2025 මාර්තු 29 වන සෙනසුරාදා

මම සූර්යා දයාරුවන් විතරමයි - Soorya Dayaruwan

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

මේ දිනවල දර්ශන රුවන් දිසානායක අධ්‍යක්ෂණය කළ “ගොවි තාත්තා”‍ සිනමා පටය තිරගත වෙනවා. ඒ සිනමා පටයට සම්බන්ධ වීමට ලැබීම ගැන සූර්යාට මොකද හිතෙන්නෙ?
“ගොවි තාත්තා” චිත්‍රපටය මගේ ජීවිතයට ගොඩක් සමීප චිත්‍රපටයක්. මෙය සත්‍ය කතාවක්. දර්ශන රුවන් දිසානායක සර්ගේ තාත්තාගේ කතාව. ඒ කාලේ මම ඒ පවුලේ අය එක්ක හිතවත්, ඒ ගෙදර යන එන කෙනෙක්. මම ඒ තාත්තා එක්ක සින්දු කියලා තියෙනවා. ඔහු ඇත්තටම මනුස්සකම් තියෙන හරිම ආදරණීය චරිතයක්. ඉතින් දර්ශන සර්ගේ ඒ චිත්‍රපටයට කතා කරද්දි මට ලොකු දුකක් හිතේ තිබුණා. ඒ වෙද්දී ඒ තාත්තා ජීවතුන් අතර හිටියේ නැහැ. මට රඟපාන්න තිබුණෙත් ඒ තාත්තාගේ ලොකු පුතාගේ චරිතයයි. ඒ දර්ශන සර්ගේ චරිතයයි. ඒක හරිම අභියෝගාත්මක දෙයක්. අධ්‍යක්ෂවරයා කැමරා රාමුවෙන් බලාගෙන ඉඳිද්දී එයාගේ චරිතය නළුවෙක්ට රඟපෑම ටිකක් අපහසු කාර්යයක්. ඒකට සාධාරණයක් කළා කියලා මට හිතෙනවා. ඇත්තටම මේ මහ පොළොව ඇතුළේ තියෙන මනුස්සකම්, අසාධාරණකම්, ඒ ජීවන රටාව, හැම දෙයක්ම හරිම ආදරණීය ලෙස, වෙනස් විදියට නිරූපණය කරමින් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙනත් තියෙනවා.

දර්ශන රුවන් දිසානායක කියන්නෙ ඔබේ සංගීත ගුරුවරයා. එහෙම නේද?
ඔව්... ඒකත් මට ලොකු සතුටක්. මගේ සංගීත ගුරුවරයා වෙලා හිටපු එතුමා දැන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු අධ්‍යක්ෂණයට පය තැබුවට පස්සේ පළමු නිර්මාණය ඇතුළේ ඒ අධ්‍යක්ෂවරයාගේ චරිතය කරන්න ලැබීමත් සතුටක්. ජාත්‍යන්තර සම්මාන ලැබුණු චිත්‍රපටයක් හැටියට මෙය මම හිතන විදිහට ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පාසල්වලට වගේම හැමෝටම නැරඹිය හැකි ක්‍රමයක් සැකසිය යුතුයි. ඉතින් “ගොවි තාත්තා”‍ චිත්‍රපටය මම හරිම ආසාවෙන් දායක වුණු නිර්මාණයක්.

මීට අමතරව සූර්යයා මේ දිනවල දායක වුණු නිර්මාණ මොනවාද?
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණය කළ “බුද්ධ මාතා”‍ චිත්‍රපටයේ මම රඟපෑ චන්න ඇමැතිගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ “මෝඩ තරිඳු”‍ චිත්‍රපටය ජූලි මාසයේදී තිරගත වෙන්න නියමිතයි. ඒකෙ මෝඩ තරිඳුගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒක ලස්සන වෙනස් විදියේ නිර්මාණයක්. ඒ වගේම ධනුෂ්ක රේවන් අධ්‍යක්ෂණය කරන “සුදු කළු”‍ චිත්‍රපටයේ පිටපත මේ දිනවල කියවමින් යනවා. ඒකත් වෙනස්ම කතාවක් වේවි. තවත් ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙන්නත් සූදානමක් තියෙනවා.

මේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුලයි නේද?
එහෙම ලොකුවට කාර්යබහුලයි කියන්නත් බැහැ. අපිට ඕනෑම දෙයක් කරන්න කාලය තියෙනවා. හොඳම දේ ඒ කාලය කළමනාකරණය කර ගැනීමයි.

මේ දේවල් එක්ක ගමේ යන්න ලැබෙන ඉඩකඩ කොහොමද?
ඒ වෙලාව කොහොම හරි හොයා ගන්නවා. ජනවාරි මාසයේ ගමේ ගියා. අප්‍රේල් යන්න ඕනෑ. අම්මලාට කුඹුරු වැඩ නිසා කොළඹ එන්න ලැබෙන්නේ නැහැ. අනික දවසකට දෙකකට ගමේ ගිහින් වැඩකුත් නැහැ. අඩුම තරමේ දවස් හතරක්වත් ගමේ ගිහින් ඉන්න ඕනෑ. මම ගමේ ගියාම උදේට අපේ ගෙදර හරියට දාන ගෙයක් වගේ. මගේ ලොකු අම්මා, නැන්දලා, නෑදෑයො හැමෝම මම ආසා කරන කෑම ජාති හදාගෙන එනවා. අපේ පවුලේ දරුවන් එකොළහයි. මම පවුලේ හත්වැනියා. ඉතින් අපේ පවුල හරි ලොකුයි. ගමේ ගියාම ඒක වෙනමම ලෝකයක්. උදේට කෑම මේසයේ මම කන්න ආසා කෑම පිරිලා. ඒ නිසා ගෙදර ගියාම දවස් දෙකක් හොඳටම මදි. ඔය අතරේ මගේ ගමේ යාළුවොත් ඉන්නවා. කැමරාව ඉදිරියේ ඒ මොහොතේ මම නළුවෙක් වුණාට සැබෑ ජීවිතේ මම හරිම සාමාන්‍ය සරල මනුස්සයෙක්. මම සූර්යා දයාරුවන් විතරමයි. මම පාසල් තුනක ඉගෙන ගත්තා. ඉතින් මගේ යාළුවෝ වැඩියි. කොහොම හරි වෙලාව වෙන් කරගෙන ගමේ ගියාම මට ඉගැන්වූ ගුරුවරුන්, යාළුවන් බලන්නත් යනවා.

ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු කොහොමද?
උසස් අධ්‍යාපනයත් කරගෙන යනවා. ඔපෙරා නිසා වෙන රැකියාවක් කරන්න වෙලාවක් නැහැ. පැය හයක් හතක් නිදාගන්න ඕනෑ. පුහුණුවීම් කරන්න ඕනෑ. කෑම බීම පාලනය කරන්න ඕනෑ. කටහඬ පුහුණු කරන්න ඕනෑ. ඒ නිසා පූර්ණ කාලීනව ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. පළමු වතාවට ටෙලිනාට්‍යයක ගීතයක් වසරේ හොඳම ගායකයාට හිමි සම්මානයට නිර්දේශ වුණා. ඒ මෙවර රයිගම් සම්මාන උළෙලේදීයි. මේ වෙද්දි මගේ ගීත අනූවක් පමණ කරලා තියෙනවා.

ගමෙන් කොළඹට එද්දී නළුවෙක් වෙන හීනයක් තිබුණාද?
මම ගමෙන් කොළඹට ආවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයටයි. ගායනය පැත්තෙන් ඉදිරියට යන කැමැත්ත තිබුණා. පුංචි කාලේ ඉඳන් අක්කා “රූපවාහිනියෙන් දකින්න පුළුවන් කියලා”‍ පොඩි පොඩි අනාවැකි කිව්වා. ඒ දේවල් මගේ ඔළුවේ තිබුණා. ඔය අතරේ මගේ වාසනාවට මට “සමනල සංධ්වනිය” චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒක ජීවිතේ එක්තරා හැරවුමක් වුණා. ඒ වගේ කරපු නිර්මාණත් එක්ක හැරවුම් කිහිපයක්ම ඉදිරියටත් ඒවි කියලා මම විශ්වාස කරනවා. මේ වෙද්දි මම දායක වුණු චිත්‍රපට හයක් පමණ තිරගත වෙන්න තියෙනවා. ඔය අතරේ ඇමෙරිකානු අධ්‍යක්ෂවරයෙක්ගේ ඉංග්‍රීසි චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ඇමෙරිකානු නිෂ්පාදනයක්. ඒ දේවල් සොබාදහමෙන් ලැබුණු මොකක්දෝ වාසනාවක් කියලා මට හිතෙනවා.

රංගනයට කොයි තරම් අවස්ථා ආවත් සූර්යයා උසස් අධ්‍යාපනය අතහැරියේ නෑ. එහෙම නේද?
ඔව්... “සමනල සංධ්වනිය” රඟපාද්දි මම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබුවා. ඒක තිරගත වෙද්දී තුන්වැනි වසරේ. ඔය අතරේ මට ආරාධනා බොහොමයක් ලැබුණා. නමුත් මම එක් ටෙලිනාට්‍යයක් විතරයි බාරගත්තෙ. කොහොම හරි ඉවසගෙන මගේ උසස් අධ්‍යාපනයට මුල් තැන දීලා පන්ති සාමාර්ථයක් එක්ක ඉහළින්ම සමත් වෙන්න මට අවස්ථාව ලැබුණා. ගෙදරින් වුණත් “අධ්‍යාපනය මුලින්ම සම්පූර්ණ කරගෙන ඉන්න, නිර්මාණ ඔයාට ඉස්සරහට ඒවි”‍ කියලයි කිව්වේ. ඒ නිසා මම උසස් අධ්‍යාපනයට මුල් තැන දුන්නා.

කී වරක් දෙවැනි මනමාලයා වෙලා තියෙනවද?
අවසානයට සහභාගි වුණු සංජනාගේ වෙඩින් එකට හතළිස්අට වැනි වරටයි හිටියේ. දෙවැනි මනමාලයාට මේ වෙනකොට හතළිස් අට වතාවක් ඉඳලා තියෙනවා.

පනස් වැනි වරටවත් මනාලයෙක් වෙයිද?
ඒක නම් කියන්න හරියට දන්නේ නෑ. සමහර ලැබුණු ආරාධනා බාරගත්තෙත් නැහැ. ජීවිතයේ ආදරය කරන අය මුණගැහෙනවා, නැතිවෙනවා. හරි කෙනා හරි වෙලාවට මුණගැහේවි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු.

• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ