පා බැඳි නූපුර තාලයට නාද කරවමින්, මන බන්ධනීය තාල රටාවලට දෙපා තබා මධුර මනෝහර නර්තන ප්‍රතිභාවෙන් දෙස් විදෙස් දන මන උන්මාද කළ ‘නර්තන රැඡන’ රැජිනි සෙල්වනායගම් මහත්මිය සදාතනික සොඳුරු මතක ගොන්නක් දැයට දායාද කරමින් අප අතරින් නික්ම ගොස් මේ වන විට වසරකට අධික කාලයක් ගත වී අවසන්ය.
‘නර්තන රැජන’ ලෙස විරුදාවලි ලද ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිනි සෙල්වනායගම් මහත්මිය 2023 වසරේ 20 වැනි දින දිවි සැරිය නිම කළාය. වසර හයහමාරක පමණ කාලයක සිට, පෙනහළු පිළිකා රෝගය සමඟ සටන් කරමින් සිටි ඇය ජීවිතයෙන් සමුගන්න වනවිට හැත්තෑ එක්වන වියේ පසුවූවාය.
නර්තන ලොව එකලු කළ මිණි පහනක් වන් රැජිනි සෙල්ලවනායගම් මහත්මියගේ හැත්තෑ හතර වැනි ජන්ම දිනය මේ වසරේ අප්‍රේල් මස හතර වැනි දිනට යෙදී තිබිණි. ඊට සමගාමීව රැජිනි සෙල්වනායගම් මහත්මියගේ භෂ්මාවශේෂ ගෙන සුසානගරයක්, බොරැල්ල කනත්තේ කලාකරුවන් සඳහා වෙන්වූ විශේෂ කොටසේ ඉදිකළ අතර එය සරල උත්සවයක් මගින් නිරාවරණය කරනු ලැබුවේද එතුමියගේ ජන්ම දිනය වන අප්‍රේල් මස හතර වැනිදාය. ඒ සඳහා එතුමිය විසින් ආරම්භ කරන ලද ‘චාමර කලා නිකේතනයේ’ ආදි ශිෂ්‍ය සංගමය ද සහභාගි වූ අතර, සුසානගරය සඳහා වූ සියලු බර පැන දරනු ලැබුවේ එතුමියගේ සහෝදරයා, සහෝදරිය ඇතුළු පවුලේ අය විසිනි.
රැජිනි සෙල්වනායගම්ගේ මව බලංගොඩ පදිංචිව සිටි කාන්තාවක වූ අතර, පියා යාපනයේ උපත ලැබූ දමිල ජාතිකයෙක් විය. ආදරණීය යුවලක් වූ ඔවුන් දෙදෙනාට දාව රැජිනි ඇතුළු දූවරුන් නව දෙනෙක් සහ එක් පුත්‍රයෙක් උපත ලැබූහ. පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරුවකු ලෙස සේවය කළ අතර ඔහුට ලැබෙන ස්ථාන මාරුවීම් නිසා පාසල් කිහිපයකම ඉගෙනුම ලැබීමට රැජිනිට සිදුවිය. ඒ අනුව, ඇයගේ පළමු පාසල වූයේ, කොළඹ බෞද්ධ බාලිකා විද්‍යාලයයි. පසුව පියාට ලැබුණු ස්ථාන මාරුවක් හේතුවෙන් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වීමට ඇයට සිදුවිය.
රැජිනි සෙල්වනායගම් පවසා ඇති පරිදි ඇයගේ නර්තන ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ, ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමය.
“මට පොඩි කාලේ ඉඳන් හීනෙන් වගේ හැමතිස්සෙම පෙනුණා, නැටුම. මම හැමතිස්සෙම ඒ කාලේ අතපය නටවනවා. ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී මගේ වාසනාවට මගේ ගුරු සරත් ලාල් පනාවල මහත්මයා මට මුණගැසුණා. එතුමා තමයි මට මේ තරම් ලොකු ගමනක් යන්න මග පෙන්නුවේ,” රූපවාහිනී සාකච්ඡාවකදී වරක් ඇය පැවසුවාය.
පසු කලෙක ශ්‍රී ලංකා කලා ලෝකයේ විශිෂ්ටයන් බවට පත්වූ නිශ්ශංක දිද්දෙණිය සහ සුමනා රත්නපාල යන කලාවේදීන් ද රැජිනි සෙල්වනායගම් සමඟ සරත් ලාල් පනාවල නර්තන ගුරුවරයාගෙන් ඉගෙනුම ලැබූ සමකාලීනයන් දෙදෙනෙකි.
‘නර්තන රැජන’ ලෙසින් විරුදාවලි ලබන්නට තරම් දිගු දුරක් ආ නමුත් ඇයගේ ආරම්භක පියවර එතරම් සුන්දර වූවක් නොවේ. රැජිනි ඇතුළු සිය දූවරුන් ගුරුවරියන් බවට පත්වනු දැකීමට කැමැත්තෙන් සිටි ඇගේ මව, රැජිනි නර්තනය හැදෑරීම සම්බන්ධයෙන් කිසිදු කැමැත්තක් නොදැක්වූවා පමණක් නොව, එය නතර කිරීමට බොහෝ සෙයින් උත්සාහ කළාය.
“අම්මා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. අම්මා ගහලා තියෙනවා මගේ කකුල් පුපුරන්න. අම්මා කිව්වෙම නටන්න එපා කියලා. අම්මා කිව්වේ ගැහැනු ළමයින්ට නැටුම් සුදුසු දෙයක් නෙවෙයි කියලා. අක්කලාත් විරුද්ධ වුණා. ඉස්කෝලෙ නැටුවාම අක්කලා ගෙදර ඇවිත් අම්මාට කේලම් කිව්වා. අම්මා ඉතින් ඒවා අහලා මට කකුල් පුපුරන්න ගහනවා,” ඇය පවසා තිබිණි.
මවුපියන්ගේ සහ සොයුරියන්ගේ විරෝධතා මධ්‍යයේ, ලේ කඳුළු වගුරුවමින් ඇය ආ ගමන අවසානයේ දෙස් විදෙස් සුපතල රංගන ශිල්පිනියක් වූවා පමණක් නොව, දහස් ගණන් නර්තනාචාර්යවරුන් දැයට දායාද කිරීමට තරම් ඇය වාසනාවන්ත වූවාය.
පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රැජිනි, කොළඹ සෞන්දර්ය විද්‍යා පීඨයට ඇතුළු වී එවකට පැවති නර්තන ඩිප්ලෝමාව නිම කළාය. ඊට අමතරව, ඇය භරත නාට්‍යයම් විෂය සම්බන්ධයෙන්ද ඩිප්ලෝමාවක් ලබා ගත්තාය. ඇයට තමන් ආශාවෙන් උගත් ශිල්පය දරුවන්ට ඉගැන්වීමට අවශ්‍ය වූයේ, ඉන් පසුවය.
ඒ අනුව ඇය 1975 වසරේ පෙබරවාරි මස 5 වැනිදා ‘චාමර කලායතනය’ නමින් නර්තන කලායතනයක් ආරම්භ කළාය. එය අදටත් දහස් ගණන් සිසුන්ට නිසි මග පෙන්වන නර්තන ප්‍රදීපාගාරයක් බඳුය.
ඇය නර්තන ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා, හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලේ වසර 18 ක් සේවයේ නිරත වූවාය. රැජිනි සෙල්වනායගම්ගේ සැමියා වූයේ, හරීන්ද්‍ර රොද්‍රිගු නමැත්තෙකි. විවාහයෙන් ඇයට දරුවන් නොසිටියද ඇය ඒ සම්බන්ධයෙන් කම්පාවට පත්වූයේ නැත. ඇය ජීවත්ව සිටින කාලයේ පවසා තිබුණේ, “මට අම්මා කෙනෙක් වෙන්න බැරි වුණාට දෙවියන් වහන්සේ මට දරුවෝ ගොඩක් දීලා තියෙනවා. මම උගන්වපු හැම දරුවෙක්ම මට මගේම දරුවෙක් කියලයි හිතෙන්නෙ. දෙවියන් වහන්සේ මට දරුවන් දුන්නා නම් සමහර විට මට මේ වගේ විශාල දරුවන් පිරිසකට අම්මා වෙන්න බැරි වෙයි. ඒ නිසා මම ගොඩක් සතුටු වෙනවා මට ලැබුණු ජීවිතය ගැන,” යනුවෙනි.
චන්න - උපුලි ඇතුළු මෙරට පසුකාලීන නර්තන පරම්පරාවන්ගේද මුල් ගුරුවරිය වූ රැජිනි සෙල්වනායගම්, ‘කලා කීර්ති’ සහ ‘විශ්ව කලා කීර්ති’ යන සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. දහස් ගණනක් නර්තන ශිල්පීන් බිහි කරමින්, මෙරට නර්තන සංස්කෘතිය ලෝකය හමුවේ බබළවන්නට මුල් වූ ‘රැජිනි සෙල්වනායගම්’ නාමය තවත් චිරාත් කාලයක් ලක්දිව දනන්ගේ හදවත් තුළ පණ ගැහෙමින් හුස්ම ගනු ඇත.
(විශේෂ ස්තූතිය -: චාමර කලායතනයේ නිකේතනාධිපති චන්දන හේරත් මහතාට)
• මංගලා පවිත්‍රානි