මෑත කාලීන සිනමාවට නව රසයක් රැගෙන තිරගත වූ “අයිස්ක්‍රීම්” චිත්‍රපටයේ නිෂ්පාදිකාව ඇයයි. එමෙන්ම ඇය මධුර ස්වරයෙන් රසික හදවත් පිනවන ගායිකාවක්ද වන්නීය. අද හදසර කතාබහ ගායන ශිල්පිනී කෝකිලා විතානගේ සමඟයි.
කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල කාර්යාලයේ වැඩ සහ ගෙදර වැඩ එක්ක කාලය ගෙවී යනවා. ඊට අමතරව ඉඩක් ලැබෙන වෙලාවට අයිස්ක්‍රීම් චිත්‍රපටයේ වැඩවලට කාලය යොදවනවා.
ගායන ශිල්පිනියක් ලෙස ඔබ මෙතෙක් ආ ගමන්මග ගැන කතා කළොත්?
මම පුංචි කාලයේ ඉඳලම කලාවට ගොඩක් කැමති කෙනෙක්. පාසල් යන කාලයේ සෞන්දර්ය විෂයන් හැදෑරුවා. මගේ පවුල් පසුබිම ගත්තත් සංගීතය පැත්තට නැඹුරු අය තමයි ගොඩක්ම ඉන්නෙ. පාසල් යන කාලයේදී මම සංගීතය විෂයක් විදිහට හැදෑරුවේ නැහැ. මගේ සෞන්දර්ය විෂය වුණේ නර්තනය. නමුත් පවුලේ ආභාෂයත් එක්ක ගායනයට සම්බන්ධ වුණා. ශිෂ්‍යත්ව විභාගයෙන් පසු මම ඇතුළත් වුණේ ආනන්ද බාලිකා විද්‍යාලයට. ඒ කාලයේ සංගීත ගුරුතුමිය වුණේ මාලනී බුලත්සිංහල මහත්මිය. මම නැටුම් විෂය හැදෑරුවාට මාලනී බුලත්සිංහල ගුරුතුමියත් සමඟ සංගීත කටයුතුවලට සහ ගායනයට සහභාගි වුණා. ඒ දේවල් එක්ක සංගීත දැනුම සහ ගායන හැකියාව වර්ධනය වුණා.
ටී.එම්. ජයරත්න, අමරසිරි පීරිස් වැනි ප්‍රවීණයන් සමඟ කෝකිලා යුග ගීත ගායනා කළා. ඒ ගැන වචනයක් කතා කරමු?
මම හරිම ගෞරවයෙන් ටී.එම්. ජයරත්න මහත්මයා සහ අමරසිරි පීරිස් මහත්මයාව මතක් කරනවා. මොකද මම ආධුනිකයෙක් විදිහට තමයි ඔවුන් සමඟ යුග ගීත ගායනා කළේ. මම ඉතින් ආධුනිකයෙක්නෙ. බොහොම නිහතමානීව මට ඒ අවස්ථාව දීලා මාත් සමඟ යුග ගීත ගායනා කිරීම ගැන මම ඔවුන් දෙපළට ස්තූතිවන්ත වෙනවා වගේම ගෞරව කරනවා. ඇත්තටම මට මේ ප්‍රවීණයන් සමඟ ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණේ මගේ යෙහෙළියකගේ මාර්ගයෙන්. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ යෙහෙළියවත් ඉතාම ආදරයෙන් මතක් කරනවා. මගේ පළමු යුග ගීතය ගායනා කළේ ටී.එම්. ජයරත්න මහත්මයා සමඟ. “ඔබේ පිවිතුරු පැතුම හින්දයි සසර ගමනේදී හමුවුණේ” කියන ගීතය තමයි එතුමා සමඟ මම ගායනා කළේ. ඒ ගීතය යශෝධරා දේවිය ගැන කියැවෙන ගීතයක්. ඒ ගීතයේ පද වැලට මම පෞද්ගලිකව හරිම ආසයි. ඒ වගේම ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගීතය ගායනා කරලා ටික කාලයකට පස්සේ මට හිතුණා මම ම ගීතයක් කරන්න ඕනෑ කියලා. ඒ අවස්ථාවේදිත් මගේ යෙහෙළියක් මාර්ගයෙන් මම ගීතය ලියවා ගත්තා. ඒ ගීතය අමරසිරි පීරිස් මහත්මයා සමඟ මම යුග ගීතයක් වශයෙන් ගායනා කළා. මම නැවත නැවතත් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා, මම වගේ ආධුනිකයකුට එතුමන්ලා අවස්ථාව ලබාදීම ගැන.
මෑතකදී එළිදැක්වුණු නවතම සිනමා සිත්තම “අයිස්ක්‍රීම්”. ඔබ එහි නිෂ්පාදකවරියක් වශයෙන් කටයුතු කරනවා. ඒ ගැනත් කතා කරමු?
ඇත්තටම “අයිස්ක්‍රීම්” හැදුවෙත් කලාවට තියෙන පිස්සුව නිසා. මගේ ඥාති සහෝදරයෙක් තමයි ප්‍රදීප් ධර්මදාස. ඉතින් ඒ එයාගේ මල්ලිගේ පළවෙනි සිනමා සම්ප්‍රාප්තිය. මල්ලි කලින් ටෙලිනාට්‍යවල වැඩ කරලා තිබුණා. මල්ලි තමයි කලණ ගුණසේකරගේ තිර පිටපත ගෙනල්ලා අක්කේ මෙහෙම වැඩක් තියෙනවා කියලා මටත් මගේ මහත්තයාටත් ආරාධනා කළේ. ඉතින් අපි ඒ ආරාධනාව පිළිගෙන “අයිස්ක්‍රීම්” චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වුණා.
“අයිස්ක්‍රීම්” චිත්‍රපටය ගැන වචනයක් කතා කළොත්?
ටිකක් වෙනස් කතාවක්. මම හිතනවා හැමෝටම එකට වාඩිවෙලා බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා. විනෝදාස්වාදය තියෙන චිත්‍රපටයක ෆැන්ටසි එකත් උපරිමයෙන් තියෙන වෙනස්ම කතාවක් තමයි “අයිස්ක්‍රීම්”. ඇත්තටම මමත් හරිම කැමතියි ඒ කතාවට. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුත් නැහැ. වැඩිත් නැහැ. සාමාන්‍ය මට්ටමින් යනවා. ලස්සන කතාවක්. අපි හැමෝටම එකට ඉඳගෙන විනෝදයෙන් නරඹන්න පුළුවන් සිනමා සිත්තමක්.
“අයිස්ක්‍රීම්” කෝකිලා නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටයද? ඉදිරියේදී තවත් මෙවැනි නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව්... “අයිස්ක්‍රීම්” කියන්නේ මම නිෂ්පාදනය කරපු පළවෙනි චිත්‍රපටය. මේක කළාට පස්සේ, තවත් චිත්‍රපටයක් කරන්න ආසාවක් ඇතිවුණා. ඒක ලාභද පාඩුද කියන එක විතරක් නෙවෙයි, ඒ ලබන අත්දැකීම අපිට ගොඩක් වටිනවා. මේ රටේ මිනිස්සු හරි ආසයිනේ නිදහසේ චිත්‍රපට බලන්න. ප්‍රේක්ෂකයා චිත්‍රපටයක් තුළින් මානසිකව ලබන සතුටක් තියෙනවා. අපිට ඒක දෙන්න පුළුවන් වෙනවා කියන්නෙ සැබෑම තෘප්තිමත් හැඟීමක්. ප්‍රේක්ෂකයා චිත්‍රපටයට දෙන ප්‍රතිචාර, ආදරය අපිට ගොඩක් වටිනවා. ඉතින් ඒ නිසා නැවතත් එවැනි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අදහසක් හිතේ තියෙනවා. ඇත්තටම ඒ මුදල් පරමාර්ථයෙන්ම නෙවෙයි. නිෂ්පාදිකාවක් මෙහෙම කියනවා කියන එක බොරුවක් කියලා හිතාවි. හැබැයි සල්ලිවලට වැඩිය කෙනෙක් චිත්‍රපටයකින් ලබන මානසික සතුට ගොඩක් වටිනවා.
සිනමාව අද තියෙන තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද?
සිනමාව අද තියෙන තත්ත්වය ගැන ලොකු කතාවක් කියන්න මම මෙතැනට ආධුනික වැඩියි. ඒ වුණාට මම හිතනවා මේ කාලය තුළදී හොඳ චිත්‍රපට නිෂ්පාදනය වෙනවා. අපිට ඒවා දකින්නත් ලැබෙනවා. කොහොම වුණත් පහුගිය කාලෙ රටේ ලොකු ලොකු ප්‍රශ්න ටිකක් තිබුණනෙ. ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒ දේවල් එක්ක අපි මතුපිටින් දැකපු දෙයක් තමයි, සිනමා ක්ෂේත්‍රයේ යම් කඩා බිඳ වැටීමක් තිබුණාදෝ කියලා. ඒත් දැන් දැන් අලුත් නිර්මාණ බිහි වෙනවා. ඒවට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙනවා. ඇත්තටම “අයිස්ක්‍රීම්” චිත්‍රපටයත් අවුරුදු අටකට කලින් තමයි නිෂ්පාදනය කළේ. රටේ තිබුණු ප්‍රශ්නත් එක්ක චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න බැරි වුණා. ඒ කාලේ හදපු චිත්‍රපට බොහොමයක් මේ වෙනකොට ප්‍රදර්ශනය වෙනවා. ඉතින් ඒකත් සතුටක්.
කෝකිලාගේ අනාගත බලාපොරොත්තු ගැනත් කතා කරමු?
මම සංගීතයට ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මම මේ වෙනකොට සංගීතය විෂයක් විදිහට හදාරනවා. මම ආසයි සංගීතය පැත්තෙන් දෙයක් කරන්න. මගේ තව ගීතයක් දෙකක්, තනි ගායනයක් වශයෙන් එළි දක්වන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම සිනමා ක්ෂේත්‍රය ගත්තොත් මෙතැනින් නවතින්නේ නැතුව තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නත් අපේක්ෂාවක් තියෙනවා.
• මංගලා පවිත්‍රානි