2017 ජුලි 08 වන සෙනසුරාදා

හෝටලයම බදුගත් පාපන්දු රජාග්‍ෙ රජ මඟුල

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

ලතින් අමෙරිකානු ජනතාවගේ සියවසේ විවාහ උත්සවය ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ගේ විවාහය පසුගියදා ආර්ජන්ටිනාවේදී පැවැත්වුණේ ලෝක පාපන්දු පිටියේ සුපිරි තරු රැසක් පිරිවරාගෙනයි. ‍
මෙසී හා ඔහුගේ කුඩා කලසිටම පෙම්වතිය වූ ඇන්ටොනෙලා රොකුසෝ අතර මෙම විවාහය පැවැත්වුණේ ආර්ජන්ටිනාවේ ඔවුන් දෙදෙනාගේම ගම් පළාත වන රොසයිරෝහි දීයි. මේ විවාහ උත්සවයේ අපූර්වත්වය තමයි ආරාධිතයන් 260 දෙනෙකු විවාහයට සහභාගි වෙද්දී ඔවුන්ගේ ආරක්ෂාවට 450කටත් වැඩි ආරක්ෂකයින් ප්‍රමාණයක් යොදවා තිබීම. මේ ආරක්ෂකයින් ගෙන්වා තිබුණේ ඊශ්‍රායලයෙන්. 

රොසයිරෝ නගරයේ පුල්මාන් හෝටලයේ පැවැති මේ විවාහ මංගලෝත්සවය වෙනුවෙන් ඉකුත් සති අන්තයේදී හෝටලය වෙනත් අමුත්තන් වෙනුවෙන් තමන්ගේ දොරවල් විවෘත කළේ නැහැ. සරලවම කිව්වොත් මෙසී මුළු හෝටලයම බදු අරන් තිබුණා. 
විවාහ මංගලෝත්සවයට මෙසීගේ ආර්ජන්ටිනා පිලේ සහෝදර ක්‍රීඩකයින් වගේම බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් රැසකුත් එක්ව සිටියා. ඒ අතර නෙයිමාර්, ලුයිස් සුවාරෙස්, සෙක් ෆැබ්රෙගාස්, සැවී හර්නැන්ඩස් වගේම ජෙරාඩ් පිකුක් හිටියා. ජෙරාඩ් පැමිණ තිබුණේ තම පෙම්වතිය ශකිරාත් සමඟ යි. ඇන්ටොනෙලාගේ මංගල ඇඳුම නිර්මාණය කර තිබුණේ ස්පාඤ්ඤ ජාතික ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වන රෝසා කාර්ලායි. රෝසා ස්පාඤ්ඤයේ රාජකීයයන්ට පවා ඇඳුම් නිර්මාණය කරන තැනැත්තියක්.
විවාහ උත්සවය අතරතුර කාගේත් අවධානය දිනාගත් අවස්ථාවක් වුණේ නව යුවල නර්තනයට පැමිණි මොහොතයි. ලතින් අමෙරිකානු සංගීතයට ඊටම ඔබින නර්තනයක් යුවල ඉදිරිපත් කළේ ආරාධිතයන්ගේ අත්පොළොසන් හඬ සහ දිරිගැන්වීම් මැදයි. මෙතෙක් කාලයක් එක් පාදයකින් පමණක් වැඩ පෙන්වූ මෙසීගේ අනෙක් පාදයේ වැඩකිඩත් බලාගත හැකිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ නර්තනය දැකීමෙන් අනතුරුවයි. කාගේ හෝ ජංගම දුරකථන කැමරාවක සටහන් වූ මේ අපූරු නර්තනය පසුව මෙසීත් ඇන්ටොනෙලාත් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් පිටුව හරහා ප්‍රසිද්ධ කරලා තිබුණා. 

මෙසීගේත් අන්ටොනෙලාගේත් ආදර කතාව දිහාවට හැරුණොත් ඔවුන් දෙදෙනා එකිනෙකා දැන හඳුනාගන්නේ වයස අවුරුදු පහ තරම් කුඩා කාලයේදීයි. මෙසීගේ කුඩා කල හොඳම මිතුරා වුණු ලුකස් ස්කාගිලාගේ ඥාති සොයුරියක් තමයි අන්ටොනෙලා. 2009 වසරේදී තමයි මෙසී තමාගේ මේ ආදර කතාව ප්‍රසිද්ධ කරන්නෙ. 

මේ දෙදෙනා විවාහවුණේ ගිය සතියේ වුණත් දැනටමත් ඔවුන්ට පුංචි පුතුන් දෙදෙනෙක් සිටිනවා. 2012 වසරේදී ආර්ජන්ටිනාව සහ ඉක්වදෝරය අතර පැවැති පාපන්දු තරගයක් අතරතුර ගෝලයක් වාර්තා කළ මෙසී තම පෙම්වතියගේ පළමු ගැබ් ගැනීම සිහිපත් කරමින් පාපන්දුව තමන්ගේ කමිසය තුළින් බඩට දමාගෙන ගෝල ජයග්‍රහණය සැමරීමත් ඒ දිනවල මාධ්‍ය ඔස්සේ කතාබහ කෙරුණා. 2012දී ඉපදුණු තියාගෝ සහ 2015දී උපන් මැටෙවෝ සමඟ මොවුන් ජීවත් වෙන්නේ ස්පාඤ්ඥයේ බාසිලෝනා නගරයේ සුපිරි මන්දිරයකයි. 

► Text - Rajitha 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00