ඕනෑම සිනමා කෘතියක සංස්කරණ ශිල්පියාට පැවරෙන රාජකාරිය ඉතා බැරෑරුම් එකකි. මුල සිට අග දක්වා කතා තේමාවට අදාළව දර්ශන පෙළ නිසි ලෙස සකසන්නේ සංස්කරණ ශිල්පියාය.
රේඛාව, සංදේශය, ගැටවරයෝ, රන්මුතුදූව, සත් සමුදුර, ගම්පෙරළිය, පරසතු මල්, හන්තානේ කතාව, සිකුරුලියා, අහසින් පොළොවට වැනි චිත්‍රපට තවමත් අප මතකයේ රැඳී පවතින්නේ ශූර ලෙස සංස්කරණය කළ ඒ සිනමාපටවල දසුන් නිසායැයිද විටෙක සිතේ.
සංස්කරණ කතුර හරහා සිනමා අධ්‍යක්ෂවරුන් වූ ප්‍රකට චරිත කෙරෙහි හදසර අද අවධානය යොමුකරන්නට සිතුවා.
සංස්කරණ ශිල්පීන් ලෙස නමක් තැබූ ටයිටස් තොටවත්ත, සුමිත්‍රා පීරිස්, ඩී.බී. නිහාල්සිංහ, බර්නාඩ් රෙජිනෝල්ඩ් වාගේම තමා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක් සංස්කරණය කළ දිනේෂ් ප්‍රියසාද්, ඩිල්මන් ජයරත්න, කිංස්ලි රාජපක්ෂ හා හේමසිරි සෙල්ලප්පෙරුම අද විශේෂාංගයට ඇතුළත් වන ප්‍රකට ශිල්පීන්ය.
ටයිටස් තොටවත්ත
දේශීය සිනමාවේ සැබෑ ආරම්භය ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මුල්ම සිනමා නිර්මාණය රේඛාව (1956) සංස්කරණය කළේ ටයිටස් තොටවත්තයන්ය.
ඉන් අනතුරුව ටයිටස් සංස්කරණය කළේ සංදේශය (1960), දස්කොන් (1962), රන්මුතුදූව (1962), ගැටවරයෝ (1964), ධීවරයෝ (1964), සාරවිට (1965), පරසතු මල් (1966), පුංචි බබා (1968), හන්තානේ කතාව (1969), සිකුරැලියා (1975) වැනි ප්‍රකට සිනමා නිර්මාණයන්ය.
1965 දී තම ප්‍රථම චිත්‍රපටය වූ චණ්ඩියා අධ්‍යක්ෂණය කරන විට ටයිටස් චිත්‍රපට 7කට පමණ සංස්කරණයෙන් දායකත්වය ලබා දී තිබුණි.
සුමිත්‍රා පීරිස්
දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ සිනමා කිවිඳිය ලෙස සැලකෙන සුමිත්‍රා පීරිස් සිනමා ලොවට පිවිසියේද සංස්කරණ ශිල්පිනියක් ලෙසය.
1978 දී ඇය මුලින්ම අධ්‍යක්ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටයට පෙර සුමිත්‍රා සම්මානනීය චිත්‍රපට 10ක් සංස්කරණය කර තිබීම විශේෂත්වයකි.
ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966), රන්සළු (1967), ගොලු හදවත (1968), බක්මහ දීගේ (1969), අක්කර පහ (1970), ද ගෝඩ් කිං (1975), කළු දියදහර (1975), මඩොල් දූව (1976) හා අහසින් පොළොවට (1978) ඒ අතරින් ප්‍රධාන වේ.
ඩී.බී. නිහාල්සිංහ
ඩී.බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වැලිකතර (1971) බව කවුරුත් දන්නා නමුදු, එයට පෙර ඔහු චිත්‍රපට තුනක් සංස්කරණය කොට තිබෙන බව ඇතමුන් නොදන්නවා ඇති.
ප්‍රධාන වශයෙන් කැමරා ශිල්පියෙකු ලෙස පෙළහර පෑ ඩී.බී. නිහාල්සිංහයන් 1967 දී සත් සමුදුර චිත්‍රපටයද, 1969 දී බිනරමලී සහ පාරාවළලු චිත්‍රපටද සංස්කරණය කළේය. 1981 දී ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද චිත්‍රපටය සංස්කරණය කළේ ද නිහාල්සිංහයන්ය.
ඩිල්මන් ජයරත්න
ප්‍රවීණ සිනමාවේදී ඩිල්මන් ජයරත්න අද අප අතර නැතත් ඔහුගෙන් සිංහල සිනමාවට සිදු වූ මෙහෙය අගය කළ යුතුය. සංස්කරණ ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් ලෙස පමණක් නොව කැමරා අධ්‍යක්ෂණයෙන්ද ඔහු සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ.
ඩිල්මන් 1984 දී රණ දෙරණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් එහි කැමරාවද මෙහෙයවීය.
ඊටත් පෙර ඔහු කැමරාව මෙහෙයවමින් සංස්කරණය කළ චිත්‍රපට අතර මොකද වුණේ (1969), ජීවන ගංඟා (1974), විශ්මය (1978), අනූෂා (1979) හා දයාබර නිලූ (1981) කැපී පෙනේ.
බර්නාඩ් රෙජිනෝල්ඩ්
60 හා 70 දශකයේ වාණිජ සිනමාපට රැසක සංස්කරණ ශිල්පියා ලෙස කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන්නේ බර්නාඩ් රෙජිනෝල්ඩ්ය. 1987 දී ඔහු කැලෑමල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සංස්කරණය කළද, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය තුළ ඔහු සංස්කරණය කළ චිත්‍රපට නිසා ඔහුගේ නාමය නොමැකෙන ලෙස සටහන් වනු ඇත.
1967 දී ඔක්කොම හරි චිත්‍රපටය හරහා සංස්කරණ කටයුත්ත ඇරඹූ බර්නාඩ්, සූරයන්ගෙත් සූරයා, එදත් සූරයා අදත් සූරයා, සිංගප්පූර් චාලි, හොඳම වෙලාව, හොඳයි නරකයි, ආවා සොයා ආදරේ, සූරයා සූරයාමයි, චණ්ඩි පුතා, උන්නත් දාහයි මළත් දාහයි, උත්මාණෙනි, මයුරිගේ කතාව, සක්විති සුවය වැනි ආදායම් වාර්තා තැබූ චිත්‍රපට රැසක් සංස්කරණය කළේය.
දිනේෂ් ප්‍රියසාද්
අධ්‍යක්ෂකවරයෙකු පමණක් ලෙස නොව කැමරා ශිල්පියෙකු, විශේෂ ප්‍රයෝග තාක්ෂණ ශිල්පියෙකු මෙන්ම සංස්කරණ ශිල්පියෙකු ලෙසද දස්කම් දක්වා ඇති, වර්තමානයේදී වුවද එම දස්කම් ප්‍රකට කරන දිනේෂ් ප්‍රියසාද් සිංහල සිනමාවට බිහි වූ තවත් සුවිශේෂී චරිතයකි.
1986 දී ඔහු අධ්‍යක්ෂණය කළ පෙරළිකාරයෝ චිත්‍රපටයේ පටන් නොම්මර එකයි, වරදට දඬුවම්, හොඳ හොඳ සෙල්ලම්, පාරාදීසේ, දෙමෝදර පාලම, කොළොම්පූර් ඇතුළු ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සියල්ලක්ම සංස්කරණය කළේ දිනේෂ්ය.
හේමසිරි සෙල්ලප්පෙරුම
1981 දී ඔහු අධ්‍යක්ෂණය කළ සත්වෙනි දවස චිත්‍රපටයේ සංස්කරණ කටයුතු ද පැවරුණේ වාණිජ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ හේමසිරි සෙල්ලප්පෙරුමටය.
කිංස්ලි රාජපක්ෂ
1977 දී සුදු පරෙවියෝ හා 1979 දී &රාං කුරුල්ලෝ අධ්‍යක්ෂණය කළ කිංස්ලි රාජපක්ෂ ඒ චිත්‍රපට ද්විත්වයේ සංස්කරණ ශිල්පියාද විය.
Text — Ramesh Uvais