ජනක... ඉන්දියාවේ විස්පි කාඩ් තැබූ ගිනස් වාර්තාව පසුගිය දිනක ඔබ ඔබේ කර ගත්තා. මුලින්ම හදසර අපේ සුබ පැතුම්?
ගොඩක් ස්තූතියි. මම පසුගියදා විනාඩියක් තුළදී යකඩ කම්බි තිහක් හිසෙන් නවා ගිනස් වාර්තාවක් තැබුවා. ඊට පෙර ඉන්දියාවේ විස්පි යකඩ කම්බි විසි හතරක් විනාඩියක් තුළදී හිසෙන් නවා තිබුණා.
ජනක යෝධ පරම්පරාවකින් පැවත එන පුරුකක්. එහෙම නේද?
ඔව්... මම “හඟුරන්කෙත යෝධ පරම්පරාව” නම් වූ විශේෂ නාමය හිමි පරපුරකින් පැවත එන පරම්පරාවක පුරුකක්. මගේ තාත්තා “හඟුරන්කෙත යෝධයා” නමින් හැඳින්වෙන ගාමිණී වසන්තයි. ඔහු ගිනස් වාර්තා හතරකට හිමිකම් කියනවා.
ඔබ ක්‍රීඩාවට අවතීර්ණ වුණේ කොහොමද?
මම පාසලේදි මළල ක්‍රීඩා, මල්ලවපොර, අත්පන්දු, ක්‍රිකට් වැනි ක්‍රීඩාවලට සහභාගි වුණා. ඒවායින් ජාතික මට්ටමින් ජයග්‍රහණ අත්පත් කර ගත්තා. ඒ විතරක් නෙවෙයි, මල්ලවපොර ජාත්‍යන්තර තරගයකින්ද ජයග්‍රහණය කරලා තියෙනවා. මේ හැමදේටම මගේ තාත්තා යෝධ සෙවණැල්ලක් වෙමින් මාත් එක්ක හිටියා.
ජනක අද වෙද්දි ක්‍රීඩකයෙක් විතරක් නෙවෙයි, කලාවටත් සම්බන්ධ වුණු කෙනෙක්?
ඔව්... මම පාසලේ පැවැත්වූ විවිධ ප්‍රසංගවලට සම්බන්ධවෙලා තියෙනවා. ඒ වගේම ගමේ, දහම් පාසලේ තිබුණු වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. බටහිර නර්තනය හදාරලා තියෙනවා. ඔය අතර ස්වාධීන රූපවාහිනිය හා ජාතික තරුණසේවා සභාව එක්ව සංවිධානය කළ youth with talent තරගයෙන් මම ජයග්‍රහණය කළා. එහි දෙවැනි තරගාවලියේදී මට විනිශ්චයකරුවෙක් විදියටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එහි නිවේදනය කටයුතු කළේ දිල්ෂාන් පතිරත්නයි. ඔහු එක්ක දවසක් කතා කරමින් ඉඳිද්දි “උඹගේ ඇතුළේ නළුවෙක් ඉන්නවනෙ බං” කියලා කිව්වා. ඒ කතාවේදී මට හිනාත් ගියා. නමුත් ඔහු මාව සද්ධාමංගල සූරියබණ්ඩාර මහතාට හඳුන්වා දුන්නා. ඒ අනුව තමයි මගේ පළමු ටෙලිනාට්‍ය රංගනය විදිහට “අග්නි පියාපත්” ටෙලිනාට්‍යයේ ”රැම්බෝ”ගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කළේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතායි. ඒ නිර්මාණයේදී සද්ධා අයියා, චාමර අයියා, සිවා අයියා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. අදටත් ඒ වගේමයි.
මේ වෙද්දි දායක වුණු නිර්මාණ මොනවාද?
මේ වෙද්දි මම නාට්‍ය කිහිපයකටම සම්බන්ධවෙලා ඉන්නවා. අග්නි පියාපත්, සර්කස්කාරයෝ, ආලවන්තී, ශක්ති, මී මැස්සා, පරපුරක පෙම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ වගේම ගිරිරාජ් කෞශල්‍ය මහතා තිර රචනය කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ “කාසි වාසි” චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.
ජනක පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද?
මම මුලින්ම මගේ ගමේ පාසල වන පල්ලේබෝවල් මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. පහ වසර ශිෂ්‍යත්වය සමත්වෙලා මම පොරමඩුල්ල ජාතික පාසලට ඇතුළත් වුණා. පාසල් කාලයේදී මම ටිකක් දඩබ්බර චරිතයක්. මගේ සමකාලීන මිතුරන්ට කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම මළල ක්‍රීඩාවට, මල්ලවපොර, ක්‍රිකට්, වොලිබෝල් ක්‍රීඩාවලට ඉතා දක්ෂ ලෙස පාසල නියෝජනය කළා. සමස්ත ලංකා තරග ජයග්‍රහණය කළා. පාසලේ පැවති ශිෂ්‍ය සංගම්වල තනතුරු දැරුවා. අපේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකකම, ක්‍රීඩා නායකකම, සමිති සභාපතිකම එකම වසරේදී මට හිමිවුණා. නමුත් ප්‍රධාන ශිෂ්‍ය නායකකම මමම යෝජනා කරලා වෙන කෙනකුට ඒ තනතුර ලබා දුන්නා.
මේ වෙද්දි ඔබ කලාකරුවෙක්, ක්‍රීඩකයෙක්. ඒ අතරේ රැකියාවක නිරත වෙනවා?
ඔව්... මම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරනවා. එයින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ ක්‍රීඩාවට අපේ ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලුම කාර්ය මණ්ඩලය ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ හැමදෙනාටම ගොඩක් ස්තූති කරන්න ඕනෑ.
ජනක මේ වෙද්දි ගිනස් වාර්තා කිහිපයක්ම පිහිටවූ ක්‍රීඩකයෙක්... කලාකරුවෙක්?
මේ වෙද්දි මම ගිනස් වාර්තා අටක් පිහිටුවලා තියෙනවා. ටොන් 1.5 ක් බර වෑන් රථ 32 ක් අතැඟිලි මගින් ධාවනය කරවීම, 12mm ඝනකම් යකඩ කම්බි 18 ක් විනාඩියක් තුළ දත්වලින් අල්ලා නැමීම, 50kg බර පිටි බෑග් 17ක් 30m දුර විනාඩි 28 ක් ඇතුළත දත්වලින් ඔසවාගෙන යාම, තත්ත්පර 48 ක් ඇතුළත 12mm ඝනකම් යකඩ කම්බි 22 ක් හිස ආධාරයෙන් නැමීම, 100kg වැඩි කොන්ක්‍රීට් ලෑලි පනහක් විනාඩි පහක් ඇතුළත උදරයේ තබා කැඩීම, 50kg බර අයිස් කුට්ටි 50 ක් අඩි 20 ක් ඉහළ සිටි උදරය මත ඇති 420kg බර ගලක් මතට විනාඩි 38 ක් ඇතුළත හෙලා කැඩීම, ඇණ ලෑල්ලක් මත නිදා සිටියදී විනාඩියක් තුළ කොන්ක්‍රීට් ලෑලි තිස් පහක් උදරය තබා කැඩීම සහ විනාඩියක් තුළ කොන්ක්‍රීට් ලෑලි 26 ක් කුළු ගෙඩියෙන් ගසා කැඩීම යන ගිනස් වාර්තා පිහිටෙව්වා.
මේ වාර්තා සියල්ලම ඉතා අසීරු කාර්යයන්. ඒ මුහුණ දුන් අභියෝග ගැන කතා කළොත්?
ඇත්තටම මේ සියල්ලම මට අභියෝගම තමයි. ජාත්‍යන්තරයට යන ලෝක වාර්තා පිහිටුවන ක්‍රීඩා කරද්දී ආර්ථික අපහසුතා ඇතිවුණා. අදටත් එහෙමයි. මේ වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. පුහුණුවීම් සඳහා පුහුණු උපකරණ වෙනුවෙන් විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. පුහුණුවෙන යම් යම් මධ්‍යස්ථාන මගේ ක්‍රීඩාවට අවශ්‍ය විදිහට ලංකාවේ නැහැ. ඒවා මට වෙනම පුළුවන් විදිහට හදාගෙන පුහුණුවීම් කරන්න සිද්ධ වුණා. නැව් අදින්න, කෝච්චි අදින්න, ගුවන් යානා අදින්න මම විශේෂ අවසර ගන්න ඕනෑ. ඒ අභියෝග මට තියෙනවා. මේ සඳහා මගේ ආයතනයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අභියෝග ගොඩක් තියෙනවා. නමුත් ඒ අභියෝග ජය ගැනීමම තමයි මගේ අරමුණ.
පවුලේ විස්තර ටිකක් කියන්න?
දරුවන් තුන්දෙනෙක් ඉන්න පවුලේ වැඩිමලා මමයි. මට නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්නවා. මගේ අම්මා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් ස්ථානාධිපතිනියක් ලෙස සේවය කරලා දැන් විශ්‍රාමිකයි. මගේ බිරිඳගෙන්, යාළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මම පුතෙක්ගේ තාත්තා කෙනෙක්.
අද වෙද්දි මොකද හිතෙන්නෙ?
ඇත්තටම මට යන්න ඕනෑ ගමනින් සියයට දහයක් පමණ මම ගිහින් තියෙනවා කියලා හිතෙනවා. තව ගොඩක් දුර යන්න තියෙනවා. මගේ ඇඟේ හයිය තියෙනකල් තමයි මගේ ඉලක්ක සපුරාගන්න පුළුවන් වෙන්නෙ. තව ගිනස් ලෝක වාර්තා කිහිපයක් බිඳ හෙලන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම කලාවටත් මම හරි ආදරෙයි. තව නිර්මාණවලටත් දායක වෙන්න ආසයි. පොඩි කාලේ ඉඳන් මම සල්ලිකාරයෙක් වෙන්න බලාපොරොත්තු වුණේ නැහැ. මම ඉපදුණු රටට හොඳ යමක් කරලා මැරෙන මොහොතේ මතක හිටින මනුස්සයෙක් වෙන්න ආසා කළා. යම් යම් තැන්වලදී මම පරාජය වෙන්න ඇති. නමුත් පොදුවේ මට මම ගැන සතුටු වෙන්න පුළුවන්.
• දිශානි ජයමාලි