මේ දිනවල ඔබ වැඩි වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න ලැබෙනවා. ඉසව් කිහිපයක්ම නියෝජනය කරන ඔබ කවුද?
මම වෘත්තියෙන් ආබාධිතතා විශේෂඥවරියක්. ඊට අමතරව මම මනෝ චිකිත්සකවරියක්. විශේෂ අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය නම් විෂය ක්ෂේත්‍රයේ මම නියැලෙනවා. මනුස්සයකුගේ උපතට පෙර හෝ උපතේ සිට මරණය දක්වා ඔවුන්ගේ විවිධ සංවර්ධන අවධිවල මානසිකව බලපාන ගැටලු සම්බන්ධයෙන් කායික මානසික යහපැවැත්ම සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් සඳහා මම ප්‍රතිකාර කරනවා. ඊට අමතරව මම කථක තෙරපි රංග චිකිත්සාව, නර්තන චලන චිකිත්සාව මෙන්ම විශේෂ අධ්‍යාපන ගුරුවරියක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණුව ලබාගෙන තියෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් එක්ක වැඩ කරද්දී මම විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුමක් ලබාගත යුතු බව මට තේරුණා. ඒ නිසා සංඥා භාෂා ගුරුවරියක් ලෙස පුහුණුව ලැබ මම ගුරුවරියක් විදියටත් කටයුතු කළා.
සුලීෂා සංඥා භාෂාව වෙනස් හැඩයකට භාවිත කරන ගුරුවරියක්?
ඔව්... මම සංඥා භාෂාව ඉගෙන ගනිද්දී, ඒ සම්බන්ධයෙන් මම කරනු ලැබූ පරීක්ෂණවලදී සංඥා භාෂාවේ ලොකු අඩුපාඩු තැන් තියෙන බව මට තේරුණා. ඒ ඔස්සේ කලාව කියන විෂය දරුවන්ට පරිවර්තනය වෙන්නේ නැති නිසා මම සංඥා භාෂා නර්තන නිරූපණය නමින් මගේම සංකල්පයක් සංඥා භාෂාවේ අලුත් දෙයක් විදිහට ඉදිරිපත් කළා.
නර්තනය සම්බන්ධයෙන් ඔබ කුඩා කල සිටම හැදෑරීමක් කළාද?
ඔව්... ඒකට හේතුව මගේ අක්කයි. ඇය 1982 වසරේදී සුදර්ශියට ගොස් රැජිනි සෙල්වනායගම් ගුරුතුමිය යටතේ නර්තනය හැදෑරුවා. මමත් අක්කාගේ පස්සෙන් ගියා. ටික කාලයකින් මමත් එතුමිය යටතේ නර්තනය ඉගෙන ගත්තා. ඔය අතරේ රූපවාහිනියේ නාට්‍යයකට පුංචි ගැහැනු ළමයෙක් අවශ්‍ය වෙලා තිබුණා. ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා සහ ශ්‍රීමතී ලියනගේ මහත්මිය ඒ සඳහා ගැහැනු ළමයෙක් හොයාගෙන නැටුම් පන්තියට ආවා. එදා මම සුදර්ශියේ තිබුණු නුග ගස්වල එල්ලි සෙල්ලම් කරමින් හිටියේ. ආචාර්ය සලමන් ෆොන්සේකා මහතා මාව දැකලා ඒ චරිතයට තෝරගත්තා. ඒ කාලේ රූපවාහිනිය කියන දේ අපට ආගන්තුක දෙයක්. මට පුංචි බෝනික්කෙක් අතට දීලා ඒක හුරතල් කරන හැටි පෙන්නන්න කියලා කිව්වා. රූපවාහිනිය ගැන අත්දැකීමක් නොතිබුණු මම පුළුවන් විදියට ඒ කොටස රඟපෑවා. ඒකෙන් ඔවුන් මාව තෝරාගෙන ජාතික රූපවාහිනිය නාට්‍යයක ප්‍රධාන ළමා නිළිය විදිහට තෝරාගත්තා. එතැන් සිට මම අවුරුදු දහසය වනතුරු රූපවාහිනී ළමා වැඩසටහන්වල රඟපෑවා. රැජිනි සෙල්වනායගම් මහත්මියගෙන් උඩරට, භරත නර්තන ඉගෙන ගත්තා. සෝමපාල මුදුන්කොටුව මහතාගෙනුත් උඩරට නර්තනය ඉගෙන ගත්තා. ඊට අමතරව පහතරට, සබරගමු සම්ප්‍රදායන් විධිමත්ව ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ආචාර්ය ජයලාල් රෝහණ මහතාගෙන් නාට්‍ය හා රංග කලාවත්, වේශ නිරූපණයත් ඉගෙන ගත්තා.
පුංචි කාලේ ඉඳන් නර්තනයට රංගනයට සම්බන්ධ වුණු ඔබ එයින් පසුකාලීනව ඉවත් වුණාද?
නැහැ... මේ මෑතක් වනතුරුම මම තිරයෙන් පිටුපස හිටියා. අදටත් මට එවැනි ආරාධනා ලැබෙනවා. රංගනයට මට ලොකු ආසාවක් තිබුණේ නැහැ. මම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව මම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් සම්බන්ධ වුණා. මගේ අම්මා රූපලාවණ්‍ය ශිල්පිනියක්. අපිට පිටකෝට්ටේ සැලුන් එකක් තිබුණා. ඒ නිසා මම ඒ ක්ෂේත්‍රයට ගොඩක් ආසා කළා. 2002 වසරේදී TVT ආයතනයේ කොණ්ඩ සැකසුම් ශිල්පිනියක් ලෙසින් අර්ධකාලීනව සේවය කළා. එතැන් සිට 2010 වසර වනතුරු එම ආයතනයේ නිදහස් අංග රචනා ශිල්පිනියක් ලෙසින් කටයුතු කළා. මම විද්‍යා විෂය හැදෑරූ නිසාත්, උසස් අධ්‍යාපන කටයුතු නිසාත් මේ වෙනුවෙන් වැඩි වේලාවක් තිබුණේ නැහැ. හැබැයි මම මේ ක්ෂේත්‍රයට ආසා කළා. රංගනයට ආරාධනා ලැබුණත් තිරයෙන් පිටුපස ඉඳලා කරන කලාවට මම වැඩියෙන් ආසා කළා. මම පාසල් යන කාලයේදීම මගේම රූපලාවණ්‍යාගාරයක් පන්නිපිටියේ විවෘත කළා. මේ වෙද්දී මම මනාලියන් බොහෝ පිරිසක් හැඩගන්වලා තියෙනවා.
සුලීෂා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන ආචාර්යවරියක්. වැඩි කැමැත්ත තියෙන්නේ කොතැනටද?
මම හිතන්නේ මම වැඩිපුරම කැමති කලාවටයි. හැබැයි මම මගේ වෘත්තියට පුදුම ආදරෙයි. මම ආබාධිතතා විශේෂඥවරියක් විදියට වැඩ කරද්දිත් මම ඒක හරිම ආසාවෙන් කළා. ඒකට හේතුවත් මගේ අම්මයි. ඇය පිටකෝට්ටේ සෙවණ විශේෂ පාසලේ විශේෂ අධ්‍යාපන ගුරුවරියක් විදියට කටයුතු කළා. පුංචි කාලේ මාව මුලින්ම පාසලකට ඇතුළත් කරගන්න අම්මාට බැරිවෙලා තියෙනවා. මම අවුරුද්දක් විතර විශේෂ දරුවන් ඉගෙන ගන්න පාසලේ ඉගෙන ගත්තා. ඒ නිසා මගේ පළමු පාසල් යාළුවන් වෙන්නෙත් ඒ විශේෂ අවශ්‍යතා ඇති යාළුවන්. පාසලක් ලැබිලා පාසල් අවසානයේදීත් හැමදාම අම්මා ඉගැන්වූ පාසලට ගියා. ඒ නිසා ඒ යාළුවන් එක්ක වැඩි කාලයක් මට ඉන්න ලැබුණා. ආබාධිත කියන තත්ත්වය මට සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඔවුන් මගේ හොඳම යාළුවන් වුණා. ඔවුන් ගැන මට තියෙන දැනුම, සංවේදනය නිසාම මම පසුකාලීනව ඉගෙන ගන්න ඒ ක්ෂේත්‍රයම තෝරගත්තා.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට නර්තනයෙන් සංඥා භාෂාව උගන්වද්දී ඒ අයගේ ප්‍රතිචාර කොහොමද?
මම වෘත්තිමය වශයෙන් මනෝ චිකිත්සකවරියක් විදියට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට 2005 වසරේදී සම්බන්ධ වුණා. එහි මම 1929 ළමා උපකාරක සේවයේ මනෝ චිකිත්සකවරියක්. විශාල ආන්දෝලනාත්මක ප්‍රශ්නවල පළමු පැමිණිල්ල ලබාගන්නා කෙනා ලෙසින් මම වසර ගණනාවක් සේවය කළා. මට දරුවන් සම්බන්ධයෙන් දැනුමක් සහ කුතුහලයක් තිබුණා. ළමා කාලයේදී රූපවාහිනියේදී මට ටයිටස් තොටවත්ත මහතා, ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, විජේරත්න වරකාගොඩ මහතා, රෙජිනෝල්ඩ් ජයමාන්න මහතා වැනි ලංකාවේ ප්‍රවීණ, දැවැන්ත චරිත හඳුනාගන්න අවස්ථාව ලැබුණා. එවකට මම කුඩා දරුවෙක්. අපේ අම්මා විශේෂ අධ්‍යාපන ගුරුවරියක් වුණත් සංඥා භාෂාව පිළිබඳව මට දැනුමක් තිබුණේ නැහැ. ළමා ආරක්ෂක අධිකාරියේ වැඩ කරද්දී අපිට නිතර දරුවන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ අතරේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් මුණගැහුණා. මට ඒ දරුවන් එක්ක කතා කරන්න වැඩි අවස්ථාවක් ලැබුණා. පසුකාලීනව සංඥා භාෂාව ඉගෙන ගන්න එක හොඳයි කියල හිතලා මම ඒ සම්බන්ධව ඉගෙන ගත්තා. ඔවුන්ට ඉතාම තදින්ම හුදෙකලාව ඇති බවත් ඔවුන් වැඩි අවධානයක් බලාපොරොත්තු වන බවත් මම තේරුම් ගත්තා. පෙනෙන ලෝකයක, ශබ්දයක් නැති ලෝකයක ඔවුන් ගොඩක් හුදෙකලාව ජීවත්වෙන බව මම තේරුම් ගත්තා. ඒ නිසා ඔවුන්ට වෙනසක් කරන්න මට ඕනෑ වුණා. ලංකාව තුළ සංඥා භාෂාවට විධිමත්ව නර්තනය එකතු කරලා තිබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් රජයේ විශේෂ පාසල්වල දරුවන්ට අත්හදා බැලීමක් විදියට මම එය කළා. ඒ දරුවන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාරයක්, ඉතාම හොඳ අවධානයක් ලැබුණා. ඔවුන්ට මානසිකව තියෙන ගැටලු, ප්‍රශ්නවලට යම් සහනයක් ලැබෙන බව මට තේරුණා. මෙය දීර්ඝ කාලීන දෙයක්. 2017 වසරේ සිට මෙවැනි ළමා ගීත ගණනාවක් මම සංඥා භාෂාවෙන් නර්තනයත් සම්බන්ධ කරමින් ඉදිරිපත් කළා. ඒවාට ඔවුන් හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා.
• දිශානි ජයමාලි