව සහ කැනඩාව ආදී රටවලද තිරගත කිරීමට නියමිතය.

ඉඳින් ශේෂ මේ අයුරින් ලෝකය වෙත පියමං කරද්දී සුරබා ගුරුන්නාන්සේ හා ආත්මීය ආලයකින් හුස්මක් ගන්නා විචිත්‍රවත් නර්තනවේදී චන්දන වික්‍රමසිංහ සමඟ කතාබහකට අපි මුලපිරුවෙමු.

QNOIR QUEEN KUWENI – කළු රැජන ගැන කතා නොකර චන්දන වික්‍රමසිංහ සමඟ කතා කළ නොහැකියි. සිතෙන තරමට NOIR QUEEN KUWENI අපේ පපුවේ හුස්මක් හා බැඳුණා. කුවේණිය කියන ගැහැනිය චන්දන කියන පිරිමියා කියවන්නේ කොහොමද?

ඉතිහාසයක් පුරාවට කුවේණි අස්න කිය කියා නැටුවට කුවේණියගේ සිත කියවන්න මේ ලෝකයේ කිසිම පිරිමියකු කිසිම ගැහැනියකට පුළුවන් වුණාද කියන ප්‍රශ්නය මා සිතමින් සිටියා. කුවේණිය කියන ආදරණීය ගැහැනිය ජීවිතයේ ඇය මුහුණදෙන සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දැනෙන දරාගත නොහැකි වේදනාවන් ළඟ දිවියෙක් තරමටම රෞද්‍ර වෙනවා. ගැහැනියකට වාවාගන්න නොහැකි තරමටම ඇගේ සිත රිදෙනවා. ඒ රිදුණු තැලුණු කුවේණියගේ සිත පෙන්වන්න මං NOIR QUEEN KUWENI හි කෝඩි බැලේ (Corpde) එකක් නිර්මාණය කළා. බටහිර මුද්‍රා නාට්‍යවල මෙවැනි කෝඩි බැලේ දකින්න පුළුවන්. කුවේණිය කියන ගැහැනියගේ සිත මා කියවන්නේ චන්දන වික්‍රමසිංහ ලෙසින් නෙවෙයි පිරිමියෙක් ලෙසින්. කුවේණියට සියල්ල අවසානයේ අහිමි නොවූයේ කුමක්ද? කුවේණියගේ සිතේ තවත් රිදෙන්නට අංශුමාත්‍රයකවත් ඉඩක් ඉතුරු නොකරම විජය කියන සල්ලාල වංචනික දඩයක්කාර විජය කුවේණියට රිදෙව්වා. කුවේණිය විජයට කොයිතරම් ආදරය කළාද? විජයට රාජ්‍ය හිමිකර දීමේ සිට ඇය විජය වෙනුවෙන් නොකෙරුවේ කුමක්ද? ඇයට විජය නිසා ඇගේ දරුවන් නෑදෑයන් හැමදෙනාම නැතිවුණා. විජය කියන්නේ අතිශය කපටි වංචනික මිනිහෙක්. ඉතිහාසයේ ඉඳන් අපි හොරකම් කරපු, හොර වැඩ කරපු, කපටිකම් කරපු ජාතියක්. විජයගෙන් කුවේණියට සිදු නොවුණු අසාධාරණය කුමක්ද? සියලු අසාධාරණ ඇයට සිදුවුණා. ඇයගේ අසීමාන්තික ආලය ඉවත දාලා විජය ඉන්දියානු කෙල්ලක් තමන්ගේ බිසව ලෙස ගෙන්වා ගත්තා. ප්‍රාණසම ප්‍රේමයකින් පිරිමියකුට ආදරය කළ ගැහැනියගේ හිත බිඳුණු තැන ඇයට අත්විඳින්නට සිදුවන ආත්මීය වේදනාව හුඟාක් දරුණුයි. ඒ වේදනාව තුළින් උපදින වෛරය අතිශය සාධාරණයි. මා කුවේණියගේ සිත කියවූයේ ඒ අයුරින්. වේදිකාව මත NOIR QUEEN KUWENI දිගහරිද්දී ලැබුණු අසීමිත ප්‍රතිචාර මම විශ්වාස කරන්නේ මා කුවේණියගේ සිත කියවූ බවට හොඳම සාක්ෂියක්.

ඔබ චිත්‍රපට ගණනාවක නර්තන අධ්‍යක්ෂවරයෙක් ලෙස අත්දැකීම් ලද නර්තනවේදියෙක්. ලාංකික සිනමාව ගැන ඔබේ දැක්ම කවරාකාරද?
මම මෙහෙම දෙයක් කියන්නම්. කභි කුෂි කභි ගම් චිත්‍රපටයේ තියෙනවා එක් දර්ශනයක්. අයියයි මල්ලියි දෙන්නම ඇවිත් ඒ දෙන්නා හමුවෙන්නේ තමන්ගේ අම්මාගෙයි තාත්තාගෙයි පින්තූරයක් ගහලා තියෙන තැන. ඒ දසුන පුදුම තරම් සිනමාත්මකයි. සිනමාව හෝ කලාවේ ඕනෑම ශානරයකින් විය යුතු වන්නේ මිනිසුන්ගේ හැඟීම් උද්දීපනය කිරීමයි. රසිකාගාරය උද්දීපනයට පත් කිරීමයි. එය බහුතර සිංහල සිනමා නිර්මාණ ඔස්සේ කොයිතරම් දුරට සිදුවෙනවාද කියන එක ප්‍රශ්නයක්.

නර්තන වේදිකා ඔස්සේ පුද්ගල ප්‍රතිරූප නිර්මාණය කිරීමේ හෝ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයක් ඔබ තුළ නැති වග මම විශ්වාස කරනවා. ඇත්තටම නර්තනය කියන අසහාය කලාව ඔබ නිර්වචනය කරන්නේ කොහොමද?
නර්තනය කියන්නේ කිසිම විටෙක කායිකව සිදු කරන චලනාත්මක ප්‍රයත්නයක් නොවිය යුතුයි. නර්තනය හැමවිටම මානසික කාරණා සමඟ බැඳී තියෙනවා. නර්තනය ඔස්සේ විදහා දක්වන නර්තන ලීලාවන්ගේ අර්ථය මනස හා බැඳී පැවතිය යුතුයි. ඇත්තටම එය මනෝවිද්‍යාත්මක දෙයක්. එම නර්තනයට උචිත ඇඳුම් පැළඳුම්, භාව ප්‍රකාශන, වර්ණ, මේ ආදී සියල්ල තුළ නර්තන අරමුණ හා බැඳී ගිය මනෝවිද්‍යාත්මක තලයක තිබිය යුතුයි. මම දැනට රටවල් අසූවකට පමණ නර්තන ප්‍රසංග රැගෙන සංචාරය කරලා තියෙනවා. ඇත්තටම නර්තනය කියන්නේ ගෝලීය කලාවක් ලෙසයි මම දකින්නේ.

චන්දන වික්‍රමසිංහ කියන නර්තනවේදියා තුළ සිටින නටන පිරිමියා ඔබ විවරණය කරන්නේ කොහොමද?
මගේ ශරීරය තුළ ගැහැනියක් සහ පිරිමියෙක් ඉන්නවා. ලාස්‍යය සහ තාණ්ඩව යන නර්තනවේද දෙක තුළම මට නටන්න පුළුවන්. තාණ්ඩව සහ ලාස්‍ය අවස්ථාවේ හැටියට මම තෝරාගෙන නටනවා. මම මැද මාවතේ යන නැට්ටුවෙක්.

නැගෙන ප්‍රශංසා වගේම චෝදනාත් තියෙනවද?
ඔව්... NOIR QUEEN KUWENI යට මහාචාර්ය මුදියන්සේ දිසානායක සර් වගේම ආචාර්ය රවිබන්ධු විද්‍යාපති සර්ත් පුදුම හයියක් දුන්නා. චන්න විජේවර්ධන සර් ඇවිත් සුබ පතලා මට ශක්තියක් දුන්නා. ඇත්තටම කුවේණිහි දිවියකින්න නටපු මගේ ශිෂ්‍යා ගැන පුදුම ප්‍රශංසාත්මක ඇගයීම් ලැබුණා. මගේ නර්තන කණ්ඩායම රට රටවල යද්දි පුදුමාකාර ප්‍රශංසා ලැබෙනවා. ඒ වගේම තමයි සමහර අය මට කියනවා නැටුම් විකුණගෙන කනවා කියලා. මම අහන්නේ විකුණුවම මොකද වෙන්නෙ? ජීවත් වෙන්නනේ විකුණන්නෙ. නර්තන ක්ෂේත්‍රයේ හුඟාක් තැන්වල දියුණුවක් නැත්තෙත් එකතුවෙලා ගමනක් යන්න බැරි කුහකකම නිසා.

NOIR QUEEN KUWENI ගෙන් පසු චන්දන වික්‍රමසිංහ වේදිකාවට ගෙන එන නර්තනමය විප්ලවය ගැන ඉඟියක් හෝ දෙන්න පුළුවන්ද?
ඉන්දියාවේදී මට මදර් තෙරේසා හමුවුණා. දවසක් මා විශ්වවිද්‍යාලයේ ඉද්දි මට උපකුලපතිතුමාගේ ගෙදරට යන්න කියලා පණිවිඩයක් ලැබුණා. මම බයිසිකලයෙන් ගියේ. යද්දි හැමතැනම මදර් තෙරේසාගේ අනුගාමික කන්‍යා සොයුරියන් හිටියා. මදර් තෙරේසා දුටුවම මම ඇයට දණගහලා වැන්දා. ඇය මගේ අත අරගෙන සිපගත්තා. ඇගේ නියපොතු හිස අගටම වගේ කළා. සුදු පිම්බිච්ච අතක් ඇයට තියෙන්නෙ. මම මදර් තෙරේසා ගැන බැලේ එකක් නිර්මාණය කරනවා. මදර් තෙරේසා මට වේදිකාවේ නටවන්න බෑ. කල්කටාවේ දුර්භීක්ෂයත් පාදක සංසිද්ධි ඒ ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමයි මගේ අපේක්ෂාව.

ඒ විතරද?
නෑ. මම පැබ්ලෝ පිකාසෝ ගේනවා වේදිකාවට. නත්තලට, 31 වැනිදා රෑට යුවතියන්ගේ ගැහැනුන්ගේ පපුව පෙන්වලා කකුල් පෙන්වලා විලි ලැජ්ජාව නැති කරලා ඔවුන් වේදිකා මත නිරුවත් කරන විදිහට මම  යුවතියන් ගැහැනුන් මගේ වේදිකාව මත කවදාවත් නිරුවත් කරලත් නෑ. නිරුවත් කරන්නෙත් නෑ. අමුතුම ඇස් බැන්දුමකින් මම පිකාසෝ සමඟ ගැහැනුන් වේදිකාව මත නිරුවත් කරනවා. දිනය කියන්නම් නුදුරේම. පිකාසෝ ඉදිරියේ ගැහැනියක් නිරුවත් වෙනවා බලන්න එන්න.

• සංජීවිකා සමරතුංග 
• ඉසුරු පෙරේරා