2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

කවදාවත් සිංහල චිත්‍රපට නොබලපු අයත් නෙළුම් කුළුණ බැලුවා - Kaushalya Fernando

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

වේදිකාව, පුංචි තිරය මෙන්ම රිදී තිරය ද එක සේ ජයගත් ඇය කලා ලොව තාරකාවන් අතර වෙනස්ම අයුරකින් දිදුලන්නා වූ ප්‍රවීණ තාරකාවියකි. අද හදසර කතාබහ, මේ දිනවල රසිකයන් සිනා සාගරයක ගිල්වීමට සමත් වූ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් තුළින් අප හමුවට එන කෞෂල්‍යා ප්‍රනාන්දු සමඟයි.

කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ ‘පුද්ගලිකයි රහසිගතයි’ වේදිකා නාට්‍යයේ රඟපෑම් කටයුතු කරනවා. ඒ වගේම නෙළුම් කුළුණ චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතුවලට යනවා. ඊට අමතරව මගේ මවගේ නාට්‍ය පාසලේ වැඩ කටයුතු කරගෙන යනවා.

මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන චිත්‍රපටයක් තමයි ‘නෙළුම් කුළුණ’. මීට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
නෙළුම් කුළුණ අධ්‍යක්ෂණය කළ ඉලංගෝ රාම් මට හමුවෙලා තියෙනවා. මම පාසල් ගිහින් ඉවරවුණු මුල් කාලේ වගේ ඉලංගෝ රාම් මොකක් හරි හේතුවකට අපේ ගෙදර ආවා. කොහොමත් ඉලංගෝ සහ මම අතර මිත්‍රත්වයක්, හිතවත්කමක් තිබුණා. ඒ වගේම මගේ රඟපෑම් ඔහු අගය කළා. නෙළුම් කුළුණ කියන්නේ ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. තිර පිටපත ලිව්වට පස්සේ ප්‍රධාන චරිතයට මාව ගන්න ඕනෑ කියන අදහස ඔහුගේ ඔළුවට ඇවිත් තිබුණා. ඉතින් ඒ හැඳුනුම්කමත් එක්ක තමයි මට මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

නෙළුම් කුළුණ කියන්නේ ‘බ්ලැක් කොමඩි’ ගණයේ සිනමා පටයක්. මොකක්ද මේ ‘බ්ලැක් කොමඩි’ කියන්නෙ?
දැන් අපේ රටේ චිත්‍රපට ගත්තාම ‘කොමඩි නළුවන්’ කියලා කොටසක් රඟපානවා. ‘කොමඩි’ කියලා ගත්තාම අවස්ථාව විහිළුයි. වචන දෙබස් හාස්‍යෝත්පාදකයි. රඟපානකොටත් දඟලලා කෑගහලා එහෙමනේ රඟපාන්නෙ.
හැබැයි ‘බ්ලැක් කොමඩි’ ගත්තම බොහොම බැරෑරුම් ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ. ඒ ප්‍රශ්නය තුළින් මතුවන හාස්‍යය, ඒ කියන්නේ හාස්‍යය උපදින්නේ අර ප්‍රශ්නය තුළින්. මේක කෙළින්ම හාස්‍යය මතු කරන්න කරන කතාවක් නෙවෙයි. ලොකු බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නකොට ඒක විසඳීමේ ක්‍රියාවලිය ඇතුළේ මතුවන හාස්‍යය තමයි ‘බ්ලැක් කොමඩි’ කියලා අපි හඳුන්වන්නෙ.

‘නෙළුම් කුළුණ’ ගැන වචනයක් කතා කරමු?
නෙළුම් කුළුණ වගේ ‘බ්ලැක් කොමඩි’ චිත්‍රපට මීට කලින් ආවද නැද්ද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මෑත කාලයේ නම් එහෙම ඇවිත් නැහැ. ඊළඟ විශේෂම කාරණය තමයි නෙළුම් කුළුණ කියන්නෙ කට වචනයෙන්ම රසිකයන් අතර ජනප්‍රියතාවට සහ ප්‍රසිද්ධියට පත්වුණු චිත්‍රපටයක්. මේක කවුරු හරි කෙනෙක් ගිහින් බලලා ඇවිත් තව කෙනකුට ගිහින් කිව්වාම එයත් ගිහින් බලනවා. එයා තව කෙනකුට කිව්වාම ඒ කෙනත් ගිහින් බලනවා. ඒ වගේ තමයි නෙළුම් කුළුණ ප්‍රචාරණ කටයුතු සිද්ධවෙලා තියෙන්නෙ.
ඉතින් අපි වත්තල, කුරුණෑගල, කෑගල්ල වගේ චිත්‍රපටය පෙන්වන ගොඩක් තැන්වලට ගියා. ඒ චිත්‍රපට ශාලා ‘හවුස් ෆුල්’. අපිව දැක්කාම ප්‍රේක්ෂකයන් අත්පුඩි ගහනවා. අපිත් එක්ක ඡායාරූප ගන්නවා. කවදාවත් සිංහල චිත්‍රපට නොබලපු අයත් මේක බලලා තිබුණා.
මේ චිත්‍රපටය හාස්‍යමය වුණාට ඒකේ කතන්දරයක් තියෙනවා. අවස්ථා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක නෙළුම් කුළුණට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියෙනවා.

මේක තමයි ‘බ්ලැක් කොමඩි’ ගණයේ චිත්‍රපටයක ඔබගේ පළමු රංගනය. ඒ අත්දැකීම් ගැන කතා කරමු?
‘බ්ලැක් කොමඩි’ කියන්නේ මේකට දාලා තියෙන නමනෙ. ඉතින් අපි ඒ ගැන හිතුවේ නැහැ. අපි පිටපත අරගෙන පිටපතේ තියෙන චරිතය රඟපෑවා. හැබැයි ඉතින් රඟපෑමේදී සහ පිටපත කියවීමේදී අපි මේ පිටපත ගොඩක් රසවින්දා. එතැන හිටපු අනෙකුත් නළු නිළියෝ වේදිකාවෙන් ආපු මගේ සහෝදර නළු නිළියන්. අපි අතරේ ලොකු බැඳීමකුත් තියෙනවා. මිත්‍රත්වයක් තියෙනවා. ඉතින් ඒකත් සෑහෙන්න බලපෑවා මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට සහ ගුණාත්මක බවට. අනික එක එකම තැන රූගත කිරීම් කළේ. ඒ නිවස ආශ්‍රිතව. ඒකත් ලොකු පහසුවක් වුණා.

නෙළුම් කුළුණ කියන්නේ සිනා සාගරයක්. රූගත කිරීම්වලදී සිනහ නොවී රඟපෑවේ කොහොමද?
පිටපත කියවනකොටම ඒකෙ තියෙන හාස්‍ය අපි විඳලා ඉවර කරගත්තා. ඊට පස්සේ මේ කතාව නිර්මාණාත්මකව සහ ගුණාත්මකව කොහොමද සිදු කරන්නේ කියන කාරණාව ගැන තමයි අපි ගොඩක් හිතුවේ. අපි හැමෝම ඒ බැරෑරුම් ප්‍රශ්නයට අවධානය යොමු කරලා වැඩ කළා. ඒ කොහොම වුණත් රූගත කිරීම් අවස්ථාවලදී හිනාව නවත්වාගන්න බැරිවුණු තැනුත් තියෙනවා.

නෙළුම් කුළුණ කියන්නේ ගැඹුරු අර්ථයක් තියෙන චිත්‍රපටයක්. මේ මගින් සමාජයට දෙන පණිවිඩය ගැනත් කතා කරමු?
මෙහෙමයි. නිර්මාණ කරන්නේ පණිවිඩ දෙන්නම නෙවෙයි. නිර්මාණ කරන්නේ විඳින්න.  තමන්ට හිතෙනවා නම් යම්කිසි පණිවිඩයක් මේකේ තියෙනවා කියලා, ඒක ගන්න එක වෙනම දෙයක්. නමුත් මේ සිද්ධ වෙන දේවල්, මේ චරිතවලට අපේ සංස්කෘතිය නිසා සිද්ධවෙන දේවල්, එතකොට අපි කලබල වීම නිසා සිද්ධවෙන දේවල්, ස්ථිර තීරණයක් ගන්න බැරිවීම, පවුලක් ඇතුළෙ තියෙන ප්‍රශ්න වගේ ගොඩක් දේවල් මේක තුළින් හෙළිදරව් වෙනවා.
චිත්‍රපටය ගැන කතා කරනකොට, තාත්තා කා එක්කද වඩාත්ම සමීප? ඇයි සමීප? අර ඉගෙන ගත්ත අයියගේ තියෙන ඍජු බව වගේ දේවල් එක්ක එක් එක් පුද්ගලයාට ඒ ඒ චරිත ගුණාංග ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. හැබැයි සමස්තයක් විදිහට බලනකොට පණිවිඩයකට වඩා තියෙන්නේ රසවිඳීම.

ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට, අද වනවිට ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන මට්ටමේ සිනමාවක් අපේ රටේ තියෙනවා කියලා හිතෙනවාද?
මට හිතෙනවා එහෙම දෙයක් ගොඩනැගෙමින් පවතිනවා කියලා. ප්‍රේක්ෂකයාව සිනමා ශාලාවලට ගෙන්වා ගැනීමනේ මූලික වශයෙන් වැදගත්ම දේ. දැන් ඒක සිදුවෙමින් පවතිනවා. ‘ආදරණීය ප්‍රාර්ථනා‘, ‘රාණි’ වගේ මෑත කාලීනව ආපු ගොඩක් චිත්‍රපට ඔස්සේ චිත්‍රපට බලන්න මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වුණා. දැන් තියෙන්නේ වෙනමම ප්‍රේක්ෂකාගාරයක්. කවදාවත් චිත්‍රපට බලපු නැති අය, කවදාවත් සිංහල චිත්‍රපට බලපු නැති අය, සමහර අය වයසට ගියාම චිත්‍රපට බලන්න ආපු අය, මේ වගේ විවිධාකාර ප්‍රේක්ෂකයන් බොහොමයක් අපිට හමුවුණා. මේ දේවල් එක්ක බලනකොට මට හිතෙනවා, ඉදිරියට නිෂ්පාදනය වෙමින් පවතින සහ එන්න නියමිත චිත්‍රපට බලන්න මීටත් වැඩිය ප්‍රේක්ෂකයන් සිනමා හල්වලට පැමිණෙයි කියලා.

• මංගලා පවිත්‍රානි