2025 මාර්තු 29 වන සෙනසුරාදා

කොළඔට පාට වැස්සක්! - Harini Kawyanjani

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

“කොළඹට පාට වැස්සක්”‍ අරගෙන එන හෝලි උත්සවය "Rang Leelaa - 2025" පිළිබඳ කතා කරන්න මෙවර “හදසර”‍ සමඟ එක්වූයේ, රුසියානු සිනමාවට මෙන්ම අන්තර්ජාතික සිනමාවටත්, දේශීය සිනමාවටත් උත්කර්ෂවත් රංගනයෙන් දායකත්වය දැක්වූ හරිනි කාව්‍යාංජනී නම් දීප්තිමත් කලා තාරකාවියයි.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල සුපුරුදු පරිදි වැඩ කටයුතුවල නිරතවෙන ගමන් අලු‍ත් වැඩකට සූදානම් වෙනවා, අපේ සමාජ සේවා කටයුතුවල නිරත වන කණ්ඩායමත් සමඟ. ඇත්තටම මේක ‘ටීම් වර්ක්’ එකක්. අපි පොදු අරමුණකට වැඩ කරනවා. එතැනදි අපි එකිනෙකාට නියමිත වැඩ කොටස බාරගෙන සහයෝගය ලබා දෙනවා.

“Rang Leelaa” හෝලි උත්සවය ගැන කතා කරමු?
 Discovery Events විසින් සංවිධානය කරන හෝලි වර්ණ උත්සවය තමයි “Rang Leelaa” ලෙස නම් කරලා තියෙන්නෙ. හෝලි කියන්නේ ප්‍රීතිය, සංගීතය සහ එකමුතුකම පිළිබඳ විචිත්‍රවත් සැමරුමක්. මේ උත්සවය එකමුතුකමේ සහ සැමරීමේ ආත්මය මූර්තිමත් කරනවා. එය වර්ණ හා සංගීතය ගැන පමණක් නොව, අපේ ජීවිතය අප විසින්ම සැමරීමක් කරනවා වගේ දෙයක්. රටක තාරුණ්‍යය එහි ලොකුම ශක්තිය ලෙස සලකන ජාතියක, අකාලයේ තරුණ ජීවිත අහිමිවීම, අහිමි කරගැනීම, ජීවිතය අහේතුකව හෝ හේතුකව අත්හැරීම, අනාගතය ගැන තිබෙන බය, අභියෝග බාර නොගැනීම, රටේ ශ්‍රම බලකායට දායක නොවීම, ඕනෑම රටක ප්‍රගතිය අඩාල කරන සිතාගත නොහැකි ඛේදවාචකයක් වෙලා තියෙනවා. මෙය අපි මනසේ තියාගෙන Rang Leelaa හෝලි උත්සවය සමාජයට, අපේ රටේ තාරුණ්‍යයට ඇමතීමට අලු‍ත් මුහුණුවරකින් අපේ රටට ගැලපෙන විදිහට ඉදිරිපත් කරනවා. “Rang Leela Holi Festival 2025” තරුණයන් නැවත සමාජගත කිරීම සහ නගා සිටුවීම අරමුණු කරගත් අද්විතීය මුලපිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම උත්සවය වර්ණ සැමරීමක් පමණක් නොව, දිවයින පුරා සිටින තරුණයන්ට සහයෝගය, උපදේශනය සහ මඟපෙන්වීම ලබා දීම සඳහා වේදිකාවක් ද වෙනවා.

මේ වගේ පාට පිරුණු උත්සවයක් පවත්වන්න හේතුව මොකක්ද?
හෝලි කියන්නේ වර්ණ, ආදරය, සමානාත්මතාවය සහ වසන්තයේ උත්සවය ලෙස සමරනු ලබන ප්‍රධාන හින්දු උත්සවයක්. එය රාධා සහ ක්‍රිෂ්ණා යන දෙවිවරුන්ගේ සදාකාලික හා දිව්‍ය ප්‍රේමය සමරනවා. මීට අමතරව එම දවසේදී නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කරන දවසක් ලෙස සැලකෙනවා. එය විෂ්ණුගේ නරසිංහ අවතාරය විසින් හිරණ්‍යකශ්‍යප පරදා ජයග්‍රහණය කිරීම සිහිපත් කරනවා. මේ හැමදේකින්ම හෝලි ආරම්භය සිදුවුණා. ප්‍රධාන වශයෙන් සමරනු ලබන්නේ ඉන්දියානු උපමහාද්වීපයයි. නමුත් ඉන්දියානුවන් සියලු‍ම දෙනා එක්ක ආසියාවේ අනෙකුත් ප්‍රදේශ සහ බටහිර ලෝකයේ සමහර ප්‍රදේශවලටත් දැන් මේ සුන්දර හෝලි උත්සවය ව්‍යාප්ත වී තියෙනවා. ඉතින් අපේ ලංකාවේ අයට නවමු අත්දැකීමක්. විශේෂයෙන්ම ඇතැම් අය අභාග්‍යසම්පන්න විදියට දිවි නසා ගන්නවා, මානසික ආතතියෙන් පෙළිලා ලොකු ගැටලු‍ සහගත මානසික ව්‍යාකූලතාවලින් හිරවෙලා ඉන්නවා. සමාජීය වශයෙන් කෙනාගෙන් කෙනාට සහකම්පනය සහ සුහදත්වය, එකමුතුකම අඩුවෙලා සංවේදීතාවය ගිලිහිලා තියෙනවා. ඒ නිසා අප රටේ තරුණ තරුණියන්ව මේ වගේ උත්සවයක් තුළින් මේ වගේ එක තැනකට රැස් කරලා, එයාලට ජීවිතයේ තියෙන වටිනාකම, ප්‍රශ්නයකදි ඒවාට මුහුණදෙන ආකාරය, පෞරුෂ සංවර්ධනය කරන මානසික උපදේශන සේවාවක්, අනාගත තීන්දු තීරණ ගැනීමට අභියෝග බාරගැනීමට නවමු ආකාරයෙන් පිබිදීමක්, ආත්මවිශ්වාසයක් ලබාදීමේ අරමුණ ප්‍රධාන ලෙස පෙරදැරි කරගෙන පවුලේ සියලු‍ම දෙනාට සහ ආදරණීයන් සහ හිතවත් සියලු‍ දෙනා සමඟ එක මොහොතකදි සතුටින් විනෝද වීමට, එකමුතුව එක අරමුණකට රැස් කරගැනීමට බලාපොරොත්තු වෙනවා. එම කාලය තුළ අපිට ගැලපෙන ලෙස සුරක්ෂිතව, විශ්වාසදායීව, සතුට ප්‍රීතිය භුක්ති විඳීමට අවස්ථාවක් ලාංකික විදිහට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

“Rang Leelaa” හෝලි උත්සවයේ විශේෂත්වය මොකක්ද?
විශේෂත්වය තමයි අපගේ අපේක්ෂාවන්. ඒ වගේම ජනතාව එකමුතු කිරීම, ප්‍රීතිය සහ සංස්කෘතිය අගය කිරීම පිළිබඳ හැඟීමක් පෝෂණය කිරීම. තාරුණ්‍යය තම ප්‍රධානතම ශක්තිය ලෙස සලකන ජාතියක, තරුණ ජීවිත අකාලයේ අහිමිවීම රටක දීප්තිමත් අනාගතයක් කරා යන ගමනට බාධා කරන හද කම්පා කරවන ඛේදවාචකයක්. හෝලි, වර්ණ උත්සව කියන්නෙ බාධක බිඳ දමා ජීවිතය එහි විවිධ ස්වරූපවලින් සැමරීමයි. සෑම පසුබිමකම මිනිසුන්ට එකට එකතු වී නිදහසේ සැමරීමට සහ ප්‍රීතියේ සැබෑ ආත්මය අත්විඳිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි. ඒ වගේම මිනිසුන්ව ලිහිල් කිරීම, ආතතිය මුදා හැරීම සහ පිරිසුදු සතුට අත්විඳීමට උපකාර කිරීම මේ මගින් සිදුවෙනවා.
වර්ණවත් ‘සෙල්ෆි’ සිට අධි ශක්ති නැටුම් තල දක්වා විනෝද විය හැකියි. මෙය ජීවිත කාලයටම එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක් බවට අපි පොරොන්දු වෙනවා. සහභාගිවන්නන් ඔවුන්ගේ ඇඳුම්වල වර්ණවත් වර්ණ පමණක් නෙවෙයි, විනෝදය, සිනහව සහ සැමරුම් පිළිබඳ සදාකාලික මතකයන්ද සහිතව පිටත්ව යනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අන් අය සමඟ සම්බන්ධ වීමට, නව මිතුරන් ඇතිකර ගැනීමට සහ ඉදිරි වසර සඳහා ආදරය කරන අමතක නොවන අවස්ථා නිර්මාණය කිරීමට මේක අවස්ථාවක් වෙනවා.

විනෝද වෙන්න තියෙන අවස්ථා ගැනත් කතා කරමු?
උද්වේගකර ක්‍රීඩා, විචිත්‍රවත් වර්ණ, හෝලි විසිකිරීම් වගේම හොඳම දේශීය හා ජාත්‍යන්තර රසය ඉස්මතු කරන රසවත් ආහාරවල සතුටුදායක අත්දැකීම මේ හෝලි උත්සවයේදී ලබාගන්න පුළුවන්. ඒ වගේම ජනප්‍රිය කලාකරුවන් හමුවීමටත්, නවතම ජනප්‍රිය ගීතවලට DJ නැටුම්, ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නියැලීමටත් "Rang Leela Holi Festival 2025" තුළින් වර්ණවත් හා ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව තියෙනවා. එය වර්ණ සැමරීමක් පමණක් නෙවෙයි, අපගේ තරුණයන්ගේ ජීවිතය, එකමුතුකම සහ අසීමිත හැකියා, දක්ෂතා, නව අරමුණු පුබුදුවීමට සැමරීමක් කියලා හඳුන්වන්න පුළුවන්.

මේ උත්සවයට සහභාගි වෙන්න පුළුවන් කාටද?
ලොකු, කුඩා බාල මහලු‍ සියලු‍ දෙනාට, වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පැමිණ සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ ඉලක්කය, තරුණ තරුණියන් රැස් කරගෙන අපේ පණිවිඩය බෙදා දීමයි.

එදිනෙට පැමිණෙන කලා තරු සහ අමුත්තන් ගැනත් කතා කළොත්?
ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු ජාතිකයන් සහ අපේ රටේ තාරුණ්‍යය නියෝජනය කරන ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගි වීමට නියමිතයි.

අවසාන වශයෙන් ආදරණීය රසිකයන්ට "Rang Leelaa - 2025" සඳහා ආරධනා කරමු?
කොළඹට පාට වැස්සක්! කළු සුදු ජීවිතය ලස්සනට පාට ගන්වන්න, තමන් තමන්ටම ආදරය කරන, තමන් තමන්ටම ගෞරව කරන, ඔබට, ඔබ පවුලේ සියලු‍ම දෙනාට, හිතමිත්‍රයන්ට, ව්‍යාපාරික ස්ථානවල සිටින සියලු‍ම කණ්ඩායම්වලට සහ මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියපු හැමෝටම ආරාධනා කරනවා, මොහොතකට දුරකතයෙන් සහ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා එන්න ඔබ ආදරය කරන සියලු‍ම ආදරණීයන් රැගෙන.

• මංගලා පවිත්‍රානි

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00