2017 ජුලි 15 වන සෙනසුරාදා

ඔයා හරිම හිතුවක්කාර ගෑනියෙක්..

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

එදා රෑ එළිවෙන තුරුම මම හිටියෙ නිදිවර්ජිතව. පල්ලියේ උයන් කොණේ දැල්වී තිබූ විදුලි පහන් වලින් ගලා ආ රිදීවන් මන්දස්මිත ආලෝකය ගෙඋයනේ පලින් පල තිබූ තද කොළ පැහැති බංකු මතට වැටී දිලිසුණා. ඒ බංකු මතට වී මම කහ පැහැ රෝස කුසුම් දෙස බලා සිටි සීතල හැන්දෑවරු මගේ අතීතයේ කොතෙකුත් තිබුණා. අද ඒ සියල්ල අතීතයක මතක පමණක්ම ලෙසින් සැඟවෙමින් තිබුණා. සිස්ටර් සේරා සහ අංජලී පල්ලියේදී මට මුණගැසුණු අමතකම කළ නොහැකි චරිත ලෙස මගේ හදවතේ ජීවත් වෙමින් හිටියා. රෑ මැදියමත් ඉක්ම යමින් තිබූ තත්පරයේ එක්වරම මගේ සිතුම් දැහැන සහ හුදෙකලාව බිඳ දැමුවේ සිස්ටර් සේරාගේ කටහඬ.

දුල්යානා කරුණාකරලා දොර අරින්න?
ඇයි සිස්ටර්? 
මට ඔයත් එක්ක අවසාන වතාවට කතා කරන්න දෙයක් තියෙනවා... 
මම කිසිත් නොවිමසමින් දොර හැරියෙමි.
මෙච්චර වෙලා පල්ලියේ සොහොන් බිමට වෙලා ඔයා මොකද කළේ? කාත් එක්ක කතා කරන්නද ඔයා එතෙන්ට ගියේ. මළවුන්ට උන්ගේ ලෝකයේ නිස්කාන්සුව විඳින්න දෙන්න දුල්යානා. ඒ අයට බාධා කරන්න එපා... 
මම කාටවත් බාධා කළේ නෑ සිස්ටර්... ඒත් මගේ ජීවිතය ගොඩක් අය මගෙන් උදුරගෙන 

අපි ඔයාගේ ජීවිතයට බාධා කළේ නෑ දුල්යානා... ඔයයි ඔයාගේ ජීවිතේ හොයාගෙන ගිහින් අපිට වැරැද්දක් කළේ?
මගේ හෘද සාක්ෂියට අනුව මම කාටවත් වරදක් කරලා නෑ සිස්ටර්... මම මගේ ජීවිතේ හොයාගෙන ගිය බව ඇත්ත. ඒ මම ගෑනියෙක් හින්දා. මමත් මට කියලා ජීවිතයක් ආදරයක් හෙව්ව හින්දා. සිස්ටර් ගෙවන දෙවියන් වහන්සේට කැපවෙච්ච ජීවිතය ගෙවන්න තරම් මට ඉවසීමක් නොතිබුණ හින්දා. මට සමාවෙන්න සිස්ටර්. සිස්ටර් මට මගේම සහෝදරියක් වුණා. ඒත් සිස්ටර් කෙනෙක් විදිහට නෙවෙයි ගැහැනියක් විදිහට මාව තේරුම් ගන්න සිස්ටර්... 
එහෙම තේරුම් ගත්ත නිසා තමා දුල්යානා ඔයා පිරිමියෙකුට ආදරේ කරද්දී අපි ඔයාට ඒකට ඉඩ දුන්නෙ. ඒ මනුස්සයා එක්ක විවාහ වෙලා ඔයා පල්ලියෙන් යද්දී ඔයාට ආශිර්වාද කළේ. ඔයාට ජීවිතය වැරදුණා. ඔයා ආයෙත් පල්ලියට ආවා. ඒ එද්දිත් අපි අහක බැලුවෙ නෑ. ඔයාව පිළිගත්තා. ඔයා ආදේශ්ට ළංවෙද්දී ඒකත් අපි තේරුම් ගත්තා. ඒත් ඔයා ඔයාගෙ සීමාව තේරුම් ගත්තෙ නෑ...
අපි දැන් ඔය කිසිදෙයක් කතා කරලා වැඩක් නෑ සිස්ටර්. මට දැන් සිස්ටර්ගෙන් එක දෙයයි දැනගන්න ඕනෑ. අංජලීට මොකද වුණේ සිස්ටර්. කුසෙන් නොවැදුවත් මම අංජලීට මගෙම දරුවෙකුට වගේ ආදරෙයි...
අංජලී මේ ලෝකේ දැන් නෑ දුල්යානා....

මම ඒක විශ්වාස කරන්නෙ කොහොමද සිස්ටර්? 
එයා නැතිවුණේ ලේ පිළිකාවකින්... ඒක කාලයක් තිස්සෙ එයාගේ ඇඟේ තිබුණ එකක්...
සිස්ටර්... මට එක්වරම ඉකිගැසුනේ මහා වේදනාවකින් 

දුල්යානා අපි මේ ලෝකෙට එනවා වගේම මේ ලෝකෙන් යන්නත් ඕනෑ... උප්පත්තිය වගේම මරණය කියන්නෙත් දෙවියන් වහන්සේගේ තීරණයක්... 
ඒත් ඇයි සිස්ටර් දෙවියන් වහන්සේ මේ තරම් නපුරුකම් කරන්නෙ? 
ඒක නපුරුකමක් නෙවෙයි... ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත... දෙවියන් වහන්සේගේ කැමැත්ත එහෙම වෙන්නෙ ඇයි කියන එක හරිම සංකීර්ණ කාරණයක්. දුල්යානා ඔයා ආදරය කරපු කිසිදෙයක් දැන් මේ පල්ලියේ නෑ. ඉතුරුවෙලා තියෙන්නෙ දුක සතුට තැවරිච්ච මතක කන්දරාවක් විතරයි. ඒ මතකත් අරන් ඔයා මෙහෙන් යන්න දුල්යානා. ඔයාට මෙහෙ ඉන්න ඕනෑනම් එකම එක විදිහයි තියෙන්නෙ?
ඒ මොකක්ද සිස්ටර්... මම ඇහුවේ ඉකිගැසීම මැද්දෙ...

ඔයත් සිස්ටර් කෙනෙක් වෙන්න... ඔයත් ඔයාගේ මුළු ජීවිතයම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප කරන්න...
මට බෑ සිස්ටර්... මට කොහෝමත් බෑ... මට බෑ මේ ජීවිතය ඇතුළෙ හිරකාරයෙක් වෙන්න... මම දැන් තනිවෙලා තමයි... ඒත් සිස්ටර් මම තාම හොයන්නේ ආදරයක්... මට මගේම කියලා ජීවිතයක්. ආදරයයි ජීවිතයයි දෙකම දෙවියන් වහන්සේ ගාව තියෙනවා දුල්යානා....

නෑ සිස්ටර්... මට පල්ලියයි යාඥාවයි අතරේ මගේ මුළු ජීවිතයම හිර කරන්න බෑ... මම ආසයි නිදහසට... මම ආසයි ජීවිතයට....
ඔයා හරිම හිතුවක්කාර ගෑනියෙක්... ඔයා ඔයාගේ මුළු ජීවිතයම වරද්දාගත්තේ ඔය හිතුවක්කාරකම හින්දා.

මම ජීවිතය වරද්දා ගත්තේ නෑ සිස්ටර්... ඒත් මගේ ජීවිතේ මට හම්බවුණ කිසි කෙනෙක් මාව තේරුම් ගත්තෙ නෑ... ඒ හැමෝම මට මගේ ජීවිතය වැරැද්දුවා... 
අනික් අයට දොස් කියන්න එපා...
හැමදේම දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා හිතලා මට මගේ හිත හදාගන්න බෑ සිස්ටර්....